පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, May 23, 2014

ලෝකයේ කාන්තාවන් අතර ජනප්‍රියම විනෝදාංශ - Most Favourite Women Hobbies Around the World


කොයි තරම් වැඩ තියෙන කෙනෙක් වුණත් කොයි මොහොතක හරි විවේකයක් ලැබෙන වෙලාවක් තියෙනවා. මේ විවේකය ගත කරන්න නොයෙක් අය නොයෙක් දේවල් කරනවා. මේ කරන දේවල්වලට අපි සාමාන්‍යයෙන් විනෝදාංශකියල කියනවා. හැබැයි ලැබෙන හැම විවේකයකටම නිදාගන්න කෙනෙක් ඉන්නවා නම් එයා කියයි තමන්ගේ විනෝදාංශය නිදාගැනීම කියලා. ඒක විනෝදාංශයක් වුණත් එයින් අපේ ජීවිතයට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවතම තෝරාගත් යුත්තේ ධනාත්මක විනෝදාංශ. මේ වගේ ධනාත්මක විනෝදාංශ ඉස්සර ඉඳන්ම කාන්තාවන් කරගෙන ආවා. නමුත් අතීතයේ තිබුණු ඇතැම් විනෝදාංශ අද කාලයට ගැළපෙන්නේ නැති වෙන්න පුලුවන්. සමහර විට ඔබට යම් විවේකයක් ලැබුණාම එය ප්‍රයෝජනවත්ව ගතකරන්න විශේෂ දෙයක් නොකරනවා වෙන්නත් පුලුවන්. සමහර විට ඔබ විනෝදාංශයක් සොයමින් ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්. ඉතිං අද කාලයට ගැළපෙන, ලෝකයේ කාන්තාවන් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය, ඒ විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකු පහසුවෙන් කරන්න පුලුවන් විනෝදාංශ මොනවද කියලා හොයලා බලන්න අපි හිතුවා.

විනෝදාංශයක් තුළින් අපේ අභ්‍යන්තරය බාහිර පුද්ගලයන්ට පෙන්වන්නට අවස්ථාවක් ලැබෙන බව මනෝ විද්‍යාඥයින් පවසනවා. ඒ කියන්නේ අප කරන විනෝදාංශවලින් අපි මොනවගේ අයද කියලා අනෙක් අය තේරුම්ගන්නවා. ඒ වගේම නිරෝගීමත් මනසක් පවත්වාගෙන යන්නත් මෙය උදව් වෙනවා. ඇතැම් අයට විනෝදාංශවලින් ආදායම් මාර්ග පවා සකස්කරගැනීමට හැකියාව ලබාගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා. උදාහරණයක් විදියට විනෝදයට මල් සිටුවන්න කවුරු හරි පටන්ගත්තොත්, ටික කාලයකින් ඇයට පුලුවන් තමන් සිටවූ මල් අළෙවි කරන්න. තමන්ට ගැළපෙන, නිවැරදි විනෝදාංශයක් තෝරාගැනීමෙන් යම්කිසි පුද්ගලයකුගේ නිර්මාණාත්මක බව වර්ධණය කරගන්නටත් පුලුවන්. කෙහොම වුණත් ලෝකයේ කාන්තාවන් අතර බොහෝ ජනප්‍රිය විනෝදාංශ මෙන්න මේවා කියලා තමයි හොයාගන්න ලැබුණේ.

1. ආභරණ නිර්මාණය
මේක ලෝකයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. අපේ රටෙත් බොහෝ දෙනෙක් කරනවා. බොහෝ විට ආභරණ නිර්මාණය කරන්නේ මිල අඩු ද්‍රව්‍ය යොදාගෙන. ඒ වගේම නිවසට ගෙනෙන විවිධ බඩු  භාණ්ඩවල ඉවත් කරන කොටස් ද මේ සඳහා ප්‍රයෝජනයට ගන්න පුලුවන්. පබලු ඇට, ලේස්, රිබන්, පාට පාට නූල්, බූල්, පහසුවෙන් නැමිය හැකි කුඩා විදුලි කම්බි වැනි දේ මේවා සඳහා බොහෝ දෙනෙක් ප්‍රයෝජනයට ගන්නවා. මාල, අතේ පළඳින බ්‍රේස්ලට්, වළලුකරේ පළඳින් ඇන්ක්ලට්, කොණ්ඩ කටු වැනි දෑ මෛ ආභරණ අතර කැපී පෙනෙනවා. මෙවැනි විනෝදාංශ සඳහා අන්තර්ජාලය හරහා නොමිලේම මග පෙන්වීම් කරන වෙබ් අඩවි දුසිම් ගණනින් සොයාගන්නට පුලුවන්. අනෙක මෙවැනි විනෝදාංශයක් සාර්ථක කරගැනීම තුළින් තමන්ගේ ආදායම් මාර්ගය වර්ධණය කරගන්නටත් පුලුවන්.

2. බ්ලොග් ලිවීම

මේක නම් පරිගණක හා අන්තර්ජාල තාක්ෂණය ගැන යම් අවබෝධයක් ඇති අය අතර ජනප්‍රිය දෙයක්. නමුත් මේක සෑහෙන ජනප්‍රිය නිසයි මෙතනට එක්කරගත්තේ. ඉස්සර නම් අපේ අදහස් අන්තර්ජාලය හරහා අනෙක් අයට දන්වන්න වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් අපට යම් වියදමක් ද කරන්න වෙනවා. නමුත් බ්ලොග් තාක්ෂණය නිසා අපට නොමිලේම මේ පහසුකම ලැබෙනවා.  අපගේ අදහස් උපරිම නිදහසකිය් යුක්තව අනෙක් අය සමඟ බෙදා හදාගන්න බ්ලොග් තරම් වෙන කිසිම දෙයක් ලෝකයේ නැති තරම්. මේ සම්බන්ධව උපදෙස් දෙන වෙබ් අඩවිත් බොහෝයි. දැන් යුන්කේත තාක්ෂණයෙන් සිංහල බසින්ම බ්ලොග් ලියන්න පුලුවන්. සිංහල බසින් බ්ලොග් පවත්වාගෙන යන කාන්තාවන් ඕනෑ තරම් සිටිනවා. ඔබගේ නිර්මාණශීලි අදහස් නිදහසේ ලෝකයත් සමග බෙදාගන්නට, ඔබේ දැනුම ලෝකය හා බෙදාගන්නට හැකි විනෝදාංශයක් ඇත්නම් මෙය හැර වෙන කිසිවක් නැහැ.

3. චිත්‍ර ඇඳීම

චිත්‍ර ඇඳීම සියලු දෙනොටම එක වගේ හැකියාවක් තිබෙන දෙයක් නෙවෙයි. නමුත් මෙය අතීතයේ පටන් බොහෝ කාන්තාවන් අතර ජනප්‍රිය විනෝදාංශයක්. අනෙක චිත්‍ර ඇඳීම කියන්නේ මිනිස් රූප හෝ විවිධ දර්ශන ඇඳීම පමණක්ම නොවෙයි. තමන්ගේ හිතේ තියෙන දෙයක් තමන් කැමති විදියට අඳින්න පුලුවන්. එක් චිත්‍රපටයක තිබුණේ එක් කාන්තාවක් තමන්ගේ හිතට තද කෝපයක්, ලොකු සතුටක් ඇති වුණාම ඒ හැඟීම විඳගන්න චිත්‍රයක් අඳින එක. ඒ චිත්‍රයේ අපට තේරුම්ගන්න පුලුවන් විදියේ හැඩතල නැහැ. නමුත් නූතන චිත්‍ර කලාවේ (Modern Arts) හැඩතල තියෙනවා. යම් කෙනෙකුට යම් ප්‍රමාණයකට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබෙනවා නම් මෙවැනි විනෝදාංශයක් තුළින් සෑහෙන වින්දනයක් ලබාගන්න පුලුවන්.

4. ඡායාරූප ශිල්පය

මේකත් ලෝකයේ අතිශය ජනප්‍රිය විනෝදාශයක්. මේ සදහා අධික මිල ගණන් වැයවන කැමරා උපකරණ අවශ්‍ය යැයි ඔබට සිතෙන්නට පුලුවන්. නමුත් ලක්ෂ ගණන් වටිනා කැමරා උපකරණ තිබුණත් ඡායාරූප ශ්ලපය කියන්නේ එය නෙවෙයි. තමන්ට ලෝකය නිර්මාණශීලිව දකින්න පුලුවන් නම්, ඒ දකින විදිහ ඡායාරූපයකට කොටුකරගන්නට තියෙන හැකියාවයි. මේ සඳහා අද බොහෝ දෙනෙක අතේ තියෙන හොඳ නමක් තියෙන, උසස් කැමරාවක් සහිත ජංගම දුරකතනයක් වුණත් සෑහෙනවා. මිල අධික කැමරාවලින් කළ හැකි දේ මේවායෙන් කළ නොහැකි වුණත් ඔබටත් යම් නිර්මාණශිලී දේ මෙයින් කරන්න පුලුවන්. එහෙම කරන අය ඕනෑ තරම් අපේ රටෙත් ලෝකයේත් සිටිනවා. ලෝකයේ සිටින වර්තමාන  පරපුරේ ඇතැම් ඡායරූප ශිල්පීන් තමන්ගේ ගමන පටන් අරන් තියෙන්නේ ජංගම දුරකතන කැමරාවලින්. ඒ විතරක් නෙවෙයි ජංගම දුරකතන ඡායාරූප තරග පවා පැවැත්වෙනවා. ඉතිං මේකත් හොඳ විනෝදාංශයක් කියලා ඔබට දැන් සිතේවි.

5. ලිවීම

විවේක කාලයේදී ලේඛන කටයුතුවල නිරතවීම කියන්නේ ඉතාම වැදගත් විනෝදාංශයක්. අපේ රටේ සිටින ඇතැම් සුප්‍රකට ලේඛිකාවන් පවා මුළින්ම ලේඛන කටයුතුවල නිරතවී තිබුණේ විවේකය ගතකරගැනීමේ ක්‍රමයක් විදිහටයි. නමුත් එය වර්ධණය වන්නට පටන්ගැනීමත් එක්ක ලේඛනය ඔවුනගේ වෘත්තීය බවටම පත් වුණා. ඇතැම් අය පුවත්පත්වලට ලිපි, කවි ලියනවා. ඇතැම් අය නවකතා ලියනවා. තවත් අය තමන්ගේ දැනුම, ලේඛන කටුයුතු ඔස්සේ අනෙක් අය සමඟ බෙදාගන්නවා. මෙහි කලින් සඳහන් කළ බ්ලොග් ලිවීමත් මෙම ලේඛන හැකියාව සමඟ සම්බන්ධ කරගැනීමෙන් තවත් අපූරු දිශාවකට ඔබගේ විවේක කාලය යොමුකරවාගන්න පුලුවන්.

6. එකතුකිරීම

එකතු කිරීම කියා අදහස් කළේ විවිධ විසිතුරු දෑ රැස්කිරීමයි. ඇතැම් අය ගඟක්, දොළක් වැනි තැනකට ගිය විට එහි ඇති විවිධ විසිතුරු හැඩයේ ගල්වර්ග අරගෙන එනවා. ඔවුන් ඒවා එකතු කරනවා. තවත් අය බෝනික්කන්, පැන්ඩාවන්, කුරුළු පිහාටු, ගස්වල විසිතුරු හැඩයේ කොළ ආදිය එකතු කරනවා. ඇතැම්විට මෙවැනි දෙයකින් විශේෂ ප්‍රයෝජනයක් නැතැයි සිතෙන්නට පුලුවන්. නමුත් අපි විනෝදාංශයක මූලික අරමුණ අමතක නොකළ යුතුයි. ඒ තමයි මානසික විවේකය. අපට එය ළඟාකරන්නට හැකි යම් විනෝදාංශයක් කරනවා නම් එය ඉතාමත් වැදගත් දෙයක්.
7. ඉවුම් පිහුම් සහ මැහුම්

මේවා නම් කාන්තාවන් අතර සාමාන්‍යයෙන් ජනප්‍රිය විනෝදාංශ. ඔවුන්ට මේවා තමන්ගේ සාමාන්‍ය ජීවිතයේදී කරන්න වෙන දේවල්. නමුත් සාමාන්‍ය ජීවිතයේදී කරන දේ තුළින් වුණත් ඇතැම් අය නිර්මාණශිලී දේ කරන බව පෙනෙනවා. අලුත් විදිහේ කෑම බීම, අලුත් විදිහේ ඇඳුම් පැළඳම් වැනි දේ කරන කාන්තාවන් ගැන අපට අසන්නට ලැබෙනවා. ඔවුන් අලුත් දේවල් සඳහා යොමුවන්නේ තමන් ඒ කරන දෙය තුළින්ම මානසික සහනයක් ලබන නිසයි. ඒ නිසා ලෝකයේ ජනප්‍රිය විනෝදාංශ අතර මෙය ද එකතුවී තිබෙනවා.


මෙහි සඳහන් කළේ වෙබ් අඩවි ගණනාවක් පීරා සොයාබැලීමෙන් පසුව අපේ රටටත් සම්බන්ධ කරගත හැකිලෝකයේ බොහෝ කාන්තාවන් අතර ජනප්‍රිය විනෝදාංශ කිහිපයක් පමණයි. නමුත් මීට අමතරව තව බොහෝ විනෝදාංශ පවතිනවා. ඔබට ඒවා සොයාගන්නට පුලුවන්. කිසිවකුට හිරිහැරයක් නොවන, ඔබේ මානසික සුවය වර්ධණය කරවන කුමන හෝ විනෝදාංශයක් තොරාගැනීම සෑම අතින්ම වැදගත් දෙයක්.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න