පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, July 27, 2014

හාර්ඩ් ඩිස්ක් එක විනාශයි! - Data Loss Problem


මගේ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එක හෙවත් දෘඩ තැටිය මෑත දිනකදී හදිසියේ ක්‍රියා විරහිත විය. වටිනා දත්ත බොහොමයක් අහිමි විය. දත්ත ආපසු ගන්නට භාවිත කරන මෘදුකාංගවලින් ද පිහිටක් ලබාගන්නට නොහැකි විය. මෙයට පෙර කිහිප අවස්ථාවකම පෙන් ඩ්‍රයිව්, ඩීවීඩී සහ සීඩීවල තිබූ දත්ත විනාශ වී ගියේය. මේ ලිපිය ලියන්නට සිත් වූයේ එබැවිනි. 

පරිගණක තාක්ෂණයත් සමඟ කුළුපග වන්නට පෙර අප එය පිළිබද සිතා සිටි ආකාරයත් දැන් අප එය දකින ආකාරයත් හාත්පසින්ම වෙනස්ය. ගුරුවරු අපට පරිගණකය පිළිබඳ ඉගැන්වූයේ විශ්වකර්මයකු ලෙස අප ඉදිරියේ මවා පාමිනි. සැබවින්ම පරිගණකය විශ්වකර්මයකු බව සැබෑය. නමුත් ඒ තරමටම එය අපගේ අපේක්ෂා භංගත්වයන්ට ද හේතු වේ. පරිගණක භාවිතය සුලභවීමත් සමඟ අප සතු බොහෝ සතු බොහෝ දත්ත, ඡායාරූප, වීඩියෝ, ලිපි ලේඛන වැනි දෑ පරිගණකයෙහි ගබඩාකොට තබන්නට පුරුදු වූයෙමු. නමුත් පරිගණකවල සුරක්ෂිතභාවය පිළිබඳ සොයා බැලීමේදී සාමාන්‍ය පරිගණක පරිශීලකයන් මහත් අවදානම් සහිත තත්වයන්ට මුහුණ දෙන බැව් එදිනෙදා අත්දැකීම්වලින්ද, අන්තර්ජාලයෙහි විවිධ පුද්ගලයන් සඳහන් කොට ඇති ගැටලු පිරික්සීමෙන් ද පෙනී යයි. බොහෝ දෙනෙකු මුහුණ දෙන විශාගතම ගැටලුව වන්නේ දත්ත විනාශවී යාමයි. මෙහි ඊළඟ ගැටලුව වන්නේ මෙසේ විනාශවන දත්ත ආපසු ලබාගැනීමට ඇති නොහැකියාව හෝ දුෂ්කරතාවය ය. අනෙක ඒ සඳහා ඇතැම් අවස්ථාවලදී අධික මුදලක් වැයකරන්නටද සිදු වේ. මේ සියලු හේතු නිසා ලෝකයේ බොහෝ පරිගණක පරිශීලකයන් අතර මතුව ඇති ගැටලුව වන්නේ පරිගණක තුළ දත්ත තැන්පත්කිරීම කෙතරම් ආරක්ෂිත ද යන්නය. 

දත්ත තැන්පත් කොට තිබීම සඳහා විවිධ මාධ්‍යයන් භාවිතයට ගැනේ. මේවා නිෂ්පාදන උදෙසා භාවිත කොට ඇත්තේ  උසස් තාක්ෂණයකි. ඒ පිළිබඳ සිතා බැලීමේදී මේවා අතිශය විශ්වසනීය යැයි එකවර සිතෙන්නට පුලුවන. නමුත් ලොව පුරා පරිගණක පරිශීලකයන් මුහුණ දෙන පොදු ගැටලුව වන දත්ත විනාශවීම පිළිබඳ සළකා බැලීමේදී දත්ත ගබඩාකිරීම සඳහා යොදා ගන්නා මේ කිසිදු මාධ්‍යයක් විශ්වසනීය නොමැති බැව් පෙනී යයි. 

කලකට පෙර දළ සේයා පට සහිත කැමරා පැවතිය ද අද සියලු දෙනාම පාහේ භාවිත කරන්නේ ඩිජිටල් කැමරාය. මේවායෙන් අසීමාන්තිකව ඡායාරූප ලබාගත හැකි අතර එසේ ගනු ලබන සියලුම ඡායාරූප තැන්පත් කර තබන්නේ පරිගණක දෘඩ තැටි (Hard Disk), ප්ලෑෂ් මතක (Memory, Pen drive), සංයුක්ත තැටි (Compact Disk) වැනි මාධ්‍යවලය. නමුත් හිටි හැටියේ කුමක් හෝ හේතුවක් නිසා මෙසේ තැන්පත් කොට ඇති ඡායාරූප විනාශ වී යන්නට ඇති හැකියාව වැඩි බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.  පැරණි කැමරාවලින් ලබාගන්නා ඡායරූප අනිවාර්යයෙන්ම මුද්‍රණය කළයුතු බැවින් ඒවා පරම්පරා ගණනක් සුරක්ෂිතව තබා ගත හැකිය. නමුත් ඩිජිටල් ආකාරයෙන් පරිගණක දෘඩ තැටිවල හෝ වෙනත් දත්ත ගබඩා මාධ්‍යවල තැන්පත් කරන ඡායාරූප ඇතැම් අවස්ථාවලදී එක් පරම්පරාවක් සඳහා හෝ රැකගත නොහැකිවන ගැටලුවකට වර්තමානයේ බොහෝ දෙනෙක් මුහුණ පා සිටියි. 

දත්ත තැන්පත්කිරීමට විවිධ මාධ්‍ය භාවිතයට ගැනෙයි. මූලික වශයෙන් පරිගණක දෘඩ තැටිය හෙවත් හාර්ඩ් ඩිස්කය, ෆ්ලෑෂ් මතක චිප, සංයුක්ත තැටි හෝ ඩී.වී.ඩී. තැටි, පටි සහ අන්තර්ජාලයේ ඇති දත්ත ගබඩා මේ අතර විශේෂය.  

දෘඩ තැටි 

මුල් සමයේ අඩු ධාරිතවයකින් පැවතිය ද අද ටෙරා බයිට් එකක ධාරිතාවය සහිත දෘඩ තැටි සාමාන්‍ය පරිශිීලනයට පැමිණ තිබේ. දෘඩ තැටියක් යනු ඩිජිටල් වශයෙන් නිර්වචනය කරනවාට වඩා යාන්ත්‍රික වශයෙන් නිර්වචනය කළ හැකි දත්ත ගබඩා මාධ්‍යකි. මෙහි දත්ත ගබඩා කෙරෙන්නේ තැටියක වන අතර එම තැටිය අධික වේගයෙන් භ්‍රමණය වෙයි. එහි තව පරිපථ ගණනාවක් ද දක්නට තිබේ. පොදුවේ පරිගණකවල දත්ත ගබඩා කිරීමට සහ මෙහෙයුම් පද්ධතිය ඇතුළු අනෙකුත් යෙදුම් ක්‍රියාත්මක කිරීම සඳහා දෘඩ තැටි යොදා ගැනෙන මුත්, මේ සංකීර්ණ යාන්ත්‍රික ක්‍රියාවලිය කුමන මොහොතක අඩපණ වේදැයි කිසිවකුට කිව නොහැකිය. සාමාන්‍යයෙන් දෘඩ තැටි නිෂ්පාදකයන් මේවායේ ආයු කාලය වසර 2 - 8 වශයෙන් දක්වා තිබේ. නොසැළකිල්ලෙන් භාවිත කළ හොත් ඉතා ඉක්මණින් අඩපණ විය හැකි දෘඩ තැටි ඉතා සැළකිල්ලෙන් භාවිත කළ හොත් වසර 8ක් දක්වා  පවත්වා ගැත හැකිය. දෘඩ තැටියක් විනාශවන්නට පෙර අප වෙත එවනු ලබන පණිවිඩ පිළිබඳ සැළකිලිමත් වුවහොත් මේවායේ ඇති දත්ත විනාශවන්නට පෙර නව දෘඩ තැටියකට හෝ වෙනත් ගබඩා මාධ්‍යකට ඒවා මාරු කරගත හැකිය. එසේ නොකළ හොත් දත්ත විනාශවී යාම වළක්වාගත නොහැකිය. 


දෘඩ තැටි සහ එහි දත්ත විනාශවන්නට වයිරස් ප්‍රහාරයන් ද හේතු වේ. මේ නිසා බොහෝ දෙනෙක් සිය වටිනා දත්ත පරිගණකයෙන් බාහිරව සවි කළ දෘඩතැටිවල තැන්පත් කිරීම ද සුලභව දක්ට ලැබේ. යම් හෙයකින් ප්‍රධාන දෘඩ තැටියේ ඇති දත්ත විනාශ වුවහොත් මෙම බාහිර තැටියේ එම දත්ත ඇති බැවින් යම් සැහැල්ලුවකින් කටයුතු කරන්නට පුලුවන. නමුත්, වෙනත් තාක්ෂණික ගැටලුවක් නිසා මෙම බාහිර දෘඩතැටි ද විනාශ නොවේ යැයි සහතිකයක් දීමට ඒවායේ නිෂ්පාදකයන්ට පවා හැකියාවක් නැත. 

සංයුක්ත තැටි හෝ ඩී.වී.ඩී. තැටි 



දෘඩ තැටියක් යම් හෙයකින් අඩපණ වුවහොත් යන සැකය නිසා බොහෝ දෙනෙකු ඉහත සඳහන් කළ මාධ්‍යවල දත්ත ගබඩා කරයි. සාමාන්‍යයෙන් සංයුක්ත තැටියක මෙගා බයිට් 700 ක පමණ දත්ත ගබඩා කළ හැකි අතර තනි ස්ථරය සහිත ඩී.වී.ඩී. තැටිවල ගිගා බයිට් 4.7ක දත්ත ද, ද්විත්ව ස්ථරය සහිත ඩී.වී.ඩී. තැටි වල ගිගා බයිට් 8.5 ක දත්ත ද ගබඩා කළ හැකිය. සාමාන්‍ය පාරිභෝගිකයාට ලබාගත හැකි බ්ලූරේ වර්ගයේ ඩී.වී.ඩී. වල ගිගාබයිට් 25ක් දක්වා දත්ත තැන්පත් කළ හැකිය. ගිගා බයිට් 200 දක්වා දත්ත තැන්පත් කළ හැකි බ්ලූ රේ ඩී.වී.ඩී. තැටිද වෙළෙඳ පළෙහි පවතී. වෙළෙඳ පොළේ විවිධ වර්ගවලට අයත්, විවිධ මිල ගණන් යටතේ වූ මෙම තැටි වර්ග පවතින අතර වෙළෙඳ නාමය අනුව මේවායේ ගුණත්වය ද වෙනස් වේ. 


කෙසේ නමුත් බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුව වන්නේ ඉහළ ගුණත්වයකින් යුක්ත යැයි සඳහන් මෙවැනි තැටි, දත්ත ගබඩා කිරීම සඳහා යොදා ගත්ත ද විවිධ හේතු නිසා මේවා පරිගණකවලින් ප්‍රතික්ෂේප කරන තත්වයට පත්වීමය. එනම් මෙම තැටි පරිගණකයේ ධාවකයට ඇතුළු කළ විට ඇතැම් අවස්ථාවලදී ඒවා කියවා එහි ඇති දත්ත  ලබාදෙන්නට පරිගණකය අපොහොසත් වේ. ඇතැම් අවස්ථාවල මේ තැටි නොකියවාම තැටිය ධාවකය මගින් ප්‍රතික්ෂේප කරයි. කෙසේ මුත් ලියකියවිලි හැරුණු විට ඡායාරූප, වීඩියෝ වැනි අධික ධාරිතාවයන්ගෙන් යුක්ත දත්ත තැන්පත් කොට තැබීමට මෙම තැටි වර්ග ප්‍රායෝගිකය යොදාගැනීම දුෂ්කරය. සෑහෙන තරම් වියදමක් දරා එසේ දත්ත ගබඩා කළ ද පෙරකී ආකාරයෙන් ඒවා පරිගණකයෙන් ප්‍රතික්ෂේප කරන තත්වයට පත්වුහොත් දැරූ වෙහෙසෙහි ප්‍රතිපළයක් ද නැත. අනෙක කලකට පෙර ඉතා ජනප්‍රියව පැවති නම්‍ය තැටිති හෙවත් ෆ්ලොපි ඩිස්ක මෙන්ම මෙම තැටි ද කෙමෙන් පරිගණක පරිශීලකයන්ගේ ඈත්ව යන බැව් පෙනේ. වර්තමානයේ වෙළෙඳ පළේ දක්නට ඇති ඇතැම් නෝට් බුක් වර්ගයේ පරිගණකවල තැටි ධාවක දක්නට නැත. මෙම නැඹුරුව ඉදිරියේදී අනෙකුත් පරිගණකවලට ද ව්‍යාප්ත වුවහොත් එය ද ගැටලුවක් වනු ඇත. 


ෆ්ලෑෂ් මතක 

වර්තමානයේ ඉතා ජනප්‍රියතම දත්ත ගබඩා හා හුවමාරු මාධ්‍යය වන්නේ මෙයයි. මේවා විවිධ ධාරිතාවයන්ගෙන් ලබාගැනීමට හැකියාව තිබේ. නිෂ්පාදකයන් පවසන්නේ වසර 10 ක් දක්වා මේවායේ දත්ත සුරක්ෂිතව ගබඩාකොට තැබිය හැකි බවය. නමුත් ඇතැම් අවස්ථාවලදී ඉහළ කීර්තිනාමයක් සහිත ෆ්ලෑෂ් මතකයන් ද වසරක් ගතවෙන්නට පෙරම භාවිත නොකළ හැකි තත්වයට පත්වන බැව් පෙනෙන්නට තිබේ. 

අන්තර්ජාල දත්ත ගබඩා 

නිෂ්පාදකයන් කුමක් පැවසුවද, තාක්ෂණය දියුණු වී යැයි පැවසුන ද පරිගණක පරිශීලකයන්ගේ දත්ත විනාශවී යාමේ අවදානම පහව ගොස් නොමැත. මේ නිසා දත්ත සුරක්ෂිත ලෙස ගබඩා කිරීම සඳහා බොහෝ දෙනෙක් මෑතක සිට භාවිත කරන්නේ අන්තර්ජාලයේ මේ සඳහා වෙන්කොට ඇති වෙබ් අඩවියන්ය. මේවා සයිබර් අවකාශයේ ඇති වළාකුළු ගබඩාවැනි අරුතක් ඇති Cloud storage නමින් හඳුන්වනු ලබයි. දත්ත ගබඩා කිරීම සඳහා දැවැන්ත ධාරිතාවයන් සහිත මෙම ඇතැම් අඩවිවලින් ගිගා බයිට් 50 වැනි ඉඩක් නොමිලේම වුව ද ලබාගත හැකිය. ඩ්‍රොප් බොක්ස්, ගූගල් ඩ්‍රයිව්, මයික්‍රොසොෆ්ට් වන් ඩ්‍රයිව්, ඒඩ්‍රයිව්, අයික්ලවුඩ් වැනි විවිධ නම්වලින් මෙවැනි අවබ් අඩවි දක්නට ලැබේ. යමෙකුට විශාල දත්ත සම්භාරයක් ගබඩාකරන්නට අවශ්‍ය නම් මුදල් ගෙවා මෙම පහසුකම ලබාගත යුතු අතර දත්ත විනාශවීමේ අවදානම ද සෙසු ගබඩා මාධ්‍යවලට වඩා අඩුය. මෙම අඩවිවල දත්ත ගබඩා කරන ආකාරයට අනුව එක් තැනක දත්ත විනාශ වුව ද ඒවා තවත් තැනක ඉබේ ගබඩාවන ආකාරයේ ආරක්ෂණ ක්‍රමවේදවලින් සමන්විත වේ. මේ සඳහා අවශ්‍ය වන්නේ මුදල් හා අධිවේගී අන්තර්ජාල පහසුකම් පමණි. තම කාර්යාලය, නිවස ස්වභාවික විපතකින් හෝ සතුරු කරදරයකින් විනාශ වුවත් මෙසේ තැන්පත් කරන දත්ත විනාශවන්නට ඇති ඉඩකඩ අනෙකුත් මාධ්‍යවලට වඩා ඉතා අවමය. 

කෙසේ වුවත් විවිධ දුෂ්කරතාවයන් මැද පරිගණකයක් මිලදී ගෙන වැඩකටයුතු කරගෙන යන සාමාන්‍ය පරිශීලකයාට මෙවැනි පහසුකමක් ලබාගැනීම දුෂ්කරය. එබැවින් සාමාන්‍ය පරිගණක පරීශීලකයාගේ දත්ත විනාශවී යැමේ අවදානම තවම පහම ගොස් නැත. එය පහව ගොස් විශ්වාසයෙන් යුක්තව දත්ත ගබඩාකිරීමට සුදුසු මාධ්‍ය පැමිණෙන දිනය පිළිබඳව කිසිවකුට අදහසක් ද නැත.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න