පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 26, 2014

ජේසු චරිතයෙන් හැදුණු චිත්‍රපට ටිකක් - A Few Movies Made on Jesus Christ



සිනමාව බිහි වුණු දා ජේසු චරිතය පිළිබඳ සිනමා නිර්මාණයන් කරන්නට බොහෝ දෙනෙක් උත්සාහ ගත් බව පෙනෙන්නට තිබෙනවා. මුල් කාලයේ නම් මේ සඳහා විවිධ විරෝධතාවයන් ඇති වුණත් පසුව ඒවා ටිකෙන් ටික නැති වී ගියා. මේ වන විට ඇතැම් නිර්මාණවලට හැරුණාම සෙසු ඒවාට කිතුනු ජනතාවගෙන් විරෝධයක් එල්ලවන්නේ නැහැ. ඒවා ද සාමාන්‍ය සිනමා නිර්මාණ බවට පමණක් පත් වෙලා. නමුත් මේවා අතුරින් විශේෂයෙන් සඳහන් කළ යුතු ඒවා කිහිපයක් තියෙනවා.

බයිබලය ඇසුරු කරගෙන කරන ලද සිනමා නිර්මාණ බොහොමයක් තිබුණත් ඒ සියල්ලම ජේසු චරිතය වන්නේ නැහැ. බයිබලයේ අලුත් ගිවිසුමෙන් කරන ලද නිර්මාණවලට පමණයි ජේසු චරිතය ඇතුළත් වන්නේ. සොයාගන්නට හැකිවුණු තොරතුරුවලට අනුව ලෝකයේ ජේසු චරිතය රැගත් ලෝකයේ මුල්ම සිනමා නිර්මාණය වන්නේ ඇලිස් ගයිගේ The Birth, Life and Death of Christ  නම් චිත්‍රපටයයි.  1906 දී නිර්මාණය කරන ලද මෙය මිනිත්තු 33ක ධාවන කාලයක් සහිත ප්‍රංශ චිත්‍රපටයක්.

ජේසු චරිතය ඇසුරින් කරන නිර්මාණයකින් ජේසුස් වහන්සේගේ චරිතයට යම් හානියක් සිදුවුවහොත් නිසැක ලෙසම ඒ චරිතය නිරූපණය කරන නළුවා අකාලයේ මිය යන බවට කතා පැතිර පවතිනවා. ඇතැම් අය පවසන්නේ කුමනාකාරයෙන් ජේසු චරිතය නිරූපණය කළත් අකාලයේ මිය යන්නට සිදුවන බවයි. එවැනි සිදුවීම් කිහිපයක් පෙනෙන්නට තිබුණත්, එය තහවුරු කළ හැකි පැහැදිලි සාධක නැහැ. බොහෝ දෙනෙක් පවසන්නේ අප රටේ සිටි ජනප්‍රියතම රංගන ශිල්පියකු වූ විජය කුමාරතුංගයන්ගේ අකල් මරණයට හේතුව ද ඔහු ජේසු චරිතය රඟපෑම බවයි.

Passion of the Christ 

ජේසු චරිතය නිරූපණය වන සිනමා නිර්මාණ පිළිබඳ එක්තරා වෙබ් අඩවියක් කර තිබ සමීක්ෂණයකින් මුල් තැනට පැමිණ තිබුණේ The Passion of the Christ  චිත්‍රපටයයි. ජේසු චරිතය නිරූපණය වුණු අනෙක් බොහෝ සිනමා නිර්මාණවලට වඩා මෙය වෙනස්. අනෙක බොහෝ චිත්‍රපටවලින් ජේසු බිළිඳාගේ උපතේ සිටම කතාව දිග හැරුණත් මෙයින් කියැවෙන්නේ ජේසුස් වන්සේගේ චරිතයේ අවසන් පැය කිහිපයක කාලය ගැන පමණයි. ලෝක ප්‍රකට රංගන ශිල්පියකු වන මෙල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ජේසු චරිතය නිරූපණය කරන්නේ ජිම් කැවියසෙල්. ඔහු මෙය ඉතා තාත්වික අන්දමින් නිරූපණය කර තිබු නිසාම මෙය ලෝකයේ ඉහළ ආදායම් ලැබූ සිනමා නිර්මාණයක් බවට ද පත් වුණා. නමුත් කැවියසෙල් දැන් පවසන්නේ මේ චිත්‍රපටයට දායක වීම නිසා සිය රංගන ජීවිතය විනාශ වූ බවයි. මෙම චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව ඔහුට වෙනත් චිත්‍රපට සඳහා වූ ඇරයුම් නැත්තටම නැතිවී ගිය බව ඔහු පවසනවා. අනෙක මෙම චිත්‍රපටය තමන්ට කළ අපහාසයක් බව යුදෙව් ජාතිකයන් පවසනවා.

ජිම් කැවියසෙල්


මෑත කාලයේ ජේසු චරිතය ආශ්‍රිත බොහෝ සිනමා නිර්මාණ බිහි වුණත්  1977 දී නිෂ්පාදනය වූ Jesus of Nazareth, 1999 නිෂ්පාදනය වුණු Jesus, 1961 නිෂ්පාදනය වුණු King of Kings, 1965 නිෂ්පාදනය වුණු The Greatest Story Ever Told ආදිය තවමත් සැළකෙන්නේ අග්‍රගණ්‍ය සිනමා කෘති ලෙසටයි.

ඒ වාගේම ජේසුස් වහන්සේගේ චරිතය අළලා කළ අතිශය අසාර්ථක සිනමා නිර්මාණ ගැනත් දැනගන්නට ලැබෙනවා. 1953 දී නිෂ්පාදනය වුණු THE ROBE, 2001 දී නිෂ්පාදනය වුණු JESUS CHRIST VAMPIRE HUNTER, 2007 වසරේ නිෂ්පාදනය වුණු ZOMBIE JESUS! මේ අතුරින් කිහිපයක්. මේවායෙන් ජේසුස් වහන්සේගේ චරිතය ඉහළට ඔසවා තබනවා වෙනුවට සිදුවූයේ අගෞරවයක් පමණක් බව බොහෝ දෙනෙකු පවසනවා.

ජේසුස් වහන්සේගේ දිගු කොණ්ඩය සෑම සිනමා නිර්මාණයකදීම දක්නට ලැබෙන දෙයක්. නමුත් එතුමාට දිගු කොණ්ඩයක් තිබුණු බවට බයිබලයෙන් සාධක හමුවන්නේ නැති බව විද්වතුන් පවසනවා. යුදෙව් ජාතික පිරිමින් පවා කොණ්ඩය දිගට වැවූ බවක් සොයාගන්නට නැහැ. නමුත් ජේසුස් වහන්සේ යැයි පැවසූ පමණින් ඕනෑම කෙනෙකුගේ සිතේ මැවෙන්නේ දිගු කොණ්ඩයක් සහිත චරිතයක්. බයිබල්යේ කොරින්ති පළමු පොතේ 11-14 පදයේ දැක්වෙන්නේ එකල පිරිමියකුට  දිගු කොණ්ඩයක් පැවතීම ලජ්ජාවට කාරණයක් විය යුතු බවයි. නමුත් සිනමා නිර්මාණවලට ජේසුස් වහන්සේ  දිගු කොණ්ඩයක් සහිතව නිරූපණය කිරීම කෙසේ සිදු කළේද යන්න ගැන පැහැදිලි අදහසක්නැහැ.

ජේසුසු වහන්සේගේ චරිතය අළලා ලෝකයේ දැනට නිෂ්පාදනය තොට ඇති සමස්ත සිනමා නිර්මාණ පිළිබඳ මෙසේ ලිපියකින් ලියා අවසන් කරන්නට නොහැකි වුවත්, එවැනි කරුණු සොයා ගෙන අයට මේ කරුණු ටික වුණත් මගපෙන්වීමක් කරනු ඇතැයි අප සිතනවා. මේ නත්තල් සමයේ ඔබට එවැනි විශේෂ කරුණු සහිත ලිපියක් ලියන්නට අදහස් කළේ ඒ නිසයි.


4 comments:

  1. නිරංජන් බ්‍රයන් කියල කෙනෙක් ගැනත් චිත්‍රපටයක් තියනවා. Monty Python - Life of Brian කියලා. බලන්නකෝ ඒකයි මේකයි එකමද මන්ද... https://www.youtube.com/watch?v=2z48hHRV5BE

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙතැන ලියපු චිත්‍රපටවලට වඩා .ව බොහෝ ඒවා තියෙනවා. ඔබ මෙහි සදහන් කළ චිත්‍රපටය නම් මම කලින් අසා නැහැ. ඒක හොයොගෙන බලන්න ඕන. මම මේ ලිපියෙන් ජේසු චරිතයෙන් හැදුණු චිත්‍රපට කිහිපයක් විතරක් ගැන කිව්වා විතරයි. තව ලියනවා නම් බොහෝ තිබෙනවා.

      Delete
  2. lokka ahala thiyenawada "Ben Hur" kiyalaekak gana. subject ekak gana liyanawa namhondatama hoyalaliyapan nathnam denima galawagena nyanna wenne.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න