පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, January 29, 2015

ඇපල් එක්ක වස ත් කන්න - Eat apples with Listeria monocytogenes



ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙරටට ආපනයනය කරන ලද ඇපල් වර්ගයක එක්තරා බැක්ටීරියාවක් අඩංගු බව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබිණි. එයින් පසුව ජනවාරි 25 වැනිදා කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය නිලධාරීන් පිටකොටුවේ පදික වෙළෙඳුන් විසින් අළෙවි කරනු ලබන ඇපල් පරීක්ෂා කරනු ප්‍රවෘත්ති ඔස්සේ දැකගත හැකි විය. ඔවුන් මෙවැනි පරීක්ෂණයකට පැමිණ සිටියේ මෙම බැක්ටීරියාව අඩංගු ඇපල් පිටකොටුවේ අළෙවි කෙරෙමින් පවතින බවට ලද තොරතුරක් නිසාය. එහිදී මෙම බැක්ටීරියාව අඩංගු යැයි සැක කෙරෙන ඇපල් පිටකොටුවේ බොහෝ ස්ථානවල අළෙවි කෙරෙමින් පැවතුණු බව දකින්නට හැකි විය. එම අවස්ථාවේ ඇපල් වෙළෙඳුන් සේම පාරිභෝගිකයන් ද පවසා සිටියේ එවැනි බැක්ටීරියාවක් සහිත ඇපල් වර්ගයක් පවතින බව ඔවුන් නොදැන සිටි බවය. වෙළෙඳුන් පවසන දේ පිළිබඳව විශ්වාස කළ නොහැකි වුව ද පාරිභෝගිකයන් පවසන දෙය අසත්‍යයක් විය නොහැකිය. එසේ හෙයින් බොහෝ දෙනෙකුගේ දැනගැන්ම පිණිස අපි මේ පිළිබඳ තොරතුරු ඔබ හමුවේ තබන්නට තීරණය කළෙමු.

මේ පිළිබඳව පළවූ බොහෝ පුවත්වල සඳහන්ව තිබුණේ සෑම ඇපල් වර්ගයකම මෙය අඩංගු නොවන බවත් ඇමරිකාවෙන් ආනයනය කරන ලද රතු පාට දිලිසෙන පොත්තක් සහිත ඇපල්වල මෙය අඩංගු විය හැකි යැයි සැක කෙරෙන බවත්ය. මෙම ඇපල්වල USA යනුවෙන් ලේබලයක් අළවා ඇති බවත් පැවසේ. මෙම අහිතකර බැක්ටීරියාව ශරීර ගත වූ පසු උණ, උදරාබාධ, වමනය, මස්පිඩු වේදනාව වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි බවත්, යම් හෙයකින් එවැනි සැකයක් පවතී නම් ඒ සඳහා ද ප්‍රතිකාර පවතින බැවින් බිය විය යුතු නැති බවත් වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවසයි.

කෙසේ නමුත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා අන්තර්ජාලය පිරික්සූ විට හමුවන්නේ එයට වඩා තරමක් අවදානම් සහිත තොරතුරු ය.

ඇපල්වල පවතින්නේ යැයි පැවසෙන්නේ ලිස්ටීරියා මොනෝසයිටජන්ස්’ (Listeria monocytogenes) නම් බැක්ටීරියාවය. ලිස්ටරියෝසිස්’ (listeriosis ) නම් ආසාදන තත්වය ඇති කරන්නට මෙම බැක්ටීරියාව හේතුවන බව සොයාගෙන තිබේ. ඔක්සිජන් ඇතිව හෝ නැතිව නොනැසී පැවතීමේ හැකියාව ඇති මෙම බැක්ටීරියාවට රෝගියාගේ සෛල තුළ ප්‍රජනනයවීමේ හැකියාව පවතී. ආහාර විෂවීම් බොහොමයකට හේතුවන බැක්ටීරියාව මෙය වන අතර සායනික ආසාදානවලින් 20% - 30% අතර ප්‍රමාණයකට වගකිව යුතුවන්නේ ද මෙයයි. මෙය ආසාදනය වීමේ අවසන් ප්‍රතිඵලය ලෙස මරණය වුව ද අත්විය හැකි බව පැවසේ. ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර නිසා ඇතිවන රෝගී තත්වයන් 1,600 ක් අතරින් මරණ 260කට වගකිව යුතු යැයි පැවසෙන්නේ මේ බැක්ටීරියාව ය. මෙහි මාරාන්තික බව සැල්මොනෙල්ලාසහ ක්ලොස්ට්‍රිඩියුම් බොට්‍යුලිනම්යන බැක්ටීරියාවන්ටත් වඩා ඉහළ බැව් පැවසේ.

ලිස්ටීරියා මොනෝසයිටජන් බැක්ටීරියාව 


මෙම බැක්ටීරියාව අඩංගු යැයි සැක කෙරෙන කිසිදු ආහාරයත් ළදරුවන්ට, ගර්භනී කාන්තාවන්ට හා වියපත් පුද්ගලයන්ට ලබාදීමෙන් වැළකිය යුතු බව පැවසේ. විශේෂයෙන් මෙම බැක්ටීරියාව බිළිඳුන්ට ආසාදනය වුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙනින්ජයිටිස් පවා ඇතිවිය හැකිය.

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) පවසන්නේ එහි Bidart Brothers නම් සමාගම මගින් අපනයනු කරනු ලබන ඇපල්වල මෙම බැකිටීරියාව අඩංගු විය හැකි බවය.  කැලිෆෝනියා ප්‍රාන්තයට අයත් සමාගමක් වන මෙයින් අළෙවි කරනු ලබන ඇපල් පිළිබඳ සැළිකිලිමත් විය යුතු බව ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනයාතනය මගින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.  මෙම ඇපල් ආහාරයට ගැනීම නිසා රෝගී තත්වයට පත් වූවන් පිළිබඳ ජනපද 11 කින් වාර්තා වන අතර 2015 ජනවාරි 10 වැනිදා වන විට 32 ක් මෙයින් ආසානය වී සිටි අතර එයින් 7 දෙනෙක් මරණයට පත් ව තිබේ.


මෙසේ හෙයින් මෙම බැක්ටීරියාව සහිත ඇපල් අනුභවය නිසා ඇතිවන රෝගී තත්වයන් සුළුකොට තැකිය නොහැකි බැව් පැහැදිලිය. මෙම බැක්ටීරියාව අඩංගු වුව ද නොවුව ද අප රටට ආනායනය කරනු ලබන ඇපල්වල විවිධ ගැටලු පවතින බව වරින් වර අසන්නට දකින්නට ලැබී තිබේ. අනෙක ආහාර විශේෂඥයන් හා වෛද්‍යවරු පවා පවසන්නේ අප රටේ දේශීය පලතුරක ඇති පෝෂණ ගුණයක් ඇපල් ගෙඩියක අඩංගු නොවන බව ය. එබැවින් සැකසහිත පලතුරු වර්ගවලින් මිදී පිරිසිදු දේශීය පලතුරු වරග්වලට යොමුවීම දුෂ්කර කාර්යයක් නොවේ. එය ඔබේත්, ඔබේ දරුවාගේත්, අනාගත පරපුරේත් යහපතටම හේතුවක් වනු නිසැකය.



2 comments:

  1. නොදන්න දේවල් ගොඩයි වගේම පාරිභෝගිකයන්ගෙන් සඟවන දේවළුත් බොහෝමයයිද කොහේද.....දැනුවත්කිරීමට බොහොමත් ස්තූතියි.....
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. පුවත්පතවල මේ ගැන ප්‍රවෘත්ති පළ වී තිබුණේ ඇපල් වෙළෙදුන්ට වාසි වන විදිහටයි. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න