පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, October 13, 2017

ප්ලේබෝයි සඟරාවෙන් ශෘංගාරය ලොවට බෙදූ හග් හෙෆ්නර් - Death of Hugh Hefner


ශෘංගාර රසය පසුපස හඹා යන ලොව පුරා වෙසෙන පිරිමින් සඳහා පමණක් වෙන් වූ ප්ලේබෝයිසඟරාවේ ආරම්භක හග් හෙෆ්නර් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ලොවට සමුදුන්නේ ය. ඒ වන විටත් ඔහු 91 වැනි වියෙහි පසුවූයේ ය. 1953 වසරේ ආරම්භ කළ මෙම සඟරාවේ ප්‍රධාන කතුවරයා වූයේ ද ඔහු ය. පාසල් අධ්‍යාපනයෙන් පසුව හමුදා වාර්තාකරුවකු ලෙස සේවයට බැඳුණු ඔහු ඉලිනොයිස් සරසවියෙන් මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක් ද හිමි කරගත් තැනැත්තෙකි.

හෙෆ්නර් සහ ම්ල්ඩ්‍රෙඩ්

1949 දී ඔහු නෝර්ත්වෙස්ටර්න් සරසවියේ සිසුවියක වූ මිල්ඩ්‍රෙඩ් හා විවාහ වූයේය. ඒ විවාහයෙන් ඔවුන්ට ක්‍රිස්ටි නමින් දියණියක් ද, ඩේවිඩ් නමින් පුතකු ද උපන්නේය. ඔවුන්ගේ විවාහය පසුපස ඇත්තේ අපූරු කතාවකි. ඔවුන්ගේ විවාහයට පෙර හෙෆ්නර් ඉදිරියේ පාපෝච්චාරණයක් කරමින් මිල්ඩ්‍රෙඩ් පවසා සිටියේ හෙෆ්නර් හමුදාවේ සේවය කළ අතරවාරයේ ඇය වෙනත් තරුණයකු සමග සම්බන්ධයක් පැවැත් වූ බවය. ඒ බව දැන ගැනීම සිය ජීවිතයේ වඩාත්ම වේදනාත්මක අවස්ථාවක් වූ බව ඔහු පසු කලෙක පවසා තිබිණි. 2006 වසරේ දී මේ පිළිබඳ සඳහන් කරමින් හෙෆ්න්ර් පවසා සිටියේ ඇය කළ වරදට හිලව් වශයෙන් ඔහුට ඕනෑම ගැහැනියක හා ලිංගිකව එක් වන්නට ඇය ඉඩ හළ බවය. ඇය එයින් බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ විවාහය රැක ගැනීම වුවත් ඔවුහු 1959 දී දික්කසාද වූහ.

1952 දී එස්ක්වයර්නම් සඟරාවේ පිටපත් ලියන්නකු ලෙස සේවයට කළ ඔහු සිය වැටුප ඩොලර් 5කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටිය ද එසේ නොකළ හෙයින් රැකියාවෙන් ඉවත් වීමට තීරණය කළේය. ඉන්පසුව බැංකුවකින් ඩොලර් 6000ක ණයක් ද සිය මව ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන් ඩොලර් 2000ක් ඉල්ලාගෙන සඟරාවක් ආරම්භ කරන්නට තීරණය කළේය. මේ ආකාරයට ඔහු ප්ලේබෝයිසඟරාව ආරම්භ කළේය. කාන්තා නිරුවත් ඡායාරූප, ශෘංගාරාත්මක කතා, සංවාද, සාකච්ඡා ආදී බොහෝ විශේෂාංගවලින් සපිරි මෙය හැට සහ හැත්තෑව දශකවල ඇමරිකාවේ අතිශය ජනප්‍රිය සඟරාවක් ව පැවැතුණි. 1953 දෙසැම්බර් මාසයේ දී ප්‍රකාශනය ආරම්භ කළ එහි මුල්ම කවරය සරසන ලද්දේ මැරිලින් මොන්රෝ ය. ඩොල්ර් ශත 50ක් වූ එම සඟරාවෙන් පිටපත් 54,000ක් අළෙවි විය.



හෙෆ්නර් සිය සඟරාව සඳහා මුළින්ම තබන්නට බලාපොරොත්තුවෙන් සිට නම වූයේ ස්ටැග් පාර්ටියන්නය. නමුත් ඒ වන විටත් ස්ටැග්නමින් සඟරාවක් පැවැති අතර යම් හෙයකින් එම නම අලුත් සඟරාවට යෙදුවහොත් එයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව හෙෆ්නර් හට දැනුම් දෙනු ලැබිණි. මේ නිසා ඔහුට වෙනත් නමක් අවශ්‍ය විය. ප්ලේබෝයියන්න ඔහුට මතක් වූයේ එවිටය. සැබැවින්ම එය ඔහු විසින් නිර්මාණය කරනා ලද්දක් නොවේ. එය කෙටි කාලයක් පමණක් පැවැති ඇමරිකානු මෝටර් රථ කර්මාන්ත ශාලාවක වෙලෙඳ නාමය විය. එය වසා දමනු ලැබ තිබු නිසා ඔහු සිය සඟරාව සඳහා ප්ලේබෝයියන්න යොදා ගන්නට තීරණය කළේය. සැබැවින්ම එම නාමය මෝටර් රථයකට නොව සැබැවින්ම ගැළපෙන්නේ ශංගාරාත්මක සඟරාවකට බව ඔහු කදිමට තහවුරු කොට පෙන්වූයේය.

ප්ලේබෝයි මෝටර් රථ කර්මාන්ත ශාලාව 


ප්ලේබෝයි නාමයත් සමග එකට බැඳුණු තවත් සුවිශේෂී දෙයක් වන්නේ මෙය වෙළෙඳ සලකුණ ය. ඒ බෝ එකක් පැළැඳ සිටින හාවකුගේ පැත්තකින් පෙනෙන රූපයකි. ශෘංගාරය, ලිංගිකත්වය ආදිය නිරූපණය වන සෑම තැනකම මෙය දක්නට හැකි විය. කෙසේ නමුත් කිසිදු ප්ලේබෝයි සඟරාවක මෙම ජේත්තුකාර හාවාගේ සම්පූර්ණ රූපය නොමැති බැව් පැවසේ.



ලිංගිකත්වය, ශෘංගාරය ආදියට මුල් තැන් දුන් සඟරාවක් වුව ද මෙහි සාකච්ඡා සඳහා ලෝකයේ ප්‍රබල පුද්ගලයන් බොහොමයකගේ දායකත්වය ලැබී තිබේ. ෆිදෙල් කැස්ත්‍රෝ, ජිමී කාටර්, ෆ්‍රෑන්ක් සිනාත්‍රා, මාලන් බ්‍රැන්ඩෝ ආදීන් ඒ අතර විය.


හෙෆ්නර් ප්ලේබෝයි මන්දිරය අසල

හෙෆ්නර් මෙම සඟරාව පවත්වාගෙන පැමිණි. ප්ලේබෝයි මන්දිරයද ලෝකයේ අතිශය ජනප්‍රිය ස්ථානයකි. මෙය 1921 දී ආතර් ආර්. කෙලී විසින් සැලසුම් කරන ලද්දකි. හෙෆ්නර් 1971 දී මෙය ඇමරිකානු ඩොලර් මිලියන 1.1කට මිලට ගත්තේය. එතැන් පටන් ප්ලේබෝයි සඟරාව කරගෙන ආ මෙතැන සේවකයන් 70කට අධික සංඛ්‍යාවක් සේවය කළේ ය. හෙෆ්න්ර් 2016 වසරේ දී මෙය විකුණා දමන්නට තීරණය කළ අතර ඒ වන විට එහි අගය ඇමරිකානු ඩොලර් මිලියන 200ක් දක්වා ඉහළ ගොස් තිබිණි. කෙසේ නමුත් හෙෆ්නර් මෙය අලෙවි කළේ එක් කොන්දේසියක මත ය. ඒ තමාගේ මරණය දක්වාම යම්කිසි කුලියක් ගෙවමින් මෙතැන සිය සඟරාව කරගෙන යන්නට ඉඩ සලසන පෙරොන්දුව පිටය.

කාන්තා නිරුවත, ලිංගිකත්වය හා ශෘංගාරය කැටිකරගත් පෙන්ත්හවුස්නම් තවත් සඟරාවක් ඇමරිකාවට පැමිණිය ද ප්ලේබෝයි සඟරාවට එයින් එතරම් බලපෑමක් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

හෙෆ්නර් පෞද්ගලිකවම ලා බාල තරුණියන්ගේ ඇසුරට කැමැත්තක් දැක්වූ පුද්ගලයකු විය. ශෘංගාරයට, ලිංගිකත්වය ඔහු තුළ තිබූ නිසඟ කැමැත්තක් ඇතැම් විට මෙවැනි සඟරාවක් ආරම්භ කරන්නට මුල් වන්නට ඇත. ඔහු සිය ජීවිත කාලය තුළ තරුණියන් බොහෝ දෙනෙක්ම ප්ලේබෝයි මන්දිරයට ගෙන්වාගෙනම ඇසුරු කළේය. ඔවුන් අතර ඇමරිකානු නිළියන් වන බ්‍රුන්ඩේ රොඩ්‍රික්, ඉසබෙලා සේන්ට් ජේම්ස්, ටීනා මේරි ආදී බොහෝ දෙනෙක් විය.

ද ගාර්ඩියන්පුවත්පතේ ලේඛිකාවක වන සුසාන් මූවර් සිය ලිපියකින් හෙෆ්නර් පිම්පියා’ (ගණිකාවන් සපයන්නා) ලෙසින් හඳුන්වා දීම නිසා ඔහු ඇයට එරෙහිව නඩුමගට ද බැස්සේ ය. ඇය සිය ස්ථාවරය බිඳ නො ගනිමින් පවසා සිටියේ හෙෆ්නර් පිරිමින්ට කාන්තාවන් විකුණා දමන නිසා එසේ හැඳින්වීමෙහි වරදක් නැති බව ය. ද ඉන්ඩිපෙන්ඩන්ට්පුවත්පතේ ලේඛිකාවක වන ජූලි බෙන්ඩල් සිය ලිපියකින්  පවසා සිටියේ කාන්තා සිරුර අළෙවි කිරීමෙන් ඔහු මහත් වරදක් සිදුකොට ඇති බය ය. මීට අමතරව තවත් බොහෝ දෙනෙක් හෙෆ්නර් සහ ඔහුගේ ප්ලේබෝයි සඟරාව විවේචනය කොට තිබේ.


කෙසේ නමුත් දැන් හෙෆ්නර් මිය ගොසිනි. ඔහුගේ ශෘංගාරාත්මක අධිරාජ්‍යය දැන් හිමිව ඇත්තේ ඔහුගේ පුතු වන ඩේවිඩ් හටය. ඔහු මෙය තවත් ඉදිරියට පත්වාගෙන යනු ඇත. හෙෆ්න්ර් මිය යන්නට පෙර පවසා තිබුණේ තමා මිය ගිය දිනක සිය මළ සිරුර දවා එහි අළු ලොස් ඇන්ජලිසි හි වෙස්ට්වුඩ් අනුස්මරණ උද්‍යානයේ මැරිලින් මොන්රෝගේ ස්මාරකයට පසෙකින් තැන්පත් කරන ලෙසය. එය එලෙසම ඉටු වනු ඇත. මැරිලින් මොන්රෝ සමග සදාකාලික ජීවිත ගෙවා දැමීම බොහෝ මිහිරියාවක් වනු ඇතැයි ඔහු වරෙක පවසා තිබිණි. 

6 comments:

  1. ප්ලේබෝයි
    මතක් වෙද්දි කියන්න හිනා යන කතත් තියනව
    දවසක වෙනම පෝස්ට් එකක් පොස්ට් අපි ලියන්නං කෝ
    හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් හිතෙනවා ගොඩක් අයට එහෙම කතා අැති කියලා. LOL

      Delete
  2. Replies
    1. අනේ මන්දා. මම නම් ඕවා දන්නේ නෑ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න