පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, June 28, 2016

සල්ලිකාරයන් වෙනුවෙන් හදපු රත්තරන් ෆෝන් - Golden Phones for Rich People

Luxury Gold Samsung Galaxy ALPHA

Full price: £1364.16


අපි ඉතිං සල්ලි එකතු කරලා අමාරුවෙන් ස්මාර්ට් ෆෝන් එකත් ගන්නවා වුණාට සල්ලි තියෙන උදවිය ගන්නේ ලොකු ලොකු ගණන් තියෙන ෆෝන්. මේ ළඟදි අන්තර්ජාලය පීරන කොට අහම්බෙන් වගේ හම්බ වුණා අමුතුම ෆෝන් වර්ගයක්. මේවා අපට මේ සම්ජ්ජාතියේදී නම් ගන්න ලැබෙයි කියලා හිතන්න ආමාරුයි. මොකද මේ ෆෝන්වල පිටත ආවරණය එහෙ පිටින්ම හදලා තියෙන්නේ කැරට් 24 රත්තරන්වලින් නිසයි. සල්ලිකාරයන් වෙනුවෙන්ම මේ ෆෝන් නිෂ්පාදනය කරනා නිසා වෙළෙඳපළට පැමිණෙන්නේත් ඉතා ස්වල්ප ප්‍රමාණයෙන්. මිල රුපියල්වලින් බැලුවොත් ලක්ෂ 2කටත් වැඩියි. මේවා එන ඇසැරුම පවා බලන්න ලස්සනයි. ඉතිං ගන්න විදිහක් නැතත් මේ වගේ ෆෝන් තියෙන බව විතරක් නෙවෙයි ඒවා ගන්න තරමට සල්ලි වියදම්කරන්න මිනිස්සුත් ඉන්නවා කියලා දැනගන්නත් එක්ක මේ විස්තර ටික නිකමට වගේ කියව ගනිමු. 

Luxury Gold Samsung Galaxy S5

Full price: £1264.16

 

Gold Samsung Galaxy S6 Edge Prism

Full price: £2214.00

Gold Samsung Galaxy Note 5 Prism

Full price: £1780.84

Gold Samsung Galaxy S6 Edge Scripto

Full price: £1814.18

Samsung Galaxy S7 Edge Gold Stardust

Full price: £2297.00

දුරකතනය සමග එන ඇසුරුම් පෙට්ටිය

Sunday, June 26, 2016

සිංහල බල්ලා හඳුනා ගනිමු - Sinhala Dog



අප රටේ විවිධ වර්ගයේ සුනඛයෝ සිටිති. අපගේ ඉතිහාස කතාවට අනුව විජය කුමරුට මුළින්ම හමුවන්නේ ද බැල්ලකි. අතීතයේදී බොහෝ නිවෙස්වල කිසිදු වර්ගයකට අයත් නැති බව සැළකෙන සුනඛයන් සිටිය ද වර්තමානයේ බොහෝ දෙනෙක් වර්ගයක්, පෙළපතක් (pedigree) සහිත උසස්යැයි සැළකෙන සුනඛ වර්ග සුරතලයට ඇති දැඩි කරන්නට පුරුදුව සිටින බැව් පෙනේ. බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් එදිනෙදා මග තොට දකින සුනඛයන් සැළකිල්ලකට ගන්නේම නැත. මේ නිසාම අප රටේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුනඛයන් ගම් බල්ලන්’, ‛පර බල්ලන්හෝ වල් බල්ලන්සේ හැඳින්වීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටිති. ඉංග්‍රීසි බසින් මෙවැනි සුනඛයන් හඳුන්වනු ලබන්නේ මන්ග්‍රල්’ (mongrel - දෙමුහුම්, පර, සංකර) නමිනි. සුනඛ වර්ග අභිජනනය කිරීමේදී විවිධ වර්ගයන් මිශ්‍ර කිරීම සිදු කෙරේ. මෙවැනි මිශ්‍ර කිරීම් සිදුකරනු ලබන්නේ යම් යම් පර්යේෂණ කිරීමෙන් අනතුරුව එවැන්නක් සිදුකිරීමෙන් ගුණාත්මක සුනඛ වර්ගයක් බිහි වේ යැයි ඔප්පු වීමෙන් පමණි. කෙසේ නමුත් එවැනි පර්යේෂණයක් සිදු නොවී, සැලසුම් කිරීමකින් තොරව සුනඛ වර්ග දෙකක් අතර ඇතිවන ලිංගික සම්බන්ධයක් නිසා ඇති වන සුනඛයන් මන්ග්‍රල්නමින් හඳුන්වනු ලබයි. එවැනි සුනඛයන් පැහැදිලි පරම්පරාවකට හිමිකම් පාන්නේ නැත. මෙවැනි සුනඛයන් අයාලේහෝ දඩාවතේ යන බල්ලන්’ (Stray Dogs) ලෙසින් ද හඳුන්වනු ලබයි.


සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුනඛයන් විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. කෙසේ නමුත් මොවුන් වල් බල්ලන්’ (wild dogs) ලෙසින් ද හඳුන්වනු ලැබුවත්, සැබැවින්ම පැවසිය හැක්කේ අප රටේ වල් බල්ලන්දක්නට නොලැබෙන බවය. නමුත් ලෝකයේ බොහෝ රටවල වල් බල්ලෝ දක්නට ලැබෙති. ඇමරිකාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල මෙවැනි වල් බල්ලන් බොහෝ සංඛ්‍යාවක් දක්නට ලැබේ. මොවුන් එසේ හඳුන්වනු ලබන්නේ කැලෑ ආශ්‍රිතව ජීවත් වන බැවිනි. නමුත් අප රටේ වල් බල්ලන් නැතැයි පවසන්නේ කැලෑ ආශ්‍රිතව ජීවත්වන සුනඛ විශේෂ දක්නට නොලැබෙන බැවිනි. එමෙන්ම ඉහත මන්ග්‍රල්යනුවෙන් හඳුන්වනු ලබන සුනඛයන් ද වල් බල්ලන්ගේ ගොඩට දැමීමට හැකියාවක් නැත. මන්ද ඔවුන්ට පැහැදිලි පරම්පරාවක් නැතත්, ඔවුන් බෝ වී ඇත්තේ කානිස් ලූපස් ඩොමෙස්ටිකස්’ (canis lupus domesticus) යන සුනඛ වර්ග අතර ඇතිවන ප්‍රජනන ක්‍රියාවලියක් මගින් පමණක් වීම නිසාය.



එමෙන්ම අප සාමාන්‍යයෙන් දකින සුනඛයන් අයාලේහෝ දඩාවතේයන බල්ලන් ලෙස හඳුන්වන්නට අප පුරුදුව සිටිය ද එම වචන දෙකේ අර්ථය ගෙන බැලුවහොත්, සැබැවින්ම ඒවා ද මොවුන්ට කිසිසේත් නොගැළපෙන බැව් පෙනේ. මෙම වචන දෙකෙහි අර්ථය ගෙන බැලුවහොත් සඳහන් කළ හැක්කේ කිසිදු වග විභාගයකින් තොරව හිස හැරුණු අතේ ගමන් කිරීමක්වැනි අදහසකි. නමුත් අප දකින සුනඛයන්ට එසේ ඇවිදීමේ චර්යාවක් දක්නට නැත. සැබැවින්ම අයිතිකරුවකු නොමැතිව මහ මග ජීවත්වන සුනඛයන් පවා තමන් විසින් නිර්ණය කරගත් වාසභූමිය (Habitat) තුළ ජීවත්වන බව පර්යේෂණවලින් ද පැහැදිලි වී තිබේ. ඔවුන් තමා ජීවත් වන ප්‍රදේශයෙන් (territory) බැහැරට යන්නේ නැත. යම් ආකාරයකින් බැහැරට යන්නට සිදුවුවහොත් එවැනි ප්‍රදේශයකදී ඔවුන් ඉතා යටහත් පහත් ලෙස හැසිරෙන ආකාරයක් දක්නට ලැබේ. ඔවුන් මුත්‍රා කරමින් සිය භූමි සීමාවන් සළකුණු කර ගන්නා ආකාරය නිතරම දක්නට ලැබෙන්නකි.


මේ ආකාරයට දක්නට ලැබෙන සුනඛයන්ගේ තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ට පැහැදිලි අයිතිකරුවකු නොමැති වුව ද ජීවත් වන්නේ මිනිසුන් ආශ්‍රිතව වීමය. මිනිසුන් නොමැති ප්‍රදේශයක නිකමට හෝ සුනඛයකු සොයා ගන්නට නැත. මිනිස් ප්‍රජාව සමග ජීවත්වන්නට සියලු විටම උත්සාහ දරණ බැවින් ඔවුන් වල් බල්ලන්ලෙස නොව ප්‍රජා සුනඛයන්’ (community dog) වැනි නමකින් හැඳින්වීම වඩා සුදුසුය.


ලෝකයේ වෙනත් රටවල දක්නට ලැබෙන මෙවැනි සාමාන්‍ය සුනඛයන් පිළිබඳ සළකා බැලුවහොත් පැහැදිලිව දැකිය හැකි දෙයක් වන්නේ ඔවුන් හඳුන්වන නම් ගණනාවක්ම පැවතීමය. ඕස්ට්‍රේලියාවේ මෙවැනි සුනඛයන් හඳුන්වනු ලබන්නේ ඩිංගෝ’ (dingo - Canis lupus dingo) නමිනි. මොවුන්ගේ වර්ග දෙකක් සිටින අතර කැලෑබදව ජීවත්වන්නවුන් වල් ඩිංගෝහෝ වන ඩිංගෝ’ (wild dingo) නමින් හඳුන්වනු ලබයි. අනෙක් වර්ගය මිනිසුන් ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙයි. ඇමරිකාවේ මෙවැනි සාමාන්‍ය සුනඛයන් හඳුන්වනු ලබන්නේ කැරොලිනා’ (Carolina) නමිනි. කෙසේ නමුත් ඉන්දියාවේ මෙවැනි සුනඛයන් හැඳින්වීම සඳහා යොදන නම මේ සියල්ලටම වඩා උසස් යැයි සිතේ. එයට හේතුව එහි ඔවුන්ව හඳුන්වන්නේ ඉන්දීය දේශීය සුනඛයා’ (Indian native dogs) නමින් වීමය. මොවුන්ට වසර 15,000කටත් වඩා ඉතිහාසයක් පවතින බව පර්යේෂණවලින් හෙලීවී තිබේ.



විකිපීඩියාව පිරික්සා කිරීමේදී ද සිංහල සුනඛයායන්නට සමාන පදයක් හමුවේ. ඒ Sinhala Hound යන්නය. එහි සඳහන් විස්තරයට අනුව නිල්ගල ගුහාවෙන් සහ බෙල්ලන්බැඳි පැලැස්සෙන් සුනඛ අවශේෂ හමුවී ඇති අතර පූර්ව සහ ප්‍රාග් ඓතිහාසික යුගවලට අයත් බැව් සොයා ගෙන තිබේ. අප රටේ ආදීතමයා වන බලංගොඩ මානවයා ද සිය වාසස්ථාන ආශ්‍රිතව සුනඛයන් ඇති දැඩි කොට ඇති බව පෙනෙන්ට තිබේ. මොවුන් ඩිංගෝ සුනඛයන්ට සමාන බැව් ද පැවසේ.



සිංහල සුනඛයා පිළිබඳව මෙසේ කතා බහ කිරීමේදී ඔවුන් පිළිබඳ මේ නමින්ම තබනු ලැබූ පැරණි ලේඛන කිහිපයක් පිළිබඳව ද සඳහන් කළ යුතුය. ඉන් එකක් වන්නේ මහාචාර්ය සෙනරත් පරණ විතානයන් තරමටම පුරා විද්‍යා ක්ෂේත්‍රයට සේවයක් කළ පසුගිය සියවසේ අප රටෙහි සිටි විශිෂ්ඨ විද්වතකු වූ පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල සුරීන් විසින් රචිත ත්‍රාස ක්‍රීඩා’ (Some Sinhala combative, field and aquatic sports and games / by P.E. P. Deraniyagala/ National Museums of Ceylon, 1959) නමැති කෘතියේ අප රටේ වෙසෙන සාමාන්‍ය සුනඛයන් හඳුන්වන්නට සිංහල සුනඛයාසහ සිංහල බල්ලා’ යන නම් ලබා දී තිබීමය. 




සිංහල සුනඛයෝ



ලංකාවේ බිතුසිතුවම්වල හා ගල් කැටයම්වල දක්නට ලැබෙන කෙටි ලෝම, ඍජු කන් හා උඩුකුරු වලිග සහිත සිංහල බල්ලා ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.



දැනට කොළඹ කෞතුකාගාරයේ තිබෙන 9 වැනි සියවසට අයත් ගල් කණුවකද ඇති රූපයෙන් හකු මහත් සාමාන්‍ය දේහයක් ඇති බල්ලෙකුත්, බිලිබෑවේ තිබෙන දහවන සියවසට අයත් කල්කණුවක රූපයෙන් ගෙවල් රැකීමට යොදන බල්ලෙකුත් දැක්වේ. කෙටිවූ විශාල හොම්බක් හා කුඩා කන් පෙති සහිත විශාල ඔලුවක් ඇති මේ සතාගේ බෙල්ලේ මස් කැරැල්ලක් ඇත. කෙටිවූ පාද ඇති, මහතට වැඩුන උරහිස ක්‍රමයෙන් උකුල් ඇට අසලදී උස්වේ. තරමක් වකුටු වූ වලිගය, ඇසිරියන් හා වර්තමාන තිබැටන් දඩයම් බල්ලන්ගේ මෙන්ය. මෙම ගල්කණුවේ ඡායාරූපයක් එපිග්‍රුෆියා සිලනිකාසඟරාවේ දෙවෙනි කාණ්ඩයේ 8 වන සේයාරුවේ ඇත. ඊට සමාන දුඹුරු සුනඛ රූ 18 වන සියවසට අයත් කැලණියේ ඇති මා කණ්හ ජාතකයදැක්වෙන බිතු සිතුවමේ ඇති අතර, වෙස්සන්තර ජාතකයේ බමුණන් වෙහෙස කළ බල්ලාට සුදු, දිග නැහැයක් හා මහත් ලැමැදක් ද ඇත. මොවුන් සහ කතරගමින් සහ මැදවලින් දැක්වෙන්නවුන් (එපිග්‍රුෆියා සිලනිකා, 3 කාණ්ඩය, රූප .24 - 27) රැකවල් බල්ලන් හා 13 වන සියවසට අයත් මදුරෙයි කෝරලේ කොට්ටන්ගයි කැටයම්වල දැක්වෙන සිහින් දේහ ඇති ටෙරියර් වර්යටත් අතර මැදි වර්ගයකි.

මෙහිදී සිංහල සුනඛයාගේ අනන්‍යතාව තවදුරටත් තහවුරුකිරීමට වෙරදරන දැණියගල සුරීහු තම ලිපියෙන් මෙසේ ද කියති.



දේව අන්ගම් රෙදිකඩේ දැක්වෙන කොටි හටනේ සිටින්නේ ටෙරියර් වර්ගයේ බල්ලන්ය. පැත්තෙන් පුල්ලි සහිත බල්ලාගේ පුල්ලියක් උගේ ඇස පමණට මහතය. කොටියාගේ උරහිස ඩැහැගත් බල්ලාත් අනිකාගේ පාට මෙන් වුවත් කොටියාගේ බෙල්ලේ මස් කැරැල්ලෙන් අල්ලාගත් විශාල බල්ලාගේ පුල්ලි උගේ නාසය මෙන් මහත්ය. පුල්ලි රහිත එකාගේ හා තුවාල වූ බල්ලාගේත් කරේ කුඩා සීනුවක් බැඳි පටියක් ඇත.



විදේශ සුනඛයන් ගැන මෙදෙස වැසියෝ නොදතුවා නොවේ. රාජසිංහ රජු ඔවුන් තෝරාගැනීමට දැන සිටි බව පෙනේ. එසේ තෝරාගත් සුනඛයන්, සිංහල රජු සාදරයෙන් පිළිගත් තිළිණයක් ලෙස ඕලන්දයින් සැලකූ බව, 1655 ජුනි 10 දා වෑන් ඩර් මේඩන් විසින් බතේවියාවේ අග්‍ර ආණ්ඩුකාර වෙත යවන ලද ලිපියේ මැනිලා, චීන, ජපන් හෝ තායිවාන් ආදී වරිග සුනඛයන් තබාගැනීමට ලොල්වූ රාජසිංහ රජුට සුනඛයින් කීපදෙනක් සොයාදීමට හැකිනම් අපි සතුටුවන්නෙමුයි සඳහන් කිරීමෙන් පෙනේ. (පීරිස් 1829, පිටුව 180). යුරෝපීය බල්ලන් රජුගේ විවේචනයට පත්වුණු බව අන් ලිපිවලින් හෙළිවේ. එක් තැනෙක මෙසේ සඳහන් වේ. (පීරිස් 1914, කාණ්ඩය 2, පිට 358) “මේ කරුණුවලදී රජ හාස්‍යජනක කිරීම ඕලන්දක්කාරයන්ගේ ආශාව විය. ඔවුහු අශ්වයන් පමණක් නොව, රජතවන් සෑද හා කටකලියාද, සුනඛයන්ද තෑගි කළහ. බල්ලන් ගැන වරක් රජතුමා මේ බල්ලන්ට රජ මැඳුර දොරටු රැකීමට හා මිනිසුන් එලවා හැරීමට බැරිවා පමණක් නොව, ඔවුන්ගේ විලාශය හා පෙනීම ද අසතුටුදායකයී කීය. දඩයම් පිණිස තෑගි කළ තවත් බල්ලෙකු දෙස බලා උගේ පුල්ලි පිහිටි අන්දමින් දඩයමට වැඩි ප්‍රයෝජනයක් නැතයි පැවසීය.



පිණි නිය තිබේනම් ඒ විඩාවට පත් නොවීමේ ලකුණකි. ශරීරයේ යම් යම් සලකුණු හා පුල්ලි නැතිනම් ඒ නියම දඩයම් බලු වර්ගයේ සතෙක් යැයි නොසළකත්.



තම ලේඛනය මගින් දැරණියගල සූරීන් ඊළඟට පවසන්නේ කුමක්ද?



ඕලන්දක්කාරයෝ සිංහල බල්ලාගේ වටිනාකම හොඳින් දැන සිටියේ, එක් නිලධාරියෙක් වැද්දකුගෙන් මිලට ගත් බල්ලෙක් සුරත් දක්වා ගෙනගොස් රික්ස් ඩොලර් 400ක් සපයා ගත් බව පෙනේ.



(පර්ස්සිවල් 1803, පිටුව 262)”





අප ජාතිය හඳුන්වන නම ද සිංහල බැවින් යමෙකු තුළ එකවර මේ පිළිබඳ යම් විරෝධයක් වුව ඇති විය හැකිය. නමුත්, ශිලා ලේඛණ ඇතුළුව සිංහල ජාතිය පිළිබඳ සඳහන් වන බොහෝ ස්ථානවල මෙම සුනඛයන් පිළිබඳ සඳහන්ව ඇති බැවින් දැරණියගල සූරීන් ඔවුන් මේ නමින් හඳුන්වන්නට තීරණය කරන්නට ඇතැයි සිතිය හැකිය. එසේත් නොමැති නම් අතීතයේ අප රට සිංහලේනමින් හඳුන්වනු ලැබූ නිසා සුනඛයන්ට ද එම නම භාවිත කරන්නට ඇත.

මෙයට අමතරව සී.එන්.එස්. ගමගේ විසින් Sinhala Dog in Antiquity : An Evidence for Selection of Dog Genome නමින් තබන ලද සටහනෙහි ද සිංහල බල්ලා ගැන බොහෝ කරුණු ඇතුළත්ව තිබේ. එම මුල් සටහන පහළින් දැක්වේ.









Thursday, June 23, 2016

ආහාර, මේදය සහ තරබාරුව අතර සම්බන්ධතාවයක් තිබේද?


යමෙක් තරබාරු තත්වයක් පසුවනවා නම් හෝ තරුබාරුවෙමින් පවතිනවා සේ පෙනෙනවා නම් අප බොහෝ දෙනෙක් පවසන්නට පුරුදුව ඇත්තේ, 

“ඔයාගේ ඇඟ නම් ටිකක් වැඩියි. කෑම ටිකක් අඩු කළොත් නරකද?” 

වැන්නකි. ඒ සමඟම ව්‍යයාම කරන්නට ද උපදෙස් දෙනු දක්නට හැකිය. සිරුරේ තරබාරුව අඩුකරගැනීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වන විවිධ තොරතුරු, වීඩියෝ ආදිය ද දක්නට ලැබේ. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ ආහාර සහ තරබාරුව අතර වැඩි සම්බන්ධතාවයක් ඇති බවය. “ඕනෑවටට වඩා කෑවොත් නේ මහත් වෙන්නේ” වැනි අදහස් බහුතරයකගේ සිතේ තිබෙන නිසා බොහෝ දෙනෙක් කෑම බීම පාලනය කරන්නට පෙළැඹී සිටින බැව් පෙනේ. ඇතැමෙක් රැගෙන එන අහාර වේලක ප්‍රමාණය අඩු කරන අතර රාත්‍රියේදී බත් වැනි බර ආහාරයක් ගන්නේම නැත. කිරි වීදුරුවක් පමණක් පානය කොට නින්දට යනු ඕනෑ තරම් දැකිය හැකි තත්වයකි. නමුත් මේ තරබාරුව පසුපස පවතින එකම කාරණය ආහාර පමණක් ද යන්න කිසිවකු නිකමට හෝ සිතා බලා නැත. 

ඩේවිඩ් ලුඩ්විග් යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් මහජන සෞඛ්‍ය විද්‍යාලයේ පෝෂණවේදය පිළිබඳ මාහාචාර්යවරයෙකි. ඔහු මේ තරබාරුව සහ ආහාර අතර ඇති සම්බන්ධතාවය වෙනත් අයුරකින් දකින්නෙකි. 


ඩේවිඩ් ලුඩ්විග්

එක් අවස්ථාවක ඔහු සිය සායනයට තරබාරු දරුවන් 12 දෙනෙක් රැගෙන පැමිණියේය. ඔවුන්ට කැඹ පිඟන් 12ක් ලබා දෙන ලදී. මෙහිදී 12 දෙනාට එකිනෙකට වෙනස් ආහාර වර්ග ලබා දුන් නමුත් මේ සෑම ආහාරයකම අඩංගු වූ කැලරි ප්‍රමාණයක් එක සමාන විය. 

සාමාන්‍යයෙන් අප වැඩි දෙනෙකු විශ්වාස කරන්නේ මේදය අධික ආහාර නිසැකවම තරබාරුවට හේතු වන බවය. මේ නිසා ලොව වටා වැඩි දෙනෙක් නීරෝගීව හිඳීමේ අරමුණින් සිය ආහාරවල ඇති මේද ප්‍රමාණට හැකි තරමින් කපා හරිනු දක්නට ලැබේ. නමුත් බොහෝ අධ්‍යයනවලින් පෙනී ගොස් ඇති කරුණක් වන්නේ මෙය සාර්ථක නොවන දෙයක් බවය. මේදය අඩු ආහාර ගත් බොහෝ දෙනෙකුට ඉක්මණින් කුසගිනි දැනෙන බවත්, යම් බර අඩුවීමක් ඇතිවූවා නම් එය වහා වර්ධණය වන බවත් පර්යේෂණවලින් හෙළිවී තිබේ. මහාචාර්ය ලුඩ්විග් සොයන්නට වෙහෙසුනේ මේ තත්වය පිළිබඳවය. ඇතැම් විට සිරුරේ තරබාරුවට හේතු වන්නේ ආහාරයට ගනු ලබන කැලරි වර්ග නොව කැලරි ප්‍රමාණය වන්නට ද හැකි බව ඔහු සිතුවේය. 

දරුවන් 12 දෙනාට ආහාර ලබාදීමෙන් පසු ගෙවී ගිය පැය කිහිපයේදී මහාචාර්ය ලුඩ්විග්ගේ කණඩායම මේ දරුවන් ගත් ආහාර ප්‍රමාණය සහ ඔවුනට කෙතරම් ප්‍රමාණයන්ගෙන් කුසගිනි දැනේ දැයි විමසිල්ලෙන් සිටියහ. මෙහිදී පෙනුණු කරුණ වූයේ රුධිරයට වඩාත් ඉක්මණින් ග්ලූකෝස් එකතු වන ආහාර ලබාගත් දරුවන්ට ඉක්මණින් කුසගිනි දැනුණු බවය. ඔවුන් සිය ආහාරයෙන් පසු විවිධ කෙටි කෑම අධික ලෙස ලබාගත් බව පෙනුණි. නමුත් රුධිරයට ඉතා අඩු වේගයකින් ග්ලූකෝස් එකතු වන ආකාරයේ ආහාර ලබා ගත් දරුවන්ට ඉක්මණින් කුසගිනි නොදැනුණු බවත් පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. 

ඉන් පසු ඔහු තවත් පර්යේෂණයක් සිදු කළේය. එය ඒ සඳහා තරබාරු තත්වයේ සිටි පුද්ගලයන් 12 දෙනෙකු යොදා ගත්තේය. ඔවුන්ට ආහාර වර්ග තුනක් ලබා දෙනු ලැබිණි. ඒවා නම් අධි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් සහ අඩු මේදයක් ඇති ආහාර, අඩු කාබොහයිඩ්‍රේට් ප්‍රමාණයක් සහ අධි මේදයක් ඇති ආහාර සහ එක සමාන කාබොහයිඩ්‍රේට් සහ මේදය ඇති ආහාර වශයෙනි. 

මෙම පර්යේෂණයට අනුව ලද ප්‍රතිඵලවලට අනුව පෙනී ගියේ අඩු මේදය සහිත ආහාර ගත් පුද්ගයන්ගේ කැලරි දහනය වී ඇත්තේ දිනකට 325කටත් අඩුවෙන් බවය. සාමාන්‍යයෙන්  පුද්ගලයකු දිනකට කැලරි 1,200ක් පමණ දවාලිය යුතු බැව් පැවසේ. අඩු කාබෝහයිඩේට් ඇති ආහාර සමඟ සැසඳීමේදී මොවුනගේ පරිවෘත්තිය ක්‍රියා වේගය ද පහළ වැටී ඇති පෙනේ. පරිවෘත්තීය ක්‍රියා වේගවත් නම් සිදුවන්නේ කැලරි සිරුරේ තැන්පත් වනවාට වඩා ඒවා දහනය වී යාමය. 

මහාචාර්ය ලුඩ්විග් මේ සොයා ගත් කරුණුවලට අනුව පැවසිය හැක්කේ අප ආහාර ගැනීම සහ තරබාරුව පිළිබඳ අප සිතා සිටි කරුණු වැරදි විය හැකි බවය. 

ආහාර සහ තරබාරුව අතර සම්බන්ධතාවයක් පවතින බැව් කවුරුත් දන්නා නමුත් එය කුමනාකාර සම්බන්ධතාවයක් දැයි කිසිවකු සොයා බලා නැත මේ නිසා පෝ්ෂණවේදීන් නිතරම උත්සාහ කරන්නේ අප ගන්නා ආහාරවලින් හැකිතාක් මේදය අවමකිරීමය. ඔවුන් මහජනතාවට ලබාදෙන පණිවිඩය වන්නේ ‛මේදය අඩු ආහාර ගන්න’ යන්නය. මේ නිසා ආහාර කර්මාන්තයේ නියුක්ත සමාගම් උත්සාහ ගන්නේ අඩු මේදය සහ මේදය නොමැති ආහාර නිෂ්පාදනය කරන්නටය. කෙසේ නමුත් මෙවැනි ආහාර  පරිභෝජනය පිණිස පැමිණ බොහෝ කලක් ගත වුව ද අප බොහෝ දෙනෙකු සෞඛ්‍ය සම්පන්න බවක් නම් පෙනෙන්නට නැත. මේදය අඩු සහ රහිත ආහාර පරිභෝජනය කරන්නට තිබුණ ද පෙරටත් වඩා තරබාරු පුද්ගලයන් සිටින බවක් නම් පෙනේ. සැබවින්ම මෙයට හේතුව කුමක්ද? 

ඉතිහාසය මුළුල්ලේ මිනිසා ආහාරයට ගනු ලැබුයේ අප සුපිරි වෙලෙඳසල්වල දක්නට ඇති ආකාරයේ සකසන ලද ආහාර නොවේ. කිසිම සැකසීමක් නොකරන ලද ආහාර වර්ගයන්ය. ඒවා සකස් කරන ලද ආහාර මෙන් වේගයෙන් ජීර්ණය වී රුධිරයට එකතු වන්නේ නැත. සකස් නොකරන ලද ආහාර ජීර්ණය වන්නට බොහෝ වේලාවක් ගත වන අතර ඉන් පසුව පමණක් රුධිරයට එකතු වේ. මෙය අපට සොබා දහම හුරු කල ආහාර රටාවයි. ජීර්ණය වන්නේ මිනිත්තු කිහිපයක් ඇතුළත නොව පැය ගණනාවක් ඇතුළතය. 

නමුත් අපගේ ආහාරයෙන් මේදය හිතා මතාම ඉවත් කළ විට ගැටලුවක් පැන නගී. මේදය නොමැතිව ආහාරයට රසයක් නැත. එබැවින් ආහාර කර්මාන්තකරුවන් කරන්නේ මේදය වෙනුවට පිරිපහදු කරන ලද කාබොහයිඩ්‍රේට් සකස් කරන ලද ආහාරවලට එක්කිරීමය. මෙහි ප්‍රතිඵලය වන්නේ අධික ලෙස සකස් කරන ලද පිරිපහදු ආහාරයක් අපට ලැබීමය. පසුගිය වසර 20 කාලයක් මුළුල්ලේ මහාචාර්ය ලුඩ්විග් මෙම ආහාර පිළිබඳ පර්යේෂණ සිදු කොට තිබේ. ඔහු පවසන්නේ මේවා ‛කලින් ජීර්ණය වූ’ ආහාර බවය. 

කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරවලින් රුධිරයට ඍජුවම සීනී එක් කරයි. එවිට සිරුරින් අධික ප්‍රමාණයක් ඉන්සියුලින් නිපදවයි. සිරුරට ලැබෙන ශක්තිය දහනය නොකර ඒවා සිරුරේ ගබඩා කර ගත යුතුබවට සංඥාව ලබා දෙන්නේ ඉන්සියුලින් මගිනි. මේ නිසා ජීර්ණය වූ කාබෝහයිඩ්‍රේට් නිතර ආහාරයට ගනිත්ම ඉන්සියුලින් ද වැඩි වශයෙන් ස්‍රාවය වන්නට පටන් ගනී. ඉන් පසු සිදුවන්නේ පැය කිහිපයක් තුළ මේ සියලු පෝෂණ ද්‍රව්‍යයන් සිරුරේ ගබඩා වීමය. එවිට සිරුරට දහනය කරන්නට කිසිවක් ඉතිරි වන්නේ නැත. මෙය සමාන වන්නේ ඔබ අතේ වියදමට සතයක්වත් තබා නොගෙන සියලු මුදල් බැංකුවේ තැන්පත් කිරීමකටය. 

මේ ආකාරයට කැලරි දහනයක් සිදු නොවන විට මොලය එය තේරුම් ගන්නේ කුසගින්න හැටියටය. අපගේ සිරුරේ මේද සෛලවල අවශ්‍ය තරම් කැලරි ගබඩා වී ඇති බවට පණිවිඩයක් මොලයට යන්නේ නැත. එයට පෙනෙන්නේ රුධිරයෙහි ඇති තරම් කැලරි පවතින බවක් පමණි. මොලය තේරුම් ගන්නේ සිරුරට අවශ්‍ය තරම් ආහාර නොමැති බවකි. මේද සෛලවල කොතරම් කැලරි ගබඩා වී තිබේද යන්න මොලය සැලකිල්ලට ගන්නේ නැත. රුධිරයේ ඇති සීනි බිඳ වැටෙද්දී මොලය ක්ෂණික අවදානමකට ලක් වෙයි. මෙවැනි සකස් කරන ලද ආහාර ගෙන පැය කිහිපයක් යන්නට මත්තෙන් කුසගින්න පිළිබඳ සංඥා ලැබෙන අතර අවශ්‍ය හෝමොන් ස්‍රාවය වීම ද සිදු වෙයි. 

ආහාර පාලනය කරන්නන්ට ද මෙය ගැටලුවකි. අප කැලරි ප්‍රමාණය කපා දමා සිරුරේ බර අඩුකරගන්නට උත්සාහ ගන්නවා යැයි සිතමු. එවිට තමාට අහිමි වන ආහාර වෙනුවෙන් සිරුර සටන් කරන්නට පටන් ගනී. එහිදී මුළින්ම සිදුවන්නේ කුසගිනි මට්ටම ඉහළ යාමය.  අපට මෙය පැය කිහිපයක් හෝ දින කිහිපයක්  දරාගෙන සිටිය හැකිය. නමුත් දිගින් දිගටම මෙසේ ආහාර පාලනය කරත්ම කුසගිනි මට්ටම ද කෙමෙන් තියුණු වන්නට පටන් ගනී. එවිට සිරුරේ මේද සෛලවල තැන්පත්ව ඇති ශක්තිය ග්ලූකෝස් බවට පත්වී රුධිරයට එක්වන අතර රුධිරයේ සීනී අධික වීම වෙනත් අයුරකින් සිරුරේ තරබාරුවට හේතු විය හැකිය. 

සැබවින්ම තරබාරුවට විසඳුම ආහාර පාලනය නොව හැකිතාක් සකසන ලද ආහාරවලින් වැළකී සිටීම බව මහාචාර්ය ලුඩ්විග් පවසයි. අප වැළකිය යුත්තේ මේදය සහිත ආහාරවලින් නොව කාබොහයිඩ්‍රේට් සහිත ආහාරවලිනි. මේදය සහිත ආහාරවලින් වැළකීම යනු යල්පැන ගිය අදහසකි. සියලු දෙනා සිදු කල යුත්තේ මිනිසාගේ ස්වභාවික ආහාර රටාවට හැකිතාක් නැඹුරුවීමය. එවිට සිරුරේ ශක්තිය තැන්පත්වීම අවම කොට කැලරි දවාලීම ස්වභාවිකවම සිදු වේ. සිරුර තරබාරුවට පත්වීම මේ අනුව පහසුවෙන් පාලනය කරත හැකි වනු ඇත.




 

Sunday, June 19, 2016

කාලයක් ගතවන සිදුවීමක් වේගයෙන් පෙන්වන Time-lapse photography තාක්ෂණය



මලක් පිපීම, පැළයක් දළු ලා වැඩීම, හිරු, සදු, තරු නැගෙනහිරින් පායා බටහිරින් බැස යාම වැනි සිදුවීම්වල ආරම්භය සහ අවසානය අපට පියවි ඇසින් එක් එල්ලේ බලා සිටීම ප්‍රායෝගික දෙයක් නෙවෙයි. එයට හේතුව එවැනි සිදුවීම් සඳහා පැය ගණනාවක් ගතවීමයි. නමුත් එම කාලය තත්පර කිහිපයකට කෙටි කරන්නට හැකි නම් ඒවා සිදුවන ආකාරය ගැන, ඒවා සිදුවන අතරතුරේ ඇතිවන අපූර්ව දෑ අපට පහසුවෙන් බලාගන්නට පුළුවන්. සිදුවන්නට කල් ගත වන යමක් ඉතා කෙටි කාලයකට කැටි කරගන්නා තාක්ෂණය, එසේත් නැත්නම් ඡායාරූපකරණය කාල පතන ඡායාරූපකරණය’ (Time-lapse photography) හෝ කාල පතන වීඩියෝකරණය’ (Time-lapse videography) නමින් හඳුන්වනවා. මේ සිංහල පද දෙක කොයි තරම් නිවැරදිද කියලා මා දන්නේ නැත්තේ ඒවා මා විසින් සාදා ගත් ඒවා නිසයි. මෙහිදී සිදුවන්නේ යම් සිදුවීමක් ඉතා අඩු රූප රාමු සීඝ්‍රතාවයකින් යුතුව චලන රූ කැමරාවකට හසුකරගැනීමයි. තවත් ආකාරයකින් කියනවා නම් මෙහිදී සිදුකරන්නේ එක දිගට රූප රාමු හසු නොකර, රූප රාමු අඩු කරමින් ම් සිදුවීමක් කැමරාවට හසුකරගැනීමයි. සාමාන්‍ය චලන රූපයකට තත්පරයට රූප රාමු 30ක් පමණ තිබුණත්, මෙම තාක්ෂණ ක්‍රමයේදී බොහෝ විට කෙරෙන්නේ තත්පරයකට එක් රූප රාමුවක් පමණක් කැමරාවේ සටහන් කරගැනීමයි. එවිට යමක් සිදුවීමට යන කාලය අපට තිස් ගුණයකින් කෙටි කොට පෙන්වනවා. කෙසේ නමුත් යමක් සිදුවන්නට බොහෝ කාලයක් ගත වනවා නම් මේ රූප රාමු වේගය තවත් පහළ දමන්නට පුළුවන්. යම් ගොඩනැගිල්ලක් ඉදිවන ආකාරය මේ ආකාරයට රූප ගතකරන්නේ නම්, එවිට දිනකට රූප රාමු කිහිපය බැගින් පමණක් කැමරාවට හසු කරගන්නට පුළුවන්. 


මේ තාක්ෂණය මුළින්ම භාවිත කොට තිබෙන්නේ වර්ෂ 1897 දී නිර්මාණය කෙරුණු ජෝර්ජ් මෙලියස්ගේ Carrefour De L'Opera  නම් චිත්‍රපටය සඳහායි. පසුව 1910 දී The Birth of a Flower නමින් චිත්‍රපයක් නිර්මාණය කළ එෆ්. පර්සි ස්මිත් ද මේ තාක්ෂණය භාවිත කළා. මේ සඳහාම සුවිශේෂී වූ කැමරාවක් නිර්මාණය කරමින් මල් පිපීමේ ක්‍රියාවලියක් මුළින්ම රූප ගත කරන ලද්දේ ආතර් සී. පිල්ස්බරි විසින්. පසුව අද වන විට මෙය සාමාන්‍ය ඡායාරූපකරණයක් තරමටම පහසුවන ආකාරයට තාක්ෂණය වර්ධණය වී තිබෙනවා. 


  
Carrefour De L'Opera (1897)


 
The Birth of a Flower (1910)


දැන් සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකට ඇප් එකක් බාගත කරගැනීමෙන් මෙවැනි අත්දැකීමක් ඕනෑම කෙනෙකුට පෞද්ගලිකව ලබා ගන්නට පුළුවන්. මේ සඳහා ගූගල් ප්ලේස්ටෝර්වල බොහෝ ඇප් පවතින අතර මා භාවිත කළේ Time Lapse Video Recorder නම් ඇප් එකයි. 



 

මේ හෙන්දිරික්කා මල පිපෙන්නට ආසන්න අවස්ථාවේ රූ ගත කිරීම සකස් කළ නමුත් දුරකතනයේ බැටරිය බැස යාම නිසා මල සම්පූර්ණයෙන්ම පිපෙන තුරු රූගතකරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මෙය එතරම් සාර්ථක රූගතකිරීමක් නෙවයි. නමුත් මා අත්දුටු දෙය අනෙක් අය සමග බෙදා හදාගන්නට තවත් කාලයක් ඉවසන්නට බැරිම වූ නිසා මෙවැනි පෝස්ට් එකක් දමන්නට සිතුණා. ඇත්තටම මෙය ඉතා අපූරු අත්දැකීමක්. ඔබත් එය විඳ බලන්න.

Saturday, June 18, 2016

හීනෙන් බෙහෙත් කියන කතා ඇත්තක්ද?




අප අසල්වැසියකු මෑත දිනකදී අපූරු කතාවක් පැවසූයේය. ඔහු පැවසූයේ තමාට වැළඳුණු රෝගයක් සඳහා විවිධ ස්ථානවලින් ප්‍රතිකාර ගත්ත ද අඩුවක් නොමැති බැවින් පැරණි සිංහල වෙද මහතකු සොයමින් සිටි බවය. මේ අතරතුරේදී ඔහුට කුරුණෑගලට ආසන්නව පිටිසරබද ප්‍රදේශයට සිටින එක්තරා විශ්මයජනක වෙද මහතකු පිළිබඳ දැනගන්නට ලැබුණු බවත් ළඟදීම ඔහුගේ ප්‍රතිකාර ගැනීමට යන බවත් පැවසූයේය. අසල්වැසියා පැවසූ පරිදි මේ වෙද මහතා උපතින්ම වෙදකම් කළ කෙනෙකු නොවේ. ඔහු සාමාන්‍ය පුද්ගලයකු පරිදි ගමේ ජීවත් වූ තැනැත්තෙකි. කෙසේ හෝ හදිසියේම ඔහුට සිහිනෙන් පෙනී සිටි එක් පුද්ගලයකු පවසා ඇත්තේ තමන් උඩරට රාජධානි සමයේ ජීවත් වූ දක්ෂ වෙද මහතකු බවත්, සිය වෙදකම පෙර කී පුද්ගලයාට ලබාදෙන්නට කැමැත්තෙන් සිටින බවත්ය. එතැන් පටන් අප අසල්වැසියා සඳහන් කළ වෙද මහතාගේ අතින් ඉබේම බෙහෙත් වට්ටෝරු ලියැවෙන්නට පටන් ගෙන තිබේ. මෙය ඔහු හිතාමතා කරන්නක් නොවන බව ඔහු පවසා ඇත. එසේ ඉබේ ලියැවෙන අවස්ථාවේදී තම අත තමාගේ නොවේය වැනි හැඟීමක් දැනෙන බව ද ඔහු පවසා තිබේ. ඔහු කරා යම් කිසිවකු ප්‍රතිකාර සඳහා පැමිණෙන අවස්ථාවකදී ආවේශයකදී මෙන් බෙහෙත් සීට්ටු ලියා දී ඇත. 


මේ ආකාරයට යමක් ඉබේ ලියැවීම පිළිබඳ කතා අසන්නට ලැබෙන මුල්ම අවස්ථාව මෙය නොවේ. මෙහිදී අදාළ පුද්ගලයා පවසන්නේ එය තමා හිතා මතා කරන දෙයක් නොවන බවය. එය ස්වයංක්‍රීයව ලියැවෙන බවත්, තමාව ඒ සඳහා පොළඹවන්නේ මළගිය ආත්මයක් බවත් එවැන්නෝ පවසති. මෙය ස්වයං ලේඛනය’ (Automatic writing) මෙන්ම ඇතැම් ස්ථානවල භූතාරූඪ ලේඛනය’ (Mediumistic writing) යනුවෙන් ද සඳහන් වේ. 1877 දී ප්‍රකාශයට පත්ව ඇති De l'intelligence නම් කෘතියේ තෙවැනි සංස්කරණය සඳහා ප්‍රංශ ජාතික විචාරකයකු මෙන්ම ඉතිහාසඥයක් ද වන හිපොලිටෙ ටේන් විසින් ලියන ලද පෙරවදනේ ස්වයං ලේඛනය පිළිබඳ සඳහන්ව තිබේ. පෘතුගාල ජාතික ලේඛකයකු වන ෆර්නැන්ඩෝ පෙසෝවා (1888 - 1935) ද කිහිප තැනක සඳහන් කොට ඇත්තේ තමාට ද මෙම අත්දැකීම ඇති බවය. ඔහු සඳහන් කොට ඇත්තේ ඇතැම් අවස්ථාවලදී සිය කැමැත්තකික් තොරව දකුණු අත ඉහළට එසැවී ලියැවෙන්නට පටන් ගත් බවය. අයර්ලන්ත ජාතික කවියකු සහ විසිවැනි සියවසේ විසූ ප්‍රකට සාහිත්‍යධරයකු ද වූ විලියම් බට්ලර් යීට්ස් (1865-1939)ගේ බිරිඳ වූ ජෝර්ජ් හයිඩ්-ලීස් ද මෙවැනි අත්දැකීමට බඳුන් වූ තැනැත්තියකැයි පැවසේ. 


ඉංග්‍රීසි ජාතික මනෝ වෛද්‍යවරයකු වූ විලියම් ෆ්ලෙචර් (1844-1925) සඳහන් කොට ඇත්තේ  ලියනු ලබන්නාගේ අත අක්‍රිය තත්වයේ සිටිමින් මෙවැන්නක් ලියැවෙන බවය. එනම් යම්කිසි පුද්ගලයකු ලවා වෙනත් කුමක් හෝ බාහිර බලපෑමක් මගින් බලහත්කාරයෙන් මෙන්ලියවන්නක් බවය. මෙහිදී පැන්සලක් මගින් කරදහියක හෝ බටහිර රටවල ජනප්‍රියත්වයට පත්ව ඇති භූත පුවරු’ (ouijaboard) හෝ ප්ලැංචෙට්ටුනම් දැව පුවරු (planchette) මත හෝ ලියැවෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන්කොට තිබේ. යම් පුද්ගලයකු ආවේශ වී හෝ එසේ නොමැතිව හෝ මෙය සිදුවිය හැකිය. සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත The New Revelation නම් කෘතියේ ද ස්වයං ලේඛනය පිළිබඳ සඳහන්ව තිබේ. ඇමරිකානු ජාතික භෞතික විද්‍යා පර්යේෂකයකු වූ තෝමස් ජෝ හඩ්සන් (1834-1903) සඳහන් කොට ඇත්තේ ස්වයං ලේඛනය සඳහා හේතු වන්නේ මිය ගිය ආත්මයක් නොව යම්කිසි පුද්ගලයකුගේ යටි සිත බවය. 


මේ ආකාරයට මෑත ඉතිහාසය මුළුල්ලේම මෙවැනි ස්වයං ලේඛන සිදුවීම් ලෝකයේ බොහෝ ස්ථානවලින් වාර්තාවන්නට වූයෙන් ඒ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ රැසක්ම සිදුකරන ලදී. මේ සියලු පර්යේෂණවල ප්‍රතිඵල මගින් පැවසෙන්නේ ස්වයං ලේඛනය සඳහා හේතු වන්නේ සංකල්ප චාලක ශක්තියහෝ මනෝ චාලක අනුඵල (ideomotor effect) බවය. මෙම යෙදුම වර්ෂ 1852 දී විලියම් බෙන්ජමින් කාපෙන්ටර් විසින් සිය විද්‍යාත්මක පත්‍රිකාවක සඳහන් කොට තිබේ. 



සමාජ පිළිගැනීම දැඩිව ලබාගන්නට කැමැත්තෙන් පසුවන, නමුත් ඒ සඳහා සාමාන්‍ය විධීන් අනුගමනය කිරීමෙන් එය ලබාගන්නට නොහැකි වන පුද්ගලයන් තුළ ඇතිවන අපේක්ෂාභංගත්ව මානසිකත්වය නිසා පසුකාලීනව ඔවුන් තුළ මනෝ චාලක අනුඵල තත්වයක් ඇතිවය හැකිය. මෙය ඔවුන්ටම නොදැනී සිදුවන දෙයක් වන අතර එවිට අදාළ පුද්ගලයා තුළ බොහෝ විට ඔහු ද නොදන්නා පුද්ගලයකු ජීවත්වන්නට පටන් ගනී. අදාළ පුද්ගලයා සිතන්නේ තමා තුළ සිට තමාව මෙහෙයවන බාහිර බලවේගයක් පවතින බවය. එවිට ඔහුට නොදැනුවත්වම ඔහුගේ අතින් යම් යම් දේ ලියැවෙන්නට පටන් ගනී. නමුත් සැබැවින්ම ඔහු අතින් ලියැවෙන්නේ බාහිර බලපෑමකින් ලැබෙන තොරතුරු නෙවේ. ඔහු ජීවිත කාලයක් පුරා දැක, අත්දැක ඇති විවිධ සිදුවීමය. එක්කෝ කරන්නට කැමැත්තෙන් සිටි  දේවල්ය. මේවා ඔහුට මතක නැතත් ඔහුගේ යටි සිතෙහි තැන්පත්ව තිබේ. නමුත් ඒවා තමාගේ අත්දැකීම ලෙස හෝ තම චරිත ලක්ෂණ ලෙස පිටතට පෙන්වීමට තරම් ශක්තිමත් පෞර්ෂයක් ඔවුන්ට නැත. එබැවින් ඒ සඳහා වෙනත් බාහිර පුද්ගල පෞර්ෂයක් මෙය ඈඳා ගනියි. මිය ගිය ශක්තිමත් පෞර්ෂීය ලක්ෂණ ඇත්තකු මෙය ඈඳා ගැනෙන්නේ එබැවිනි. නමුත් මෙය සිදුවන්නේ හිතාමතා නොවේ. මෙම මානසිකත්වය ඇති වූ විට එය තම මානසිකත්වයේ ගැටලුවක් බව අදාළ පුද්ගලයාට දැනෙන්නේ ද නැත. 


පර්යේෂණවලින් හෙළිවී ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ මොලයේ දකුණු අර්ධය හානියට පත් වූ ඇතැම් රෝගීන්ගෙන් ද මෙම ස්වයං ලේඛන තත්වය වාර්තා වී ඇති බවයි. මෙවැනි තත්වයකට පත් වූ පුද්ගලයකුගෙන් සිදුවිය හැකි අනතුරුදායක තත්වයන් ද බොහොමය. නිදසුනක් ලෙස වෛද්‍යරයකු නොවන යමෙක් වෛද්‍යවරයකු ලෙස හැසිරෙමින් මෙසේ ස්වයං ලේඛනය ඔස්සේ ප්‍රතිකාර කරන්නේ යැයි සිතුවහොත් ඔහු අතින් නියම කෙරෙන බෙහෙත් වට්ටෝරු නිවැරදි ඒවා නොවන්නට ඇති ඉඩ බොහෝය. ඒවා බොහොමයක් හරි හෝ වැරදි හෝ වේවා මේ සියල්ල  ඔහුගේ යටි සිතේ තැන්පත්ව ඇති තොරතුරුය. මේ නිසා මිය ගිය පුද්ගලයකුගේ ආවේශයෙන් ප්‍රතිකාර කරන්නන්, සාස්තර කියන්නන්, අනාවැකි පළකරන්නන් ආදීන්ගෙන් ප්‍රවේශම් වීම වඩා ගුණදායකය.