පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 19, 2017

ච්ත්‍රපටි හදන්න ගිහින් වරද්ද ගත්තු තැන් - Famous Movie Mistakes

සිනමා නිර්මාණයක් කිරීම ජංගම දුරකතනයකින් වීඩියෝ පටිගත කිරීමකට කිසිසේත් සමාන වන්නේ නැත. අප සිනමා ශාලාවක හෝ නිවසේ හෝ සිට ඉතා සුවපහසුවෙන් නැරඹුව ද මෙය පසුපස අතිශය දැවැන්ත සංකීර්ණ ක්‍රියාදාමයක් තිබේ. මේ නිසා ඇතැම් විට විවිධ අත් වැරදීම් සිදුවන්නට ඉඩ තිබේ. ඇතැම් අත්වැරැදි අපට එක්වර පෙනෙන අතර ඇතැම් ඒවා කිසිදාක අපට හසුවන්නේ නැත. නමුත් විවිධ සිනමා නිර්මාණවල පවතින එසේ අත් වැරදුණු ස්ථාන යමෙකු විසින් පෙන්වා දුන් විට ඒවා මහත් හාස්‍ය රසයකින් යුක්තව නැවත නැරඹිය හැකි ය. මේ පවසන්නට සැරසෙන්නේ ද එවැනි සිනමා අත් වැරදීම් කිහිපයක් පිළිබඳව තොරතුරු ය. මේ සිනමා නිර්මාණ ඇතැම් වට ඔබ නැරඹූ ඒවා වන්නට පුළුවන්. එසේ නොවන ඒවා තිබෙන්නට ද පුළුවන. නරඹා තිබුණ ද නැති ද මේ වැරදි දැනගත් පසු එය රස විඳින්නට නම් එය බාධාවක් නොවන බව විශ්වාසය.




වෙඩි තියන්න කලින් කන් වසා ගැනීම




සිංහල අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන්නට පෙරම කන් වසා ගැනීම කුඩා දරුවන්ගේ සිරිතය. ඇතැම් විට වැඩිහිටියෝ ද එසේ කන් වසා ගනිති. ඒ තව මොහොතකින් පිපිරීමක් සිදුවන බව දන්නා නිසාය. North by Northwest  නම්  චිත්‍රපටයේ ද එවැනි දෙයක් සිදු විය.  මවුන්ට් රෂ්මෝර් අවන්හල තුළ වෙඩි තබන දර්ශනයක් රූප ගත කරමින් පැවතිණි. මොහොතකින් වෙඩි හඬක් ඇසෙන බව දන්නා නිසා මේ දර්ශන තලයේ සිටි එක් පුද්ගලයකු සිය කන්වල ඇඟිල්ල ගසා ගත්තේය. මෙය ඒ මොහොතේදී කිසිවකු නොදැක්කත් තිරගත වෙද්දී බොහෝ දෙනෙකුට පෙනුණි.

අත් දෙක මාරු වීම


මෙය Reservoir Dogs  චිත්‍රපටයේ සිදු වූ අත්වැරැද්දකි. මෙහි මාර්වින් නැෂ් නම් පුද්ගලයා හට වද දීම සඳහා රැගෙන එයි. ඔහුගේ දෑත් පිටුපසට කොට මාංචු දමා තිබේ. ඔහුව රැගෙන ආ දෙදෙනා ඔහුට පහර දෙන විට ඔහුගේ දෑත් ඉදිරිපසින් තිබෙනු පෙනෙයි. තව මොහොතකට පසු එම දර්ශනයේම නැවතත් පෙනෙන්නේ ඔහුගේ දෑත් පිටුපසින් තිබෙන බවය.

ගෑස් ලාම්පුව විදුලියෙන් දැල්වීම




ගෑස් ලාම්පු දැල්වෙන්නේ ගෑස්වලිනි. නමුත් සුප්‍රකට සිනමා නිර්මාණයක් Gone With The Wind  හි මෙය වෙනස් බව පෙනේ. මෙහි වෙඩි තැබීමේ අවස්ථාවකින් පසු ඈෂ්ලි නම් තැනැත්තා හට ප්‍රතිකාර කිරීම සඳහා කාමරයකට රැගෙන එයි. එහිදී මෙලනි නම් තැනැත්තිය ගෑස් ලාම්පුවක් ගෙන පසුපසින් පැමිණේ. නමුත් ගෑස් ලාම්පුව සැබවින්ම දැල්වෙන්නේ විදුලියෙන් බව පෙනෙන්නේ පහළින් වයරයක් පවතින නිසාය.

ඇංජින් අතුරුදහන් වීම




මෙසේ ඇංජින් අතුරුදහන් වන්නේ The Usual Suspects චිත්‍රපටයේය. මෙහි බෝයිං 747 ගුවන් යානයක් ගොඩ බසින අවස්ථාවක්  පෙන්වයි. එහිදී එහි ඇංජින් හතරක් පෙනෙන්නට තිබේ. පසුව මෙම දර්ශනයම පසුපස කෝණයකින් පෙන්වයි. නමුත් එවිට පෙනෙන්නේ ඇංජින් දෙකක් පමණි. ඉදිරියේ සිට පසුපසට මාරු වෙද්දී ඇංජින් දෙකක් අතුරුදහන් වී තිබේ.

අතීත රෝම හමුදාවට ගෑස් ටැංකි


Gladiator නම් සුප්‍රකට චිත්‍රපටය ඔබ ද බොහෝ විට නරඹා තිබෙනවාට සැක නැත. මෙයට පදනම් වන්නේ ක්‍රි.ව. 180 සමයේ රෝමයයි. මෙහි කොලොසියම් හි සිදුවන කාර්තේජ් සංග්‍රාමයඉතා සුප්‍රකට දර්ශනයකි. මෙහි එක් අශ්ව රථයක් පෙරලී යයි. මේවා පෙරළවීම සඳහා භාවිත කොට තිබූ තාක්ෂණය සඳහා අධික පීඩනය යටතේ පිරවූ ගෑස් සිලින්ඩර් යොදා ගැනුණි. මේවා සඟවා තැබුව ද එක් අශ්ව රථයක් පෙරලී යන විට දුහුවිල්ල තුළින් එහි ඇති ගෑස් සිලින්ඩරය හොඳින් දර්ශනය වේ.

අතීතයට ගිය ටී ෂර්ට්




වර්තමානයේ දක්නට ලැබෙන ටී ෂර්ට් එකක් අතීතයට ගිය කතාවක් දකින්නට ලැබෙන්නේ Raiders of the Lost Ark චිත්‍රපටයේය. මෙම චිත්‍රපටයට පාදක වන්නේ 1936 වර්ෂයයි. මෙය පුරාවස්තු සොයා යන ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටයකි. ඔබ ද මෙය නරඹා ඇතිවාට සැකයක් නැත. මෙහි ඉන්ඩියානා ජෝන්ස් තැබෑරුමක පිටත වී මත්පැන් පානය කරමින් සිටිය දී ඔහුට පසුපසින් වම් පසින් හදිසියේ මතුවන්නේ වර්තමානයේ අප දකින ටී ෂර්ට් එකක් ඇඳ ගත් පුද්ගලයෙකි.

නැවත ඉපදෙන වීදුරු




ආර්නෝල්ඩ් ස්වාසෙනගර් රංගනයෙන් දායක වුණු ටර්මිනේටර්චිත්‍රපට මාළාව නරඹා නැති සිනමා ලෝලියෙක් සිටින්නට නොහැකිය. එහි එක් චිත්‍රපටයක් වන Terminator 2: Judgment Day   හි ටී - 1000 නම් රොබෝව ට්‍රක් රථයක් පදවාගෙන විත් පාලමකින් පහළ පවතින මාර්ගයක් මතයට කඩා වදී. එහිදී එහි ඉදිරිපස වීදුරු සියල්ල සුනුවිසුණු වී යයි. නමුත් දර්ශනය ඉදිරියට දිව යද්දී පෙනෙන්නේ ට්‍රක් රථයේ සුනුවිසුණු වී ගිය වීදුරු සියල්ල  නැවත තිබෙන ආකාරයයි.

මුහුදු මංකොල්ලයට වර්තමානයෙන් ගිය මිනිසා




Pirates of the Caribbean: The Curse of the Black Pearl චිත්‍රපටය ද බොහෝ දෙනෙක් නරඹා තිබෙන්නකි. එයට පාදක වන්නේ 18 වැනි සියවසයි. මෙම මුහුදු මංකොල්ලකරුවන් නැවක සිටින දර්ශනයකි. සියලු දෙනා 18 වැනි සියවසට අදාළ ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටිද්දී එක් පුද්ගලයකු පමණක් ටී ෂර්ට් එකකින් සැරසී, කව්බෝයි තොප්පියක් සහ අව් කන්නාඩියක් පැළැඳ සිටී.

මේ සඳහන් කරන ලද්දේ ලෝක සිනමාවේ නිර්මාණ කිහිපයක පමණක් සිදුවූ අපූරු අත්වැරදීම්ය. මෙයට අමතරව තව බොහෝ තිබේ. මෙතෙක් හඳුනාගත නොහැකි වූ අත්වැරදීම් ද තිබන්නට පුළුවන. ඔබ සිනමා රසිකයෙක් නම් අදින් පසුව චිත්‍රපටයක් රසවිඳීමේ දී මෙවැනි අත්වැරදීම් ඔබටත් හසු විය හැකිය.






10 comments:

  1. 1936 වසරේ ටී ෂර්ට් තිබුණා නේද?....1940 වසරේ මුද්‍රිත ටී ෂර්ට් තිබී ඇත...

    ReplyDelete
    Replies
    1. ඒක හරි. නමුත් වර්තමානයේ ඒවාට වඩා වෙනස් කම් තිබෙනවා. ගූගල් සර්ච් එකක් කර බලන්න. අනික මේ දර්ශන තලියේ පවතින ඇඳුම් සමග සසදද්දී ටී ෂර්ට් එකක් මෙම දර්ශනයේ තිබෙන්නට පුළුවන් කමක් ද නැහැ.

      Delete
  2. මේ වගේ සූක්ෂම දේවල් පිළිබඳව උනන්න්දුවන්නන්ට මෙය වැදගත් ලිපියක් එමෙන්ම කලා අධ්‍යක්ෂණය කරන්නාගේ භූමිකාව මෙහිදී වඩා වැදගත් වේ ලංකාවේ නාට්‍ය හා ච්ත්‍රපටවලද මේවා සුලභව දැකිය හැකිය
    විචරක දියණිය

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සහාය අධ්‍යක්ෂත් මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපේ රටේ නම් බොහෝ වෙලාවට මේවා ගැන සියුම් ආකාරයෙන් සැලකිල්ලක් දක්වන්නේ නැති නිසා මෙවැනි වැරදි ඕනෑ තරම් සිදු වෙනවා ඇති. වෙනත් රටවල් මේ තරම් සැලකිල්ලක් දක්වලා මෙවැනි වැරදි සිදුවෙද්දි.

      Delete
  3. අඩේ මේක පට්ට... අර ග්ලැඩියේටර් එකේ ගෑස් එකනන් මම ෆිල්ම් එක බලද්දිම දැක්කා... අනික්වා අදයි දැක්කෙ...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් කියන්නේ

      Delete
  4. නියම ලිපිය.. ආසවෙන් කියෙව්වා.. ඒත් අපි හැමෝම බලන්නේ අනික් අයගේ වැරදිම නේද කියලා හිතුනා

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ වැරදි හොයන එකනේ මිනිස් ස්වභාවය. මොකටද ඉතින් ඒ ස්වභාවය නැති කරගන්න් මං අහන්නේ.

      Delete
  5. Oya gatte parana film neh... ada kale films walat owagema weradi tiyee...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ඕන තරම් තියෙනවා. ඒ ගැනත් ඉදිරියේ දී ලියන්නම්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න