පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, August 28, 2015

කර්ණ ශංඛ බද්ධ සැත්කම යනු කුමක්ද? - What is Cochlear Implant Surgery?


අප රටේ ප්‍රථම වරට රජයේ රෝහලකදී කන් දෙකම සඳහා වූ සාර්ථක කර්ණ සංඛ අරෝපණ බද්ධයක්’ (Cochlear Implant Surgery) කිරීමට පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා ඇතුළු කණ්ඩායමට හැකි වූ බව පසුගිය දිනවල අසන්නට ලැබිණි. ශ්‍රවණාබාධයක් සහිත කුඩා දරුවකු සඳහා සිදුකෙරුණු මෙම ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදු වූ බව වෛද්‍යවරයා සඳහන් කළේය. මෙම සැත්කම සඳහා නිර්වින්ද කටයුතු මෙහෙයවා ඇත්තේ පේරාදෙනිය ළමා රෝහලේ නිර්වින්දන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටිආරච්චි මහතාය.

කර්ණ ශංඛ ආරෝපණ බද්ධය යනු කුමක්ද?

බොහෝ දෙනෙකු මෙහිදී එකවර සිතන්නේ අපගේ අභ්‍යන්තර කණට කර්ණ ශංඛයක් බද්ධකිරීමක් සිදුවනවා යනුවෙනි. නමුත් සැබවින්ම සිදුවන්නේ එවැන්නක් නොවේ. මෙයට පෙර අපි කණක අභ්‍යන්තර සැලැස්ම පිළිබඳ සරල අවබෝධයක් ලබාගැනීම අවශ්‍ය වේ. කණ මූලිකව කොටස් තුනකින් සමන්විත වේ.

1. බාහිර කණ
අපට සාමාන්‍යයෙන් පෙනෙන කණේ කොටස වන්නේ මෙයයි. මෙය කණ් බෙරයෙන් කෙළවර වේ. බාහිර ශබ්දය කණට ඇතුළු වන්නේ මෙහි ඇති බාහිර ශ්‍රවණ නාලය ඔස්සේය.

2. මැද කණ
බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ ඇතුළු වූ ශබ්දය මගින් කණ් බෙරය කම්පනයට පත්කරන අතර එයට ඇතුළු පැත්තේ වූ ඇතුළු කණෙහි ඇති අස්ථි තුනක් ද මෙම ශබ්දය මගින් කම්පනයට ලක් වේ. එහිදී ශබ්දය වර්ධණය කිරීමක් ද සිදු වේ.

3. ඇතුළු කණ
මැද කණ මගින් වර්ධණය වූ ශබ්දය ඉන් පසුව ඇතුළු කණ කරා ගමන් කරයි. එහි ඇති කර්ණ ශංඛය ඔස්සේ මෙම ශබ්ද ස්නායු සංඥාවක් බවට පත්කොට මොලයට ගමන් ගන්නා ශ්‍රව්‍ය ස්නායුව වෙත ලබාදෙයි. එම සංඥාව මොලයට ගමන් කළ පසු අපට ශබ්දය ඇසේ.

ශ්‍රවණාබාධ විවිධ කරුණු නිසා ඇති විය හැකිය. ඇතැමුන්ගේ උපතින්ම බාහිර කණෙහි ඇති ශ්‍රවණ නාලය හෙවත් සරල ලෙස සඳහන් කළහොත් සිදුර පිහිටා නැත. ඇතැුමුන්ගේ බාහිර හා මැද කණ යම් අනතුරක් නිසා හෝ රෝගී තත්වයක් නිසා අහිමිවීම හෝ අකර්මණ්‍ය විය හැකිය. එවිට බාහිරින් ලැබෙන ශබ්ද කර්ණ ශංඛය කරා පැමිණීමේ ඉඩක් ලැබෙන්නේ නැත. එවිට සිදු කරන්නේ ශල්‍යකර්මයක් මගින් බාහිර ශබ්ද කෙළින්ම ඇතුළු කණෙහි කර්ණ ශංඛය කරා ගමන් කරවීම සඳහා කණ් පෙත්තට පිටුපසින් සිදුරක් නිර්මාණය කොට එය කර්ණ ශංඛය කරා ගමන් කිරීම සඳහා ඉඩ කඩ සැළසීමයි. මෙහිදී ශබ්දය ගමන් කිරීම සඳහා මාර්ගයක් නිර්මාණය කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. බාහිර සහ මැද කණ මගින් සිදුකෙරෙන කාර්යභාරය ද සිදු කොට එය අභ්‍යන්තර කණ කරා ගමන් කරවිය යුතු වේ. මේ සඳහා ඉලෙක්ට්‍රොනික කොටස් දෙකක් අවශ්‍ය වේ.


1. මයික්‍රෆෝනයක්, කථන සකසනයක් සහ සම්ප්‍රේෂණ පද්ධතියක්

2. ග්‍රාහකයක් සහ ඉලෙක්ට්‍රෝඩ පද්ධතියක්. මෙයින් සිදුකරන්නේ බාහිර ඉලෙක්ට්‍රොනික් පද්ධතියෙන් ලබාගන්නා සංඥා විද්‍යුත් තරංග බවට පත් කොට අභ්‍යන්තර කණට ලබාදීමය.

මෙම උපකරණ දෙක මගින් බාහිර සහ අභ්‍යන්තර කණෙහි කාර්යභාරයන් ඉටු කරන නිසා ශ්‍රවණාබාධ සහිත රෝගියාට නැවත ශ්‍රවණ හැකියාව ලැබේ. මෙම සැත්කම සඳහා ගත වනුයේ පැයක පමණ කාලයකි.

පේරාදෙණිය රෝහලේ සිදු කළ මෙහි විශේෂත්වය වන්නේ කණ් දෙක සඳහාම මෙම ශල්‍යකර්මය සිදුකිරීමය. මෙයට පෙර ලේඩි රිජ්වේ ළමා රෝහලේ මෙන්ම ලංකා හොස්පිටල් හිදී එක් කණක් සඳහා සාර්ථක ලෙස කර්ණ ශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්ම රැසක්ම සිදුකොට තිබේ.

කර්ණ ශංඛ බද්ධ සැත්කමක් සිදුකිරීමෙන් පසු රෝගීන්ට හඬ හඳුනාගැනීමේ පුහුණුවක්ද ලබා දේ.

මේ සඳහා කෙතරම් මුදල් වැයවනවාද?


විදෙස් රටකදී මෙම ශල්‍යකර්මය සිදුකිරීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් මිලියන 2.9ක් පමණ වැය වෙතැයි පැවසේ. කෙසේ නමුත් රජයේ රෝහල්වල මෙය නොමිලයේ සිදුකරගත හැකිය. ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෝහල්වලින් දැනගත හැකිවනු ඇත. මේ පිළිබඳ බොහෝ දෙනෙකු තුළ දැනුවත් බවක් නොමැති බව ද පෙනෙන්නට තිබේ.


Monday, August 24, 2015

පරිගණකය ඔස්සේ වයිබර් භාවිත කරමු - How to use Viber on PC


Viber කියන්නේ අද දකින්න ලැබෙන හැම ස්මාර්ට් දුරකතනයක අනිවාර්යයෙන්ම තියෙන යෙදුමක් කියලා කීවොත් නිවැරදියි. අන්තර්ජාල දත්ත දැන් වඩාත් පහසු, ලාබදායී විදිහට ලබාගන්න පුළුවන් නිසා බොහෝ දෙනෙක් දුරකතන ඇමතුම්, පණිවිඩ ආදී පහසුකම් ලබාගැනීම සඳහා Viber යොදා ගන්නවා. අනෙක සේවා ස්ථානවල වගේම පොදු ස්ථානවලත් Wifi පහසුකම් නොමිලේ ලබාගත හැකි නිසා බොහෝ දෙනෙක් ඒ පහසුකම් ඔස්සේ ද Viber භාවිත කරනවා. මම කියන්න හදන්නේ මේ යෙදුම ගැන නෙවෙයි. මේ කියන්න යන කතාව බොහෝ දෙනෙක් දන්නවා කියන එකත් මට විශ්වාසයි. නමුත් නොදන්නා අයත් ඉන්නවා. ඒ නිසා ඒ අයට මෙයින් යම් කිසි ප්‍රයෝජනයක් ලැබෙයි කියලා හිතනවා.

මේ කියන්න යන්නේ ස්මාර්ට් දුරකතනයක් නැතිව Viber භාවිත කරන විදිහ ගැනයි.

සාමාන්‍යයෙන් ස්මාර්ට් දුරකතනයක් නැතිව Viber භාවිත කරන්න බැහැ. නමුත් මේ විදිහ අනුගමනය කළොත් ඔබේ පරිගණකය හරහා Viber පහසුකම ලබාගන්න පුළුවන්. වයිබර් ඩෙස්ක්ටොප් වර්ෂන්’ (Viber Desktop Version) කියලා එකක් තියෙනවා. ඒක ස්ථාපනය කරන්නත් ඔබේ ස්මාර්ට් දුරකතනයේ Viber තිබිය යුතුයි. මේ කියන ක්‍රමයට ස්මාර්ට් දුරකතනයක් ඕනෙම නැහැ.

මුළින්ම මෙන්න මෙතැනින් මේ මෘදුකාංගය බාගන්න.



මේකේ නම BlueStacks. මේ මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරගත්තාට පසුව අපට කැමති ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ස්ථාපනය කරලා භාවිත කරන්න පුළුවන්. හරියට පරිගණකය ඇතුලේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනයක් වගේ.

BlueStacks ස්ථාපනය කරන පියවර කිහිපයක් මේ පින්තූරවලින් බලාගන්න පුළුවන්.

1.










2.








3. 
ස්ථාපනය වීමෙන් පසු පෙනුම









4. 
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක වගේම ගූගල් ගිණුමක් මේ විදිහට හදාගන්න ඕන









5.
ගූගල් ප්ලේස්ටෝර් එකෙන් මේ විදිහට වයිබර් බාගන්න









6.








7.

8.

BlueStacks  ඇතුළේ Viber ස්ථාපනය කළත් ඒක සම්පූර්ණ කරන්න නම් අපේ ජංගම දුරකතන අංකයක් දෙන්න වෙනවා. මොකද Viber එකෙන් එවන තහවුරු කිරීමේ කේත අංකය (Confirmation Code) ලබාගන්න ජංගම දුරකතන අංකයක් තියෙන්නම ඕන නිසයි. නමුත් නිකම්ම ජංගම දුරකතන අංකයක් දුන්නට ගන්නේත් නැහැ. ඔබට ඕන නම් එහෙම ගන්නවාද නැද්ද කියලා කරලා බලන්නත් පුළුවන්. මම කරපු විදිහ මෙතන දාන්නම්.

මම කළේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන මගේ ඩොන්ගලයේ අංකය දුන්න එක. ඒ වෙලාවේ කිසිම ගැටලුවක් නැතිව Viber එකෙන් ඒක පිළිඅරන් තහවුරු කිරීමේ කේතය එව්වා. ඉන් පස්සේ Viber ක්‍රියාත්මක වුණා. මෙන්න මේ වගේ.

ඔබත් මේක කරගත්තා නම් දැන් තියෙන්නේ පරිගණකයට මයික් එකක් සහ හෙඩ්ෆෝන් කට්ටලයක් සම්බන්ධ කරලා Viber භාවිත කරන එකයි. මේ සඳහා දත්ත ලබාගන්නේ ඔබගේ ඩොන්ගලය හරහායි.

ඔබට  අවශ්‍ය නම් දැන් Viber Desktop Version  එක ස්ථාපනය කරගන්නත් පුළුවන් මෙන්න මේ වගේ. මෙතැනින් එය බාගන්න.




එය ස්ථාපනය කරන කොට දිය යුතු ජංගම දුරකතන අංකය වන්නේත් ඔබගේ ඩොන්ගලයේ අංකයමයි.

ඩොන්ගලයේ අංකය වෙනුවට අන්තර්ජාලය හරහා තාවකාලිකව ලබාදෙන ජංගම දුරකතන අංක ඔස්සේ ද තහවුරුකිරීමේ කේතය ලබාගන්න පුළුවන් කම තිබෙනවා. නමුත් එයට වඩා ඩොන්ගලයේ අංකය ලබාදීම පහසුයි.


ඔබත් අත්හදා බලන්න.

Tuesday, August 18, 2015

අලිගැට පේරවලින් ලියුකේමියාවට ඖෂධයක් - Avocados May Be Key for Treating a Type of Leukemia


මේ දවස්වල පලතුරු කඩයකට ගියාම වැඩිපුරම දකින්නට ලැබෙන දෙයක් තමයි අලිගැට පේර’. වැඩි දෙනෙක් කියන්නේ අලි පේරකියලා.  ඉතාමත් මෑතකදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙන දෙයක් තමයි ලියුකේමියා, එසේත් නැත්නම් ලේ පිළිකා ප්‍රභේදයක් වන උග්‍ර මයිලොයිඩ් ලියුකේමියා’ (Acute Myeloid Leukemia  - AML) සඳහා අලිගැට පේර ඖෂධයක් ලෙස යොදාගත හැකි බව. ලියුකේමියාව යනුවෙන් හඳුන්වන්නේ අපගේ සිරුරේ ඇති සුදු රුධිරාණුවල වර්ධණය ඉහළ යාම බව සරල ලෙස කවුරුත් දන්නවා. මෙම සුදු රුධිරාණු වර්ධණය වේගවත්ව හා ආක්‍රමණශීලී තත්වයට පත් වූ විට එය උග්‍ර මයිලොයිඩ් ලියුකේමියානමින් හඳුන්වනු ලබනවා. අපගේ ෂුෂුම්නාවේ හෝ ඇට මිදුලුවල මයිලොයිඩ්නම් සෛල වර්ගයක් පවතිනවා. මේවා ද සුදු රුධිරාණු ප්‍රභේදයක්. මෙම රෝගයේදී සිදුවන්නේ මෙම සුදු රුධිරාණු ප්‍රභේදයේ ශීඝ්‍ර වර්ධණයයි.

අලිගැට පේරවලින් ලබාගන්නා අණු මෙම ලියුකේමියා රෝග තත්වය ඇති කරන මූලික සෛල (stem cells) සමග හොඳින් සටන් කොට ඒවා විනාශ කරන බව සොයාගෙන තිබෙනවා. මේ බව හෙළිකරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය අගෝස්තු 10 වැනිදා ප්‍රකාශයට පත් කොට තිබූ වෛද්‍ය වාර සඟරාවයි. අනෙක සෞඛ්‍ය සම්පන්න සෛලවලට මෙයින් කිසිදු හානියක් නොවන බවත් එහි සඳහන්.

මෙම ලියුකේමියා රෝග තත්වය කෙතරම් දරුණු ද කිවහොත්, එය වැළඳී ඇතැයි වෛද්‍යමය වශයෙන් නිර්ණය කරන රෝගීන්ගෙන් 65%කටත් වඩා පිරිසක් මිය යනවා. මෙම රෝගය වළක්වා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන්නේ මෙම රෝග සෛල සාර්ථකව විනාශ කරන ඖෂධ පමණයි.  අලිගැට පේරවලින් ලබාගන්නා අණු වෙනත් කිසිම ඖෂධයකට වඩා ඒ සඳහා විශේෂඥභාවයක් උසුලන බව මෙම පර්යේෂණයෙන් හෙළිවී තිබෙනවා.

මෙම පර්යේෂණය සිදුකොට ඇත්තේ වෝටර්ලූ සරසවියේ පර්යේෂකයකු වන මහාචාර්ය පෝල් ස්පැඤුවොලෝ විසින්. කෙසේ නමුත් වෛද්‍ය ස්පැඤුවොලෝ පවසන්නේ මෙය අනුමත කරගැනීමට තවත් කාලයක් ගතවිය හැකි නමුත් පළමු අදියරේ ප්‍රතිකාර සඳහා තමා මේ වන විටත් මෙම අණු භාවිත කරන්නට පටන් ගෙන තිබෙන බවයි.


මහාචාර්ය පෝල් ස්පැඤුවොලෝ


ඇලිගැට පේරවල මෙවැනි ඖෂධීය ගුණයක් තිබෙන බව මෑතකදී සොයා ගත්තත් ඊට බොහෝ කාලයක සිටම එය ප්‍රසිද්ධ වෙලා තිබුණේ ලෝකයේ තිබෙන සෞඛ්‍ය සම්පන්නම පලතුර හැටියටයි. මේ දවස්වල අපේ රටේ පලතුරු කඩවල අලිගැට පේර ගොඩ ගහලා තියෙන විදිහට මේක අපේ රටේම දෙයක් ද කියලා වෙලාවකට හිතුනත් ඇත්තටම මෙය මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට ආවේණික පලතුරු වර්ගයක් බව කිව යුතුයි. මෙය ඉංග්‍රීසී බසින් ඇවකාඩෝනමින් හැඳින්වුවත් අපේ රටට හඳුන්වා දෙන්නට ඇත්තේ ඒ නමින් නොවන බව සිතිය හැකියි. එයට හේතුව අපි මෙය හඳුන්වන අලිගැට පේරයන්න තැනී ඇත්තේ මෙය හඳුන්වන තවත් ඉංග්‍රීසි නමක් වූ ඇලිගේටර් පෙයාර්’ (Alligator Pear) යන්නෙන් වීම නිසයි. මධ්‍යධරණී දේශගුණයෙහි වාණිජ භෝගයක් ලෙස වගා කරන මෙම පලතුර වසර මිලියන ගණනකට එහා අතීතයක් ඇති පොසිල සාධකවලින්ද හමු වී තිබෙනවා.

අලිගැට පේර ග්‍රූම් සියයක් පහත සඳහන් පෝෂක කොටස් අඩංගුයි.

විටමින් කේ - දෛනික අවශ්‍යතාවයෙන් 26%
ෆෝලේට් - දෛනික අවශ්‍යතාවයෙන් 20%
විටමින් සී - දෛනික අවශ්‍යතාවයෙන් 17%
පොටෑසියම් - දෛනික අවශ්‍යතාවයෙන් 14%
විටමින් බී5 - දෛනික අවශ්‍යතාවයෙන් 14%
විටමින් බී6 - දෛනික අවශ්‍යතාවයෙන් 13%
විටමින් ඊ - දෛනික අවශ්‍යතාවයෙන් 10%

මීට අමතරව මැග්නීසියම්, මැංගනීස්, තඹ, යකඩ, සින්ක්, පොස්පරස්, විටමින් ඒ, විටමින් බී1 (තයමින්), විටමින් බී2 (රයිබොෆ්ලේවින්) සහ විටමින් බී3 (නියාසින්) යන පෝෂණ කොටස් ද කුඩා ප්‍රමාණයන්ගෙන් අඩංගුයි.

ඒ වගේම අලිගැට පේර කියන්නේ අධික ලෙස තන්තු අඩංගු ආහාරයක්. තන්තු සහිත ආහාර තරබාරුව අඩුකිරීම, රුධිරයේ සීනි ප්‍රමාණය අඩුකිරීම, සහ තවත් බොහෝ රෝග සංඛ්‍යාවක අවදානම පහත හෙළන්නට හේතු වෙනවා. අලිගැට පේර ග්‍රූම් 100 ක තන්තු ග්‍රූම් 7ක් තිබෙනවා. එය දෛනික තන්තු අවශ්‍යතාවයෙන් 27%ක් වනවා.

අලිගැට පේරවල මේදය අධික ලෙස අඩංගු වන අතර එය ශාක ආහාරවල ඇති පෝෂණය අවශෝෂණය කරගැනීමට හේතුවන බව ද සොයාගෙන තිබෙනවා.

ලියුකේමිය රෝගයට එරෙහිව සටන් වදිනවාට අමතරව අලිගැට පේරවල ඇති තවත් බොහෝ පෝෂණ තත්වයන් ඔබ දැන දන්නවා. මෙහි සඳහන් නොකළ තවත් බොහෝ පෝෂණ අංගයන් මෙහි අඩංගුයි. අධික වියදමක් නොදරා මිලදී ගත හැකි නිසාත්, අලිගැට පේර අවාරය පැමිණෙන්නට පෙර ලෝකයේ සෞඛ්‍ය සම්පන්නම පලතුර භුක්ති විඳින්නට තවත් ප්‍රමාද වන්නට එපා යැයි අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි.


Saturday, August 15, 2015

මමත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැදුවා - My Android Ap



මාතලන් මහතාගේ බ්ලොග් එකේ තියෙනවා දැකලා මමත් ඇන්ඩ්‍රොය්ඩ් ඇප් එකක් හැදුවා නිකං ඉන්න බැරි කමට. කැමති නම් බාගෙන ෆෝන් එකට දාගන්න.

මේ තියෙන්නේ යන්න ඕන පාර

මගේ ලෝකය ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක

Thursday, August 13, 2015

මරණය කලින් දැකිය හැකිද? - Is there any ability to foreseeing the death?


සිය මරණයට පෙර මරණය පිළිබඳ යම් යම් ඉඟි ලබාදුන් සිදුවීම් පිළිබඳ කතා අපට බොහෝ අසන්නට ලැබේ. මෑත දිනකදී ද එවැනි සිදුවීමක් වාර්තා විණි. ඒ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙනි. ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය බස් රථයක් සමඟ ගැටීමෙන් සිදු වූ අනතුරින් දස හැවිරිදි කවීෂා සඳමාලි සත්සර දියණියත්, ඇගේ පියාත්, තවත් ඥාති සොයුරකුත් අවාසනාවන්ත ලෙස මිය ගියහ. කවීෂා මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ද සූදානමින් සිටියාය. 

මෙම මරණයෙහි එක් සුවිශේෂී ස්වභාවයක් වන්නේ අනතුර සිදුවන්නට මාසයකුත් දින දෙකකට පෙර එනම් 2015 ජුනි මස 22 වැනි දින ඇය සිය චිත්‍ර පොතෙහි සිතුවම් කොට තිබූ සිතුවමයි. ඇය එහි ඇඳ තිබුණේ  අනතුරට පත් බස් රථයක් අසළ වැටී සිටින කුඩා දරුවකුගේ සිතුවමකි. අනතුර දුටුවන් පවසන්නේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේ කවීෂා ද වැටී සිට ඇත්තේ මේ ආකාරයෙන්ම බවය. තමාට ඉදිරියේදී සිදුවන්නට නියමිත මාරක රිය අනතුර පිළිබඳ යම් ඉවක් තිබූ නිසා ඇය මෙවැනි සිතුවමක් ඇඳි බව බැලූ බැල්මටම පෙනේනනට තිබේ. 

මෙවැනි සිදුවීමක් 1984 වසරේදී ද අසන්නට ලැබිණි. ඒ කඩවත ප්‍රදේශයෙනි. ‛කීර්තිනාම’ නම් වූ මෙම දරුවා ද හදිසි අනතුරකින් මිය ගිය අතර මිය යන්නට දින කිහිපයකට පෙර ඔහු ද රිය අනතුරක් සිතුවමට නගා තිබිණි. 

නමුත් එය එසේම ද, මරණය මෙසේ කලින් දැකිය හැකි ද යන්න  ආදිය පිළිබඳ අප වඩාත් ගැඹුරින් සොයා බැලිය යුතුය. 

මෙවැනි සිදුවීමකදී සළකා බැලිය යුතු කරුණු කිහිපයක්ම වෙයි. යම් පුද්ගලයකු මරණයට හෝ විපතකට පත් වූ පසු එයට හේතු සොයා අතීතයට යන සිරිතක් අප අතර පවතී. එවිට ඒ විපතට හේතුවන්නට හැකි යැයි සිතෙන විවිධ හේතු කාරණා හමු වේ. මෙය මරණයක් වැනි අවස්ථාවක් නම් මෙවැනි කාරණා තුළින් බොහෝ දෙනෙකු නිගමනය කරන්නේ අදළා පුද්ගලයා සිය මරණයට පෙර එහි පෙර නිමිති දැක ඇති බවය. මේ පිළිබඳ ගැඹුරින් සොයා බැලීමක් සිදු නොකරන ඕනෑම කෙනෙකු එය සත්‍යයක් යැයි නිගමනය කරයි. බැලූ බැල්මට එය සත්‍යයක් යැයි නිගමනය කිරීමේ වරදක් ද නැත. එහි අසාධරණයක් ද නැත. නමුත් ‛විද්‍යාත්මක අනාවරණය’ යනු මෙය නොවේ. යම් සිදුවීමකට හේතු කාරණා සොයා යාමේදී තමන් අනුමාන කරන ලද දෙය හේතු කාරණය නිසා යමක් සිදු වූයේ ද යන්න සැබෑ ලෙසම නිගමනය කිරීම සඳහා පර්යේෂකයන් අතර ‛සංඛ්‍යානමය වශයෙන් අර්ථ සහගතබව’ (Statistical significance) නම් ක්‍රමයක් භාවිත වෙයි. මෙය වඩාත් සරල ලෙස ‛සංඛ්‍යාත්මක අනාවරණය’ ලෙස සඳහන් කළ හැකිය. මෙහිදී අප යම් සිදුවීමක් සංඛ්‍යානමය වශයෙන් විශ්ලේෂණය කිරීමක් සිදු වේ. මෙම සිදුවීම සම්බන්ධව සංඛ්‍යානමය අනාවරණයක් සිදුකිරීමේදී මුළින්ම කෙරෙන්නේ දරුවන් සිය දෙනෙකුගේ නියැදියක් තෝරාගැනීමය. පසුව මෙම දරුවන් අඳින ලද විවිධ සිතුවම් පිළිබඳ සළකාබැලීමක් සිදු කෙරේ. සාමාන්‍යයෙන් පාසලක සිතුවම් ඇඳීමේදී ‛මා දුටු රිය අනතුරක්’ වැනි මාතෘකා සිතුවම් සඳහා ලබා දීම ඉතා සුලභ කාරණයකි. මෙම මාතෘකාව වසර ගණනාවක සිටම දරුවන්ට සිතුවම් ඇඳීම සඳහා ලබා දෙයි. මේ සිය දෙනාගේ නියැදිය තුළ සිටින දරුවන් ද බොහෝ දෙනෙකු මෙවැනි සිතුවමක් ඇඳ තිබෙන්නට පුළුවන. මේ සිය දෙනොගෙන් යම් කෙනෙකු මිය යාමේ හැකියාවක් ද තිබේ. සංඛ්‍යානයේ එය හඳුන්වනු ලබන්නේ ‛සම්භාවිතා න්‍යාය’ ( Probability theory) නමිනි. මෙම සම්භාවිතාවය අනුව දරුවකු අනතුරකින් මිය යාමේ හැකියාවක් පවතී. මේ දරුවන් සියලු දෙනා පාසල් යන බැවින් ද, මහ මග ගමන් කරන බැවින් ද, අප රටේ රිය අනතුරු සිදුවීමේ ස්වභාවය අනුව ද මෙම සම්භාවිතාවය සෑහෙන මට්ටමක පවතින බැව් කිව හැකිය. 

අප ඊළඟට සළකා බලනුයේ මනෝ විද්‍යාවේ සඳහන් එක් කාරණයක් වන Post hoc ergo propter hoc  යන්නය.  මෙය ලතින් වදනක් වන අතර එයින් කියැවෙන්නේ ‛පසු සිදුවීම පෙර සිදුවීමේ ප්‍රතිඵලයක්ය’ යන මිත්‍යාවය. මෙය බොහෝ විට සළකා බැලෙන්නේ තමාට අනර්ථයක් සිදුවූ විට පමණක් වීම ද විශේෂයෙන් කැපී පෙනෙන කාරණයකි. එය මෙසේ විස්තර කළ හැකිය. 

යමෙක් වැදගත් කටයුත්තක් සඳහා පිටත්ව යාමේදී යම් පුද්ගලයකු මහ මගදී මුණ ගැසෙයි. අදාළ පුද්ගලයාට තමා අරමුණු කරගත් කාර්යය සාර්ථක කරගන්නට නොහැකි වෙයි. එවිට ඔහු පවසන්නේ, 

“ගෙදරින් එළියට බහින කොටම අර කාලකන්නියාව නේ මුණ ගැහුනේ. ඉතිං කොහේද වැඩක් හරියන්නේ” 

වැනි දෙයකි. නමුත් අදාළ පුද්ගලයාට මෙම කාර්යය සාර්ථකව කරගැනීමට හැකියාවක් ලැබුණා නම් ඔහු එය යටකී ‛කාලකන්නියා’ මත පටවන්නේ නැත. ඔහුට ඒ පුද්ගලයා මුණ ගැසුණු බවක් ඇතැම් විට මතකයේ හෝ නැති විය හැක. යම් විපතක් සිදු වූ විට එයට හේතු කාරණා සොයා අතීතයට ගමන් කරනවා යැයි කලින් තැනෙක සඳහන් කළේ මේ නිසාය. මෙම කාරණය මනෝ විද්‍යාවේ හැඳින්වෙන්නේ ‛ලිපිගොනු සහ ලාච්චු ගැටලුව’ file drawer problem) නමිනි. මෙහිදී සිදුවන්නේ යම් සිදුවීමක් සිදුවූ විට එය ලිපිගොනුවට ගෙන පරීක්ෂණ කිරීමත්, එය තවදුරටත් ගැටලුවක් නොවේ යැයි සිතුණ විට ලාච්චුවට දමා වසා දැමීමත්ය. 

තමාගේ මරණය පිළිබඳව මේ ආකාරයට කලින් දුටුවේ යැයි පැවසෙන තවත් බොහෝ සිදුවීම් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වේ. බැලූ බැල්මට මේවා මරණය කලින් දුටු අවස්ථා යැයි පෙනෙන්නට තිබුණත්, ඒවා පිළිබඳ ගැඹුරින් අධ්‍යයනයක් කළ විට සැබැවින්ම එවැනි හැකියාවක් ඇති ද යන්න පිළිබඳ සැක පහළ වේ. මිනිසුන් හැටියට අපට අවශ්‍ය වන්නේ වරදක් හෝ අනර්ථයක්, අනතුරක් සිදුවූ විට එහි වරද කවරකු මත හෝ කුමක් මත හෝ පටවන්නටය. ඒ නිසා එයට කුමක් හෝ හේතුවක් සොයාගැනීමට අපි උත්සුක වෙමු. එය මිනිස් ස්වභාවයය. 

Wednesday, August 12, 2015

හීන්සැරෙන් කටුසුපාලියට


සුමින්ද කිත්සිරි ගුණරත්න කියන්නේ මගේ පාසල් කාලේ ඉඳන්ම ළඟම යාළුවෙක්. පාසල් කාලෙන් පස්සෙත් මේ යාළුකම දිගටම පැවතුණා. කවි ලියන්න, නාට්‍ය හදන්න, ජ්‍යොතිෂ වැඩ වගේ නොයෙක් වැඩවලට දක්ෂ සුමින්දගේ කවි පොත් වගයක් ගැන මම ලියපු එක් පෝස්ටුවක් මෙන්න මෙතැන ක්ලික් කළොත් කියවන්නත් පුළුවන්. කොහොම වුණත් දැන් කියන්න යන්නේ සුමින්දගේ කවි පොත් ගැන නෙවෙයි. ඔහු මේ අවුරුද්දේ මාර්තු 2 වැනිදා ඔහුගේ අලුත්ම නාට්‍යයේ මුහුරත් උලෙළ ජාතික පුස්තකාලේදී පැවැත්තුවා. මේ දිනයත් ඔහුගේ නාට්‍යයට අතිශය සමීපයි. ඒ කොහොමද කියලා මේක කියවගෙන යනකොට දැනගන්න පුළුවන්. 

ඔහුගේ නාට්‍යයේ නම වුණේ. ‛කටුසුපාලිය’. මේ සඳහා ඔහු පදනම් කොටගෙන තිබුණේ මුණිදාස කුමාරතුංග සූරීන්ගේ ‛හීන් සැරය’ කෘතියයි. මාර්තු 2වැනිදාවක තමයි කුමාරතුංග මුණිදාසයන් දැයෙන් සමුගත්තේ. මේ දිනයෙත් වැදගත්කමක් තියෙන බව මම කිව්වේ ඒකයි. සුමින්ද ‛හීන් සැරය’ කෘතියෙන් නාට්‍යයක් කරන්න හදනවා කියලා දැනගත්ත ගමන් මට හිතුනේ, “ආ මේක මේ ළමා නාට්‍යයක් වෙන්න ඇති” කියලයි. මොකද ‛හීන් සැරය’ කියන්නේ අපි දන්න තරමින් ප්‍රකට වෙලා තියෙන්නේ ළමා කෘතියක් විදිහට.  ඒක කියවගෙන යනකොට දැනෙන්නෙත් ළමයින්ගේ කතාවක් විදිහට. කොහොම වුණත් එදා මුහුරත් උළෙලෙදී තමයි වැටහුණේ එයින් ළමා කෘතියකට වඩා ගැඹුරු දේශපාලන කතාවක් කියනවා කියන එක. ඉතිං මේ බ්ලොග් එක බලන්න එන අපේ සහෘදයෝ කවුරු හරි ඉන්නවා නම් නාට්‍ය බලන්න කැමති මේ පින්තූරයේ තියෙන දුරකතන අංකවලට ඇමතුමක් දීලා මේක බලන්න පුළුවන් නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. සුමින්දගේ අලුත් නාට්‍යයට සුබ පතමින් මේ බ්ලොග් සටහනට තිත තියනවා. 

Tuesday, August 11, 2015

වහලියන් සේ මැද පෙරදිග අළෙවි වන අපේ කාන්තාවෝ - Employer Offers Sri Lankan Maid For Sale Online In Saudi Arabia


ශ්‍රී ලාංකික කාන්තාවක් මෙහෙකාර සේවය සඳහා අළෙවි කිරීම වෙනුවෙන් සවුදි අරාබි ජාතිකයකු එහි පුවත්පතක හා වෙන්දේසි සිදුකරන වෙබ් අඩවි කිහිපයක වෙළෙඳ දැන්වීමක් පළකිරීම සම්බන්ධව මේ දිනවල අප රටේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වී තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ද මේ සම්බන්ධව කරුණු සොයා බලමින් පසුවන බැව්  දැනගන්නට ඇත. මෙම ශ්‍රී ලාංකික කාන්තාව කවරෙක්දැයි සඳහන්ව නැති අතර එරට සුප්‍රකට පුවත්පතක් වන සාබ්ක්’ (Sabq) හි පළකොට ඇත්තේ සවුදි රියාල් 25,000කට (රුපියල්වලින් නම් 892,000ක් පමණ) මෙම කාන්තාව විකිණීමට කැමැත්තෙන් සිටින බවය. මෙම අළෙවිකරු තවදුරටත් සඳහන් කර සිටින්නේ මෙම කාන්තාව සමඟ වූ ගිවිසුම අවසන් කිරීමට ඔහුට අවශ්‍යව ඇතත් නැවත ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට තවත් වසරක කාලයත් ඉතිරිව ඇති නිසාත් ඇයට වෙනත් ස්ථානයක සේවය කරන්නට අවශ්‍ය ඇති නිසාත් තමා ඇයව මෙසේ අළෙවි කරන බවය. ඇය කුඩා දරුවන් සමග ඉතා සුහදශීලී ලෙස කටයුතු කරන්නියක ලෙසත් එම දැන්වීමේ සඳහන් කොට තිබේ. සවුදියේ මානව හිමිකම් කොමිසම පවසනුයේ මෑතක සිට මෙවැනි දැන්වීම පළවීම බහුල වශයෙන් සිදුවන්නට පටන් ගෙන ඇති බවය.

විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇති බව සඳහන් වෙතත් එය කුමන මට්ටමක පවතීද යන්න පිළිබඳ දැනගන්නට ද නැත. ඊනියා කාන්තා විමුක්ති සංවිධාන ද තවමත් මේ පිළිබඳ පැහැදිලි හඬක් නගා නැති බව පෙනේ.

අදාළ දැන්වීම

මෙවැනි දැන්වීමක් මගින් පැහැදිලිවම අපට මතක් කරදෙන්නේ වහල් වෙළෙඳාමය. ලෝකයේ වහල් වෙළෙඳාම තුරන් කොට වසර ගණනාවක් ගත වී තිබුණ ද එය අප්‍රකටව තවමත් පවතින බැව් බොහෝ දෙනෙකු දන්නා කරුණකි. මිනිසුන් වහලුන් මෙන් සේවයේ යොදවා ගන්නා ආකාරය අද ද දක්නට ලැබේ. නමුත් විවිධ කඩතුරාවන්ගේ ඒවා වසාගැනීමට හැකියාව ලැබී ඇති නිසා මේවා සමාජයට තදින් නිරාවරණය වන්නේ නැත. කෙසේ නමුත් මෙසේ ප්‍රසිද්ධියේ දැන්වීම් මගින් මිනිසුන් අළෙවි කිරීමක් ගැන අසන්නට ලැබුණේ නැත. කෙසේ හෝ දැන් එය ආරම්භ වී ඇති බැව් පෙනේ. මේවාට ලෝකයේ මානව හිමිකම් සංවිධාන ප්‍රබලව හඬක් නොනගන්නේ නම් ඉදිරියේදී තත්වය තවත් නරක අතට හැරෙනු ඇත.

අරාබි රටවල් ක්‍රියාත්මක නීති පද්ධතියේ කාන්තා හිමිකම්වලට ඇති ඉඩකඩ ඉතා සීමා සහිත බව පෙනෙන්නට ඇති කාරණයකි. කෙසේ නමුත් ඒ රටවල නීති සම්පාදකයන් මේවා සාධාරණීකරණ කරනු ඕනෑ තරම් අසන්නට ලැබේ. එම රටවල පවතින නීතියට අනුව දූෂණයට ලක් වූ කාන්තාවකට  තම නිර්දෝෂීභාවය හෝ ඔප්පු කිරීමට පවා ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. අනෙක් අතට අන්තවාදී ලෙස එම නීතිය ක්‍රියාත්මක කරන්නට පෙළඹෙන විට කාන්තාවන්ගේ ගෞරවය පහළට ඇද වැටෙන බව අමුතුවෙන් කිව යුතු නැත. සිරියාවේ ක්‍රියාත්මක වන අයි. එස්. අයි. එස් කැරළිකරුවන් විසින් ලිංගික වහලියන් ලෙස කාන්තාවන්ව විකුණා දමන්නේ එම හේතුව නිසාය. අනෙක ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෙනත් ජාතීන්ට අයත් කාන්තාවන් ද නොවේ. ඔවුන් මුස්ලිම් කාන්තාවන්මය. තත්වය එසේ වූ විට වෙනත් ජාතීන්ට අයත් කාන්තාවන මෙසේ ප්‍රසිද්ධියේ, පොදු නීති පද්ධති යටතේ වහලුන් සේ අළෙවි වීම  එක් අතකට පුදුමයක් ද නොවේ.

අප කෙතරම් උදම් ඇනුවද අප රට මැද පෙරදිග කලාපය තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගෘහ සේවිකාවන්ගේ දේශයවශයෙනි. වඩාත් අභිමානවත් විරුදාවලිවලින් පැසසුම් ලැබූ අප රටට මෙවැනි පහත් තත්වයේ විරුදාවලි ලැබීමට හේතුව වී ඇත්තේ අප රටේ විදේශ සේවා අංශයේ ප්‍රමිතීන්වල යම් යම් අඩුපාඩු නිසා යැයි සිතිය හැකිය. එය එසේ යැයි නිගමනය කළ හැක්කේ කලක් අප අසල්වැසි ඉන්දියාව ද මෙවැනි තත්වයකට මුහුණ දුන් බැවිනි. ඉන්දීය කාන්තාවන් ද මැදපෙරදිග රටවල් ගෘහ සේවිකාවන් සඳහා රැකියාවන්හි නිරතවූ  කාලයේ බොහෝ වදහිංසාවන්ට ලක් වූ බැවින් තම කාන්තාවන් ගෘහ සේවිකාවන් සඳහා මැද පෙරදිග නොයවන බවට ඉන්දියාව තීරණයක් ගත්තේය. පාකිස්ථානය ද එම පියවරම අනුගමනය කළේය. මේ රටවල්වලින් වර්තමානයේ දී බහුතර කාන්තාවන් මැදපෙරදිග රටවල් සඳහා යන්නේ ගුරු වෘත්තිය, සාත්තු සේවය වැනි, පුහුණු ඉහළ වැටුප් සහිත රැකියාවන්ට පමණි.


ඉන්දියාව හා පාකිස්ථානය මෙම තීරණයට එළැඹෙන විට විදේශ රැකියා ඒජන්සිකරුවන්ගේ අවධානය යොමුවූයේ ශ්‍රී ලංකාවටය. අප රටේ කාන්තාවන් රැසකට මැදපෙරදිග රැකියා දොරටු විවර කරදීම ලෙසින් මෙම වහල් වෙළෙඳාම ආරම්භ වූ අතර ඔවුන් එරට ගොස් විවිධ තාඩන පීඩන පමණක් නොව මරණය ද විඳින බැව් පැහැදිලිවම පෙනෙන්නට තිබුණත් තවමත් විදේශ රැකියා නීති රීතිවල පැහැදිලි ප්‍රමිතියක් ඇති කරන්නට පියවරක් ගෙන නැති බැව් පෙනේ. කුඩා දරුවන් සිටින කාන්තාවන් මැදපෙරදිග සේවයට නොයැවීමට ගත් තීරණය ප්‍රශංසනීය වුව ද තවමත් අප රටෙන් ගෘහ සේවය සඳහා මැදපෙරදිගට පිටත්ව යන කාන්තාවන් එරට වහල් සේවයේ යෙදී සිටින බැව් රහසක් නොවේ. මෙවැනි සිදුවීම් නිතර අසන්නට ලැබේ. විවිධ ආබාධයන්ට ලක්ව මෙරටට නැවත පැමිණෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද නොසැළකිය නොහැක. මුස්ලිම් කාන්තාවන්ට ද තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්නට ඉඩ අහුරා ඇති රටක වෙනත් ජාතියකට අයත් කාන්තාවන්ගේ හිමිකම් පිළිබඳ කවර කතාද? එවැනි තත්වයක් තුල මේ ආකාරයට වහළියන් සේ පුවත්පත් දැන්වීම් ඔස්සේ අතින් අතට අළෙවි වන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යන්නේ නැතැයි කිව හැක්කේ කාටද? අනෙක මෙතරම් දුක් පීඩා මධ්‍යයේ මැදිපෙරදිග කඳුළු හළා මෙරටට නැවත පැමිණෙන බොහෝ කාන්තාවන්ගේ පවුල් ජීවිත කැඩී බිඳී තිබෙන අවස්ථාවන් ද ඕනෑ තරම් අසන්නට ලැබේ. එය මෙම වහල් සේවයේ ඛේදීනීය අතුරු ප්‍රතිඵලයන්ගෙන් එකකි. එබැවින් අප රටේ කාන්තාවන් මැදපෙරදිග සේවය සඳහා යෙදවීමේ දී ඔවුන්ගේ ගෞරවය, හිම්කම් සහ ජීවිත ආරක්ෂාව පිළිබඳ මෙයට වඩා සිතීමට අප රටේ බලධරයන් පෙළඹිය යුතු බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මෙයට පෙර ද එසේ පෙනුණු අවස්ථාවන් තිබුණ ද ඔවුන්ගේ ඇස් ඇරුනේ නැත. ඔවුන් ඇස් පියා ගෙන සිටින තාක් අප රටේ කාන්තාවන් මැද පෙරදිග වහළියන් ලෙස තව තවත් අළෙවි වනු ඇත. අපට සිදුවන්නේ එම පුවත් දෙස බලා සිටීමට පමණි.

Wednesday, August 5, 2015

නරක් නොවී පවතින සාන්තුවර දේහ - Incorrupt Bodies of the Saints

බර්නදෙත් සාන්තුවරියගේ දේහය

ලෝකය යනු සොබා දහමේ දායාදයක් වුව ද සොබා දහම ඉක්මවා යන්නේ යැයි පෙනෙන සිදුවීම්වලින් ද එය පිරී පවතී. ලෝකයේ ස්වභාවය වන්නේ යමක් ඇතිවීමත් කාලයක් එය පැවතීමෙන් පසු නැතිවී යාමත්ය. නමුත් මේ ධර්මතාවය ඉක්මවා යන සිදුවීම් ද වාර්තා වේ. ඒ අතුරින් එකක් වන්නේ ලෝකයේ විවිධ ස්ථානවලින් අසන්නට ලැබෙන නරක් නොවන ස්වභාවයේ පවතින විවිධ ආගම්වලට අයත් සාන්තුවරුන්ගේ සහ සාන්තුවරියන්ගේ දේහයන්ය. ඔවුන් මියගොස් බොහෝ කල් ගත වුව ද එම මළ සිරුරු නරක් වී නැත. ඔවුන් මිය යන අවස්ථාවේ සිටි ස්වභාවයම ඒවායෙන් දිස් වේ. මේ නිසා මෙම සාන්තුවරු සහ සාන්තුවරියන් දැක බලා වැඳුම් පිදුම් කිරීමට ලෝකයේ නන් දෙසින් බොහෝ සංචාරක  පිරිස් පැමිණෙති. 

බර්නදෙත් සාන්තුවරියගේ මුහුණ

ප්‍රංශයේ නෙවර්ස් කන්‍යාරාමයේ ප්‍රදර්ශනයට තබා ඇති බර්නදෙත් සාන්තුවරිය මේ ආකාරයට මරණයෙන් පසු නරක් නොවුණු දේහයක් ලෙස ලොව පුරා වඩාත්ම ප්‍රකටව පවතී. මෙම සාන්තුවරිය මියගොස් අවුරුදු 135ක් පමණ ගත වුව ද ඇයගෙන් දිස්වන්නේ නින්දේ පසුවන පෙනුමකි. මෙම සාන්තුවරිය මිය ගිය අවස්ථාවේ දී භූමදානය කළ අතර ඇගේ දේහය දෙවරක්ම ගොඩගනු ලැබිණි. මෙසේ දෙවැනි වර ගොඩගත් අවස්ථාවේදී ඇගේ මුහුණට පමණක් ඉටිවලින් යම් ආවරණයක් ලබා දී තිබේ. එසේ කොට ඇත්තේ පළමු වර ගොඩගැනීමේදී මුහුණ සේදීමේදී යම් හානියක් සිදු වූ බැවිනි. ඇගේ සිරුරින් ශුද්ධ වස්තුවක් ලෙස ඉළ ඇටයක් ලබා ලත් අවස්ථාවේ එය සිදු කළ වෛද්‍යවරයා පවසා සිටියේ ඒවා ඒවන විටත් නම්‍යශීලී ලෙසින්ම පැවති බවය. 

ෆ්‍රාන්සිසි ෂේවියර් සාන්තුවරයාගේ දේහය

ඉන්දියාවේ ගෝවේ කතෝලික දේවස්ථායේ තැන්පත් කොට ඇති ෆ්‍රාන්සිසි ෂේවියර් සාන්තුවරයාගේ දේහය ද මෙසේ නරක් නොවී පවතින තවත් එක් දේහ අතර සුවිශේෂී තැනක් උසුලන්නකි. එය කතෝලික සාන්තුවරයෙක්ට අයත් වුව ද එහි ඇත්තේ අප රට අතීතයේ සිටි පැවිදි පඬිරුවනක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ දේහය යන මතය ද ප්‍රචලිතව පැවතීමය. 

(මේ සම්බන්ධව ලියැවුණි ලිපි කිහිපයක් කියවන්න.


ෆ්‍රාන්සිසි ෂේවියර් සාන්තුවරයාගේ මුහුණ

මේ ආකාරයට නරක නොවුණු සාන්තුවර දේහයන් බොහොමයක් පිළිබඳ ලොව පුරා විවිධ ස්ථානවලින් වාර්තා වේ. මෙවැනි දේහයන් බොහෝ විට මුල්වරට හමු වී ඇත්තේ අහම්බෙනි. සාන්තුවර දේහ බොහෝ විට එක් තැනකින් තවත් ස්ථානයකට රැගෙන යන අවස්ථාවන් දක්නට ලැබේ. නමුත් මෙවැනි අවස්ථාවලදී ගොඩගනු ලැබූ සියලුම දේහ නරක් නොවුණු තත්වයේ පැවතී නැත. නමුත් කිහිපයක් පමණක් නරක් නොවී තිබෙන්නට හේතුව කිසිවකු දන්නේ ද නැත. ඇතැමුන් විශ්වාස කරන්නේ එම සාන්තුවරයා ජීවත්ව සිටි කාලයේ ඉතා භක්තිමත් ජීවිතයක් ගත කළ බැවින් එහි බලයෙන් මළ සිරුර නරක් නොවී පවතින බවය. ඇතැමකු විශ්වාස කරන්නේ භක්තිමත් බව කෙසේ වුව ද මෙය ඍජුවම දෙවියන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නක් බවය. 

තවත් පිරිසක් පවසන්නේ මෙයට යම් යම් ස්වභාවික හා් භෞතික සාධක බලපාන බවය. භූමදාන කරන ස්ථානයේ පවතින සිසිල් බව හෝ වියළි බව ද මළ සිරුරු නරක් නොවී පවතින්නට හේතු වන බව පැවසේ. 

නරක් නොවුණු සාන්තුවර දේහ පිළිබඳ කතාව ක්‍රි.ව. 177 තරම් අතීතයකට දිව යයි. ඒ එම වසරේදී හමුවන්නේ ආගමේ නාමයෙන් ජීවිතය කැප කළ සිසිලියා නම් සාන්තුවරියගේ දේහයයි. ඇගේ දේහය ක්‍රි.ව. 822 දී සහ 1599 දී ස්ථාන දෙකකට ගෙන යන ලදී. ඒ සෑම අවස්ථාවකදීම දුටුවේ එම දේහ නරක් නොවී පැවති බවය. මේ ආකාරයට සියවස් ගණනාවක් තිස්සේ සාන්තුවර දේහ සිය ගණනකටත් වැඩි ප්‍රමාණයක් නරක් නොවී පැවති බව වාර්තා වී තිබේ. 

ඇග්නස් සාන්තුවරියගේ දේහය

ක්‍රි.ව. 1317 දී මිය ගිය ඇග්නස් සාන්තුවරියගේ දේහය නරක් නොවී තිබුණා පමණක් නොව ඇගේ දෙපාවලින් හා අත්වලින් සුවඳැති දියරයක් ද ගලා එනු වාර්තා විය. ක්‍රි.ව. 1726 දී එවකට සිටි 13 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ විසින් ඇය මුණිවරියන්ගේ නාමාවලියට ඇතුළත් කරනු ලැබිණි. 

කැතරින් සාන්තුවරියගේ දේහය


ක්‍රි.ව. 1463 දී බොලොන්‍යාවේ සිටි ඉතාලි ජාතික කැතරින් සාන්තුවරිය වයස අවුරුදු 49 දී මිය ගියාය. ඇය එම්බාම් නොකොට මිනී පෙට්ටයක හෝ තැන්පත් නොකොට භූමදාන කරනු ලැබිණි. ඇය භූමදාන කළ සොහොන් පිටියෙන් වාර්තා වූ විවිධ අසාමාන්‍ය සිදුවීම් නිසා දින 18කට පසු ඇගේ දේහය ගොඩගනු ලැබිණි. ඒ වන විටත් ඇගේ දේහය නම්‍යශීලීව මෙන්ම නරක් වීමකට ලක් නොවී පැවතිණි. ඇගේ දේහය බොලොන්‍යාවේ පුවර් ක්ලෙයාර්ස් දෙව්මැඳුරට රැගෙන ගිය අතර එය අද දක්වා ප්‍රදර්ශනය කෙරේ. ඇගේ දේහය අද ද ප්‍රදර්ශනයට තබා ඇත්තේ අසුනක හිඳුවා ජීවමානව සිටින ආකාරයෙනි. 

මෙවැනි තවත් සාන්තුවරියක වන්නේ ප්‍රංශයේ බර්ගුන්ඩාවල උපන් කැතරින් ලැබෝර් (ක්‍රි.ව. 1806 - 1876) සාන්තුවරියයි. ඇගේ දේහය 1933 දී ගොඩ ගනු ලැබූ අතර එහිදී දුටුවේ එය නරක් නොවී පවතින බවය. එය අද පැරීසයේ රු ඩු බැක් හි අප සූර්ය ස්වාමි දියණියගේ දේවස්ථානයේ ප්‍රදර්ශනය පිණිස තැන්පත් කොට තිබේ. 

මෙවැනි තවත් එක් සිදුවීමක් 1993 වසරෙන් වාර්තා විය. අර්ධ වශයෙන් පක්ෂාගාත රෝගයට ගොදුරුව සිටි 56 හැවිරිදි නොහෙඩ් එල්  ෂාමි නම් කාන්තාව දිනක් මැරොනයිට් නම් ආගමික කොට්ඨාශයට අයත් පූජකවරු දෙදෙනෙක් තම යහන අසළ සිටගෙන සිටින ආකාරය සිහිනෙන් දුටුවාය. ඔවුන් ඇගේ ගෙළෙහි යම් සැත්කමක් සිදු කළ අතර ඇය නින්දෙන් අවදිවන විට දුටුවේ ගෙළෙහි තුවාල දෙකක් පවතින බවය. ඇය එයින් පසුව පක්ෂාගාත රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ අතර යළි ඇවිදින්නට ද හැකියාව ලැබිණි. ඇය සිහිනෙන් දුටු එක් පූජකවරයකු කවුදැයි පසුව හඳුනාගන්නට ඇයට හැකි විය. ඒ චාර්බල් නම් පූජකවරයාය. ඔහු 1977 ඔක්තෝබර් 9 වැනිදා වතිකානුවේ දී මුණිවර ලැයිස්තුවට ඇතුළත් කළ සාන්තුවරයෙක් විය. 

මෙවැනි තවත් බොහෝ සිදුවීම් ලෝකයේ විවිධ ස්ථානවලින් වාර්තා වෙයි. මේවා නරක් නොවී පැවතීමට ඉහත තැනක සඳහන් කළා සේ භූමදාන ස්ථානයේ පවතින වියළි බව, මළසිරුරක් නරක්වන්නට පටන් ගැනීමේදී අවට පරිසරයේ පවතින තෙතමනය නිසා සිරුරු පටකයේ නිපදවෙන ඉටි, එම්බාම් කිරීම සහ ඒ සඳහා යොදා ගත් ද්‍රව්‍ය, වෙනත් පාරිසරික හේතු ආදිය බලපාන්නට පුළුවන. පැරණි පිරමීඩවල මළ සිරුරු නරක් නොවී පැවතීමට එක් හේතුවක් යැයි පැවසනේනේ  විවිධ ඖෂධ වර්ග මගින් කරන ලද එම්බාම්කිරීම හැරුණු විට පිරමීඩ  තුළට ඉතාමත් අඩුවෙන් ඔක්සිජන් ලැබීම හෝ කිසි සේත් ඔක්සිජන් නොලැබීම ද එක් හේතුවක්  බව  සොයාගෙන තිබේ. කෙසේ වෙතත් සැබවින්ම මේවාට හේතු සොයන්නට බොහෝ දෙනෙකු පෙළඹෙන්නේ නැත. එයට හේතුව මේවාට විද්‍යාත්මක අර්ථකතන ලබාදීමෙන් පසු ජනතාව අතර පවතින විශ්වාසයන්ට පහර ගැසීමෙන් සිදුවන සමාජ අනර්ථය මේවායේ සැබෑ හේතු හෙළිකරගැනීමෙන් ලබාගන්නා දැනුමට වඩා වැඩි විය හැකි බැවිනි.