පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, June 29, 2014

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කතාව - Story of Android Operating System

කිට්කැට් සංස්කරණය සහිත දුරකතනයක් 

වර්තමානයේ ජංගම දුරකතන තරම් වේගයෙන් තාක්ෂණය දියුණුවන්නා වූ අන් උපකරණයක් නැති තරම් ය. අද අප කතා කරන ජංගම දුරකථනයට වඩා නවීන තාක්ෂණයෙන් යුක්ත ඒවා හෙට දවසේ වෙළෙඳ පළින් මිලදී ගන්නට පුළුවන. මෑතක් වනතුරුම ලෝකයේ ජංගම දුරකතන ජනප්‍රිය වූයේ ඒවායේ වෙළෙඳ නාමයන්ගෙනි. වෙළෙඳ නාමය අදටත් වලංගු වුවද දැන් බොහෝ දෙනා අසන්නේ මේක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්ද?” කියාය. කවුරුත් පවසන මේ ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්ද? එය ජංගම දුරකතන මාදිලියක්ද? වෙළෙඳ නාමයක්ද? මේ කතා කරන්නට සැරසෙන්නේ ඒ පිළිබඳවය.

මෙම ඡායාරූපයේ මැද සිටින්නේ ඇන්ඩි රූබන් ය. 


ඇන්ඩ්‍රොයිඩ් යනු ලිනක්ස් නම් පරිගණක මෙහෙයුම් පද්ධතිය පදනම් කරගනිමින් නිර්මාණය කරගත් ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියකි. මෙය මූලික වශයෙන්ම භාවිත කෙරෙන්නේ ස්පර්ශක තිර (touchscreen) සහිත ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන, ටැබ්ලට් නමින් හඳුන්වනු ලබන කුඩා පරිගණක සඳහාය. මෙය මුළින්ම ඇන්ඩ්‍රොයිඩ් සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ අතර මූල්‍යම ශක්තිය ලබාදුන්නේ ගූගල් සමාගම මගිනි. 2005 වසරේදී ගූගල් සමාගම විසින් මෙය මිලට ගනු ලැබිණි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත මුල්ම ජංගම දුරකතනය 2008 වර්ෂයේදී අළෙවි කෙරිණි.

ඇන්ඩ්‍රොයිඩ් සංකේතය 

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය විවෘත කේතවලින් යුක්ත වන බැවින් මෙය ඕනෑම මෘදුකාංග ශිල්පියෙකුට තමාට අවශ්‍ය පරිදි වෙනස්කම්වලට බඳුන් කොට භාවිතයට ගැනීමේ නිදහස තිබේ. ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහා ස්ථාපනය කළ හැකි විවිධ මෘදුකාංග වර්ධණය කරන්නන්ගේ සංඛ්‍යාව ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. 2012 ඔක්තෝබර් මාසය වනවිට මෙම සංඛ්‍යාව ලක්ෂ 7ක් පමණ විය. ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග සඳහා වූ නිල වෙබ් අඩවිට වන ගූගල් ප්ලේ’ (Google Play) වෙතින් මෙතෙක් මෘදුකාංග භාගත කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව බිලියන 25 ද ඉක්මවයි. 2013 අවසන් කාර්තුව වන විට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතනවල අළෙවිය මිලියන 219 ඉක්මවද්දී ඇපල් මෙහෙයුම් පද්ධතිය සහිත ඒවා අළෙවි වී තිබුණේ මිලියන 50කට මදක් වැඩි ප්‍රමාණයකි. වින්ඩෝස් දුරකතන නම් මිලියන 8.5ක් පමණි. නොකියා දුරකතනවල පැවති සිම්බියන් මෙහෙයුම් පද්ධතියට ඇති ඉල්ලුම 2013 අවසාන කාර්තුව වන විට බිංදුවක් තරම් පහළ අයකට වැටී තිබිණි. ඔවුන් වින්ඩෝස් හා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා එක් නොවූයේ නම් නොකියා සමාගම නිසැකවම ඇදවැටෙන්නට පවා ඉඩ තිබිණි. නොකියා සමාගම ඇන්ඩ්‍රොයිඩ් සමග එක් වූයේ 2014 පෙබරවාරි මාසයේදී නොකියා එක්ස්දුරකතනය සමගිනි.
නෙක්සස් සහිත ටැබ්ලට් වර්ගයේ පරිගණකයක් 


ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනා දුරකතන වර්ග අතර ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ සැම්සුන්ග් ය. 2013 මාර්තුවන විට එය වෙළෙඳපළින් සියයට 64ක් අත්පත්කරගෙන තිබිණි. 2013 මැයි මාසය වන විට මිලියන 900ක් වූ ඇන්ඩ්‍රොයිඩ් උපකරණ වෙළෙඳ පලේ තිබුණු අතර ඇන්ඩ්‍රොයිඩ් වෙනුවෙන් වූ අතිරේක මෘදුකාංග බිලියන 48ක් තිබිණි.

ඉතිහාසය

ඇන්ඩ්‍රොයිඩ් සමාගම 2003 වසරේදී ඇන්ඩි රූබින්, රිච් මයිනර්, නික් සියර්ස් සහ ක්‍රිස් වයිට් විසින් කැලිෆෝර්නියාවේ පාලෝ ඇල්ටෝ හිදී ආරම්භ කරන ලදී. මෙම සමාගමේ බලාපොරොත්තුව වූයේ ඩිජිටල් කැමරා සඳහා මෙහෙයුම් පද්ධතියක් වර්ධණය කිරීමය. නමුත් කැමරා සඳහා ඇති වෙළෙඳ පළ එතරම් පුළුල් නොමැති බැව් තේරුම් ගැනීමෙන් පසු ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන සඳහා වූ සිම්බියන් සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති හා තරග කළ හැකි මෙහෙයුම් පද්ධතියක් වර්ධණය කරන්නට ඔවුහු තීරණය කළහ. ඒ වන විට ඇපල් සමාගමේ ජංගම දුරකතන වෙළෙඳ පළට ඉදිරිපත්කොට තිබුණේ නැත. නමුත් තමා වර්ධණය කරනා මෘදුකාංගය රහසක් වශයෙන් තබාගන්නට මොවුහු සෑම පියවරක්ම ගත්හ. ඔවුන් පවසා සිටියේ ජංගම දුරකතන සඳහා මෙහෙයුම් පද්ධතියක් වර්ධණය කරනා බව පමණකි. නමුත් සිය ව්‍යාපෘතිය සිදුකරගෙන යන අතරතුරදී ඔවුහු මූල්‍ය අර්බුදයකට මුහුණ පෑහ. මේ අවස්ථාවේදී පිහිට පැමිණියේ ගූගල් සමාගමය. 2005 අගෝස්තු 17 වැනිදා ගූගල් සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් මිලට ගනු ලැබිණි.

ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ ඉතිහාසය


ගූගල් සමාගමේදී රූබින්ගේ ප්‍රධානත්වයෙන් යුක්ත කණ්ඩායමක් විසින් ලිනක්ස් මත පදනම් වූ ජංගම දුරකතන සඳහා භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධතියක් වර්ධණය කළහ. මේ සමඟම මාධ්‍යවලින් ප්‍රචාරය වන්නට වූයේ ගූගල් සමාගම තමාගේම මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරතකතන මාදිලියක් හඳුන්වා දෙන්නට සැරසෙන බවය. 2007 නොවැම්බර් 5 වැනිදා එච්.ටී.සී, සෝනි, සැම්සුන්ග් යන දුරකතන නිෂ්පාදන සමාගම්, ස්ප්‍රින්ට් නෙක්ස්ටෙල් හා ටී-මොබයිල් යන සන්නිවේදන සමාගම් හා ක්වල්කොම් හා ටෙක්සාස් ඉන්ස්ටෘමන්ට් යන චිප් නිෂ්පාදන සමාගම්වල එකතුවෙන සැදි විවෘත ජංගම දුරකතන සන්ධානයඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සමඟ එක්වන්නට එකඟතාවය පළකළහ. මේ අනුව 2008 ඔක්තෝබර් 22 වැනිදා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ලොව ප්‍රථම ජංගම දුරකතනය එච්.ටී.සී. ඩ්‍රීම්නමින් වෙළෙඳ පළට නිකුත් කෙරිණි. ඉන් අනතුරුව මෙයට විවිධ යවත්කාලීනයන් සිදු කරනු ලැබූ අතර ඒ සියල්ල විවිධ ආහාර වර්ගවල නම්වලින් ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට අනුව නම් කෙරිණි. උදාහරණයක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් 1.5  යවත්කාලීනය කප්කේක්, 1.6 ඩෝනට්, 2.0 සහ 2.1 එක්ලෙයාර් ද, 2.2 ෆ්‍රොයෝ (මෙය frozen yogurt යන්න කෙටිකොට දැක්වීමකි) ද, 2.3 ජින්ජර්බ්‍රෙඩ් ද, 3.0, 3.1 හා 3.2 හනිකොම්බ් ද, 4.0 අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ද, 4.1, 4.2 හා 4.3 ජෙලි බීන් ද, 4.4 කිට්කැට් ලෙසින් ද නම් කෙරිණි.මෙහි 5 වැනි සංස්කරණය ‘ලොලිපොප්’ යනුවෙන් 2014 ජුනි 25 වැනිදා ගූගල් සමාගම මගින් හඳුන්වා දෙනු ලැබිණි. 2015 මැයි මාසයේදී ‘මාර්ෂ්මැලෝ නම් වූ මෙහි 6 වැනි සංස්කරණය පිළිබද අසන්නට ලැබුණු අතර එම වසරේම ඔක්තෝබර් මාසයේදී එය නිළ වශයෙන් නිකුත් කෙරිණි. මෙහි 7 වැනි සංස්කරණය ‘නුගා’ නමින් 2016 වසරේ අගෝස්තු - සැප්තැම්බර් මාසවලදී නිකුත් කරන්නට නියමිතය.

ඇන්ඩ්‍රොයිඩ් අළෙවිය 


ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුළත් කරමින් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන හා ටැබ්ලට් වර්ගයේ පරිගණක හඳුන්වා දුන් අතර ඒවා නෙක්සස්යනුවෙන් හඳුන්වනු ලබයි.

ජංගම දුරකතන සඳහා ස්ථාපනය කළ හැකි අමතර මෘදුකාංග අතුරින් වැඩිම ප්‍රමාණයක් වර්ධණය කොට ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහාය. 

(අවසන්වරට යාවත්කාලීන කළා - 2016-07-19)

උතුම් ගුණාංග සහිත සුනඛ ධේනුවක් - Story of Lilica, an amazing dog in Brazil


මහා බෝසතාණන් වහන්සේ වානර භවයක ඉපිද සිය අඳ මෑණියන් වෙනුවෙන් පලවැල නෙළා ගෙන එමින් ඇය ‍පෝෂණය කළ කතාවක් පන්සිය පනස් ජාතක ‍පොතෙහි දක්නට ලැබේ. එමෙන්ම උන් වහන්සේ ගිරා භවයක ඉපිද සිය අඳ මාපියන් වෙනුවෙන් දිනපතා වී කරල් රැගෙන පැමිණි කතාවක් ද අපි අසා ඇත්තෙමු. සතුන් විසින් මෙවැනි උතුම් ක්‍රියාවන් සිදු කෙරෙන්නේ පන්සිය පනස් ජාතක ‍පොතෙහි පමණක්දැයි ඇතැම් විට යමෙකුට සිතෙන්නට බැරි නැත. නමුත් මෑතකදී අසන්නට ලැබුණු එක් අපූරු කතාවකින් අපට පසක් වන්නේ එවැනි දේ වර්තමානයේ ද සිදුවන බවකි. එමෙන්ම පන්සිය පනස් ජාතක ‍පොතෙහි ඇති එවැනි කතන්දර, සිදු නොවිය හැකි හුදෙක් සාහිත්‍ය රසයකින් පිරුණු ඒවා පමණක්ම නොවන බවය.

අපගේ කතානායිකාව සුනඛ ධේනුවකි. ඇගේ නම ලිලීකා වන අතර ජීවත් වන්නේ බ්‍රසීලයේ සාඕ ‍පෝලෝ හි වාහන සුන්බුන් ගොඩගසා ඇති බිමකය. ඇය එහි ජීවත් වන්නේ තනිව නොවේ. ඇය සමග තවත් සුනඛයකු, බළලකු, කිකිළියක් හා කුකුල් පැටවුන් මෙන්ම කොටළුවෙක් ද සිටී. කුඩා කාලයේ මහමග දඩාවතේ යමින් සිටියදී ලිලීකා පිළිබඳ ආදරයෙන් ඇයව හදාවඩා ගත් නේ‍ලේ වැනියා අන්තෝනියෝ ද ඔවුන් සමග ජීවත් වෙයි. ලිලීකා සිය පවුලට බෙහෙවින්ම ආදරය කරන්නීය. කෙතරම් ආදරේදැයි කිවහොත් ඇය සෑම රාත්‍රියකදීම ඔවුන් වෙනුවෙන් කෑම රැගෙන එන්නට ද අමතක නොකරයි. ඇගේ කතාවේ අපූරුතම සිදුවීම එයයි.




තමා සහ සිය පවු‍ලේ සාමාජිකයන් වෙනුවෙන්ම විශේෂයෙන් පිළියෙළ කරන ලද මෙම ආහාර පාර්සලය රැගෙන එන්නට ඇය සෑම දිනකම රාත්‍රියේ සැතපුම් දෙකක දුරක් ගමන් කරයි. ඇය මේ වන විට වසර තුනක් පමණ කාලයක් තිස්සේ මේ පුරුද්ද සිදුකරගෙන එන්නීය.

ලිලීකා සෑම රාත්‍රියකම සැතපුම් දෙකක් දුරක් ගෙවමින් පැමිණෙන්නේ ලුසියා හෙ‍ලේනා ඩී සවුසා නම් මහාචාර්යවරියගේ නිවසටය. ඇය සතුන් කෙරෙහි අපමණ වූ ස්නේහයකින් යුක්ත කාන්තාවකි. ඇය දඩාවතේ හැසිරෙන බල්ලන් දහදෙනකු හා බළලුන් තිස්දෙනෙකු සිය නිවසේ හදාවඩා ගන්නීය. ඇය මේ සතුන් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රියේ ආහාර පිළියෙළ කරයි. ඇගෙන් ලැබෙන ආහාර පාර්සලය රැගෙන එන්නට සෑම රාත්‍රියකම ලිලීකා සැතපුම් දෙකක දුරක් ගමන් කරයි. ලුසියා මහාචාර්යවරිය ලිලීකා වෙනුවෙන් වෙන්කරන ලද ආහාර වෙනම පාර්සලයකට දමයි. ඉන් පසුව ඇය මහමග එක් ස්ථානයකට පැමිණෙයි. ලිලීකා රාත්‍රී නවයයි තිහට පමණ වන විට එතැනට පැමිණෙන්නට පුරුදුව සිටී. එතැනදී සිදුවන ඔවුන්ගේ හමුවේදී ලිලීකා එයින් කෑම සුළු ප්‍රමාණයක් භුක්ති විඳ ඉතිරි කොටස කුසගින්නේ සිටිනා සිය පවු‍ලේ සෙසු සාමාජිකයන් සඳහා රැගෙන එයි.





ලිලීකා මෙම ආහාර පාර්සලය රැගෙන එන්නේ ද ඉතා පරිස්සමිනි. ලිලීකා කුඩා කල සිට හදාවඩාගත් නේ‍ලේ පවසන්නේ ඇය මේ වන විට වසර තුනක පමණ කාලයක් තිස්සේ මෙම පුරුද්දෙහි නිරත වන බවය.

''ලිලීකා කියන්නේ අපූරු, පුදුමාකාර සතෙක්. හුඟක් මිනිස්සු ළඟවත් සමහර වෙලාවට මේ වගේ පුරුදු නැහැ. තමන් ළඟ තියෙන දෙයක් වෙන අයත් එක්ක බෙදාහදාගන්නා පුරුද්දක් අද කා‍ලේ මිනිසුන් ළඟවත් නැහැ. ඒත් ලිලීකා එහෙම කෙනෙක් ‍නෙවෙයි''.

සැබැවින්ම ලිලීකා යනු තිරිසනකු වුව ද ඇය අපට මිත්‍රත්වය. ආදරය, කරුණාව, කැපවීම ආදිය පිළිබඳ පාඩම් කියා දෙයි. ඒ සියල්ලටම වඩා මිනිසුන්ගෙන් තුරන්ව යන මිනිසත් බව මිනිසුන්ට මතක් කරදීම පිළිබඳ අප අපගේ මනුෂ්‍යත්වයෙන් නාමයෙන් ඇයට ණය ගැති විය යුතුය.


මෙහි වීඩියෝ දර්ශනය මෙතැනින් බලන්න.


Saturday, June 28, 2014

මාතාහාරි, හමුදාවේ කනින් රිංගා හමුදාවෙන්ම වෙඩි කෑ ඔත්තුකාරිය - Matahari, the Universal Honey Trap and Spy

මාතා හාරි තනපටකින් හා හිස් ආභරණවලින් පමණක් සැරසී පෙනී සිට මෙම ඡායාරපය 1906 දී ගනු ලැබූවකි



මානව පරිණාමයේ ආරම්භයේ සිටම මිනිසුන් අතර යුද්ධ ඇතිවිය. විවිධ හේතු නිසා ඇතිවන මෙම ගැටුම් අද දක්වාම නොනැවතී සිදුවෙයි. යුද්ධයකදී සිය විරුද්ධ පාර්ශ්වය පිළිබඳ හැකිතාක් තොරතුරු ලබාගැන්ම තුළින් එය ජයග්‍රහණය කරන්නට හැකි බැව් අනාදිමත් කාලවක් සිටම මිනිසා දැන සිටියේය. වසර 12 ක කාලයක් පැවති පැවති රාම - රාවණා යුද්ධයේදී රාවණගේ සොයුරකු වූ විභීෂණ  රාම හට රහස් ඔත්තු ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස රාම යුද්ධයෙන් ජයග්‍රහණය කළේය. මෙවැනි යුධ ඔත්තුකරුවන් ඉතිහාසය මුළුල්ලේම අසීමිත ලෙස අපට හමුවේ. අප දැන් කතා කරන්නට සූදානම් වන්නේද මෙසේ යුධ රහස් විවිධ පාර්ශ්වයන් අතට ලබාදුන් යුධ ඔත්තුකාරියක පිළිබඳවය. ඇය ඉතිහාසයේ හමුවන අනෙක් සියලු ඔත්තුකරුවන් හා කාරියන්ගේ වෙනස් බැව් පැහැදිලිවම පෙනේ. ඇය වෙනුවෙන් පොතපත ලියැවීම, සිනමා නිර්මාණ බිහිවීම ඊට හේතුවයි. ඇයට පමණක් සුවිශේෂී වූ මෙම තත්වය කුමක්ද? මේ ලිපිය ලියැවෙන්නේ ඒ කුමක්දැයි සොයා බලා ඔබට පැවසීම සඳහාය. 

මාතා හාරිගේ මෙම සේයාරුව 1909 දී ගනු ලැබූවකි 


ඇගේ කතාව 

මාගරීටා ගීර්ට්‍රියුඩා සෙල්ලේ වර්ෂ 1876 අගෝස්තු 15 වැනිදා නෙදර්ලන්තයේ, ෆ්‍රීස්ලන්ඩ් හි ලීයුවෝර්ඩන් හි දරුවන් සතර දෙනෙකුගෙන් යුක්ත පවුලක වැඩිමහළු දරුවා ලෙස උපත ලැබුවාය. ඇගේ පියා ඇඩම් සෙල්ලේ වූ අකර මව ඇන්ට්ජේ වෑන් ඩර් මෙවුලෙන් වූවාය. ඇයට සහෝදරයෝ තිදෙනෙකි. ඇගේ පියා සතුව හිස්වැසුම් වෙළෙඳසළක් තිබුණු අතර ඔහු තෙල් කර්මාන්තය තුළ මුදල් ආයෝජනය කිරීමෙන් ඉහළ ආදායමක් ලබාගත්තේය. මේ හේතුවෙන් මාගරීටාගේ ළමා කාලය අතිශය සුඛෝපභෝගී ලෙස ගෙවන්නට ඇයට වාසනාව ලැබිණි. ඇය 13 හැවිරිදි විය දක්වාම ඇයටම වෙන්වූ පාසලක ඉගෙනුම ලැබුවාය. 

කෙසේමුත් 1889දී මාගරීටාගේ පියා බංකොලොත් වූ අතර වැඩිකලක් යන්නට මත්තෙන් ඇගි දෙමාපියෝ දික්කසාද වූහ. ඇගේ මව 1891 දී මිය ගියේය. ඇගේ පියා 1893 පෙබරවාරි 9 වැනිදා සුසානා කැතරිනා ටෙන් හූවේ සමඟ ඇම්ස්ටර්ඩෑම් හිදී යළි විවාහපත් වූයේය. ඔවුනට දරුවන් නොසිටියෙන් එව විවාහය වැඩිකල් නොපැවතියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මාගරීටා ස්නීක් හි සිටි සිය භාරකාර පියා වූ විසර්  සමග ජීවිත්වන්නට පටන්ගත්තාය. ඇය ළදරු පාසල් ගුරුවරියක වන්නට ඉගෙනුම ලැබුවද  විදුහල්පතිවරයා ඇය සමග ඇඟෑලුම්කම්පාන්නට පටන්ගැනීම නිසා ඇගේ භාරකාර පියා විසින් ඇය පාසලින් ඉවත්කර ගනු ලැබිණි. ඉන් මාස කිහිපයකට පසු ඇය හේග් හි සිටි සිය මාමා ගේ නිවසට පළා ගියාය. 

1906 දී මාතා හාරි පෙනී සිටි තැපැල් පතක් 

ලන්දේසි ජාතික යටත් විජිත හමුදා කපිතාන්වරයකු වූ රුඩොල්ෆ් මැක්ලියොඩ්  පුවත්පතක පළකාෙට තිබූ මංගල දැන්වීමක් මාගරීටා දුටුවාය. හමුදා කපිතාන්වරයා ඒ වන විට සිටියේ එවකට ලන්දේසි පෙරදිග ඉන්දියාව හෙවත් වරිතමාන ඉන්දුනීසියාවේය. ඇය මෙම දැන්වීමට පිළිතුරු යැව්වාය. එහි ප්‍රතිඵලයක් ලෙස 1895 ජූලි 11 වැනිදා මාගාරීටා හා රුඩොල්ෆ් අතර විවාහය සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ලන්දේසි ඉහළ පැලැන්තිය සමග සබඳතා ගොඩනගාගන්නට හැකියාව ලැබිණි. ඔවුන් දෙනොට නොර්මන් - ජෝන් මැක්ලීඩ් හා ලුවී ජියාන් මැක්ලියොඩ් යනුවෙන් දරුවන් දෙනෙකු ලැබිණි. 

නෙදර්ලන්තයේ ලියුවෝර්ඩන් හි ඉදිකොට ඇති ඇගේ ප්‍රතිමාව 

මෙම විවාහයට එතරම් ආයුෂ තිබුණේ නැත. මැක්ලියොඩ් මත්පැන්වලට තදින්ම ඇබ්බැහි වූවෙක් විය. තමාට උසස්වීම් නොලැබීමේ වරද ඔහු නිතර පැටවූයේ තමාට වඩා වසර විසි ගණනකින් ලාබාල සිය බිරිඳ මතය. එවකට ඉන්දුනීසියාවේ එක් කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කරගැනීම සමාජ චාරිත්‍රයක්ව තිබුණු  බැවින් ඔහු ප්‍රසිද්ධියේම තවත් කාන්තාවන් කිහිප දෙනෙකුම ඇසුරු කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ මාගරීටා වෙනත් හමුදා නිලධාරියකු වූ වෑන් රීඩ්ස් සමග ජීවත්වන්නට පටන්ගැනීමය. මාස කිහිපයක් ඇතුළත ඉන්දුනීසියානු සම්ප්‍රදායයන් හොඳින් හැදෑරූ ඇය එහි දේශීය නැටුම් සමාගමකට සම්බන්ධ වූවාය. වර්ධ 1897 දී ඇය කලා ලෝකයට අලුත් නමකින් අවතීර්ණ වූවාය. එය මාතා හාරිවිය. ඉන්දුනීසියානු බසින් එහි අර්ථය වූයේ දවසේ ඇසහෙවත් සූර්යයාවිය.

 
මැක්ලොයිඩ්ගේ දැඩි ඉල්ලීම පිට ඇය යළිත් ඔහු වෙත ගියද ඔහුගේ දඩබ්බර හිසැරීම්වල වෙනසක් වූයේ නැත. 1899 දී ඔවුන්ගේ 0දරුවන් දෙදෙනාම දැඩිලෙස රෝගාතුර වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නොර්මන් මිය ගියේය. එක් දූෂමාන ආරංචියකින් පැවසුණේ දරුවන් දෙදෙනා මර දමන්නට ඔවුනගේ සතුරකු වසදුන් බවයි. මෙයින් පසු ඔවුහු යළි නෙදර්ලන්තයේ පදිංචියට ගිය අතර 1902 රුඩොල්ෆ් ඇගෙන් වෙන්ව ජීවත් වන්නට පටන් ගත්තේය. ඔහු ජියාන් තමාගේ භාරකාරත්වයට ගත්තේය. ඔවුහු 1907 දී දික්කසාද වූහ. 


1903 දී මාගරීටා ප්‍රංශයට ගියාය. ඇය එහිදී සර්කස් කණ්ඩායමකට බැඳුණාය. මුදල්වල අවශ්‍යතාවය තිබූ බැවින් ඇය සිතුවම් ශිල්පීන්ගේ නිර්මාණ සඳහා පෙනී සිටින්නට ද පටන් ගත්තාය. 

වර්ෂ 1905 වනවිට ඇය ඇය නර්ථන ශිල්පිනියක් ලෙස ජනප්‍රියත්වයට පත්වන්නට විය. මුල්කාලීන න්ර්ථන ව්‍යාපාරයන්හි පුරෝගාමීන් වූ ඉසදෝරා ඩන්ක්න් හා සාන්ත ඩෙනිස් ඇගේ සමකාලීනයන් විය. සිය සිරුර විදහා දක්වමින් නර්ථනයෙහි නිරත වූ ඇය 1905 මාර්තු 13 වැනිදා ගිමෙට් කෞතුකාගාරයේ ඉදිරිපත් කළ නර්ථනයෙන් එක් රැයකින් ජනප්‍රියත්වයට පත් වූවාය.  මෙහි ප්‍රතිඵලය වූයේ මෙම කෞතුකාගාරයේ නිර්මාතෘ වූ කෝටිපති ව්‍යාපාරික එමිලි ටියෙන් ගිමෙට් ගේ දීර්ඝකාලීන ආර්යාව බවට පත්වීමය. මේ සමයේදී ඇය නිරුවත් හෝ අඩනිරුවත් හෝ ඡායාරූප අනන්ත ප්‍රමාණයකට පෙනී සිටියාය. දරුවා සිය භාරයට ඉල්ලමින් සිටි මාතා හාරි ට එම අවස්ථාව හිමි නොවුණේ මැක්ලොයිඩ් මෙම ඡායාරූප ලබාගෙන එය තම නඩු සඳහා ඉදිරිපත් කළ නිසාය. 

ඇය නර්ථනයේදී ද ඇඳුම් උනා දැමීම ජනප්‍රිය අංගයක් විය. අවසානයේදී ඇය මැණික් ඇමුණූ  තනපටකින් සහ හිසේ හා අත්වල ආභරණ පමණක් පළඳා නර්ථනයෙහි යෙදෙන්නට පටන් ගත්තාය එම නර්ථනය අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඇය තනපට ද ඉවත්කරන්නට කැමැත්තෙන් පසුවූවද එයට බාධාවක් වූයේ සිය පියයුරු ප්‍රමාණයෙන් කුඩා වූ නිසා බැව් පැවසේ. ඇය නර්ථන යේදී ඇඳුම් සඳහා යොදා ගත්තේ ද හැකිතාක් සිය සිරුරේ පැහැයට සමාන වූ වර්ණයෙන්ගෙන් යුක්ත ඒවාය.  පැරීසයෙන් ආරම්භ කළ ඇගේ මෙම නර්ථන ජීවිතය කෙමෙන් ලොව පුරාම ජනප්‍රියත්වයට පත්විය. අනෙක ඇය සිය නර්ථනය අතරතුරේදී පැවසූ කතාවලින් කියැවුණේ තමා ලන්දේසි ජාතික කාන්තාවක් නොවන බවය. සියලු දෙනා සිතුවේ ඇය ඉන්දුනීසියානු කාන්තාවක් ලෙසිනි. ඇගේ ජනප්‍රියත්වය නිසා ඇයට පැරීසියේ ප්‍රභූවරුන්ව ඇසුරු කරන්නට ද අවස්ථාව හිමි විය. 

නෙදර්ලන්තයේ ලියුවෝර්ඩන් හි පිහිටි ෆ්‍රිසියාන් කෞතුකාගාරයේ තැන්පත්කොට ඇති ඇගේ පින්තූර පොත. 

1901 වන විට විචාරකයන් පවසන්නට පටන් ගත්තේ ඇය සිය සිරුර ප්‍රදර්ශනය කරනවා විනා නර්ථනය පිළිබඳ දැනුමක් නැත්තියක් ලෙසය. 1912න් පසු ඇගේ නර්ථන වෘත්තිය කෙමෙන් පරිහාණියට පත්වන්නට පටන්ගත්තේය. ඇය කෙමෙන් අභිසිරුලියක්ගේ තත්වයට කෙමෙන් පත්වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට බොහෝ රටවල උසස් හමුදා නිලධාරීන්, දේශපාලඥයින් හා වෙනත් බලවක් පුද්ගලයන්ගේ ඇසුර හිමිවිය. ඇතැම් පුද්ගලයන් ඇයව අන්තර්ජාතික දේශසීමාවන් හරහා නිරුපද්‍රිතව රැගෙන ගියේය. පළමු ලෝක යුද්ධයට පෙර ඇය හුදෙක් නාටිකාංගනාවක් ලෙස පමණක් ජනප්‍රියව සිටියද, යුද්ධය එළැඹීමත් සමග ඇගේ භූමිකාව වඩාත් භයානක පැත්තකට යොමුවන්නට විය. 

මාතා හාරි රංගනයක් ඉදිරිපත් කරමින - 1905 

පළමු ලෝක යුද්ධයේ දී නෙදර්ලන්තය කිසිදු පාර්ශවයක් නොගත් රටක් ලෙස සිටියේය. නෙද්ර්ලන්ත අනන්‍යතාවයක් සහිතව මාගරීටා සෙල්ලේ නමින් ඇය ඉතා පහසුවෙන් ජාතික දේශසීමාවන් තරණය කළාය. යුධ කලාප මඟ හැරීම සඳහා ඇය ප්‍රංශය හා නෙදර්ලන්තය අතර ගමන් කළේ ස්පාඤ්ඤය හා මහා බ්‍රිතාන්‍යය හරහාය. ඇගේ මෙම ගමන් බිමන් බ්‍රිතාන්‍යයේ අවධානයට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යය හමුදා ඇය අත්අඩංගවට ගෙන දැඩිලෙස ප්‍රශ්න කිරීම්වලට බඳුන් කළේය. ඇය ප්‍රංශය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ළවිය. සිර අඩස්සියේ රඳවාගෙන් සිටි ඇය පසුව නිදහස් කෙරිණි. මෙම සිද්ධිය පිළිබඳ තවමත් නොවිසඳුණු ගැටළුවක් වන්නේ අය මේ අවස්ථාවේදී අසත්‍යයක් ප්‍රකාශ කළේද නැතහොත් ප්‍රංශ බලධාරීන් සැබැවින්ම ඇයව ඔත්තු සේවය සඳහා යොදාගත්තේ ද යන්නය. 

1917 දී මැඩ්රිඩ් හි පිහිටි ජර්මානු හමුදා කණ්ඩයක් මගින් සිය බර්ලිනයට සිය හමුදා ඔත්තුකරුවක පිළිබඳ කේත මගින් පණිවිඩ යැවිණි. එම කේත නාමය වූයේ එච් 21 විය. ප්‍රංශ බුද්ධි අංශ මගින් මෙය විකේතනය කළ අතර එහිදී ඔවුන් හඳුනාගත්තේ එච් 21 යනු අන් කිසිවකු නොව මාතා හාරි බවය. ජර්මානුවන් මෙම පණිවිඩය සම්ප්‍රේෂණය කළේ ප්‍රංශය විසින් මෙය විකතේනය කරනා බැව් හොඳාකාරවම දැනගෙන බැව් ද ඇතැම් තොරතුරුවලින් හෙළිවේ. සැබැවින්ම මෙය විකේතනය කොට තිබුණේද ප්‍රංශය මගින් නොව බ්‍රිතාන්‍ය බුද්ධි අංශය මගිනි. 

මාතා හාරි පිළිබඳ නිර්මාණය වුණු සිනමා නිර්මාණ

මාතා හාරි පිළිබඳ නිර්මාණය වුණු සිනමා නිර්මාණ

1917 පෙබරවාරි 13 වැනිදා පැරීසියේ එලිසේ පැලස් හෝටලයේ සිය කුටියේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබිණි. ජූලි 24 වැනිදා නඩු විභාගයකට ඇයව බඳුන් කළ අතර ජර්මනියට පක්ෂපාතිය ඔත්තුබැලූ බවටත්, එහි ප්‍රතිඵලයක් ලෙස හමුදා සෙබලුන් 50,000 කගේ මරණය සිදුවූ බවටක් චෝදනා එල්ළවිය. ප්‍රංශයත් මහා බ්‍රිතාන්‍යයත් ඇයට එරෙහිව මෙම චෝදනා එල්ළ කළ ද, ඇයට එරෙහිව පැහැදිලි හා ප්‍රබල සාක්ෂි එකතු කරගන්නට ඔවුනට නොහැකි විය. සොයා ගත් එක් සාක්ෂියක් වූයේ ඇගේ කුටියේ තිබූ රහස් තීන්ත වර්ගයකි. එවැනි තීන්ත වර්ගයක් ළඟ තබාගැනීම එම සමයේදී චෝදනාවකට හසුකරගන්නට ප්‍රමාණවක් විය. ඇය පැවසූයේ එය සිය රූපලාවන්‍ය උපකරණවලය අයත්වූවක් බවය. ඇය පැරීසියේ තිබූ ලන්දේසි කොන්සල්වරයාට ලිපි කිහිපයක්ම යැව්වාය. ඇය එම සෑම ලිපියකම සඳහන් කළේ තමා අහිංසක බවය.


මගේ ජාත්‍යන්තර සබඳතා මගේ නර්ථන කටයුතු සඳහා මිස අන්කිසිවක් සඳහා නොවේ. මම සැබැවින්ම කිසිවකු සඳහා ඔත්තු නොබැලූ නිසා මා වෙනුවෙන් කතා කරන්නට කිසිවකු ද නැත. 

එක් ලිපියන එසේ සඳහන්ව තිබිණි. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට ද ඇය වෙනුවෙන් කළහැකි යමක් ඉතිරිව තිබුණේ නැත. නඩුතීන්දුව ලැබුණේ ඇයට එරෙහිවය. ඇය 41 වැනි වියෙහි පසුවද්දී, 1917 ඔක්තෝබර් 15 වැනිදා ඇය වෙඩි තබා මරා දැමිණි. 

මාතා හාරි ට වෙඩි තබා මරා දමන්නට මොහොතකට පෙර අවස්ථාව සිනමාපටයක දැක්වෙන අයුරු 

කෙසේමුත් 1970 දශකයේදී ප්‍රසිද්ධියට පත්කරන ලද ජර්මානු ලියකියවිලි කිහිපයකින් හෙළිවූයේ මාතා හාරි යනු සැබවින්ම ජර්මානු ඔත්තුකාරියක බවය. ඇයට ලබාදී තිබූ කේතය එච් 21 බවද ඒවායේ සඳහන්ව තිබිණි. 

1916 දී ප්‍රංශයට හමුවූ බෙල්ජියානු ජාතික ඔත්තුකරුවන් හය දෙනෙකුගෙන් පස්දෙනෙකුව පවසා සිටියේ මාතා හාරි ජර්මනිය වෙනුවෙන් ඔත්තු බැලූ බවය. නමුත් එක් ඔත්තකරුවකු පැවසූයේ ඇය ජර්මනිය හා ප්‍රංශය යන රටවල් දෙක සඳහාම ඔත්තු බැලීමේ නිරත වූ බවය. 

මාතා හාරිගේ සිරුර කිසිදු පවුලේ සාමාජිකයකු භාරගන්නට ඉදිරිපත් වූයේ නැත. එය වෛද්‍ය විද්‍යාලයක අධ්‍යයන කටයුතු සඳහා භාරදුන් බව පැවසේ. ඇයගේ හිස බෙහෙත් ගල්වා පැරීසියේ කාය විච්ඡේද කෞතුකාගාරයේ තැන්පත්කොට තිබූ මුත්, වසර 2000 දී එහි රාජ්‍ය ලේඛනාරක්ෂකයින් සොයාගනු ලැබූ දෙයක් වූයේ ඇයගේ හිස එයින් අතුරුදහන්වී ඇති බවය. ඔවුන් සඳහන් කරන පරිදි එය සිදුවන්නට ඇත්තේ මෙම කෞතුකාගාරය වෙනත් ස්ථානයකට සිට මෙම ස්ථානයට ගෙන ආ 1954 තරම් ඈත කාලයේදීය.  1918 දාතමින් යුත් ලිපි ලේඛනවලින් හෙළිවන්නේ ඇගේ සිරුරේ ඉතිරිකොටස් ද මෙම කෞතුකාගාරයට ලැබී ඇති මුත් ඒ කිසිවක් අද සොයාගන්නට නැත. 



නිව්යෝර්කර් පුවත්පත 1934 දී පළ කළ ලිපියක දැක්වෙන්නේ ඇයට වෙඩිතබා මරාදමන අවස්ථාවේ, ඇය ඊටම ගැළපෙන නව ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි බවය. ඇය මේ වෙනුවෙන් අලුත්ම සුදු පැහැ අත්මේස් කුට්ටමක් ද පැළඳ සිට ඇත. නමුත් ඒ අවස්ථාවේ ගනු ලැබූ ඇගේ ඡායාරූපය සමග එම විස්තරය සැසඳෙන්නේ නැත. බ්‍රිතාන්‍ය ජාතික වාර්තාකරුවකු වූ හෙන්රි වේල්ස් මෙම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අයෙකි. ඔහු ඒ පිළිබඳ මෙසේ විස්තර කරයි. 

ඇය ඇස් බඳිනවාට කැමති වුණේ නැහැ. ඇය දෙසට වෙඩි වරුසාව එල්ළවද්දී ඇය සෙමින් දණහිසෙන් බිම ඉඳගත්තා. ඇගේ හිස නිතරම කෙළින් තබාගන්නට ඇය උත්සාහ කළා. ඇගේ මුහුණේ හැඟීම්වල කිසිදු වෙනසක් සිදුවූයේ නැහැ. ඇය තමාට වෙඩි තැබූ අය දෙස බලාගෙන මඳවේලාවක් සිටියා. ඉන්පසුව ඇගේ ඉගටිනේ පිටුපසට දෙසට ඇය ඇදවැටුණා. ඇගේ දෙපා එකිනෙක පැටළී තිබුණා. මේ අවස්ථාවේදී අධිකාරිය නොළත් නිලධාරියකු එතැනට ඇවිද ගොස් තමන්ගේ රිවෝල්වරයෙන් ඇගේ හිසට වෙඩි තැබුවා. ඒ ඇය මියගිය බව තහවුරු කරගන්නටයි.” 

නෙදර්ලන්තයේ ලීයූවොර්ඩන් හි පිහිටි ෆ්‍රයිස් කෞතුකාගාරයේ මාතා හාරිනමින් කුටියක් තිබේ. එහි ඇත්තේ ඇගේ පෞද්ගලික පින්තූර පොතක් හා ඇගේ නර්ථන ඉරියව්වක් එම්බ්‍රොයිඩර් කරන ලද පළසකි. 
රටවල් දෙකක් වෙනුවෙන් එකවර ඔත්තුබැලූ මෙම ඔත්තුකාරියගේ ජීවිත කතාව බොහෝ සාහිත්‍ය නිර්මාණවලට පසුබිම සකසා තිබේ. සිනමා නිර්මාණ ඒ අතර සුවිශේෂය. අඩුම තරමේ ඇගේ කතාව සිනමාවට නැගූ අවස්ථා පහක් වාර්තා වේ. ඇයගේ කතාව අඩංගු නවකතා තුනකි. සංගීත නිර්මාණ හතරකි. 

යුධ ඔත්තුකාරියක වුවද මේ අපූරු නළඟන ලෝක ඉතිහාසය තුළ මේ සා සුවිශේෂී චරිතයක් බවට පත්වූයේ මේ අයුරිනි.




Friday, June 27, 2014

සාක්ෂි මෙතරම් තිබියදීත් තවමත් විසඳී නැති ගම්පොළ නදීෂාගේ ඝාතන අභිරහස - Unsolved Murder case of Gampola Nadeesha



දිනපතා පුවත්පතක් ගෙන බැලුවහොත් ඒවායේ ඇති ප්‍රවෘත්ති අතර අපරාධයන් සමබන්ධ ඒවා ද කිහිපයක්ම වෙයි. මේවා අතුරින් ස්ත්‍රී ඝාතන පිළිබඳ ප්‍රවෘත්ති අපට නිතර අසන්නට ලැබේ. ඇල්පිටියේ සරසවි සිසුවියගේ ඝාතනය, මාතලේ වරාපිටියේ උපාධිධාරිනියගේ ඝාතනය, අනියම් ඇසුරක් නිසා ගම්පොළදී සිදුවූ ස්ත්‍රී ඝාතනය අපට මෑතකදී අසන්නට ලැබුණු මෙවැනි අපරාධ කිහිපයක් ලෙස සඳහන් කළ හැකිය. මේ අතුරින් පසුගිය මැයි 25 වැනිදා සිදුවූ මාතලේ වරාපිටියේ උපාධිධාරිනියක වන ලලනි නදීෂා වරාපිටිය නම් තරුණියගේ ඝාතනය සෙසු ඒවාට වඩා ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබේ.

ස්ත්‍රී ඝාතන අපරාධ සම්බන්ධව සැළකිලිමත්වීමේදී අපට පැහැදිලිව දකින්නට ලැබෙන කාරණා කිහිපයක් ම වේ.  මෙයින් එකක් වන්නේ ඝාතනය වන අවස්ථාවේ ඇය සිටි පසුබිමයි. මෙවැනි බොහෝ අවස්ථාවලදී ස්ත්‍රීන් පසු වී ඇත්තේ අනාරක්ෂිත වටපිටාවකය. නමුත් නදීෂාගේ ඝාතනය පිළිබඳ සළකා බැලීමේදී මෙම තත්වය ඊට හාත්පසින්ම වෙනස් බැව් පැහැදිලිවම දක්නට ලැබේ. කුමනාකාරයෙන් සළකා බැලුව ද ඇය ඝාතනය වන්නේ සියලු ආකාරයෙන්ම ආරක්ෂිත පසුබිමකය. ඒවා අපට මෙසේ පෙළගැස්විය හැකිය.

1. ඝාතනයට පෙරදා, එනම් මැයි 24 වැනිදා ඇය සිටින්නේ සිය නිවසේ, කාමරයේ සිය මව සමගිනි.
2. මව නිදා සිටින්නේ අයට යාබද යහනේය.
3. නිවසේ සිටින්නේ ඇයත් මවත් පමණක් නොවේ.
3. නිවසේ සාලයේ ඇගේ වැඩිමල් සොයුරකු සහ ඔහුගේ මිතුරකු නිදාගෙන සිටියි.
4. සාලයේ නිදා සිටි සොයුරාගේ බිරිඳ සහ දරුවා ස්තෝප්පු කාමරයේ නිදාගෙන සිටියි.
5. මැයි 24 වැනිදා නදීෂාගේ නිවස හෙවත් වරාපිටිය වලව්වේ විවාහ මංගල්‍යයක් පැවැත්වූ දිනයක් වූ අතර, විවාහ වූ නව යුවල ද තවත් කාමරයක නිදා සිටියි. එදින විවාහ වූයේ ඇගේ වැඩිමහල් සොයුරා ය.
6. නදීෂාගේ ලොකු අම්මා ද මෙදින නිවසේ සිටි බව කියවෙතත් ඇය නිදා සිටායේ කොහි දැයි පැහැදිලි නැත.

මේ අනුව ඇය අභිරහස් ලෙස ඝාතනයට ලක්වන්නේ තමාගේ සමීපතම පුද්ගලයන් අටදෙනෙකු සිටින නිවසක් තුළය. මේ ලිපිය ලියන මොහොතවන විට එක් ප්‍රවෘත්තියකින් පැවසුනේ මෙම ඝාතන සිදුවීම සම්බන්ධව එක් සොයුරකුගෙන් පොලීසිය ප්‍රශ්න කොට ඇති බවය. නමුත් ඝාතකයා තවමත් හඳුනාගෙන නැත. මෙම ඝාතනය සම්බන්ධව සොයා බැලීමේදී මෙය සැළසුම් කළ ආකාරය පිළබඳව ද කරුණු කිහිපයක්ම සළකාබැලිය හැකිය.

1. මෙම ඝාතනය සඳහා ඉහත සඳහන් පිරිසට අමතරව පිටතින් යම්කිසි පුද්ගලයකු පැමිණියේද?

ලැබී ඇති සක්ෂාවලට අනුව එදින විවාහ වූ වැඩිමහල් සොයුරා පවසන්නේ රාත්‍රී 10.50 ට පමණ නිවසේ දොරගුලු දැමූ බවය. මෙම වළව්ව පැරණි බැවින් ඇතැම් ස්ථානවල ජනෙල් අබලන් තත්වයේ ඇති බැව් දැනගන්නට ලැබේ. එවැනි ස්ථානයකින් යම්කිසි පිටස්තර පුද්ගලයකුට පහසුවෙන්ම වළව්වට ඇතුළුවීමේ හැකියාව තිබේ.

2. මෙය පූර්ව සැළසුමකට අනුව කළ සැළසුම් සහගත කාරණයක්ද

මෙවැන්නක් පිළිබඳ සැක පහළ වන්නේ මෙය සිදුකොට ඇති සුක්ෂම ආකාරය නිසාය. ඝාතකයා, තමා හඳුනාගැනීමට ඇති සියලු සාධක හැකිතාක් අවම කෙට ඇති බැව් පෙනෙන්ට තිබේ. මෙවැන්නක් කළ හැකිකේ බොහෝ විට අපරාධ පිළිබඳව දැනුමක් ඇති, ඒ සම්බන්ධව අත්දැකීම ඇති අයකුට පමණි.

3. පවුලේ සමීපතයන් කිහිප දෙනෙකු නිවාස් සිටි බැවින් රාත්‍රියේ කුමක් හෝ කාරණයක් නිසා පිරිස අතර ඇතිවූ බහින්බස්වීමක ප්‍රතිඵලයක් ලෙස හදිසියේ සිදුවූ ඝාතනයක් ලෙස ද යමෙකුට මේ පිළිබඳව සැක පහළ කරන්නට පුලුවන. නමුත් මෙම ඝාතනය පිළිබඳ කරුණු වසාදැමීම සඳහා ඉතා සූක්ෂම පියවරයන් අනුගමනය කොට ඇති බව පෙනෙන්ට තිබේ. එහෙත් නිවසේ සාමාජිකයන් අතර එවැනි ඝාතකයෙක් සිටි බවට දැනට හෙළිවී නැත. නිවසේ සිටි යම් අයකු මෙම ඝාතනය සිදු කළේ නම් මෙය මෙතරම් සුක්ෂම ආකාරයෙන් වසන් කරන්නට ඔහුට ඇති හැකියාව කොතෙක්ද?

මෙම ඝාතනය පිළිබඳ කරුණු සෙවීමේදී හමු වූ සුවිශේෂීතම එකක් වන්නේ  නදීෂා පුරුද්දක් ලෙස සිය කොට්ටය යටින් කුඩා පිහියක් තබාගැනීමය. සාමාන්‍යයෙන් පිරිමියකු තම අත පොවන මායිමේ යම්කිසි අවියක් තබාගෙන නින්දට යාම පිළිබඳ අසා ඇති මුත් තරුණියක එසේ කිරීම පිළිබඳ යම් සැකයක් මතුවේ. ඇය එසේ කරන්නට ඇත්තේ තමාට යම්කිසි අනතුරක සේයාවක් පිළිබඳ ඉව වැටී තිබුණු නිසා ද යන සැකය  මෙහිදී පහළ වේ.

ඇයගේ මරණය සිදුවී ඇත්තේ හිසේ දකුණු පැත්තට මොට ආයුධයකින් සිදු කළ පහරදීමකින් බැව් හෙළිවී තිබේ. ඇගේ කොට්ටය මත වූ ලේ පැල්ලම නිසා එය කාමරය තුළදී සිදුවූවක් හෝ නිවස තුළ දී පහර කෑමකට ලක්ව ඇය යහන කාමරයට දිව යාමෙන් පසු මරණයට පත් වූ බවක් යන අනුමාන දෙකට එළැඹීමට හැකියාව තිබේ. නමුත් මෙහිදී ඇගෙන් කිසියම් හෝ හඬක් නොනැගුනේ යැයි සිතිය නොහැකිය. එවැනි හඬක් නැගුනේ නම් එය අඩුම තරමින් යාබද යහනේ සිටි සිය මවට නොඇසුනේ යැයි සිතීම අපහසුය.

අනෙක රාත්‍රියේ 1.00 - 2.00ත් අතර නදීෂා සහ මව නින්දෙන් අවදිවූ බවට කරුණු හෙළිවී තිබේ. මේ අනුව ඇගේ මරණය සිදුව ඇත්තේ අලුයම 2න් පසුවය. ඇගේ මව අලුයම 5.00 ට අවදිව බලන විට නදීෂා යහනේ නැති බැව් දැක විලාප තබා ඇත. ඒ අනුව ඇගේ මරණය සිදුව ඇත්තේ අලුයම 2.00 - 5.00ත් අතර බැව් පැහැදිලිය.

නමුත් නදීෂාගේ මළ සිරුර හමුවන්නේ නිවසේ සිය මීටර් 100ක් පමණ දුරින් වූ වෙනත් ඉඩමකය. කාමරයේ ලේ පැල්ලමක් ඇති බැවින් ඇය මිය ගිය පසු සිරුර ඇඳ ඇතිරල්ලකින් ඔතා පෙර කී ඉඩමට ගෙන ගියා ද, නැතහොත් මරණයට පත්වන්නට පෙර ඇය වත්තන් කරගෙන් ගෙන ගියාද යන කරුණු දෙක ද මෙහිදී මතුව තිබේ. නමුත් මෙවැනි ක්‍රියාවක් කවුරුන් හෝ සිදු කළත් එවැනි අවස්ථාවකදී නිවසේ කිසිවකුගේ නින්දට බාධාවක් සිදුවීම බොහෝ විට සිදුවන්නට පුලුවන. නමුත් නිවසේ කිසිවකු මෙය සිදු නොකළේ යැයි සිතුව ද එවැනි නින්දෙන් අවදීවීමක් පිළිබඳ දැනට සොයාගන්නට නැත.

නදීෂාගේ මළ සිරුර හමුවන්නේ උදෑසන 6.00 ට පමණය. ඊට පෙර  සොයුරකුට ඇගේ ඇඳ ඇතිරිල්ල හමුවන අතර ඔහු එය රැගෙන එන්නේ කෝටුවක ආධාරයෙනි. නමුත් ඒ වන විටත් මළ සිරුර හමු වී නැත. තමා හෝ පවුලේ කිසිවකු පරිහරණය කරන යම් දෙයක් නිවසින් පිටත වැටී තිබුණහොත් එය කෝටුවකින් රැගෙන එන්නට හේතුව පිළිබඳ යම් සැකයක් මතු වේ. මේ ඇතිරිල්ල යම් අපරාධයකට සම්බන්ධද යන්න පිළිබඳ කිසිවක් නොදන්නේ නම් එහි තම ඇඟිළ සළකුණක් සටහන් වේ යැයි බියක් ඇති කරගැනීමට ද කිසිවකුට අවශ්‍ය නැත. අනෙක නදීෂා යහනේ නැති බැව් දැනගන්නා ඇගේ මවට විළාප නගන්නට තරමට එය හේතුවක් වූයේ ඇයි ද යන්න මෙහිදී සැළකිල්ලට යොමුව තිබේ. නදීෂාගේ සිරුර හමුවන විට එය නිරුවත්ව තිබෙන අතර ඇය දූෂණයක ලක්වී ඇති බැව් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. නමුත් වෛද්‍ය පරීක්ෂණ මගින් හෙළිවන්නේ එවැන්නක් සිදුව නැති බවය. බැහැරින් යමෙකු මේ ඝාතනය සඳහා බැහැරින් ආවේ නම් මෙතැන ස්ත්‍රී දූෂණ අපරාධයක් ද සිදුවන්නට හැකියාවක් තිබේ. සැකයේ අවධානය නිවස තුළටම යොමුවන්නේ මේ නිසාය.

දේපළ සම්බන්ධ ආරවුලක් දුරදිග යාමන් පවුගේ සියලු දෙනා දැනුවත් මෙම ඝාතනය සිදුවූයේ ද යන්න මෙහිදී මතුව ආ තවත් එක් සැකයකි. නමුත් කරුණු සොයා බැලීමේදී ඝාතනය කර ලබාගන්නට තරම් අයට දේපළ හිමිකාරිත්වයක් නැති බැව් ද දැනගන්නට ලැබී තිබේ. පොලිස් නිල සුනඛයෙකු ඔස්සේ ඝාතකයා සොයාගන්නට උත්සාහ දරුවද එය ද නිෂ්ඵල වී ඇත. එයට හේතුව ඝාතකයා යැයි සැක කෙරෙන පුද්ගලයාට ආවේණික ගන්ධය නිවස පුරාම පැතිර පවතින නිසා යැයි පැවසේ. මේ අනුව ඝාතකයා නිවසේම සිටි බවත්, ඝාතනය නදීෂාගේ කාමරයේම සිදු වූ බවටත් සිතිය හැකි ඉඩකඩ ඉතා වැඩිය.

මෙම ඝාතන සිදුවීම සම්බන්ධය පොලීසිය විසින් පහත කරුණු පැහැදිලවම අනාවරණ කොට ගෙන තිබේ.

1. ඝාතනය සිදුවූ කාලය. නම් අලුයම 2.00 සිට 5.00 දක්වා යන පැය 3ක පමණ කාලය.
2. අපරාධය සිදුවූ ස්ථානය. එය නිවස තුළම යන්න පැහැදිලිය.
3. අපරාධය සිදුවූ ආකාරය. මොට වූ ආයුධයකින් හිසෙහි දකුණු පැත්තට පහරක් එල්ල කිරීමෙන් ඝාතනය සිදුවී තිබේ.
4. අපරාධය නිසා ශරීරයට සිදුවී ඇති හානිය.
5. අපරාධය සිදුවන විට අවට සිටි පිරිස කවුරුන් ද යන්න.


අප රටේ අපරාධ විමර්ශන අංශය එක් අස්ථි කැබැල්ලකින් පවා අපරාධකරු සොයාගත් අවස්ථා බොහොමයක් තිබේ. නදීෂා ගේ ඝාතන සිදුවීම පිළිබඳ සළකා බැලීමේදී මනුෂ්‍ය ඝාතන අපරාධයක් විසඳාගන්නට  එක් රැස් කරගත හැකි කරුණු අවශ්‍ය තරම් තිබේ. නමුත් විශ්මයට කරුණක් වන්නේ තවමත් අපරාධකරු හඳුනාගත නොහැකි වීමය. වැඩිම සාක්ෂි තිබියදීත් ඝාතකයා සොයාගත නොහැකි වූ අපරාධය ලෙස ද මෙය ඉතිහාසයට එකතු වී තිබේ. ඝාතකයා හැකිතාක් තමා පිළිබඳ හෝඩුවාවන් ලබාගත හැකි සාධක සූක්ෂම ලෙස සඟවාගනිමින් මේ අපරාධය කොට තිබේ. සියලු සිදුවීම් සළකා බැලීමේදී අවම තරමින් අපරාධකරුගේ අරමුණ කුමක් ද යන්න පිළිබඳ හෝ සොයාගත නොහැකිය. හදිසි කෝපයක් හෝ පූර්ව සූදානමකින් තොරව කරන ලද අපරාධයකදී නම් අපරාධකරු ඉතා කෙටි කලකින් කොටුවන බැව් කිව හැකිය. ඊට මෑතකදීම සොයාගත හැකි සාක්ෂිය නම් ඇලිපිටියේ සිදුවූ සරසවි සිසුවියගේ ඝාතනයයි. එම අපරාධය කළ පෙම්වතා ඒ අවටම සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූයේ අපරාධය සිදුවූ දාට පසුදාය. බොහෝ විට මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ පසු අපරාධකරු ඒ අවටම ගැවසෙන බැව් පැවසුන ද නදීෂාගේ ඝාතනය සම්බන්ධව එවැනි හෝඩුවාවක් හෝ සොයාගන්නට නැත. කෙසේ මුත් නුදුරු දිනෙක මේ අපරාධකරු කවුරුන්දැයි හෙළිකරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඇතැම්විට පවුලේ පිරිස දැනුවත්ව වූ අපරාදයක් නම් එය සඟවාගෙන වැඩිකලක් සිටීමට ද නොහැකිය. කෙසේ මුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෑත කාලයේ මුහුණ දී ඇති අභිරහස්ම මරණ පරීක්ෂණය මෙය බව නම් සැකයක් නැත.