පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, January 19, 2015

හෝටල් කාමරයක් තුළ සිදු වූ ඉන්දීය ඇමැති බිරිඳගේ මරණය මිනී මැරුමක්

පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඉන්දියාව කැළඹූ  කාන්තාවක සම්බන්ධ අභිරහසක් තිබිණ. ඒ ඉන්දියාවේ   එවකට මධ්‍යම රජයේ ඇමැතිවරයකුගේ බිරිඳක්  හෝටල් කාමරයක් තුළ අබිරහස්  ලෙස  මිය යාමය. මේ පිළිබඳව  ඇතැම් විට ඔබ මතකයේ රැඳී තිබෙන්නට පුළුවන.  (පසුගිය වසරේ වූ සිදුවීම ගැන මෙතැනින් කියවන්න) මේ ඇමැතිවරයා වූයේ එවකට එහි කනිෂ්ඨ  මානව සම්පත් සංවර්ධන  ඇමැති ලෙස කටයුතු  කළ ශෂී තරූර්ය. පසුගිය වසරේ ජනවාරි   මස 17 වැනිදා  නවදිල්ලියේ තරු පහේ හෝටලයක් වූ  ලීලා පැලස්හිදී ඔහුගේ බිරිඳ වූ සුනන්දා පුෂ්කර්අභිරහස්  ලෙස මියගොස් සිටියාය. වෛද්‍යවරුන් මුල සිටම මෙම මරණය හඳුන්වා දී තිබුණේ  අබිරහස් මරණයක්ලෙසිනි.  මෙම මරණය සිදුවන්නට  දින දෙකකට පෙර, එනම් ජනවාරි පහළොස් වනදා ශෂී  තරූර්ගේ ට්විටර් ගිණුමේ  වූ ආදර වදන්”   එකල මාධ්‍යයන්ගේ අවධානයට ලක් විය. මෙම ආදර වදන් ට්විටර් ගිණුමට ඇතුළු කොට තිබුණේ පාකිස්තානු  මාධ්‍යවේදිනියක වු මෙහ්රා තරාර්ය. ශෂී තරූර්  සහ මෙහේරා අතර අනියම් සබඳකමක් පැවතුණු බවට චෝදනා එල්ල වන අතර මේ නිසා සුනන්දා පුෂ්කර් සහ මෙහේරා අතර දැඩි විරසකයක් ද පැවතුණි. කෙසේ හෝ  හෝටල්  කාමරය තුළ මියගොස්  සිටි සුනන්දා පරීක්ෂා  කළ පසු මුලින්ම ඒ පිළිබඳව පැවසුණේ සිය දිවි  නසා ගැනීමක් ලෙසිනි.  නමුත් ඇගේ සිරුරේ තුවාල සලකුණු ද දක්නට   හැකි විය.  ඇය ඇල්ප්‍රැසොලාම්නම් වේදනා නාශක ඖෂධය මාත්‍රාව ඉක්මවා  ලබා ගෙන ඇති බවද අනාවරණය  විය. මේ පිළිබඳ  ශෂී තරූර් පැවසූයේ  කිසිවක්  පිළිබඳ තමන් නොදන්නා බවය.  එමෙන්ම ඔහු සහ මෙහ්රා අතර අනියම්  සබඳකමක් ඇති බවට වූ  චෝදනා ද ඔහු තරයේ  ප්‍රතික්‍ෂේප  කළේය.


සුනන්දාගේ මරණය හේතුව අස්වාභාවික  හදිසි මරණයක්ය යන කාරණය ඉන්දීය  වෝහාරික වෛද්‍යවරු පිරිසක්  දැඩිව   ප්‍රතික්‍ෂේප   කිරීම ද සුවිශේෂ  සිදුවීමක් විය. එවැනි යෙදුමක් වෝහාරික වෛද්‍ය විද්‍යාවේ නොමැති  බැවින් මෙම මරණය සැක සහිත බවත්, ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ඔවුහු පැවසූහ. එයින් වසරක්  ඉක්ම ගිය තැන දැන් මෙම මරණය පිළිබඳ සිදුවීම යළිත් කරළියට පැමිණ තිබේ.

අබිරහස් යැයි පැවසුණු සුනන්දා පුෂ්කර්ගේ මරණය පිළිබඳ  වාර්තාව දැන් එළි දක්වා තිබේ. එයට අනුව ඇයගේ මරණය සිදුව ඇත්තේ “‍පොලෝනියම් 210” නම් වස වර්ගය ශරීර ගත වීමෙනි. එය මුඛ  මාර්ගයෙන් හෝ එන්නත්  මාර්ගයෙන් ශරීර ගත කරන්නට ඇති බව  පැවසේ. මෙම වාර්තාවට අනුව මෙය කිසිසේත් ස්වාභාවික මරණයක් නොවේ.


ඇගේ සිරුරේ තුවාළ සලකුණු පහළොවක් හඳුනාගෙන ඇති අතර එයින් අංක දහය වශයෙන් සලකුණු කරන ලද තුවාලය එන්නත් කටුවක් නිසා ඇති වූ  තුවාලයක් ලෙස හඳුනාගෙන ඇත. අංක 12 වශයෙන් සටහන් කොට ඇති තුවාලය සිදුව ඇත්තේ දතකින්  සැපීමෙන් බව පැවසේ. වස වර්ගය  ශරීර ගත කිරීම මුඛ මාර්ගයෙන්ම සිදුවන්නටම ඇති බවට නිගමනය කරන්නට ඇති හේතු වැඩි මුත් එන්නත්  මාර්ගයෙන් සිදුවූයේ යන්න බැහැර කළ  නොහැකි බව සඳහන්ය.


ඇගේ මරණයෙන් පසුව මෙම හෝටල් කාමරය මුද්‍රා තබා තිබුණ ද ‍පොලීසිය පවසන්නේ ඇය මිය ගොස් සිටි දිනයේම මෙයට බලහත්කාරයෙන්  යම්කිසි පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු වී ඝාතකයන්ට එරෙහිව තිබිය  හැකි සියලු සාක්ෂි විනාශ  කොට දමා ඇති බවය.  තවත් වාර්තාවක  සඳහන් වන අන්දමට ඇය මිය ගිය දිනයේ ව්‍යාජ ගමන් බලපත්‍ර ඇති පුද්ගලයින් සිව් දෙනෙකු එහි නැවතී සිට ඇත.


සුනන්දා පුෂ්කර්ගේ මරණය ඝාතනයක් බවට  නිගමනය කිරීමත් සමග ඇගේ සැමියා වන ශෂී තරූර්ටද මෙම පරීක්ෂණ සඳහා සියලු සහය  පළ කරන ලෙස දන්වා ‍පොලීසිය විසින් දන්වා යවා තිබේ.  තවමත්  ඝාතකයා  කවුරුන් ද යන්න නිශ්චිතව හඳුනාගෙන නොමැත.


මගේ බිරිඳගේ මරණය ඝාතනයක් බව දැනගත් මොහොතේ මම ගල් ගැසී ගියා. මම කම්පා වුණායැයි ශෂී  පවසා ඇත. මෙය ඝාතනයක් නම්, සැබෑ  ඝාතකයා සොයාගන්නට මට මට දිය හැකි සියලු සහාය ලබාදෙනවා. නමුත් මෙය යම්කිසි පුද්ගලයකුගේ වාසියට හෝ චරිතයට ඝාතනයකට යොදා ගන්නවාට මම විරුද්ධයියනුවෙන්ද ඔහු පවසා තිබේ.


‍පොලීසිය විසින් ශෂී තරූර් ප්‍රශ්න කිරීමට බඳුන්කොට ඇති අතර, ඔහු එහිදී පවසා ඇත්තේ මෙම පරීක්ෂණ සිදුවන අතරතුර සිය නිවසේ මෙහෙකරුට  ‍පොලීසිය  විසින් පහර දී ඇති බවකි. තමා සමග එක්ව සුනන්දා පුෂ්කර් මරා දැමූ  බවට පා‍පෝච්චාරණය කරන ලෙස ‍පොලීසිය   මෙහෙකරුවාට පහර දෙමින්  බලකළ බව මෙම ප්‍රශ්න කිරීම්වලදී තරූර්  පවසා  තිබේ. නමුත් ‍පොලීසිය මෙම චෝදනා පිළිගන්නේ නැත. ශෂී තරූර්ගේ හා පාකිස්තාන මාධ්‍යවේදිනිය වන මෙහ්රා අතර පැවති අනියම් සබඳතාවය මෙම මරණයට හේතුව යැයි අනියම් ලෙසින් චෝදනා   එල්ලවෙමින් පවතී. මේවා සත්‍ය  වුවහොත් ශෂී තරූර් දෙසට ඝාතන චෝදනාව එල්ල වීම වැළැක්විය නොහැක. නමුත් නිල වශයෙන්  නම් තවමත් ඝාතකයා හඳුනා ගෙන නැත.

පසුගිය වසරේ වූ සිදුවීම ගැන මෙතැනින් කියවන්න

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න