පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, August 7, 2014

වෙඩි උණ්ඩයෙන් මිනිසුන් ගළවා ගත් ස්ටෙෆානි ක්වෝලෙක් මිය යයි - Stephanie Kwolek, inventor of the super fibre Kevlar, dies at 90



අපරාධකරුවකු අල්ලාගන්නට ගිය එක් පොලිස් නිලදරුවකුගේ පපුවට වෙඩි උණ්ඩ 45ක් එල්ලවිය. නමුත් තම පපුවට වෙඩි උණ්ඩ එතරම් ප්‍රමාණයක් එල්ල වූ බව කියන්නට ඔහු අදටත් ජීවත් වෙයි. මේ ආකාරයට පපුවට වෙඩි වැදුණු ආරක්ෂක අංශයන් හි සේවය කරන බොහෝ දෙනෙක් අදත් ඒ ගැන පවසති. ඔවුන් පවසන්නේ ඒ වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය පුදකළ යුත්තේ ස්ටෙෆානි ක්වෝලෙක්ට බවය.


ස්ටෙෆානි ක්වෝලෙක් කාන්තාවකි. ඩ්‍යුපොන්ට් නම් ලෝක ප්‍රසිද්ධ සමාගමේ රසායන විද්‍යාඥවරියකව සිටියාය. 1960 දශකයේදී පමණ මෙම සමාගම වානේවලටත් වඩා සවිමත්, නමුත් බරින් අඩු, ද්‍රව්‍යයක් සොයාගැනීමේ පරීක්ෂණයක නිරතව සිටියේය. ඒ වාහනවල බඳ කොටස සඳහාය. ඔවුනට අවශ්‍ය වූයේ මිලෙන් අඩු වාහන නිෂ්පාදනය කිරීමය. මෙම පරීක්ෂණය සිදුකරන ලද්දේ ක්වෝලෙක්ය. අවසානයේ ඇය අපූරු ද්‍රව්‍යයක් නිර්මාණය කළ අතර එය කෙව්ලර්නමින් ලෝක ප්‍රසිද්ධ විය. මෙම ද්‍රව්‍යය වාහනවල බඳ සඳහා වූ විකල්ප ද්‍රව්‍යයක් වෙනුවෙන් නිර්මාණය කෙරුණ ද අවසානයේ සියලු දෙනා පැමිණි තීරණය වූයේ මෙය වැඩි වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ වෙඩි නොවදින කබා නිෂ්පාදනය වෙනුවෙන් යොදාගැනීම බවය. ඉහත කී පොලිස් නිලදරුවා ඇතුළුවවෙඩි වැදී මිය නොගිය සියලු දෙනා ඇයට සිය ගෞරවය පුදකරන්නේ එබැවිනි.

නමුත් මේ අසහාය, අසමසම ද්‍රව්‍යය ලොවට බිහි කළ කාන්තාව 2014 - ජූනි 18 වැනිදා මෙලොවින් සමුගත්තාය. ඒ වන විට ඇය 90 වැනි වියෙහි පසු වූවාය.

ක්වෝලෙක් 1923 ජූලි 31 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ, පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ්, නිව් කෙන්සිංටන් හිදී මෙලොව එළිය දුටුවාය. කානගී තාක්ෂණික ආයතනයෙන් අධ්‍යාපනය ලබා රසායන විද්‍යා උපාධියක් හිමිකරගත්තාය. එයින් වසරක් ගතවෙද්දී, එනම් 1946 වර්ෂයේදී ඇයට ඩ්‍යුපොන්ට් සමාගමේ සේවයට එන්නැයි කැඳවීමක් ලැබිණි. 1986 වසරේදී සිය විශ්‍රාම දිවියට එළැඹෙන තෙක්ම ඇය සේවය කළේ මෙම සමාගමේය.

මෙම නව මෙන්ම අපූරු සොයාගැනීම පිළිබඳ දැනට වසර කිහිපයකට පෙර එක් ඇගෙන් එක් මාධ්‍යවේදියකු ඇසුවේය.

නව සොයාගැනීමක් කළ බව මම දන්නවා.  ඒත් මම යුරේකා කියලා කෑගැහුවේ නැහැ. මට පුදුම සතුටක් දැනුණා. රසායනාගාරයේ සියලු දෙනා සතුටු වුණා.” 

ඇය එසේ පැවසූවාය.

ඇගේ මේ අපූරු නිෂ්පාදනය නිසා දිවි ගළවාගත් ඇමරිකානු ආරක්ෂක අංශ නිලදරුවන් 3100 කටත් අධික පිරිසකගේ එකතුවෙන් දිවිගළවාගත්තවුන්ගේ සංගමයනමින් එකතුවක් බිහි කෙරණි. ඒ ඇයට සිදුකෙරෙන ගෞරවයක් වශයෙනි. වෙඩි වැදී දිවි ගළවාගත්ත සෑම නිලදරුවකුම පාහේ ඇයට දුරකතනයෙන් කතාකොට ස්තූතිය පළ කොට ඇති බැව් පැවසේ. එවිට ඇය බොහෝ සතුටට පත්වන බව ද සඳහන්ය.
අසමසම තාක්ෂණික සොයාගැනීමක් වෙනුවෙන් ඩ්‍යුපොන්ට් සමාගම තිළිණ කරන ලැවොයිෂියර් පදක්කමදිනාගන්නට සමත් වූ එකම කාන්තාව ද ඇයම වන්නීය.

ඇය සොයාගත් ඒ අපූරු ද්‍රව්‍යය නිසා දිවි ගළවාගත සියලු දෙනාගේම ජීවිතවල අයිතිය හා ගෞරවය ඇයට හිමිවිය යුතුයි.” 

ඩ්‍යුපොන්ට් සමාගමේ ප්‍රධාන විධායකවරයා එසේ පවසයි.


ඇය ලොවට දායාද කළ කෙව්ලර්වෙඩි නොවදින ඇඳුම්වලට මෙන්ම තවත් නිෂ්පාදන බොහොමයක් සඳහා යොදගනු ලබයි. ඇය මෙම නිෂ්පාදනය වෙනුවෙන් තවත් සම්මාන කිහිපයක්ම දිනාගෙන තිබේ. 



කෙව්ලර්වලින් නිෂ්පාදිත වෙඩි නොවදින කබායක් පරීක්ෂාවලට ලක්කරන අවස්ථාවක්

1 comment:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න