පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, March 16, 2016

පාසල් දරුවන්ට අඩු මිලට ෆ්‍රයිඩ් රයිස් ! ?




දරුවන්ගේ පෝෂණය පිළිබඳ වර්තමානයේ අන් කවර කලකටත් වඩා වැඩියෙන් කතා බහ කරනු දැකිය හැකිය. පාසල් දරුවන්ට සමබර ආහාරයක් ලැබීම සහතික කරනු වස් ඔවුන්ට පාන් පිටිවලින් සකස් කළ ආහාර, කඩෙන් ලබා ගත් ’‛ෂෝට් ඊට්’ වර්ගයේ ආහාර පාසලට රැගෙන ඒම ද හැකිතාක් දුරට වළක්වන්නට ඇතැම් පාසල් ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙය කෙතරම් ද කිවහොත් දරුවන් ආහාර ගනිද්දී පන්ති භාර ගුරුවරිය දරුවන්ගේ කෑම පෙට්ටි පරීක්ෂා කර බලන පුරුද්දක් ද ඇතැම් පාසල්වල ක්‍රියාත්මක වේ. කලකට පෙර බොහෝ පාසල්වල මේ පුරුද්ද පැවතිය ද, දැන් දැන් එය කෙමෙන් අඩුව ගොස් ඇති බව ද පෙනෙන්නට තිබේ.  ආහාර සම්බන්ධව පාසල් අනුගමනය කළ මෙම දැඩී නීතිය නිසා මව්වරුන් සිය දරුවාට පාන් පිටිවලින් තොර ආහාරයක් සකසා දන්නට උත්සාහ ගත් බවක් පෙනුණි. මේ සියල්ල දරුවන්ගේ පෝෂණය ආරක්ෂා කිරීම සඳහා ගත් ක්‍රියා මාර්ගයන්ය. කෙසේ නමුත් කාලයත් සමග බොහෝ පාසල්වලින් මෙම පුරුද්ද ගිළිහී යනු දක්නට හැකිවිය. දැන් බොහෝ පාසල්වලට ඕනෑම වර්ගයේ කෑමක් රැගෙන ඒමට තහනමක් නොමැති තත්වයට පත්ව ඇති බව ද පෙනේ. පාසල් බලධාරීන් ද ඒ පිළිබඳව තැකීමක් නොමැති බව පෙනේ. එය කෙතරම් ද යත් ඇතැම් පාසල් අසළ පිහිටා ඇති වෙළෙඳ සල්වල විශේෂයෙන්  පාසල් දරුවන් වෙනුවෙන් සකස් කළ ‛ෆ්‍රයිඩ් රයිස්’ ඇති බවට දැන්වීම් පුවරු ද ප්‍රදර්ශනය කෙරේ. පාසල් බලධාරීන් මේවා කිසිඳු අවස්ථාවක දකින්නේ නැති දැයි සිතේ. 

පාසල් දරුවන් යනු අප රටේ අනාගත පරපුරය. යම් දිනෙක රට භාර ගන්නේ ඔවුන්ය. එබැවින් අනාගත පරපුර නිරෝගීමත් විය යුතුය. ඔවුන් නිරෝගීමත් වීමට නම් ඔවුන්ගේ ගත සිත දෙකම සෞඛ්‍ය සම්පන්නව පැවතිය යුතුය. දරුවන් සඳහා සමබර ආහාරයක් ලබාදිය යුතු යැයි පෝෂණවේදීන් නිතර පවසන්නේ එබැවිනි. කෙසේ නමුත් සමබර ආහාරයක් යනු කුමක්දැයි බොහෝ දෙනෙකු නොදන්නවා සේ පෙනේ. සමබර ආහාරයක් පහත සඳහන් පෝෂණ කොටස්වලින් සමන්විත යුතුය. 

1. කාබෝහයිඩ්‍රේට (පිෂ්ඨය හා සීනි වර්ග)
2. ප්‍රෝටීන ( ඇමයිනෝ අම්ල)
3. මේදය (තෙල් වර්ග හා ඛනිජ අම්ල)
4. විටමින්
5. ඛනිජ ලවණ
6. ජලය
7. තන්තු වර්ග 

කෙසේ නමුත් වර්තමානයේ පාසල් දරුවන්ට සමබර ආහාරයක් ලැබේද යන්න සැක සහිතය. වෙළෙඳ සලකින් මිලදී ගන්නා කිසිදු ක්ෂණික ආහාරයක මෙම පෝෂණ කොටස් පූර්ණ ලෙස අඩංගු වන්නේ නැත. 

පාසල් අසල ෆ්‍රයිඩ් රයිස් අළෙවිකරන්නට දැන්වීම් පුවරු ගසාගෙන සිටින බැවින් ෆ්‍රයිඩ් රයිස් එකක් මේ පෝෂක කොටස් තිබේ දැයි අපට සොයා බැලිය හැකිය. සැබවින්ම මේවා පිළියෙළ කරන්නේ කෙසේද?


ෆ්‍රයිඩ් රයිස් එකක මූලික වනුයේ සහල්ය. බොහෝ විට මේ සඳහා ගනු ලබන්නේ වෙළෙඳ පළේ අඩුවටම ගත හැකි සම්බා සහල් වර්ගයන්ය. ලීක්ස්, කැරට් වැනි එළවළු කොටස් ස්වල්පයක්, කුකුළු මස්, ඉස්සන්, හරක් මස්, ඌරු මස්, බිත්තර ආදිය ස්වල්පයක් ද මෙය එක් කරයි. ඊට අමතරව මොනෝසෝඩියම් ග්ලූටාමේට් (අජිනොමොටෝ), ලුණු, මිරිස්, සෝයා සෝස් ආදිය ද  එක් කරයි. මේ සියල්ල මිශ්‍රකොට බත තෙලෙහි බැදගැනීම සිදු වේ. බොහෝ විට මෙසේ බැදීමට ගන්නේ කිහිප වරක බදින ලද තෙල්ය. ඒවා ද හොඳ තත්වයේ පොල් තෙල් නොව අඩුවට ගත හැකි පාම් තෙල්ය. මේ ෆ්‍රයිඩ් රයිස් මිශ්‍රණය කිසිඳු අවස්ථාවක දරුවට තබා වැඩිහිටියකුට හෝ පෝෂණයක් ලබා දෙන්නේ නැත. කිහිප වරක් බදින තෙල් සහිත ආහාර පරිභෝජනය ඉක්මන් හෘදයාබාධවලට, දියවැඩියාවට සහ වෙනත් රෝග වර්ග බොහොමයකට  අතවනන බව පෝෂණවේදීහු පෙන්වා දෙති.  පාසල් බලධාරීන් මේ පිළිබඳව සැළකිලිමත් නොවේ නම් අඩුම තරමින් දෙමාපියන් හෝ  තම දරුවන්ගෙ පෝෂණ ගුණය පිළිබඳ සැළිකිලිමත් විය යුතුය. අද දවසේ වාසියට හා පහසුවට ඔබ දරුවාට මෙවැනි ක්ෂණික ආහාරයකට හුරු කිරීමෙන් අනාගතයේදී ඔබේ දරුවා රෝග රැසක් සහිත පුද්ගලයකු වනවාට කිසිදු සැකයක් නැත. 

වර්තමාන පාසල් දරුවන් පිළිබඳ තවත් ගැටලුවක් සඳහන් කළ යුතුය. ඒ අතීතයේදී මෙන් නොව බොහෝ පාසල් දරුවන් ඉහළ පංතිවලට යත්ම ශාරීරික ක්‍රියාකාරකම්වලට දක්වන මැළි බවයි. පාසල් වැඩකටයුතු මෙන්ම, පෞද්ගලික පංති තරගය ද නිසා ඔවුන්ට මෙවැන්නක් සඳහා ඉඩකඩක් ඉතිරි වන්නේ නැත. එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන් ශාරීරික වශයෙන් දුර්වලයන් බවට පත්වීමය. එවිට සමස්තයක් ලෙස අප රටේ අනාගතය සමන්විත වන්නේ ශාරීරික වශනේ දුර්වල ප්‍රජාවකිනි. ශාරීරික දුර්වලතාවය අවසානයේ මානසික සෞඛ්‍යය කෙරෙහි ද බලපායි. එවිට අනාගත පරපරක් පිළිබඳ කතා කිරීමෙන් පලක් ද නැත. 

ශාරීරික ක්‍රියාකාරීත්වයෙන් යුක්ත නොවන දරුවන්, හෘදයාබාධවලට අතවනන, කොලස්ටරෝල්, අධික ලුණු සහ මේදය සහිත ෆ්‍රයිඩ් රයිස් වැනි  ආහාර ඔබේ පහසුව පිණිස හුරු පුරුදු කිරීම ඔවුන් උපන් ගෙයි මරා දමනවාටත් වඩා අපරාධයකි. මේවා නීතිරීතිවලින් පාලනය කළ නොහැකි අතර ඔබේ දරුවාගේ පෝෂණය පිළිබඳ වගකීම ගත යුත්තේ ඔබය. නොඑසේනම් දුර්වල සෞඛ්‍යයක් සහිතව අනාගතයට මුහුණ දෙන ඔබේ දරුවන් දැක මියෙන්නට පෙර දහස්වරක් සිතින් මිය යන්නට වන්නේ ද ඔබටමය.

4 comments:

  1. දරුවාගේ පෝසණයට වඩා අම්මලාට ඉතිරි වන කාලයත් පොකැට්ටුවේ ඉතිරි වන මුදලත් වටින්නේය
    තමන්නේ දරුවන්ට මිල් බලපෑමක් නොවෙන තාක් කල් අජ්ජාපන බලදාරින්ටත් අවුලක් නැත

    ඒක තමා සාමාන්‍ය තත්තෙ

    ReplyDelete
    Replies
    1. හැමෙද්ම ඉන්ස්ටන්ට් නම් තමයි. ඒ්ත් විදවන්න ගියාම තමයි ඉතිං . . .

      Delete
  2. වටිනා ලිපියක්..

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න