පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, May 24, 2015

කිරි කැටියකුගේ වියෝ දුක දනවන 'මල් වනේ රෝස කැකුළු' ගීතය




දෙමාපියන් දරුවන්ට කොයි තරම් ආදරේද? ඒක මනින්න මිම්මක් නැහැ.  මේ දරු සෙනෙහස ගැන නිර්මාණ සිය දහස් ගණනක් නිර්මාණය වෙලා ඇති. ටිකක් පරණ වුණත් මෑතකදි බලන්න ලැබුණු La vita è bella කියන ඉතාලි චිත්‍රපටය බලන කොට දැනෙනවා තාත්තා කෙනෙක් තමන්ගේ එකම පුතාගේ ජීවිතය අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න කොයි තරම් කැපවීමක් කරනවද කියන එක. ඒත් දැන් කියන්න හදන්නේ ඒ චිත්‍රපටය ගැන නෙවෙයි ගීතයක් ගැනයි. මේ ගීතය ඇසුණු නිසයි මේ ච්ත්‍රපටය ගැන මතකයත් අලුත් වුණේ.

ඊයේ රූපවාහිනි සංගීත වැඩසටහනකදී නන්දා පතිරණ කියන ප්‍රවීණ ගායිකාව ගායනා කළ ගීතයක් අසන්න ලැබුණා. මේ ගීතය සෑහෙන කාලයකට කලිනුත් අසා තිබුණත් අද තමයි මෙහි වදන් සියල්ල හිතට කා වැදුනේ. ඒ තමයි ‛මල් වනේ රෝස කැකුළු’ කියන ගීතය. ඉපදිලා කිරි සුවඳත් යන්න කලින් තමන්ගේ කිරිකැටියා වියෝ වුණු මවකගේ හිතට නැගෙන වේදනාව මේ වචනවල තියෙනවා. 

මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ
නිල් වලා යහන් ගැබේ කිරි සිනා දිලේ
වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ
එනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ

නිවහනේ හැම තැන කිරි සුවඳ මට දැනේ
හැම තැනේ කැකුළු සිනා මල් පිපුණු මෙනේ
හද සෙනේ බිළිඳු තොලක කිරට හැරෙන්නේ
අද දිනේ කිරට හඬන කෙනෙක් නෑ අනේ

තවුතිසා දෙව් විමනේ සැඟවුණිද කියා
රෑ යමේ සිහින දිගේ පාව එමි සොයා
මේ භවේ නොවුනද මතු භවෙක අප කරා
සුදු පුතේ එන්න අතට කිරි සිනා සළා

 
ගීතය මෙතැනින් අහන්න


මේ අවස්ථාවේ නන්දා පතිරණ ගායිකාව සඳහන් කළෙ ඇය ලත් අමිහිරි අත්දැකීමක් වෙනුවෙන් ගීත රචක ගාමිණී විජේතුංගයන් විසින් රචනා කොට දුන් බවයි. ඔහු මේ ගීය නිර්මාණය කරන්නට ආභාෂය ගෙන තිබුණේ පැරණි ජන ගීතයක් බව එම වැඩසටහනය සහභාගී වී සිටි සමන් පනාපිටිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළා. 

දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් අතර සිටි ගෝඨයිම්බර සමඟ රිටිගල ජයසේන යුද වැදුණා. මේ අවස්ථාවේදී ගෝඨයිම්බර අහසට පැන එල්ල කළ පා පහරින් රිටිගල ජයසේනගේ හිස ගැළවී විසිවුණු බව ජනකතාවල සඳහන් වනවා. හිස සොයාගන්නට නොහැකි වූ නිසාත්, හිස නොමැතිව මළකඳක් මිහිදන් නොකළ හැකි නිසාත් වලසකුගේ හිසක් රිටිගල ජයසේනගේ කඳට සවිකොට මළගමේ වැඩ කටයුතු කළ බව පැවසෙනවා. මහසොහොන් අවතාරයත් මේ සමඟම උපන් බව සඳහන් වෙනවා. කෙසේ නමුත් මේ අවස්ථාවේදී රිටිගල ජයසේනගේ ප්‍රිය බිරිඳ සිය සැමියා පිළිබඳ ශෝක සිතින් වැළපෙමින් මේ කව කියූ බව ජනකතාවල සඳහන්. 

බස්ම නං අසුර රජුගෙ සොහොනේ ඉපදුණේ
තිස් දහස් පිරිවර හර රජව සිටිමිනේ
ඉක්මණින් ගෝඨයිම්බර සමඟ යුදවුණේ
දිස්වෙමින් ඔළුව නැතුව නිදිද හිමියනේ 

මල් වනේ රෝස කැකුළු ගීතයේ සැඟවී ඇති ජන කවිය මෙයයි. කෙසේ නමුත් ගීත රචකයා කිරිකැටියකුගේ වියෝව හොඳින් දැනෙන අයුරින් මේ ගීතය රචනා කරන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම මෙයට සංගීතය රචනා කළ බන්දුල විජේවීරයන් ද ජන ගී තනුවක්ම මෙයට යොදාගෙන තිබෙනවා.

 

Saturday, May 23, 2015

මහා තොරණ් රාජයා - Great Virtual Thorana





මෙතන 'තොරණ්' කිව්වට ඇත්තටම තොරණ තමයි හරි වචනේ. මමත් යාලුවෝ දෙන්නෙකුත් එකතු වෙලා දැනට අවුරුදු ගණනකට කලින් ෆ්ලෑෂ්වලින් තොරණක් හැදුවා. තොරණ සැළසුම් කළේ මිලාන්. ෆ්ලෑෂ්වලින් තොරණ අලංකාර කළේ ක්‍රිෂාන්. මම කළේ පොඩි පසුබිම් කථනයක් දුන්න එක. ඒත් අර දෙන්නගේ වැඩේ තරම් මගේ වැඩේ නම් ගතියක් නෑ කියලා දැන් පේනවා. මොනව වුණත් පරණ සීඩී වගයක් අදිනකොට මේක හම්බ වුණා. ඉතිං මම හිතුවා මගේ කටහඬ මටම ඇහෙන‍කොට ටිකක් අවුල් වගේ වුණත් මේක බ්ලොග් එකට දාන්න. එහෙනම් පහන් සිතින් තොරණ බලන්න.

කෙල්ලෙක් කොයි තරම් උස වෙන්න ඕනද? - How Tall Enough for a Girl


සාමාන්‍ය කතාවටත් කියන දෙයක් තමයි පිරිමියෙක් නම් උසට පෙනුමට ඉන්න ඕන කියන එක. සාමාන්‍යයෙන් අඩි පහමාරක්වත් උස නැත්තනම් පිරිමියෙක් වුණත් මිටි විදිහට තමයි සළකන්නේ. එහෙම වුණත් සිනමාව ගැන සළකා බැලුවහම නම් අඩි පහමාරත් මිටියි වගේ තමයි පෙනෙන්නේ. මොකද හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවකු වන ආමීර් ඛානුත් අඩි පහමාරක් නිසා. ඔහු හින්දි සිනමාවේ මිටි නළුවෙක් විදිහට තමයි සැළකනේනේ. ඔහුට සාපේක්ෂව ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අක්ෂේ කුමාර් එහෙම අඩි හයකට කිට්ටු උසක් තියෙනවා. අපි හින්දි නිළියන් ගත්තොත් නම් ඔවුන් සාපේකෂව නළුවන්ට වඩා මිටියි. කරීනා කපූර් අඩි පහයි අඟල් හතරයි. නමුත් කත්‍රිනා කායිෆ්, දීපිකා පදුකොන් අඩි පහයි අඟල් නවයක් උසයි. මේ වගේ නිළියක් එක්ක ආමීර් ඛාන් රඟපාන්න ගියොත් සෑහෙන කරදර ඇති වෙන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍ය ජීවිතෙත් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අපි අතර ඉන්න ගැහැනු පිරිමි ගත්තත් මේ ප්‍රශ්නයම තියෙනවා. 

ආමීර් සමඟ කත්‍රිනා 

ඇත්තටම ගත්තොත් තරුණියක් කොයි තරම් නම් උස වෙන්න ඕනද? අපේ රටේ පිරිමියකුගේ සාමාන්‍ය උස අඩි පහයි අඟල් හතර හමාරක් බවත් ගැහැනියකගේ උස අඩි හතරයි අඟල් එකොළහමාරක් බවත් විකිපීඩියාවේ තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ සාමාන්‍යයෙන් ඉතා උස ගැහැනු පිරිමි නැති බව තමයි එයින් කියැවෙන්නේ. මෙහෙම තියෙද්දී අඩි හයක විතර තරුණියත් හිටියොත් ඇයට දැනෙන්න පුළුවන් තමන් උස වැඩිවත්ද කියලා. අනෙක එවැනි උස කෙනෙක්ව දකින කොට අනෙක් අය කියන්නේ, 

“අම්මෝ අර කෙල්ලගේ උස! කොල්ලෙක් හොයන්න ගියාම එපා වෙයි” 

වගේ කතාවක් තමයි. නමුත් අඩි හයක් උස පිරිමි අපේ රටේ නැතැයි කියා මෙයින් කියැවෙන්නේ නැහැ. හැබැයි හොඳින් ගැළපෙන ඇඳුමින් පැළදුමින් සැරසුණු උස තරුණියක් දකින ඇතැම් තරුණයන් නම් මෙහෙමත් කියනවා. 

“ෂා! නියම හයිට් එක” 

ඒ කියන්නේ උස කියන එක තරුණියකට ආභරණයක් වෙන අවස්ථාවන් ද තියෙනවා කියන එක. මේක විශේෂයෙන් ආභරණයක් වෙන්නේ රූ රැජින තරග වැනි අවස්ථාවලදී. ඇතැම් අවස්ථාවන් හැරුණු විට උස කියන්නේ රූ රැජින තරගයක් සඳහා අත්‍යවශ්‍ය කාරණයක් නොවුනත් වැඩි දෙනෙකුගේ අවධානය යොමුවන්නේ උස තරුණියන්ට. නමුත් පිරිමියකුට වගේ ගැහැනියකට උසේ හැටියට මහත තිබුණොත් නම් ඒකත් සෑහෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එවිට අපට පෙනෙන්නේ යෝධ කාන්තාවක්. එහෙම කෙනෙක් දැක්කහම ටිකක් බය හිතෙන පෙනුමකුත් තියෙනවා. තරුණියකට ඒ වගේ පෙනුමක් තිබුණොත් සහකාරයකු සොයාගැනීමේදී යම් ගැටලුවලට මුහුණ දෙන්නට සිද්ධ වෙන්න පුළුවන්. එවැනි ඥාති යුවලක් ගැන අපේ වැඩිහිටියන් එක් අවස්ථාවක කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. 

“උඹලගේ පුංචා, බාප්පව වඩාගෙන තමයි ගමන් බිමන් යන්නේ” 

මේ වගේ කතාවක් ඇහුණොත් තරුණයෙක් නම් වහ කනවා සිකුරුයි. 

කොහොම වුණත් අධික උස කාන්තාවකට පොඩි අවුලක් වගේ පෙනුණත් ක්‍රීඩාවලට සම්බන්ධ නම් එවිට ඇත්තේ ආශීර්වාදයක්. විශේෂයෙන් පැසිපන්දු, දැල් පන්දු වැනි ක්‍රීඩාවලදී උස විශේෂයෙන් වැදගත් වෙනවා. අපේ රටේ කාන්තා දැල් පන්දු කණ්ඩායම සඳහා තෝරා ගත් කිහිප දෙනෙක් හැරුනාම ඉතිරි සියලු දෙනා අඩි හයට වඩා උසින් යුක්ත වුණා. විශේෂයෙන් අපේ රටේ දැල් පන්දු කණ්ඩායමේ සම නායිකාවක ලෙස ද කටයුතු කළ තර්ජනී සිවලිංගම්ගේ උස අඩි හයයි අඟල් දහයක් වුණා. තව අඟල් දෙකක් උස ගියා නම් අඩි හතයි. තර්ජනීව දැක්ක ගමන් සාමාන්‍ය අයට වගේ විරුද්ධ කණ්ඩයමේ අයටත් “අම්මෝ” කියලා කියැවුණේ නැත්නම් තමයි පුදුමේ. 

තර්ජනී සිවලිංගම් 


ලෝකයේ උසම කාන්තාවෝ ඉන්න රට හැටියට සැළකෙන්නේ නෙදර්ලන්තයයි. එහි කාන්තාවකගේ සාමාන්‍ය උස අඩි පහයි අඟල් හතක් වෙනවා. ඒ වගේම ලෝකයේ මිටිම කාන්තාවන් ඉන්නේ බොලීවියාවේ. එහි කාන්තාවකගේ සාමාන්‍ය උස අඩි හතරයි අඟල් 8ක් පමණ වෙනවා. 

යාඕ ඩිෆෙන් 


අපේ රටේ දැල් පන්දු ක්‍රීඩිකාව වුණු තර්ජනීගේ උස අඩි හතකට කිට්ටු වුණත් ඊටත් වඩා උස කාන්තාවන් ලෝකයේ ඉන්න බවත් සිටි බවත් කියන්න ඕන. යාඕ ඩිෆෙන් කියන චීන කාන්තාව අඩි හතයි අඟල් 8කින් යුක්ත වුණා. තව ඒ වගේ උස කාන්තාවෝ ඕනෑ තරම් ඉන්නවා. එංගලන්තයේ විලියම් කුමාරයාගේ බිරිඳ, ඒ කියන්නේ කේට් මිඩ්ල්ටන්  සාමාන්‍යයෙන් අනෙක් කාන්තාවන්ට වඩා ටිකක් උසයි. ඇගේ උස අඩි පහයි අඟල් දහයක් වෙනවා. ලෝකයේ උසින් වැඩි ජනප්‍රියතම කාන්තාවන් අතර ඇයත් ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බිරිඳ මිචෙල් ඔබාමා අඩි පහයි අඟල් නවයක් පමණ උසයි. 

ඩයනා පෙන්ටි 

අපේ රටේ බොහෝ දෙනෙක් නිතර අවධානයෙන් ඉන්න ඉන්දියාවේ බොලිවුඩ් පුරවරයේ ඉන්න උසම නිළිය තමයි ඩයනා පෙන්ටි. ඇය අඩි පහයි අඟල් දහයක් උසයි. ආමීර් ඛාන්ට නම් ඇයත් එක්ක රඟපාන්න වෙන්නේ බොරු කකුල් දාගෙන. ඒ වගේම සුසුමිතා සෙන්, සීනාත් අම්මාන්, දීපිකා පදුකොන්, අනුෂ්කා ෂර්මා ආදීන් ද අඩි පහයි අඟල් නවයේ සීමාව පසු කරනවා. 

ඉතින් මේ විදිහට බලද්දි උස කියන එක සාපේක්ෂ දෙයක් දෙයක් කියලා කියන්න පුළුවන්. කෙසේ නමුත් අධික ලෙස උසවීමත් අධික ලෙස මිටිවීමත් තරුණියකගේ පෙනුමට යම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. විශේෂිත වෘත්තීන්වල, ක්‍රීඩාවල යෙදී සිටින අය හැරුණාම අධික උසත් ප්‍රශ්නයක්. ඒ වගේම අධික මිටි බවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උපතින් ලැබුණු උස වැඩි කරගන්නත් උපක්‍රම තිබෙනවා. ක්‍රීඩාවේ නිරතවීම එයින් වඩා පහසු ක්‍රමයයි. දැල්පන්දු, පැසි පන්දු, අත් පන්දු වැනි ක්‍රීඩාවල යෙදීමෙන් උස තරමක් වර්ධණය කරගන්නට පුළුවන්. කෙසේ නමුත් උස හෝ මිටි බව තීරණය වන්නේ ඔබ, ඔබ ගැන සිතන ආකාරය අනුවයි. ඒ වගේම ඔබගේ සහකරුගේ උස අනුවත් ඔබට යම් ගැටලු ඇතිවිය හැකි බැවින් ඒවා ගැනත් සිතා බලන්න අමතක කරන්න එපා. උදාහරණයක් විදිහට ඉතා උස පිරිමියෙකු සමඟ ඉතා මිටි කාන්තාවක් සිටිනවා නම් වැඩි දෙනෙකුගේ අවධානය ඔවුන් වෙත යොමු වී ඔවුන් විශේෂ යුවලක් බවට පත්වෙන්න පුළුවන්. නමුත් දෙදෙනාම එක සමාන ලෙස ඉතා උස වුණත්, ඉතා  මිටි වුවත් කිසිවකුගේ විශේෂ අවධානයක් යොමු වෙන්නේ නැහැ. 

මෙවැනි කරුණු පිළිබඳ හොඳින් කල්පනා කොට තීරණ ගන්නවා නම් උස ඒ තරම් ගැටලුවක් වන්නේ නැහැ. අවසානයේ කියන්න තියෙන්නේ උස හෝ මිටි බව ගැන වැඩි දුර කල්පනා කරන්න එපා. එය ඔබේ උපතින් ලැබුණු දෙයක්. එයට අනුකූලව ජීවිතේ හැඩගස්වා ගන්නවා නම් ගැටලු මතුවන්නේ නැහැ. 



Monday, May 18, 2015

අලුත් පරපුරේ අමන පරපුර


අතීතයේ සිදු වූ දේ මතක නැති
අමන අලුත් පරපුරේ 
රණවිරුවන් මොවුහුය.
ත්‍රස්තයන් මැඩලා අපට නිදහස දෙන්නට දිවි කැප කළ රණ විරුවන් මේ අමනයන්ට මිනීමරුවන්ය.
කොටි කටේ සිට අහිංසකයන් කපා කොටා දැමුවේ මේ අමන පරපුරේ ඇසින් සොයුරන් වන
අපේ ඇසින් ත්‍රස්තයන් වන
කණ්ඩායම් විසිනි.
ඔවුන්ගේ ලොකු අයියා එසේ මිනීමරු ප්‍රභාකරන්ය.
අහෝ මේ අමන, කාලකන්නි ‘අපේ පරපුර‘




පහතින් ඇති එකත් කියවලාම යන්න



Sunday, May 17, 2015

නිදහසේ නියමුවන් සමරමු?


ත්‍රස්තයන් සිටින තාක් සෙබලුන් විරුවන් වේ

ත්‍රස්තයන් නැතිවුණු කල සෙබලුන් අවලංගු වේ

එබැවින් නිදහසේ නියමුවන් ස     මරමු!

Wednesday, May 13, 2015

කොන්ද කැක්කුම ගැන කතා කරමු - Lets Know about back pain


අපට නිතර වැළදෙන පොදු ලෙඩරෝග කිහිපයක්ම තියෙනවා. බඩේ කැක්කුම, ඔළුව කැක්කුම, කොන්ද කැක්කුම වගේ ලැයිස්තුවක් කියවාගෙන යන්න පුළුවන්. මේ අතුරිනුත් ලෝකයේ වැඩිදෙනෙක් පීඩා විඳින රෝග තත්වයක් තමයි කොන්ද කැක්කුම කියන්නේ. ඒ නිසා අපි ඒ ගැන යමක් කතා කරන්න හිතුවා. 

සාමාන්‍යයෙන් පැවසෙන විදිහට නම් ලෝකයේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 80%ක්ට පමණ ජීවිතයේ එක්වරක්වත් කුමක් හෝ කොන්ද කැක්කුම් තත්වයක් ඇතිවී තිබෙනවා. වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම සඳහා බොහෝ දෙනෙකුට පවතින පොදු හේතුව වශයෙන් සැළකෙන්නේ ද කොන්ද කැක්කුමයි. ජීවිතයේ ඕනෑම වයස් සීමාවකදී මෙය වැළඳිය හැකි වුවත්, සාමාන්‍යයෙන් අවුරුදු 35 - 55 අතර කාලයේ මෙය වැලඳීමේ වැඩි අවදානමක් ඇති බව පැවසෙනවා. වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ කොන්ද කැක්කුම ඇතිවන්නේ අපගේ අස්ථි, මාංශ පේශී හා අස්ථි බන්ධනි සාමූහිකව ක්‍රියාකාරීවීමේදී ඇතිවන විවිධ ගැටළු නිසා බවයි. 

කටී ප්‍රදේශය, කශේරුකාව අතර ඇති තැටි, ෂුෂුම්නාව සහ තැටි වටා ඇති අස්ථි බන්ධනි, ෂුෂුම්නාව සහ ස්නායු, කොන්දේ පහළ ඇති ඇති මාශ පේශී, යටිබඩ සහ ශ්‍රෝණි ප්‍රදේශයේ ඇති අභ්‍යන්තර අවයව සහ කටී ප්‍රදේශයේ ඇති චර්මයට සම්බන්ධ කාරණා නිසා කොන්දේ පහළට වන්නට කැක්කුමක් ඇතිවන බව පැවසෙනවා. 

ඒ වගේම කොන්දේ ඉහළ ප්‍රදේශයෙන් ඇතිවන කැක්කුම මහා ධමනියේ ඇතිවන අක්‍රමිකතා, පපුවේ ඇති ටියුමර සහ කොන්ද ප්‍රදේශයේ ඇතිවය හැකි ප්‍රදාහයන්වලට සම්බන්ධ බවත් සෙයොගෙන තිබෙනවා. 

කොන්ද කැක්කුම ඇතිවීම සඳහා ඇති අවදානම් සාධක 

අවදානම් සාධකයක් ලෙසින් හඳුන්වන්නනේ කිසියම් වූ තත්වයක් හෝ රෝගයක් ඇතිවීම සඳහා වූ හැකියාව ඉහළ දැමීමට හේතුවන යම්කිසි කරුණක්  ලෙස හඳුන්වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ස්ථුලභාවය ඇති පුද්ගලයකු තුළ දියවැඩියාවේ දෙවැනි තත්වය ඇතිවීමේ අවදානමක් පවතිනවා. එබැවින් දියවැඩියාවේ දෙවැනි තත්වය ඇතිවන්නට හේතු වන අවදානම් සාධකය වන්නේ ස්ථුලභාවයයි. කොන්දේ පහළ ප්‍රදේශයේ කැක්කුම ඇතිවීමේ අවදානම ඉහළ දැමීමට පහත සඳහන් සාධක ඉවහල්වන බව සොයාගෙන තිබෙනවා. 

මානසික වශයෙන් ආතතිය ඇතිවන රැකියා, ගර්භනී භාවය (ගර්භනී කාත්නාවන් තුළ කොන්දේ කැක්කුම ඇතිවන්නට ඇති නැඹුරුව ඉතා ඉහළයි), ව්‍යයාම නොකිරීම, වයස (තරුණ වියේ පසුවන්නන්ට වඩා වැඩිහිටිවියේ පසුවන්නන් කොන්දේ කැක්කකුම්වලට ලක්වීමේ අවදානම ඉහළයි), කාංසා තත්වයන්, විෂාදය, ස්ත්‍රී පුරුෂ භාවය (පිරිමින්ට වඩා කාන්තාවන් කොන්ද කැක්කුම්වලට ලක්වීමේ අවදානම ඉහළයි), ස්ථුලභාවය, දුම්බීම, අක්‍රමවත් ලෙස ව්‍යයාම සිදුකිරීම, අක්‍රමවත් ශාරීරික ක්‍රියාකාරකම් 

කොන්ද කැක්කුමේ රෝග ලක්ෂණ මොනවාද? 

මේවා අතරට රෝගියා විසින් සොයා ගන්නා සහ වෙද්‍යවරුන් විසින් සොයාගන්නා වූ සියලු ලක්ෂණ ඇතුළත් විය හැකියි. ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ මෙහි නමින්ම කියැවෙන පරිදි කොන්දේ කොතැනක හෝ ඇතිවන වේදනාවයි. ඇතැම් විට මෙම වේදනාව තට්ටම් සහ පාද දක්වා වුව පැතිර යා හැකියි. බොහෝ අවස්ථාවලදි මෙම රෝග ලක්ෂණ කෙටි කලක් තුළ නැතිව යයි. 

පහත සඳහන් කුමන හෝ රෝග ලක්ෂණයක් ඔබ හඳුනාගත්තා නම් වහාම වෛද්‍යවරයකු හමුවට යා යුතුයි. 

බර අඩුවීම, සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම (නිතර ඇති වන උණ), කොන්දේ ඇතිවන ප්‍රදාහයන්, එක් දිගට පිට කොන්දේ පවතින කැක්කුම (විවේක ගත්ත ද සහනයක් නොලැබෙන තත්වයක පවතින වේදනාව), දෙපා හා දණහිස දක්වා පැතිර යන වේදනාව, නුදුරු දිනයක පිට කොන්දේ ඇති වූ තුවාලයක්, යම්කිසි තැනක වැදීමක් හෝ කම්පන තත්වයක්, මුත්‍රා පහකිරීම සම්බන්ධව ඇතිවන යම් යම් දුර්වලකම්, වේදනාවන් හෝ දුෂ්කරතාවයන් ආදිය, ලිංගේන්ද්‍රිය, ගුද මාර්ගය හා තට්ටම් ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන හිරි වැටීම. 

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය විසින් නිර්දේශ කරන පරිදි පහත සඳහන් කාණ්ඩවලට අයත් පුද්ගලයන් සුළු කොන්දේ කැක්කුමක් ඇති වුව ද වහා ප්‍රතිකාර ගත යුතුයි. 

අවුරුදු 20ට අඩු හා අවුරුදු 55 ට වැඩි, මාස කිහිපයක් තිස්සේ විටමින හෝ හෝමොන අඩංගු පෙති භාවිත කරන්නන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, පිළිකා රෝගීන්, පිළිකා පැවති රෝගීන්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇතැයි වෛද්‍යවරුන් විසින් තීරණය කරන ලද රෝගීන් 

කොන්දේ කැක්කුමට හේතු මොනවාද? 

මිනිස් පිටකොන්ද සංකීර්ණ මාංශපේශී, අස්ථි බන්ධන, තැටි, කණ්ඩරා සහ අස්ථිවලින් සමන්විත ව්‍යුහයක්. ඒ වාගේම අපගේ කොඳු නාරටියේ අස්ථි, කොට්ට වැනි කාටිලේජවලින් ආරක්ෂාවී තිබෙනවා. මේ එක් තැනක හෝ ඇතිවන කුමක් හෝ අක්‍රමිකතාවයක් නිසා කොන්දේ කැක්කුමක් ඇතිවිය හැකියි. ඇතැම් විට කොන්ද කැක්කුම් ඇතිවන හේතුව සොයා නොගත් අවස්ථාද තිබෙනවා. පහත සඳහන් කොට ඇති පොදු කරුණු  ද කොන්දේ කැක්කුමක් සඳහා හේතුවිය හැකියි. 

ආතතිය, ශාරීරික වෙහෙස - මෙහිදී මාංශ පේශීවල හා අස්ථි බන්ධනවල අතිවන තදවීම, අක්‍රමවත් ලෙස යමක් එසැවීම, අධික බරින් යුක්ත දෙයක් එසැවීම, අක්‍රමවත් ගමන් විලාශ (උස් අඩි පාවහන් පැළඳීමේදී වැනි), මාංශපේශීවල ඇතිවන කම්පන තත්වයන්. 

ඒ වාගේම  කොඳු නාරටියේ ඇති තැටි බිඳී යාම, තැටි ඉදිමීම, සයටිකා නම් තත්ත්වය, ආතරයිටිස්, ෂුෂුම්නාවේ ඇතිවන අසාමාන්‍ය වක්‍රතාවය, ඔස්ටියෝපොරෝසිස් තත්වය, ෂුෂුම්නාවේ ඇතිවන පිළිකා, ෂුෂුම්නා ආසාදන, වෙනත් ආසාදන, අක්‍රමවත් ලෙස නිදාගැනීම, ස්නායුවලට බලපෑ හැකි ආසාදන, ප්‍රමිතියෙන් තොර මෙට්ට භාවිතය ආදී ව්‍යුහාත්මක කරුණු. 

කොන්ද කැක්කුම ගැන යම් අවබෝධයක් ලබාගැනීමට මෙම කරුණු ඔබට ඉවහල් වන්නට ඇති. කොන්ද කැක්කුමක ලක්ෂණ තමාට ඇති බවට හෝ කොන්ද කැක්කුමක් ඇතිවිය හැකි කරුණුවලට ඔබ බඳුන් වී සිටින බවට හෝ  යම් අවස්ථාවක සැකයක් පහළ වූයේ නම් වහාම කළ යුත්තේ වෛද්‍යවරයකු හමුවන්නට යාමයි. කල්ගතවීමෙන් හෝ අතපසුවීමෙන් සිදුවන්නේ තත්වය බරපතලවීම පමණයි. 

Monday, May 11, 2015

මැසි දඩයම හෙවත් මගේ හොල්මන් චිත්‍රපටය - Evil Fly Hunt, a home made horror movie


ස්පීකර්වල සද්දේ වැඩි කරලා මේක බලන්න අමතක                               කරන්න එපා.

දැන් ටික කාලෙකට කලින් අපේ ඔෆිස් එකට මැස්සෙක් ඇවිත් හරි ජංජාලයක් වුණා. 

මැස්සව එළවන්න කට්ටිය දඟලන අතරේ මගේ ජංගම දුරකතනයෙන් මේක පටිගත කළා. 

ඒකේ වීඩියෝ ගුණත්වය ඉහළ නැතත් පස්සේ මේක බලද්දි නිකං පොඩි හොල්මං ගතියක් මේ වීඩියෝ එකේ තියෙනවා වගේ දැක්කා. 

ඒ නිසා මම මට පුළුවන් වැඩ ටිකක් දාලා (මම වීඩියෝ සංස්කරණය ගැන මෙලෝ දෙයක් නොදන්නා කෙනෙක් බව කාරුණිකව සළකන්න) වීඩියෝ එකක් හැදුවා. 

ඒක මම ඒ දවස්වලම Evil Fly Hunt නමින් යූටියුබ් එකට දැම්මා. 

මේ ළඟදි අපේ යාළුවෝ කීප දෙනෙක් මේක බලලා ඒ ගැන කියපු නිසා ඒ ගැන මතකය ආයේ අලුත් වුණා. 

ඒ දවස්වල මට බ්ලොග් එකක් නොතිබුණු නිසා ඒක බෙදාගන්න ක්‍රමයක් තිබුණේ නෑ.

දැන් බ්ලොග් එක තියෙන නිසා මෙන්න දානවා. බලන්න කොහොමද කියලා.

ස්පීකර්වල සද්දේ වැඩි කරලා මේක බලන්න අමතක කරන්න එපා.

Sunday, May 10, 2015

වෙසක් කූඩුවට පාට තුනේ LED - Tri Colour LED for Vesak Lanterns



මම මේ කියන්න යන්නේ විශේෂ තාක්ෂණික රහසක් නෙවෙයි. කවුරුත් දන්න දෙයක්. නමුත් අපේ ගෙවල් පැත්තේ කවුරුවත් මේක කරලා තියෙනවා දැක්කේ නැති නිසා මට හිතුණා නිකමට වගේ බ්ලොග් එකට ලියලා දාන්න. ඒ තමයි වෙසක් කූඩුවලට පාට තුනේ LED දාන එක. 

වෙනදා නම් කරන්නේ වෝල්ට් 230න් වැඩ කරන වොට් 5 පාට බල්බ් වෙසක් කූඩුවලට දාන එකනේ. මේ ගමන මට හිතුණා පාට තුනේ LED බල්බ්වලින් මේ වැඩේ කරන්න. මේ ගැන වැඩිය නොසිතුපු කෙනෙක් මේ බ්ලොග් එක පැත්තේ අවොත් පහසුවෙන්ම කරගන්න පුළුවන් කියලා දැනෙයි. 



සාමාන්‍යයෙන් LED බල්බ් එකකට සරල ධාරාව වෝල්ට් 3ක් දුන්නාම දැල්වෙනවා. ඒ නිසා මම කළේ මේ පින්තූරයේ තියෙන  විදිහට පාට තුනේ LED බල්බ් 5ක් සමාන්තරගත විදිහට ඊයම්වලින් පාස්ස ගත්ත එක. මේකට විදුලය ලබාදෙන්න ප්‍රත්‍යාවර්ථ ධාරාව කෙලින්ම සරල ධාරාවක් කරන පරිපථයක් සකස් කරගන්නත් පුළුවන්. අර දැන් LED  බල්බ් පත්තු කරන්න හදන පරිපථ වගේ. නමුත් මතක තියාගන්න මෙතන සරල ධාරාව වෝල්ට් 3 යි අවශ්‍ය. මම කළේ වෝල්ට් 3ක සැපයුමක් ඇති කුඩා ට්‍රාන්ස්ෆෝමරයකින් විදුලි බලය සපයපු එක. රෙක්ටිපයර් 4ක් සහිත බ්‍රිජ් රෙක්ටිපයර් පරිපථයක් ඉලොක්ට්‍රොනික් බඩු කඩයකින් ගන්න පුළුවන්. 



ඉන් පස්සේ මේ පින්තූරයේ පෙනෙන විදිහට කට්ටල 4ක් හදලා වෙසක් කුඩුවලට සවි කළා. අඳුර වැටුනාම මෙම බල්බ් අලංකාරව පෙනෙනවා.
 

දත්වලින් හෙළිවන ඔබේ බලු හෝ බළල් සුරතලාගේ වයස - How to tell the age of your pet by their teeth?




අපේ සමාජයේ බොහෝ දෙනෙක් තම නිවසේ සුරතලයට බල්ලකු හෝ බළලකු ඇතිදැඩි කරන්නට පුරුදුව සිටිනවා. ඔවුන් තම සුරතලා ගැන බොහෝ දේ දැන සිටියත් හදිසියේ කවුරුන් හෝ මේ සුරතලාගේ වයස විමසූ විට ටිකක් අපහසුවට පත්වෙනවා. ඇතැම් අයට තම සුරතලාගේ වයස මතක තිබුණත් ඇතැම් අයට මතක නැහැ. අපට වගේ උප්පැනයක් තියෙන්නේ වංශක්කාර බලු හෝ බළල් සුරතලුන්ට විතරයි නේ. ගමේ ගොඩේ හැදෙන බලු හෝ බළල් සුරතලුන්ට එවැන්නක් නැහැ. නමුත් ඔබට ඉදිරියේදී එවැනි ගැටලුවක් ඇති නොවෙන්න ක්‍රමයක් කියා දෙන්නයි දැන් හදන්නේ. මේක විද්‍යාත්මක ක්‍රමයක් නිසා වරදින්නෙත් නැහැ. දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මුළින්ම මෙහි පළ කොට ඇති පින්තූරය දෙස බලන්න. එහි ඇත්තේ බල්ලන්ගේ හෝ බළලුන්ගේ දත් පිහිටා ඇති ආකාරයයි. මෙහි බල්ලන්ට සහ බළලුන්ට වෙන් වශයෙන් පින්තූර යොදා නැත්තේ ඔවුන්ගේ හිස් කබලේ දත් පිහිටා ඇති ආකාරය සමාන නිසයි. ඔබේ සුරතලාගේ වයස කියන්නට යොදා ගන්නේ ඔවුන්ගේ දත්වල වර්ධනයයි. මෙහදී ඔබ මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මෙයින් පැවසෙන වයස දළ වශයෙන් කිව හැකි වයසක් වීම. අනෙක තමන්ගේ බලු හෝ බළල් සුරතගලාගේ දන්ත සෞඛ්‍යය ගැන කවුරුන් හෝ වැඩි උනන්දුවක් දක්වනවා නම් ඔවුන්ගේ දත්වල පෙනුම සාමාන්‍ය බලු හෝ බළල් සුරතලකුට වඩා යහපත් තත්වයක පවතින බවත් කිව යුතුයි. ඒ වගේම එකම මවගෙන් පැවැත එන පැටවුන්ගේ ද දත්වල වර්ධනයේ යම් යම් වෙනස්කම් තිබිය හැකි බව ද සඳහන් කළ යුතුයි. 


Friday, May 8, 2015

සංඝ සමාජයේ ඉරණම - Fate of the Sangha Community


මට හිතෙන විදිහට නම් මේ වෙන කොට අපේ සංඝ සමාජය හෑල්ලුවකට ලක්වෙමින් පවතිනවා. 

මේ තත්වය ඇතිකරගෙන තියෙන්නෙත් සංඝයා වහන්සේලාම තමයි. මහනායක හාමුදුරුවරු මෙයට සෑහෙන්න වගකියන්න ඕන. 

සංඝයා වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් පාලකයන්ට අනුශාසනා කළ බව තමයි අතීතයෙන් අසන්නට ලැබෙන්නේ. 

නමුත් අද වෙලා තියෙන්නේ නිකාය විදිහට විතරක් නෙවෙයි තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන් සංඝ සමාජය පිල්වලට බෙදිලා. 

තමන් අනුගමනය කළ යුතු මතවාදය බෞද්ධ දර්ශනය බව සියලු දෙනාට අමතක වෙලා. 

ඇතැම් සංඝයා වහන්සේලා උද්ඝෝෂණවලට සහභාගීවෙන්නේ වියරු වැටිලා. 

නමුත් අනෙක් කිසිම ආගමක නායකයන් තමන් තුළ කුමන දේශපාලන මතවාදයක් තිබුණත් ඔවුන් තම ආගම යටතේ එක් ප්‍රජාවක් විදිහට ඉන්නවා. 

මා හිතන්නේ නම් සංඝයා වහන්සේ කළ යුත්තේ අපේ රට වෙනුවෙන්, රටේ උන්නතිය වෙනුවෙන් පාලකයන්ව හැසිරවීමයි. 

එහිදී දේශපාලන මතවාද නොව ප්‍රඥාවෙන් යුක්තව සියලු ජාතීන්ගේ හා ආගමිකයන්ගේ හිත සුව පිණිස රට මෙහෙයවීමයි කළ යුත්තේ. 

නමුත් දේශපාලුවන්ගේ ගැටවලට අසුවුණු සංඝ සමාජය කෙමෙන් තමන්ගේ ගෞරවය හානි කරගනිමින් පවතිනවා. 

සංඝ සමාජය පිළිබඳ ජාත්‍යන්තරයට වැරදි ප්‍රතිරූපයක් යනවා. 

මහනායක හාමුදුරුවරු මේ සියල්ල දැක නොදැක්කා සේ බලා ඉන්නවා. 

උන්වහන්සේලාට ආණ්ඩුවෙන් සියලු සැප සම්පත් ලැබෙනවා. 

ඒ වෙනුවෙන් තමන් වෙත එන හැමෝටම පිරිත් නූල් බැඳලා කුමක් හෝ දෙයක් මාධ්‍යයට කියනවා. දෙයියනේ කියලා ඉන්නවා. 

ඔලුව වටේ රේස් පැද්දත් ඇහක් ඇරලා බලන්නේ නැහැ. 

මෙහෙම ගියොත් බුදුදහමටත්, එය ඉදිරියට රැගෙන යන්න යැයි කියමින් සිටින සංඝ පරම්පරාවන්ටත් 

අබසරණයි! 

Wednesday, May 6, 2015

අහෝ විල්පත්තුව - Oh, Dear Forest, Wilpattu


ආශ්චර්යයෙන් ඇරඹිණි 

යහපාලනයේ ද යහතිනි 

අලියා ද 

කොටියා ද 

වලසා ද 

බිය විණි 

අපි පක්ෂයේ පාටින් දබර විණි. 

විල්පත්තුව වැනසිනි 

Sunday, May 3, 2015

ඉන්දියාවේ වෙසක් - Vesak in India



මේ වෙසක් මාසයයි. ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා විසිරී පැතිරී සිටින සියලු බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ තෙමඟුළ සිහිපත් කෙරෙන වෙසක් උත්සවය දැහැමිව සමරති. අප රටේ මේ වෙනුවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් විවිධ උත්සව සංවිධානය කෙරෙයි. උත්සවයන්ගේ ස්වරූපවල යම් යම් වෙනස්කම් තිබුණ ද සෙසු බෞද්ධ රටවල ද මේ හා සමානව විවිධ උත්සව පැවැත්වේ. හින්දු බහුතරයක් වෙසෙන රටක් වුව ද අප අසල්වැසි ඉන්දියාවේ ද වෙසක් උත්සවය කැපී පෙනෙන ලෙස සැමරීම සිදුකෙරේ. එබැවින් අප කතා බහ කරන්නට සැරසෙන්නේ ඉන්දියාවේ වෙසක් උත්සවය පිළිබඳවය. 

ජාත්‍යන්තරයේ සම්මත අයුරින් වෙසක් උත්සවය යෙදෙන මාසය මැයි වන අතර එය හින්දු දිනදසුනේ ‛වෛශාඛ්‍ය’ නමින් හඳුන්වනු ලබයි. ‛වෙසක්’ ලෙස සිංහල බසට පැමිණෙන්නේ ද මෙය විය හැකිය. ඉනිදියාවේ සිටින බොදුනුවන් අතර මෙම උත්සවය බුදුන්ගේ ජන්ම දිනය, බුද්ධ ජයන්ති, බුද්ධ පූර්ණිමා, වෛශාඛ් පූර්ණිමා හා වෙසක් දිනය වැනි විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. මෙදින බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරුණ ද  ඉන්දියාවේ බොදුනුවන් බහුතරයක් මෙය බුදුන් වහන්සේගේ උපන්දිනයට ප්‍රමුඛත්වය දී සමරණ බව ඇතැම් උත්සවවල ස්වරූපයන්ගෙන් පෙනේ. ඉන්දියාවේ ඇතැම් බෞද්ධ විහාරස්ථානවල සිදුහත් කුමරුගේ කුඩා පිළිමයක් තබා තිබෙන අතර එතැනම මල් දැමූ ශුද්ධ ජලය සහිත තරමක් විශාල භාජනයක් තබා තිබේ. මෙම ස්ථානය පැමිණෙන බොදුනුවෝ ශුද්ධ ජලයෙන් සිදුහත් කුමරුගේ පිළිමය නැහැවීම සිදුකෙරේ. එයින් ඔවුන් බලාපොරොත්තුවන්නේ ජීවිතයේ නව ආරම්භයකි. 

ඉන්දියානු බොදුනුවන් ද අප රටේ සේම ආමිෂ හා ප්‍රතිපත්ති පුජා සිදුකරන බැව් පෙනෙන්නට තිබේ. ඒවා අතර පංචශීලය සහ අෂ්ටාංගශීලය සමාදන් වීම, ‛සුත්‍රාපත්’ හා ‛සුත්‍රාශ්‍රබාන්’ යන නම්වලින් හැඳින්වෙන භාවනාමය වැඩසටහන් ආදිය සිදු කෙරේ. එමෙන්ම  වෙළෙඳ පළක් පැවැත්වීම හා ‛බෝධිරූම් මේලා’ නමින් හැඳින්වෙන උත්සවය ඇතුළු ආමිෂ පූජා ගණයට වැටෙන තවත් බොහෝ උත්සව සංවිධානය කෙරේ. බෞද්ධ සංවිධාන මගින් බුදුදහම ඇතුළත් පොත පත, සඟරා සහ වෙනත් අත් පත්‍රිකා ආදිය මිනිසුන් අතර බෙදාදීම ද විශේෂයෙන් කැපී පෙනෙන්නකි. බොදුනුවන්ට සිය ආගමික කටයුතු නිදහසේ ඉටුකරගන්නට ඉඩ සළසමින් මෙම දිනයේදී ඉන්දියාවේ රජයේ කාර්යාල සහ බැංකු වසා තැබෙන අතර වෙළෙඳ සල් බොහොමයක් ද වසා තැබේ. ඇතැම් ඒවා පැය කිහිපයක් පමණක් විවෘත කොට තබා වසා දැමේ. 

පොදු ජනතාව අතර බුදුන් වහ්නසේගේ පණිවිඩය පතුරුවාලීම සඳහා විශේෂ වැඩසටහන් හා පණිවිඩ ගුවන් විදුලි හා රූපවාහිනි නාලික අතර වැඩි වශයෙන් ප්‍රචාරය කෙරේ. ලොව වටා සිටින බොදුනුවෝ බුදුන් බුද්ධත්වයට පත් වූ ‛බෝධ් ගයා’ (බුද්ධගයා) වෙත පැමිණෙන්නේ එහි පැවැත්වෙන බුද්ධ පූර්ණිමා උත්සවවලට සහභාගීවනු පිණිසය. එහිදී ගෞතම බුදුන් වහන්සේගේ දෙසුම් සිහිපත්කිරීම, උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව දේශනයන් පැවැත්වීම හා ඒවාට සවන්දීම, බෞද්ධ පොත පත පිළිබඳ සංවාද සංවිධානය කිරීම, බුදුන් වහන්සේගේ ප්‍රතිමා වන්දනාව හා පෙරහර පැවැත්වීම ආදී බොහෝ කටයුතු මෙහිදී සිදුකෙරේ.  බොහෝ බොදුනුවන් අතර බුද්ධ පූර්ණිමා සමයේදී ධර්ම චක්‍රයක් පැවතීම විශේෂයෙන් දැකිය හැකි දෙයකි. 

බෞද්ධ විහාරස්ථාන කරා පැමිණෙන බොදුනුවෝ බුදුන් වහන්සේට ශුද්ධ වූ ජලය පූජා කරන අතර මලින්, ගඳින්, පහන්, ඉටිපන්දම් හා විවිධ පලතුරුවලින් වැඳුම් පිදුම් කරති. බුදු දහමට අනුව සියලු සත්වයන්ගේ මූලික අයිතියක් වූ ‛නිදහස’ සිහිපත් කරනු පිණිස කූඩු කර සිටින සතුන් නිදහස්කිරීම ද මෙම දිනයේදී සිදුකෙරේ. 

බුද්ධ පූර්ණිමා දිනයේදී බොදුනුවන් විසින් මහාබෝධි විහාරස්ථානය විවිධ මලින්, දජ පතාකවලින් හා වෙනත් විසිතුරු ද්‍රව්‍යයන්ගෙන් සැරසීම සිදුකෙරේ. එමෙන්ම මල් මිශ්‍ර ජලයෙන් ස්නානය කිරීම, එම ශුද්ධ වූ දිය ස්නානයෙන් පසුව සුදු පැහැ ඇඳුම් ඇඟලීම, බුදුන් වහන්සේගේ දෙසුම් කියැවීම හා සවන්දීම, ‛ඛීර්’ නමින් හැඳින්වෙන්නා වූ සහල් පුඩිම් අනුභවය හා ඒවා ජනතාව අතර බෙදාදීම ද සිදු කෙරේ. පොදු ස්ථානවල පිරිසුදු ජලය පිරි ටැංකි තබා ජනතාවට ඒවා පානය කරන්නට සැලසීම ආදිය ද මෙම දිනයේදී ඉන්දියානු බොදුනුවන් අතින් සිදු වේ. එමෙන්ම දිළිඳු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීම ද මෙම දිනයේදී සිදු කෙරේ. 

ඉන්දියාවේ හිමාල කඳු පෙදෙස්වලට ආසන්නව පවතින සිකිම් ප්‍රාන්තයේ ‛ගැන්ග්ටොක්’ නමින් විශාල නගරයක් පවතින අතර එහි ‛එන්චේ’ නමින් බෞද්ධ ආශ්‍රමයක් පවතී. එය අයත්වන්නේ වජ්‍රයාන බුදුදහමට අයත් ‛නින්ග්මා’ නිකායටය. එම බෞද්ධ ආශ්‍රමයේ තැන්පත්කොට ඇති විවිධ ධර්ම ග්‍රන්ථ වැඩමාවාගෙන යමින් සිදුකෙරෙන පෙරහර ද විශේෂයෙන් කැපී පෙනෙන උත්සව අවස්ථාවකි. ඉන්දියාවේ බෝධ්ගයා, සාරානාත් වැනි සුප්‍රකට බෞද්ධ ස්ථාන හැරුණු විට ලඩාඛ්, අරුනාචල් ප්‍රදේශ්, සිකිම්, බුද්ධ ජයන්ති උද්‍යානය, දිල්ලිය ආදී ස්ථාන හා නගරවලද බුද්ධ පූර්ණිමා උත්සවය උත්කර්ෂවත් අයුරින් සැමරේ.

 

Friday, May 1, 2015

කැටපත් පවුර සහ ගෙදර බිත්තිය



අපේ අසල්වැසියෙක් තම කුඩා පුතුට බැණ වදිනවා. 

“යකෝ මම හැමදාම කියනවා බිත්තියේ අරවා මේවා කුරුටුගාන්න එපා කියලා. මුන් හැමදාම කරන්නේ අමාරුවෙන් හදාගත්තු බිත්තිය කුරුටු ගාන එක. මාව කාපියව්!” 

“අච්චර පරණ සීගිරි කැටපත් පවුරේ කුරුටු ගාපු කෙල්ල ගැනත් අනුකම්පා කළ එකේ මේ අලුතින් හදපු බිත්තියේ කුරුටු ගෑවට මොකෝ.” 

මට එහෙම හිතුණා. 

 

කම්කරු මහා සේල්




අද ලෝක කම්කරු දිනය ලු. 

කම්කරුවන්ගෙන් කපා ගන්නා බදු මුදලින් දේශපාලඥයින් රැස්වීම් පවත්වන දිනය අදයි. 

උපන් දා සිටම දේශපාලඥයන්ට රැවටෙන කම්කරුවන්, සේල් දමමින් රැවටෙන දිනය අදයි. 

රටේ ආර්ථිකය නගා සිටුවන කම්කරුවන්ගේ ආත්මය බත් පාර්සලයට, තොප්පියට, අරක්කු බෝතලයට පාවා දෙන්නට සිදුවන දවස අදයි. 

දේශපාලඥයින් ‛කම්කරු බයිලා’ ගයන දවස අදයි. 

වසර මැදදී කම්කරුවන් රවටමින් දේශපාලඥයින්ට කම්කරු ශ්‍රමය සේල් දමන්නට ලැබෙන දවස අදයි.

වෙනත් වචනයකින් පවසනවා නම් වසර මැද කම්කරු සේල් දවස අදයි. 

තවත් රැවටෙන කතා බොහොමයි. 

ඒ කතා කොයි තරම් කිව්වත් වැඩක් වෙන්නේ නැති දවස ද අදයි.