පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, January 7, 2015

මධුසමයක් වදසමයක් කළ ආදරණීය කොට්ටෝරුවා - වුඩි වුඩ්පෙකර් - Story of Woody Woodpecker



කොට්ටෝරුවකු අපූරු සිනහවක් ද සමගින්  තිරය පසාරු කරගෙන පැමිණෙන සුප්‍රකට කාටූන් චිත්‍රපටය කුමක්දැයි ඇසුවහොත් ඔබ සියලු දෙනා එයට නොපැකිළව  වුඩි වුඩ්පෙකර්යනුවෙන් පිළිතුරු දෙනු නිසැකය. ලොව පුරා ලොකු කුඩා බාල මහළු සියලු දෙනා කිසිදු වෙනසක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ එකසේ රසවිඳි  කාටූන් චිත්‍රපට ඇත්නම් ඒ අතරට මෙය ද එක්වන්නේ නිතරගයෙනි. ලොව පුරා බොහෝ දෙනෙකුගේ ආදරණීය චරිතයක් වූ මේ අපූරු කොට්ටෝරුවාගේ අපූරු කතාව ඔබට කියන්නට සිත්වූයේ එබැවිනි.

විසිඑක්වැනි සියවසේ ඉපදුණු කුඩා දරුවා පවා ආයාසයකින් තොරව සිනහවෙමින් රසවිඳින මේ කොට්ටෝරුවා කාටූන් චරිතයක් ලෙස මුළින්ම අතිශය ජනප්‍රිය වන්නේ 1940 දශකයේදීය. වෝල්ටර් ලෑන්ට්ස් සජීවිකරණ චිත්‍රාගාරයේ හා යුනිවර්සල් පික්චර්ස් සමාගමේ ඒකාබද්ධ නිපැයුමක් ලෙස මෙය දොරට වැඩිණි.


වෝල්ටර් ලෑන්ට්ස්


වුඩි වුඩ් පෙකර්ගේ පියාවූ වෝල්ටර් ලෑන්ට්ස් මෙයට පෙර තවත් අපූරු කාටූන් චරිත දෙකකට පියා බවට පත්වූයේය. ඒ අප කලක් ආසාවෙන් රස විඳි හා හා හරි හාවාසිංහල කාටූනයේ මුල් චරිතය වූ බග්ස් බනි’ (Bugs Bunny) හා ඩැෆි ඩක්’ (Daffy Duck) ය. එබැවින් මේ කොට්ටෝරුවාට තවත් සහෝදරයින් ද සිටින බැව් විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ කොට්ටෝරුවා වෙනුවෙන් මුළින්ම හඬ කවන ලද්දේ එවකට සිටි කථන නළුවකු වූ මෙල් බ්ලෑන්ක් ය. පසුව බෙන් හාර්ඩවේ ද, පසුව ග්‍රේස් ස්ටැෆෝර්ඩ් ද මීට හඬ කවන්නට එක් වූහ. මේ අතුරින් ග්‍රේස් යනු අන් කිසිවකු නොව වෝල්ටර් ලෑන්ට්ස්ගේ බිරිඳය.


වෝල්ටර් ලෑන්ට්ස් සහ බිරිද


කොට්ටෝරුවාගේ උපත

මේ කොට්ටෝරුවාගේ චරිතය බිහිවීම පසුපස ඇත්තේ අපූරු කතාවකි. මිනිසුන්ගේ නිදහස නැති කරමින් මහා හඬක් නගමින් ගස්වල බෙන සාරන්නාවූ චරිතයක් බවට මේ කොට්ටෝරුවා පත්වන්නේ ද සේ නිසාම විය හැකිය.

වෝල්ටර් ලෑන්ට්ස් සහ ග්‍රේස් විවාහ වීමෙන් පසුව මධුසමය නිදහසේ ගත කරන්නට කැලිෆෝර්නියාවේ ෂර්වුඩ් ලේක් ප්‍රදේශය තෝරා ගත්හ. එහෙත් ඔවුන්ගේ මංගල මධුසම රාත්‍රිය නම් බලාපොරොත්තු වූ පරිදි ආදරණිය වූයේ නැත. කොහේදෝ සිට පැමිණි කොට්ටෝරුවකු ඔවුනගේ කැබින් කුටියේ වහළයට කොටන්නට පටන් ගත්තේය. කොට්ටෝරුවාගේ කෙටීම  කෙතරම් බරපතල වූයේ දැයි මේ නව යුවලට තේරුම් යන්නට වූයේ තරමක් රෑ බෝවී මහා වර්ෂාවක් ඇද හැලීමත් සමගිනි. කොට්ටෝරුවා කැබින් කුටියේ වහළය සිදුරු කොට තිබුණෙන් ඔවුනගේ මංගල රාත්‍රිය වැසි ජලයෙන් සේදී යන්නට පටන් ගත්තේය. කොට්ටෝරුවා සමඟ වෝල්ටර්ගේ කෝපය කෙතරම් වූයේ ද යත් ඌට වෙඩි තබන්නට ඔහුට තරම් කෝපයක් ඔහුගේ සිතට නැගුණි. නමුත් ඔහුගේ  බිරිඳ වූ ග්‍රේස් ඉදිරිපත් කළේ එයට වඩා ආදරණීය අදහසකි. ඇය පැවසූයේ, ‛අනේ අපි මේ කොට්ටෝරුවාගේ චරිතය දාලා කාටූන් එකක් හදමුකියාය. වුඩි වුඩ් පෙකර්චරිතය බිහි වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ කොට්ටෝරුවා තිරයට පැමිණෙන විට නඟනා හ - හ - හ - හා - හාසිනහවට සමාන හඬක් මෙයට පෙර මෙල් බ්ලෑන්ක් වෝර්නර් බ්‍රදර්ස් සමාගමේ කාටූනයකට ද භාවිත කොට තිබිණි. මෙම සිනහව මෙන්ම වුඩි වුඩ්පෙකර් ගේ පෙනුම ද මෙයට පෙර නිර්මාණය වූ කාටූනය කොට්ටෝරුවකුගේ පෙනුමට සමාන වූ බැවින් නීතිමය ගැටළුවලට  ද මුහුණ දෙන්නට සිදුවිය.




වුඩි වුඩ්පෙකර් චරිතයක් ලෙස මුළින්ම චිත්‍රපටයක දිස්වන්නේ 1945 නොවැම්බර් 25 වැනිදා ය. ඒ Knock Knock චිත්‍රපටයෙහිය. මෙම චිත්‍රපටයෙහි සජීවීකරණ ශිල්පියා වූයේ ඇලෙක්ස් ලොවී ය. වුඩි හට මුළින්ම හඬ කැවූ මෙල් බ්ලෑන්ක් චිත්‍රපට 4 කින් පසුව එය නවතා දැමුවේය. එම චිත්‍රපට 4 ම නිෂ්පාදනය කරන ලද්දේ පසුකලෙක වෝර්නර් බ්‍රදර්ස් ලෙස ප්‍රසිද්ධියට පත් වූ ලියොන් ෂ්ලේසින්ගර් සමාගම විසිනි. ඔහු වෝර්නර් බ්‍රදර්ස් සමාගම සමග ගිවිසුමකට අත්සන් කිරීමත් වුඩි වුඩ්පෙකර් නිෂ්පාදනය ඔවුන් විසින් නවතා දැමීමත් මෙයට හේතුව විය. ඉන් පසුව දසක ගණනාවක් ගතවනතුරුම වුඩිගේ හඬ සපයන ලද්දේ බෙන් හාර්ඩවේය.




වෝටර් ලෑන්ට්ස් මෙයට පෙර නිර්මාණය කරන ලද කාටුන් චරිතවලට වඩා වුඩි ට ප්‍රෙක්ෂකයන් වැඩි වශයෙන් ආදරය කරනා බැව් වටහාගන්නට වැඩිකලක් ගතවූයේ නැත. එහි ප්‍රතිපළයක් ලෙස වුඩි තවත් චිත්‍රපට ගණනාවකම පෙනී සිටින්නට වරම් ලබාගත්තේය. දෙවැනි ලෝක සංග්‍රාමට සමයේ වුඩි යනු ඉහළතම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත් චරිතයක් බවට පත්ව තිබිණි. ඇමරිකා එක්සත් ජනපද ගුවන් යානාවල ඉදිරිපස කොටසේ ඇඳි අලංකාර සිතුවම සමන්විත වූයේ වුඩි ගෙනි. එමෙන්ම හමුදා භටයින්ගේ කුටිවල වුඩිගේ රුව එල්ලී පැවතුණි. එම සමයේ පැවති ආහාර හිඟය ද අමතක කරමින් ප්‍රේක්ෂකයෝ වුඩි පෙනී සිටි චිත්‍රපට නරඹන්නට පොදි කෑහ. වර්ෂ 1943 ඇකඩමි සම්මාන උළෙලේ හොඳම කෙටි සජීවීකරණ චිත්‍රපට අතරට වුඩි වුඩ්පෙකර් තේරුණ ද එය ටොම් ඇන්ඩ් ජෙරී සහ යැන්කී ඩූඩ්ල් මවුස් යන කාටූන් චිත්‍රපටවලට පැරදිණි.

1944 දී නිෂ්පාදනය වූ The Barber of Seville චිත්‍රපටය සඳහා වුඩිගේ හැඩරුව තවත් ඔපවත් කරන්නට සජීවීකරණ ශිල්පි එමරි හෝකින්ස් සහ චිත්‍ර ශිල්පි හෙයින්මාන් පියවර ගත්හ. කෙසේ මුත් අනෙකුත් කාටූන් චරිත අතර වුඩි ට අවාසිදායක් තත්වයක් පැවතියේ එහි වූ උන්මත්තක ස්වභාවයය. මෙම ස්වභාවය වෙනස් කරන්නට සමත් වූයේ වෝල්ටර් ලෑන්ස්ට් විසින් සේවයෙහි යොදවා ලත් ඩික් ලුන්ඩි ය. ඩික් එයට පෙර ඩිස්නි ආයතනයේ සේවය කළ දක්ෂ සජීවීකරණ ශිල්පියකු විය. ඔහු වුඩි ගේ උන්මත්තක ස්වභාවය සෑහෙන දුරකට පහත දැමුවේය.




වුඩි වුඩ්පෙකර් ගීතය



වුඩි වුඩ්පෙකර් වෙනුවෙන් තේමා ගීතයක් නිර්මාණය කරන ලද්දේ ජෝර්ජ් ටිබ්ල්ස් සහ රැමී ඉඩ්‍රිස් ය. මෙම ගීතයට වුඩිගේ සුප්‍රකට සිනහව ද ඇතුළත් කෙරිණි. මෙම ගීතය කෙතරම් ජනප්‍රිය වූයේ ද කිවහොත් මෙය 1948 වසරේ හොඳම ඒකල ගීතය බවට පත්විය.   මෙය 1948 වසරේ හොඳම ගීතය වෙනුවෙන් ඇකඩමි සම්මාන සඳහා ද නම්කරනු ලැබිණි. වුඩි ගේ නමින් රසික සමාජ ඇතිවන්නට වූ අතර පිරිමි ළමෝ වුඩිගේ විලාශයෙන් සිය කොණ්ඩා ද සකස්කර ගත්හ.  මෙම ගීතය සඳහා වුඩි ගේ සිනහවට පණ දෙනු ලැබුවේ මෙල් බ්ලෑන්ක්ය. ඔහු සිව් ආකාරයකට සිනහව පටිගත කිරීමකට සහභාගී වුවද වෝල්ටර් ලෑන්ට්ස් එය වෙනස්කොට තවත් ආකාර කිහිපයක් නිර්මාණය කළේය. එහි ප්‍රතිපලය වූයේ වෝල්ටර් ලෑන්ට්ස්ට එරෙහිව මෙල් බ්ලෑන්ක් නඩු දැමීමය. නමුත් බ්ලෑන්ක්  නඩුවෙන් පැරදිණි. පසුව ලෑන්ට්ස්, මෙල් බ්ලෑන්ක්ගේ සිනහව මෙයට යොදා ගැනීම නවතා දැම්මේය. නමුත් "Guess who?"  යනුවෙන් අප අදටත් අසන හඬ සඳහා දිගටම යොදාගනු ලැබුයේ මෙල් බ්ලෑන්ක්ගේ හඬමය.

මූල්‍ය අර්බුද හේතුවෙන් 1948 දී සිය චිත්‍රාගාරය වසා දමන්නට වෝල්ටර් ලෑන්ට්ස් ට සිදුවිය. ඔහු එය නැවත විවෘත කළේ 1950 දීය. 1950 දී තිරගතවුණු Destination Moon සඳහා වුඩිගේ චරිතය කෙටි දර්ශනයක් සඳහා යොදා ගැනුණි.  මේ සඳහා යොදා ගැනුණේ වෝල්ටර් ලෑන්ට්ස්ගේ බිරිඳගේ හඬයි. වුඩි ට හඬ කැවීම සඳහා පටිගත කරන ලද ආධුනික හඬ පිරික්සා බැලීමේ දී වෝල්ටර් ලෑන්ට්ස් සිය බිරිඳගේ හඬ තෝරාගත්තේ ඒ සිය බිරිඳ බව නොදැන වීම විශේෂයෙන් සඳහන් කළ යුතුමය.  මින් අනතුරුව එළැඹි යුගයේ වුඩි වුඩ්පෙකර් කාටූන් ගණනාවක්ම විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ බිහිවිය.

වුඩි රූපවාහිනියට ඇතුළු වෙයි

වුඩි සිය ප්‍රෙක්ෂකයන්ට රූපවාහිනිය ඔස්සේ සමීපවන්නට පටන් ගත්තේ වර්ෂ 1957 සිටය. මේ සමයේදී ද වුඩිගේ චරිතය ඇතූලත් නව කාටූන් බිහි වුවද බොහෝ දෙනෙකු පවසන්නේ ඒවා 1940 දශකයේ බිහි වූ ඒවා තරම් රසවත් නොවන බවය.

කෙසේ වුවත් පරම්පරා කිහිපයක් ප්‍රේක්ෂකයන් රස විඳි වුඩි වුඩ්පෙකර් චරිතය අද බිහිවන පරම්පරාවන් අතර ද එකසේ ජනප්‍රිය තත්වයේ පවතී. නව තාක්ෂණයෙන් යුක්තව නවීන කතා තේමා යටතේ දහස් ගණනක් කාටූන් නිර්මාණය වුව ද වුඩි මවන රස ඒ කිසිවකන් හෝ ලබන්නට නොහැකිය. වුඩි යනු තව වසර ගණනාවක් ඉදිරියට ද ජීවමාන චරිතයක් වනුනේ ඒ නිසාය.



4 comments:

  1. පොඩිකාලේ ආසම කාටුන් එකක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි හැමෝම ආස කරන කාටූන් එකක්.

      Delete
  2. මරේ මරු ඈ
    මං ගාවත් ඩීවීඩී කිලොවක් විතර ඇති ඈ

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේම දැන් ළමා පරපුරත් මේ වගේ කාටූන්වලට කැමතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න