පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, April 1, 2016

බෙගම් කලිඩා සියාට පෙට්‍රල් බෝම්බ චෝදනාවක්!


බංග්ලාදේශයේ හිටපු අගමැතිවරිය සහ වර්තමාන විපක්ෂ නායකවරිය වන බෙගම් ඛලීඩා සියා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් එරට අධිකරණය විසින් පසුගිය මාර්තු 30 වැනි බදාදා නිකුක් කොට තිබේ. ඒ පසුගිය වසරේ සිදුකළ මාරාන්තික පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙනි. පසුගිය වසරේ ජනවාරි මාසයේ ඇගේ පක්ෂය වන ‛බංගල්දේශ ජාතික පක්ෂය’ විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයකදී සිදු කළ මෙම බෝම්බ ප්‍රහාරයෙන් 120 දෙනෙකු මරුමුවට පතවූ අතර තවත් සිය ගණනකට තුවාල සිදු විය. මෙයට සම්බන්ධ යැයි චෝදනා නගමින් ඛලිඩා සියා ඇතුළු තවත් නායකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුක් කරනු ලැබ තිබේ. ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණේ වර්තමාන අගමැතිනය වන ෂීක් හසිනාගේ පාලනය පෙරළා දැමීමේ අරමුණිනි. ඛලිඩා සියා මෙන්ම ෂික් හසිනා ද බංග්ලාදේශයේ හිටපු නායකයන්ට සම්බන්ධ චරිත දෙකක් වන අතර පසුගිය දශක කිහිපය මුළුල්ලේම එරට බලය මාරුවෙමින් බෙදී ගියේ මේ කාන්තාවන් දෙදෙනා අතරය. දැනට හැත්තෑ හැවිරිදි වියෙහි පසුවන ඛලිඩා සියා මේ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අතර ඇයත් පක්ෂ නායකයනුත් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරති. 

1945 අගෝස්තු 15 වැනිදා උපන් ඛලිඩා සියා 1991 සිට 1996 වර්ෂය දක්වාත්, යළි 2001 සිට 2006 දක්වාත් බංග්ලාදේශයේ අගමැතිධූරය ඉසිලුවාය. වර්ෂ 1991 දී ඇය මුල් වරට එරට අගමැතිධූරයට පත්වන විට ඇය එරට ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක අගමැතිධූරයට පත් වූ ප්‍රථම කාන්තාව මෙන්ම මුස්ලිම් ලෝකයේ අගමැතිවරියන් අතර දෙවැනි තැනට ද පත්වූවාය. ඇයට පෙර මුස්ලිම් ලෝකයේ අගමැතිධූරයක් දරන ලද්දේ පාකිස්ථානයේ බෙනාසිර් බුතෝ ය. ඛලිඩා සියාගේ සැමියා වන සියාවුර් රහ්මාන් එරට ජනපති ලෙස සිටිද්දී ඇය එරහ ජනපති ආර්යාව විය. 1970 දශකයේ අගභායේදී ඇගේ සැමියා විසින් පිහිටවනු ලැබූ ‛බංග්ලාදේශ ජාතික පක්ෂයේ’ සභාපති සහ නායකයා වන්නේ ද ඇයමය. ඇගේ සැමියා හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිඵලය ලෙස ඝාතනයට ලක් විය. 

වර්ෂ 1982 දී එරට හමුදාපති ජනරාල් හුසේන් මොහොමඩ් එර්ෂාඩ් විසින් හමුදා කුමන්ත්‍රණයක් සිදුකරන ලද අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ඇය දිගින්  දිගටම කටයුතු කළාය. කෙසේ නමුත් 1990 දී එරට පාලනය හමුදා ඒකාධිපති එර්ෂාඩ් අතට පත්විය. කෙසේ නමුත් 1991 වසරේ පවත්වන ලද බංග්ලාදේශ මහ මැතිවරණයෙන් ඇගේ පක්ෂය ජය ලබා ඇය එරට අගමැතිධූරයට පත් වූවාය. 

‛ෆෝර්බිස්’ ( Forbes ) සඟරාව විසින් වාර්ෂිකව තොරනු ලබන ‛ලෝකයේ බලගතුම කාන්තාවන්’ යන ලැයිස්තුවේදී ඛලිඩා සියා 2004 වසරේදී 14 වැනි තැනට ද, 2005 වසරේදී තුන්වැනි තැනට ද, 2006 වසරේදී 33 තැනට ද පත්ව සිටියාය. 

ඇගේ පාලන කාලය අවසන් වූ 2006 වසරේ ඇති වූ දේශපාලන ප්‍රචණ්ඩත්වය හේතු කොට ගෙන කලින් සැලසුම් කළ පරිදි 2007 ජනවාර් මාසයේ මැකිවරණය පවත්වන්නට නොහැකි වූ අතර එරට පාලනය හමුදාවේ අන්තර්වාර රජයක් අතට පත් විය. මේ අන්තර්වාර පාලනය අතරතුරදී ඇයටත් ඇයගේ පුතුන් දෙදෙනාටත් බොහෝ දූෂණ චෝදනා එල්ළ කෙරිණි. 

ඛලිඩා සියා වඩාත් ප්‍රකටව සිටියේ ලෝකයේ සිටි රූමත් රාජ්‍ය නායිකාවක ලෙසිනි. එමෙන්ම ඇගේ තොරතුරු සොයා යද්දී හමුවන එක් සුවිශේෂි දෙයක් නම් ඇයගේ උපන් දිනය පිළිබඳ අර්බුදයයි. ඇය සිය උපන් දිනය ලෙස සමරන්නේ අගෝස්තු 15 වැනිදාය. විකිපීඩියාවේ සඳහන්ව ඇත්තේ ද එම දිනයමය. එම දිනය ඇගේ උපන් දිනය බව තහවුරු කරන්නට රජය විසින් නිකුත් කරන ලද කිසිදු නිල ලියවිල්ලක් ද නොමැත. නමුත් අගෝස්තු 15 වැනිදා යනු බංග්ලාදේශ වැසියන්ට අමතක නොවන දිනයකි. ඒ, ඛලිඩා සියාගේ දේශපාලන ප්‍රතිවාදිනිය වූ ෂික් හසීනාගේ පියා වූ ෂික් මුජිබර් රහ්මන් ඇතුළු පවුලේ සමීප සාමාජිකයන් රැසක් හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක් වූ දිනයයි. එම දිනය රජය විසින් නිල වශයෙන් ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කෙරුණු අතර වසරක් පාසා එම දිනය සිය පවුලේ ශෝක දිනයක් ලෙස වර්තමාන අගමැතිනිය වන ෂික් හසීනා ඇතුළු පවුලේ පිරිස විසින් සමරණු ලබයි. 

බෙගම් ඛලිඩා සියා විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිට ලබාගත් සහතිකයේ සඳහන් වන්නේ ඇගේ උපන් දිනය 1945 අගෝස්තු 9 වැනිදා ලෙසිනි. ඇගේ විවාහ සහතිකයේ උපන් දිනය සඳහන්ව ඇත්තේ 1945 අගෝස්තු 5 වැනිදා වශයෙනි. ඇගේ විදේශ ගමන් බලපත්‍රයේ එය සඳහන්ව ඇත්තේ 1945 අගෝස්තු 19 වශයෙනි. මේ අනුව බලාගෙන යද්දී දේශපාලඥයන්ට උපන් අර්බුද ඇත්තේ අපේ රටේ පමණක් නොවන බව ද පෙනී යයි. අගෝස්තු 15 වැනිදා උපන් දිනය සමරන්නට එපා යැයි ඇගේ දේශපාලන උපදේශකයන් අවවාද කොට තිබුණ ද ඇය ඒ කිසිවක් නොසළකා එය සැමරීම සිදුකරයි. මෙය සම්බන්ධව ද එරට ඉහළ අධිකරණය ඇයට එරෙහිව පෙත්සමක් ගොනු කොට තිබේ. 


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න