පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, January 4, 2015

ගූගල් අර්ත් හෙවත් තාක්ෂණික රහස් පරීක්ෂකයා - Google Earth, the technological detective of the Modern World




මිනිසාට අවබෝධ කරගත නොහැකි, විද්‍යාත්මකව විග්‍රහ කළ නොහැකි සියලු දෙයම වැටෙන්නේ අභිරහස් ගණයටය. මෙවැනි බොහොමයක් මිනිස් ඉතිහාසය පුරාම දැකිය හැක. ඒවායින් බොහොමයකට තවමත් නිශ්චිත විග්‍රහයක් නොමැත. ඒවා තවත් බොහෝ කාලයක් හෝ සදාකාලිකවම හෝ අභිරහස් ලෙසම පවතිනු ඇත. කෙසේ නමුත් මෑත කාලයේදී මෙවැනි අභිරහස්වලින් ඇතැම් ඒවා යම් තරමකට විසඳාගන්නට විද්‍යාව උදව් කළ අවස්ථාවන් ද දක්නට ලැබේ. මෑතකදී මෙවැනි අභිරහස් විසඳාගැනීමට මගපෑදූ සුවිශේෂී විද්‍යාත්මක සොයාගැනීමක් වූයේ චන්ද්‍රිකා තාක්ෂණයේ පිහිටෙන් අන්තර්ජාල පහසුකම ඔස්සේ මුළු ලොවම ගවේෂණය කරන්නට ඕනෑම අයෙකුට ඉඩ සළසන්නා වූ ගූගල් අර්ත්නම් පරිගණක මෘදුකාංගයයි. ගූගල් අර්ත් මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කොට නැත්නම් අන්තර්ජාලයේ ගූගල් මැප්ස්භාවිතයෙන් ද මෙම පහසුකම අත්විඳින්නට  පුළුවන. පෘථිවිය වටා වූ චන්ද්‍රිකා මගින් ලබාගත් ඉහළ විභේදනයකින් යුක්ත ඡායාරූප මගින් සමස්ථ පෘථිවියේම සිතියමක් මවා පරිගණකය ඔස්සේ නරඹා ගවේෂණය කරන්නට මෙම මෘදුකාංගය ඉඩ සළසා දෙයි. මෙමගින් ලබාදෙන ඡායාරූප ඔස්සේ හෙළිකරගත් අභිරහස් රැසක් දැන් ලොව හමුවේ හෙළිදරව් වී ඇත. ඉදිරියේදී තවත් හෙළිදරව් වනු ඇත. එයින් කිහිපයක් ඔබ වෙත ඉදිරිපත්කිරීම මෙහි අරමුණයි.


දකුණු අප්‍රිකාවෙන් හමුවූ ඉපැරණි මුතුන්මිත්තා






මහාචාර්ය ලී බර්ගර් යනු මානව විද්‍යාඥයකි. ගූගල් අර්ත් ඔස්සේ දකුණු අප්‍රිකාවේ තිබූ ඉපැරණි මුතුන්මිත්තකුගේ අස්ථි හා හිස්කබල් සොයාගන්නට ඔහුට හැකිවිය. ගූගල් අර්ත් ඔස්සේ දකුණු අප්‍රිකාව ගවේෂණය කරමින් සිටි ඔහු එක් ස්ථානයක පිහිටි හුදෙකලා හැඩතලයක් හදිසියේ දුටුවේය. සිය අත්දැකීම් අනුව මෙතැන පැරණි මානව ශේෂ ඇතැයි ඔහු නිගමනය කළේය. ඔහු සිය සුරතල් සුනඛයා, පුතු හා එක් සිසුවකු සමඟ මෙම ස්ථානය සොයා ගියේය. ඔහුගේ නිගමනය නිවැරදි විය. මීට පෙර කිසිවකුට හෝ හමු නොවූ හඳුනානොගත් පොසිල ස්ථානයක් ඔහුට මෙහිදී හමුවිය. එතැන පොසිල සහිත ගල්ගුහා 50කි තිබිණි. එහි තිබූ හොඳින් ආරක්ෂිතව තිබූ මානව ශේෂ වසර මිලියන 2ක් පමණ පැරණි බැව් සොයා ගැනුණි. මෙම සොයාගැනීමේ සුවිශේෂීතම කරුණ වූයේ මෙම ශේෂයන් කිසිවක් පරිපුර්ණ මානවයන් නොවීමය. එය වානර - මිනිස් සත්වයින්ගේ අතරමැදියකු විය. මෙය මානව පරිණාමයේ සැඟවුණු කරුණක් හෙළිකරගන්නට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.



 



ඉපැරණි රෝම මන්දිරය





මෙය 2005 වසරේදී ගූගල් අර්ත් ඔස්සේ කළ සොයාගැනීමකි. ලුකා මෝරි නමැත්තා දිනක් ගූගල් අර්ත් ඔස්සේ තමන් ජීවත් වූ ප්‍රදේශය පිළිබඳ නිකමට මෙන් විස්තර සොයන්නට විය. ඔහු එවිට තම නිවස අසළ ප්‍රදේශයේ අඳුරු ඕවාලාකාර හැඩයේ යමක් ඔහු දුටුවේය. ඔහු සිතුවේ මෙය ගූගල් අර්ත් හි තාක්ෂණික දෝෂයක් බවය. කෙසේ නමුත් ඔහු මෙය එහි ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයට දැනුම් දුන්නේය. ඔවුන් මෙම ස්ථානයේ කැණීම් සිදුකළ අතර එහිදී එතැන තිබී ඉපැරණි පිඟන් කැබලි සොයාගන්නට හැකි විය. මේවා කිතු උපතටත් පෙර පැවති ඉපැරණි රෝම මන්දිරයක් පැවති ස්ථානයක් බැව් සොයා ගැනුණි.



මොසැම්බික් අභයභූමිය







මොසැම්බික් යනු දිගු කලක් තිස්සේ යුද්ධයට මැදි වූ රටකි. එබැවින් එම රට ගවේෂකයන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට හැකි රටක් වූයේ නැත. නමුත් බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ ජුලියන් බේලිස් දිනක් ගූගල් අර්ත් ඔස්සේ මොසැම්බික් රාජ්‍යය පිළිබඳ විස්තර සොයමින් සිටියේය. ඔහු එහි මාබු නමැති කඳු ප්‍රදේශයේ ඇති දැකුම්කළු ප්‍රදේශයක් පිළිබඳ අවධානය යොමු කළේය. 2008 වසරේදී ඔහු තවත් විද්‍යාඥයින් පිරිසක් සමඟ එක්ව මෙම ප්‍රදේශය කරා ගියේය. එහිදී එම පිරිසකට එතෙක් ලොවට හෙළිනොවූ තිබූ ශාඛ, සත්ව, පක්ෂි, සමනල, වඳුරු හා සර්ප විශේෂ සිය ගණනකටත් වැඩි ප්‍රමාණයක් සති තුනක් වැනි කාලයකදී සොයාගැනීමට හැකිවිය.



සවුදි අරාබියේ පාෂාණ හැඩතල






සවුදි අරාබිය යනු පර්යේෂකයන්ට හා ගවේෂකයන්ට සිය කටයුතු කරගෙන යාමට එතරම් පහසුකම් ඇති රටක් නොවේ. ඒ එහි ඇති කටුක දේශගුණය හා භූමි ස්වභාවය නිසාය. මේ වසර මුළදී ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු වූ  ඩේවිඩ් කෙනඩි, ගූගල් අර්ත් ඔස්සේ සවුදි අරාබිය ගවේෂණය කළේය. එහිදී දකින්නට හැකි වූ කුහලය දනවන හැඩතල නිසා එම ස්ථාන සොයා යන්නට ඔහු තීරණය කළේය. ඔහු එහිදී එතෙක් සොයා නොගැනුණු පුරා විද්‍යා වටිනාකමකින් යුක්ත බිම් 2000කට අධික සංඛ්‍යාවක් අනාවරණය කරගත්තේය. පසුව සිරියාවේ සිට යේමනය දක්වා වූ කලාපයේ සිදුකරන ලද ගවේෂණ මගින් මිනිසා විසින් නිර්මාණය කරල ලද, ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් රෝද, ඉපැරණි සත්ව උගුල්, සරුංගල් හැඩයේ සොහොන් ද සොයාගන්නට ඔහුට හැකිවිය. මහාචාර්ය කෙනඩි විශ්වාස කරන්නේ මේවා වසර 9000ක් පමණ පැරණි බවය.



පීරු දේශයේ පිරමීඩ







2008 වසරේදී විද්‍යාඥයින් පිරිසක් විසින් ගූගල් අර්ත් හා විශේෂ ගණිත ක්‍රමයක් ඔස්සේ පීරු කාන්තාරයේ වැළලී ගොස් තිබුණු පිරමීඩ සොයා ගනු ලැබිණි. මේවා පිහිටා තිබුණේ වගා බිමකට යටිනි. පර්යේෂකයින් විසින් ගූගල් අර්ත් මගින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප හා  අධෝරක්ත කිරණ තාක්ෂණය භාවිත කරමින් පොලොවේ මතුපිට ස්ථරය ඉවත්කොට පොලොව යටින් පිහිටි පිරමීඩ අනාවරණය කර ගනු ලැබිණි. මෙම පිරමීඩ වර්ග මීටර 9000 කට අධික භූමි ප්‍රමාණයක් පුරා පැතිර පැවතිණි.



ගුවන් යානා සොහොන්බිම







ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටස්කන් හි පිහිටි ඩේවිස් මොන්තාන් ගුවන් හමුදා කඳවුර ප්‍රසිද්ධව ඇත්තේ භාවිතයට ගත නොහැකිව අභාවයට පත්වූ යුද ගුවන් යානා එක්රැස් කොට ඇති ස්ථානයක් ලෙසිනි. නමුත් මෙහි ඇතුළත ස්වභාවය කුමන අයුරුද යන්න පිළිබඳව එක්දත් ජනපද ගුවන් හමුදාව කිසිදා හෙළි කළේ නැත. මෙයට ඉහළින් ගුවන් ගමන් ද තහනම් ය. මෙය ප්‍රකටව ඇත්තේ ද බෝන්යාර්ඩ්හෙවත් සොහොන් පිටිය යන නමිනි. අක්කර 2600 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති මෙම වානේ සොහොන් පිටියේ ඉහළ විභේදනයක් සහිත ඡායාරූප ගූගල් අර්ත් හි දක්නට ලැබීමත් සමඟ එහි  අභ්‍යන්තර පිහිටීම පිළිබඳ සියලු දෙනා විවිධ අදහස් දක්වන්නට පටන් ගත්තේය. දෙවැනි ලෝක යුද සමයේ සතුරන් හඹා ගිය බී-52 ‛ස්ට්‍රුටෝ ෆෝට්රස්සිට එෆ්-14 ටොම්කැට් දක්වා වූ ගුවන් යානා දිරාපත්වෙමින් මෙහි දිරාපත්වෙමින් පවතී.

(ඛණ්ඩාංක උ. 32 08'59.96" , බ. 110 50'09.03")



ලේ විලක්



ඉරාකයේ සාඩර් නම් නගරයට පිටතින් විලක් පවතින අතර ගූගල් අර්ත් හි චන්ද්‍රිකා ඡායාරූපවල එය දැක්වෙන්නේ රතු පාටිනි. එබැවින් එය ගූගල් අර්ත් හි ප්‍රසිද්ධව ඇත්තේ ලේ විලවශයෙනි. මෙහි ජලය මේ ආකාරයට රතු පැහැ ගැන්වීමට හේතුව වශයෙන් කිසිවක් තමවත් වාර්තා වී නොමැත.

(ඛණ්ඩාංක උ.  33.396157° ,නැ.  44.486926°)




ගෝබී වැලි කතරේ රහස් කඳවුර





මෙය ඉතාම මෑතකදී ගූගල් අර්ත් මගින් අනාවරණය කරන ලද්දකි. චීනයේ ගෝබී කාන්තාරයේ එකිනෙකට සම්බන්ධවන සේ නූලක් ඇමිණුවා වැනි ආකෘතියක් දක්නට ලැබේ. විශේෂඥයින් පවසන්නේ මෙය රහස් යුද කඳවුරක් විය හැකි බවය. මෙහි අවි ආයුධ අත්හදා බැලීම හෝ රහස් අභ්‍යවකාශ පර්යේෂණ හෝ සිදුවන බව ද විශේෂඥයෝ පවසති. මෙහි කිලෝමීටර් 33ක ප්‍රදේශයක් පුරා සෑම මීටර් සිය ගණනකට වරක්ම සෘජු රේඛා දක්නට ලැබේ. එමෙන්ම ගුවන් යානා ධාවන පථ ද දක්නට ඇත.


ඛණ්ඩාංක  40.452107, 93.742118


4 comments:

  1. වටිනා තොරතුරු සමුහයක්. අක්ෂාංශ දේශාංශ ඔක්කොගෙම තිබුනා නම් තවත් හොඳයි

    ReplyDelete
    Replies
    1. මට ඔක්කොම හම්බ වුණේ නෑ. ඒත් මම හොයලා දාන්නයි ඉන්නේ.

      Delete
  2. අපුරු ලිපියක්
    කෝමත් මේ වගේ විවිධ ලිපි දාන අයට බ්ලොග් අවකාශයේ ඉන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්
    ජයෙන් ජයම වේවා
    තවත් මේ වගේ විවිධ තොරතුරු එක්ක හමුවේවා

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි. අලුත් දෙයක් දැනගන්නට ලැබුණු ගමන් ඒක සියලු දෙනා එක්ක බොදාහදා ගන්න එක හොදයි නේ. තව ඉස්සරහට බලමු මේ වගේ ඒවා හොයලා දාන්න.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න