පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, December 6, 2016

ලෝකයේ මිටිම යුවල කසාද බැන්දා - World's shortest couple wedding


ලෝකයේ අරුම පුදුම දෑ සැබැවින්ම අරුම පුදුම බව කවුරුන් පැවසුව ද ගිනස් ලෝක වාර්තා කමිටුව නිල වශයෙන් පිළිගන්නා තෙක් එය අරුම පුදුම දෙයක් වන්නේ නැත. පසුගිය නොවැම්බර් 17 වැනිදා ගිනස් වාර්තා කමිටුව ලෝකය හමුවේ නිල වශයෙන් දැනුම් දුන්නේ ලෝකයේ මිටිම විවාහක යුවල තමා හමුවීමට පැමිණි බවත්, ඔවුන් ලෝකයේ මිටිම  යුවල ලෙස තම කමිටුව විසින් නිල වශයෙන් පිළිගත් බවත්ය. මේ නිසා ලෝකයේ මිටිම විවාහක යුවල පිළිබඳ කිසිඳු සැකයකින් තොරව මේ තොරතුරු ඉදිරිපත් කරන්නට හැකියාව තිබේ.



ඔහු 31 හැවිරිදි බ්‍රසීල ජාතිකයකු වූ පෝලා ගේබ්‍රියෙල් ද සිල්වා බැරෝස් වන අතර උසින් අඟල් 35.54 (සෙන්ටිමීටර 90.28) වන අතර ඇය 26 හැවිරිදි බ්‍රසීල ජාතික කාන්තාවක වන කැටියුෂියා ලයි හොෂිනෝ වන අතර උසින් අඟල් 35.88 (සෙන්ටිමීටර 91.13) ක් වේ. ඔවුන් දෙදෙනාගේම උසෙහි එකතුව අඟල් 71.42 (සෙන්ටිමීටර 71.42) ක් හෙවත් අඩි 5 අඟල් 11ක් පමණ වේ.



ලෝකයේ මිටිම යුවල ලෙස ගිනස් වාර්තාව පිහිටුවීමෙන් පසු ඔවුහු මාධ්‍ය හමුවේ සිය කතාව දිගහැරියහ.

මම මුල්ම වතාවට ඇයව දුටු වෙලාවේ ඉඳලාම ඇය සමඟ ආදරයෙන් බැඳුණායැයි පෝලා පැවසූව ද ඔහුගේ සහකාරිය වන කැටියුෂියා පවසන්නේ තමාව ඔහුව මුළින්ම ප්‍රතික්ෂේප කළ බවකි. නමුත් කෙසේ හෝ ඔහු ඇගේ සිත දිනාගැනීමට සමත් වූවේය.



ඔවුන් මුළින්ම හමුවී ඇත්තේ කතාබහකිරීමේ (chat online) වෙබ් අඩවියක් වන මයික්‍රොසොෆ්ට් සමාගම හරහා ක්‍රියාත්මක වන එම්.එස්.එන්. මෙසෙනේජර් (MSN Messenger) සේවාව ඔස්සේය. පෝලා ඇයට මිතුරු යෝජනාවක් ගෙන ආ මොහොතේ ඇය ඔහුව සිය මිතුරු ලැයිස්තුවෙන් අවහිර කොට දැමුවාය. ඔහුගේ පෙනුම සහ අදහස් හුවමාරු කරගන්නා ආකාරයෙන් ඇයට සිතුනේ පෝලා යනු කරදරකාරයකු ලෙසිනි. ඇය ඔහුව මේ ආකාරයට මාස 18ක කාලයක් අවහිර කොට දමා තිබිණි.


දවසක් මොන හේතුවක් නිසා ද මන්දා මට හිතුණා ඔහුට දාලා තිබුණු අවහිරතාවය අයින් කරලා දාන්න.

කැටියුෂියා පැවසුවාය. ඇගේ මිතුරු ලැයිස්තුවේ තමාට තිබුණු අවහිරතාවය ඉවත් කොට ඇති බව දැනගෙන මිනිත්තුවක් ගත වන්නටත් පෙර ඔහු ඇයව අන්තර්ජාලය ඔස්සේ ඇමතුවේය.

දින කිහිපයක් මෙසේ චැට්කිරීමෙන් පසු සැබෑවටම හමුවිය යුතු යැයි ඔවුන්ට සිතෙන්නට ඇත. මේ නිසාම 2008 දෙසැම්බර් 20 වැනිදා 20 වැනිදා ඔවුහු එකිනෙකා හමුවූහ. පෝලා මේ සඳහා තමා උපන් ප්‍රදේශය වන ඉටාපේවා සිට කිලෝමීටර 180ක් දුර ගෙවා කැටියුෂියාගේ උපන් ප්‍රදේශය වන ලොන්ඩ්‍රිනා කරා පැමිණියේය. ඇගේ සුන්දරත්වය දැක තමා විස්මයට පත්වූ බව පෝලා පවසයි. කෙසේ නමුත් ඔහු සඳහන් කරන්නේ ඇය ඉතා ලජ්ජාශීලි කාන්තාවක වූ බවය.



ටික දිනක් ඇසුරුකිරීමෙන් පසු දෙසැම්බර් 29 වැනිදා ඔවුහු පෙම්වතුන් බවට පත් වූහ. සෑම මාස දෙකකට වරක්ම පාහේ හමුවෙමින්, ආදර හැඟීම් බෙදා හදා ගනිමින් ඔවුහු දිගුකාලීන ආදර සම්බන්ධයක් පවත්වාගෙන ගියහ.

මම මීට කලින් ආදර සම්බන්ධතාවයක් තිබිලා නෑ. පෝලා කියන්නේ මගේ පළමු ආදරවන්තයා.

කැටියුෂියා පවසන්නීය.

2012 ජනවාරි මාසයේදී කැටියුෂියා තීරණය කළේ තමාගේ උපන් ප්‍රදේශය වන ලොන්ඩ්‍රිනා අතහැර පෝලාගේ උපන් ප්‍රදේශය වන ඉටාපේවා කරා යා යුතු බවය. පෝලා රජයේ සිවිල් සේවකයකු වූ අතර කැටියුෂියා සතුව රූපලාවන්‍යාගාරයක් තිබිණි. ඔවුහු එක්ව ජීවත්වන්නට පටන් ගත්හ.



අවුරුදු 21 සපිරෙන තෙක් පෝලාට ඇවිදීමේ හැකියාව තිබුණේ නැත. ඔහු තනිව ඇවිදීමට ආධාරකයක් ලෙස කුඩා දරුවන් සෙල්ලම් කරන ට්‍රයිසිකලයක් භාවිත කළ අතර විසිවැනි වියට පමණ එළැඹෙද්දී රෝද හතරකින් යුක්ත ආධාරකයක් යොදාගත්තේය. පසුව ඔහු රෝද හතරකින් යුක්ත මෝටර් රථයක් වැනි යාන්ත්‍රික වාහනයක් සිය ගමන් බිමන් සඳහා යොදාගන්නට පටන් ගත්තේය. ඉන්පසුව ඔහු තමාට පැදවිය හැකි ආකාරයට මෝටර් රථයක් වෙනස්කොට පිළියෙල කරවා ගත්තේය. කැටියුෂියා ද සිය රූපලාවන්‍යාගාරය පවත්වාගෙන යන්නේ ඉතා සුවිශේෂී ආකාරයකිනි. එහි සෑම දෙයක්ම පිළියෙල කොට ඇත්තේ ඇගේ උසට සරිලන පරිදිය.

පෝලා පවසන්නේ තමා උපන් ප්‍රදේශය වන ඉටාපේවාවල නගරාධිපති තනතුරට තරගකිරීමේ බලාපොරොත්තුවක් තමා තුළ තිබෙන බවය.

අපි දෙන්නත් අනෙක් අය වගේම සාමාන්‍ය අය. අපට අඩුවකට තියෙන්නේ උස විතරයි. ඔහු පවසයි.



සමාජය හමුවේ තමා නිතරම පාහේ යම් යම් අපහසුතාවයන්ට ලක්වන බව ඔවුහු පවසති. පොදු වැසිකිලියකට යන සෑම අවස්ථාවකදීම පාහේ අන්‍යයන්ගේ සිනහවට ලක්වන බවත්, මහ මග ඇවිද යද්දී සියලු දෙනා තමා දෙසට ඇඟිල්ල දිගුකොට අමුතු සතෙක් දෙස බලන්නා වැනි හැඟීමකින් අවධානය යොමුකරන බවත් ඔවුහු පවසති.

මම කවදා හරි විවාහ වෙලා අපේම ගෙදරක ජීවත්වෙන එක ගැන සිහින මැව්වා. දැන් ඒක ඉටු වුණා. ඒත් මට තියෙන දුක මට දරුවෙක් ලබන්න බැරි එක. මගේ ගර්භාෂය දරුවෙක් දරාගන්න තරම් කුඩා වැඩියි. නමුත් හැමදේම නියම කාලෙට මේ වුණා වගේ සිද්ධ වෙයි. කොහොම වුනත් අපේ ජීවිතේ තියෙන සතුට කිසිම දෙයකින් නැතිකරගන්න මම කැමති නෑ.


කැටියුෂියා පවසන්නීය.


6 comments:

  1. සතුට වගේම පොඩි දුකකුත් එක්කරන අපූරු ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බොහෝ තුති.

      Delete
  2. ආදරය හරි බලගතුයි.......එය නිදහසේ භුක්ති විඳිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. එ්ක ඇත්ත. ඒකට සීමා මායිම් තිබිය යුතු නැහැ.

      Delete
    2. /////ඒකට සීමා මායිම්/////
      කවුද මේ සීමා මායිම් දාගන්නේ...කවුද දාගන්න කිව්වේ...

      නිරංජන්......මම කැමති නමක්. මගේ නමෙත් එක කොටසක් නිරංජන්. මගේ එක මල්ලි කෙනෙක් මාව මතක් වෙන්න කියලා උගේ ලොකු පුතාට එක නමක් දැම්මා නිරංජන් කියලා. අපේ ගෙදර කස්ටිය ජොලියට හිනාවුනා...පොඩි එකාට වයසක නමක් දැම්මා කියලා. කොල්ලට දැන් කතාකරන්නේ ලොකු තාත්තා කියලා වෙන්නැති..

      Delete
    3. ඒක නියම කතාවක්. සහෝදර බැඳීම ගැන වගේම නමක අලුත් පරණ කම ගැනත් කතාවක්. කොහොම වුනත් මම නම් හිතන්නේ නිරංජන් කියන එක පරණ වෙන නමක් නෙවෙයි කියලයි. ඒක අනෙක් අයත් පිළිගන්න තරමට අපට වාසියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න