පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, May 12, 2017

පාසල් ගුරුවරියගෙන් අපයෝජනයට ලක් වූ ප්‍රංශ ජනපති

Image source - https://www.thelocal.fr/20161116/what-emmanuel-macron-wants-for-france

ඇතැම් මිනිසුන් ලෝක ප්‍රසිද්ධියට පත් වෙද්දී එයට රුකුල් දෙන හේතු කාරණා කිහිපයක් එකවර මතු වෙයි. එවිට ඔවුනට වඩාත් පහසුවෙන් ප්‍රසිද්ධියට පත් වන්නට හැකියාව ලැබේ. ලෝකයේ ප්‍රබල රටක ජනපති බවට පත්වීම එක් වර ලෝකයේ පුරා පැතිර යන්නට හොඳ හේතුවකි. ඒ සමගම විශාල වයස් පරතරයක් ඇති විවාහයක් සිදු කර ගැනීම මේ ප්‍රසිද්ධියට පත් වීමේ ගින්නට පිදුරු දැමීමකි. මෙසේ පිදුරු දමමින් ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ප්‍රංශයේ නව ජනපති එම්මානුවෙල් මැක්‍රන් ය. ඔහු පසුගිය දිනයක පැවැත්වූ ප්‍රංශ ජනපතිවරණයෙන් ජයග්‍රහණය කොට එහි ජනපතිවරයා ලෙස තේරී පත් වූයේය. නමුත් ඔහු පිටුපස බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වූ තවත් හේතුවක් ද තිබේ. ඒ දැනට හතළිස් වැනි වියෙහි පසු වන ඔහු නැපෝලියන් අධිරාජයා හැරුණු විට එරට මෙතෙක් පත් වූ ළාබාලතම ජනපතිවරයා වීම ය. එපමණක් ද? නැත. ඔහුට වඩා වසර විසිතුනකින් වැඩිමහලු සිය පාසල් ගුරුවරියක් වන බ්‍රිජිට් ට්‍රොග්නොක්ස් හා විවාහ වීම ද ඔහු පිළිබඳ ලෝකය තුළ කතා බහක් ඇති වීමට තවත් කාරණයක් වී තිබේ. ඒ වාගේම ප්‍රංශ සමාජවාදී පක්ෂයෙන් තරග කොට  ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ වැඩකටයුතු අභියෝගයට ලක් කිරීම ද ඔහු දේශපාලන ලෝකයේ අතිශය ජනප්‍රියත්වයකට පත්වීමට තවත් හේතුවක් වී තිබේ.

දර්ශනය පිළිබඳ උපාධිධරයකු වන මැක්‍රන් මහජන කටයුතු පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයකු ද වන අතර සිවිල් සේවකයකු සහ බැංකුකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ  වාමාංශික දේශපාලනයක් ඇත්තෙකි. සාර්ථක ව්‍යාපාරිකයකු ද නිසා ඔහු ධනවාදය සහ සමාජවාදය සාර්ථකව සමබර කර ගනිමින් දේශපාලන ගමනක් යනු ඇති බව බොහෝ දෙනෙක් පවසති. කෙසේ වුව ද ඔහු පවසන්නේ තමා පසුගිය කාලය මුළුල්ලේම සමාජවාදී පක්ෂය එතරම් සමීපව ඇසුරු නොකළ බවය. තම ජයග්‍රහණයට කිසිදු දේශපාලන පක්ෂයක් සහාය පළ නොකළ බව ද ඔහු පවසයි. මේ නිසා ජනපති තරගය ආරම්භ වූ විගසම ඔහු දක්ෂිණාංශික සහ වාමාංශික ගුණාංග එකිනෙක මුසු කරගනිමින් ඉදිරියටයන අරුතැති එන් මාර්ෂෙල්නම් දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේය.

හිටපු ඇමරිකානු ජනපතිවරයා වන බැරක් ඔබාමා සහ අවසන් වරට පවත්වන ලද ඇමරිකානු ජනපති තරගයෙන් පරාජයට පත් වූ හිලරි ක්ලින්ටන්ව ඉතා සමීපව ඇසුරු කරන මැක්‍රන් වත්මන් ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව අභියෝගයකට ලක් කරයි. දුරකතනයෙන් ඔවුන් සමග කතා කරනා කෙටි වීඩියෝ දර්ශන පවා නිකුත් කරමින් මේ කිසිවක්  හොර රහසේ සිදු කරන්නට අවශ්‍යතාවක් නැති බව ද පෙන්වූයේය.

මැක්‍රන් සමග කරට කර ජනපති තරගයේ යෙදී සිටි මැරීන් ලි පෙන් පවසා සිටියේ තමා ජනපති වුවහොත් ප්‍රංශය යුරෝපානු සංගමයෙන් ඉවත් කරගන්නා බව වුව ද මැක්‍රන් පැවසූයේ යුරෝපා සංගමය තව තවත් ශක්තිමත් කරන්නට තමා පියවර ගන්නා බව ය. එක් සාමූහික ප්‍රජාවක් ලෙස යුරෝපියානුවන් එකට විසීමට ඇති කැමැත්ත මැක්‍රන් ජනපති කරවීමෙන් පිළිබිඹු වන බැව් පෙනෙන්නට තිබේ.

දේශ සීමා තව තවත් ශක්තිමත් කොට අනවසර සංක්‍රමණිකයන්ගෙන් සිදුවන බලපෑම් අවම කරන්නට පියවර ගන්නා බව ද ඔහු පවසා ඇති බැවින් ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති අතර සංක්‍රමණිකයන්ට දැඩි ලෙස වැට බඳින ඒවා ද පවතින බැව් පෙනෙන්නට තිබේ.

ව්‍යාපාරික ජීවිතයක් ගත කළ නිසා ප්‍රංශය තුළ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති කොට බදු ප්‍රතිපත්ති වඩ වඩාත් ලිහිල් කරන බව ද ඔහු පවසා තිබේ.

Image source - http://www.express.co.uk/news/politics/771054/French-presidential-election-Macron-Bayrou-liberal-alliance-keep-out-Le-Pen

දේශපාලන ඇසින් පමණක් ලෝකය දෙස බලන්නවුන්ට මැක්‍රන් හුදෙක් දේශපාලනඥයකු ලෙස පමණක් පෙනෙනු ඇති වුව ද, එසේ නොබලන සියල්ලන්ටම ඔහුගේ විවාහ ජීවිතයේ ඇති කැපී පෙනෙන සිදුවීම ද පැහැදිලිව පෙනෙන බැව් සඳහන් කළ යුතුය. එයට හේතුව ඔහුගේ බිරිඳ ඔහු කුඩා කල පාසල් ගුරුවරියක වීමත්, ඇයට වඩා ඔහු වසර විසි තුනකින් ළාබාල වීමත් ය. මැක්‍රන් සිය බිරිඳ වන බ්‍රිජිට් සමග ආදර හැඟීමෙන් මුණ ගැසී ඇත්තේ ඔහු 15 වැනි වියෙහි පසුවන විටය. ඒ වන විට විවාහ ව සිටි ඇයට දරුවෝ තිදෙනෙකු ද සිටියහ. මැක්‍රන්ගේ ජීවිතය අලළා ඈන් ෆෝල්ඩා විසින් රචිත Emmanuel Macron: A Perfect Young Man නම් කෘතියෙහි සඳහන් වන අන්දමට ඔහුට අඩුම ගණනේ අවුරුදු 18 සම්පූර්ණ වන තුරු වත් ඔහුගෙන් ඈත්ව සිටින්නැයි බ්‍රිජිට් හට ඔහුගේ දෙමාපියන් අවවාද කළ බැව් පැවසේ. මේ සබඳතාව බිඳ දමන්නට ඔහුගේ දෙමාපියන් කොතෙක් උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.

මේ සම්බන්ධය නවත්වනවා කියා මට කිසිම පොරොන්දුවක් දෙන්න බැහැ

යනුවෙන් මැක්‍රන්ගේ දෙමාපියන්ට බ්‍රිජිට් මෘදු තර්ජනාත්මක ආකාරයකින් පවසා තිබේ.

බ්‍රිජිට්ගේ පළමු විවාහයෙන් ලද වැඩිමහලු දරුවා ඉපිද ඇත්තේ 1975 වසරේ දීය. එනම් ඒ දරුවා ඇගේ වර්තමාන සැමියාට වඩා වයසින් වැඩි වන්නේ අවුරුදු දෙකකින් පමණි. ඇගේ දෙවැනි දියණිය වර්තමාන සැමියා හා සම වයසේ පසු වන්නීය. මේ නිසා මැක්‍රන්ගේ දෙමාපියන් මුලින් සැක කොට ඇත්තේ මැක්‍රන් හා බිජ්‍රිට්ගේ දියණිය අතර ආදර සම්බන්ධතාවක් පවතින බවත්, ඒ නිසා ඔහු ඒ නිවසට නිතර යන බවත්ය. නමුත් බළලා මල්ලෙන් එලියට පැන ඇත්තේ පසුව වන අතර එවිට පෙරහැර ගොස් හමාර ය.

තමා විවාහ වන්නේ කා සමග ද යන්න තීරණය කරන්නේ තමා මිසක් අන් කිසිවකු නොවන නමුත්, එසේ විවාහ වන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ වයස කුමක් වුව ද මනා අවබෝධයකින් සිටින්නේ නම් ජීවිතය අසාර්ථක නොවන බවත් සත්‍ය නමුත් ඇග්‍රියානෝ සෙගටෝරි සහ රාමා යාඩේ යන ප්‍රංශ මනෝ වෛද්‍යවරු දෙපළ මැක්‍රන්ගේ මේ ක්‍රියාව දෙස බලන්නේ එවැනි ඇසකින් නොවේ. ඔවුන් පවසන්නේ මැක්‍රන් කුඩා කල සිටම මනෝ ව්‍යාධියකින් පෙලී ඇති බවත්, මෙම පාසල් ගුරුවරිය ඔහුව ලිංගික අපයෝජනයකට ලක් කොට ඇති බවත් ය. මෙය ආදරයේ එක්තරා ආකාරයක සුඛාන්තයක් ලෙස ලෝකයේ මාධ්‍ය කෙතරම් උලුප්පා දක්වන්නට උත්සාහ කළ ද මේ තැනැත්තිය මැක්‍රන් කුඩා කාලයේ දී ඔහුගෙන් ලිංගික සතුට විඳ ඇති බවත්, ඔහු ඇය විවාහ කරගත්තේ මේ රසය පසුපස යාම නිසාත්, ඇයගේ දැඩි මානසික ග්‍රහණයකට ලක්ව ඇති නිසා බවත් මේ මනෝ වෛද්‍යවරු පුන පුනා පවසති. මෙවැනි පුද්ගලයකු යටතේ ප්‍රංශයේ පාලනය පැවැතීම අනතුරුදායක බව ද ඔවුහු පවසති. ඔහුගේ ජයග්‍රහණය පසුපස සිටින සංවිධාන සියල්ලකම පාහේ බහුලව සිටින්නේ කිසියම් වූ ආකාරයකින් ලිංගික අපචාරයන්ට ලක් වූවන් බැව් පැහැදිලිව පෙනෙන බව ද ඔවුහු පවසති.



Image Source - http://www.pinknews.co.uk/2017/05/03/french-election-emmanuel-macron-appears-topless-on-cover-of-garcon-magazine/

මැක්‍රන් සමලිංගික සබඳතා පවත්වන බවට දූෂමාන ආරංචි අන්තර්ජාලය පුරා පැතිර තිබේ. කෙසේ නමුත් මේ පිළිබඳ බීබීසී ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් විමසූ අවස්ථාවේ දී මහ හඩින් සිහවෙමින් ඔහු පසා සිටියේ සිය පාසල් ගුරු බිරිඳ’  ජීවිතයේ සියලු ඕනෑ එපාකම් ඉටුකරන බවය. ඔහු සමලිංගිකයකු බවට ආරංචි පැතිර යන්නට වඩාත් හේතුවන්නට ඇත්තේ යැයි සැක කෙරෙන්නේ ගාර්කොන්නම් සමලිංගික සඟරාවේ මුල් කවරය සඳහා උඩු කය නිරුවත්ව පෙනී සිටීම බව යැයි පැවසේ. කෙසේ නමුත් තමා එවැනි ඡායාරූපයක් සඳහා පෙනී නොසිටි බව මැක්‍රන් පවසා සිටියේය. ඔහු පැවසූ දෙය සැබෑවක් බව තහවුරු වූයේ මෙය ෆොටෝෂොප් මෘදුකාංගය ඔස්සේ මැක්‍රන්ගේ මුහුණ වෙනත් පුද්ගලයකුගේ සිරුරට බද්ධ කොට තැනූ ඡායාරූපයත් බව එම සඟරාවේ කතුවරයකු  ප්‍රකාශ කිරීමත් සමඟිනි. කෙසේ නමුත් ඔහු සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් සහයෝගය පළ කරන්නෙකු වශයෙන් නම් ප්‍රකටය.


බොහෝ රාජ්‍ය නායකයන් පත් වූ අලුත් පිට ඔවුන් පිළිබඳව කතා බහ කරන්නට ඇත්තේ වැඩි වශයෙන් දේශපාලනික තොරතුරු වුව ද නව ප්‍රංශ ජනපතිවරයා පිළිබඳ කතා බහ කිරීමේ දී එයට පරිබාහිර බොහෝ දේවල් කතා කිරීමට ඇති බව බොහෝ මාධ්‍යවලින් සඳහන් කොට සිටින්නේ මෙවැනි කාරණා නිසා විය හැකිය. කෙසේ වුව ද මේ සියලු පෞද්ගලික කාරණා මධ්‍යයේ ඔහු කුමනාකාර වෙනසක් ප්‍රංශයට ගෙන එනු ඇත්දැයි ලෝකයක් බලා ගෙන සිටී. 

2 comments:

  1. Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබට ස්තූතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න