පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, November 21, 2017

ප්‍රකට පුද්ගලයන්ගේ අකට විකට කෑම පුරුදු - Weird Food Habits of Famous People


ආහාර ගැන කතා කරද්දි බොහෝ දේවල් මතක් වෙනවා. බඩගින්නේ ඉන්න වෙලාවක නම් මතක් වෙනවා විතරක් නෙවෙයි කටට කෙළත් උනනවා. කන්න කැමතිම දෙයක සුවඳක් දැනුනොත් ඉතිං ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ලෝකයේ එක එක රටවල නොයෙක් විදියේ කෑම පුරුදු දකින්නට පුළුවන්. අපි කැමතිම දෙයක් ඇතැම් වෙලාවට වෙනත් රටක කෙනෙකු කොහොමටවත් කෑමට ගන්න අකැමති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි වෙනත් රටක කෑම වර්ග අපට කනවා තියා අහලකටවත් ගන්න හිතෙන එකක් නෑ. 

නැගෙනහිර ආසියාව, කැරිබියන් දූපත්, දකුණු ඇමරිකාව සහ  දකුණු අප්‍රිකාව ආදී රටවල් කුකුළන්ගේ කකුල්, රසවත් කෑමක්. ‛කුකුල් කකුල්’ කියන්නේ අපේ රටෙත් බොහෝ දෙනෙක් කෑමට කැමැත්ත දක්වන ‛ඩ්‍රම්ස්ටික්’ කියන එක නෙවෙයි. කුකුලාගේ කකුල්වල ඇඟිලි තියෙන කොටස ගැනයි මේ කියන්නේ. ඒ වගේම හරකුන්ගේ පාද කොටස් මැදපෙරදිග, නැගෙනහිර යුරෝපයේ සහ තුර්කියේ ප්‍රසිද්ධ කෑමක්. ඔවුන් මෙය හඳුන්වන්නේ ‛ඛෑෂ්’ නමින්. මේ වගේ අමුතු විදියේ කෑම වර්ග ලෝකයේ ඕනෑ තරම් තියෙනවා. ඇතැම් ඒවා ප්‍රසිද්ධියේ ලියන්නත් බැරි තරම්. නමුත් ඒ රටවල් ඒවා රසවත් කෑම. ඒ වගේ රටක පුද්ගලයෙක් අපේ රටක ඇවිත් එවැනි කෑමක් කෑවොත් අපට ඒක පෙනෙන්නේ අමුතු විදියේ කෑම පුරුද්දක් විදියටයි. කොහොම වුනත් මේ වගේ රටවල්වලට අයිති නැති වුනත් ලෝකයේ ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන් තුළත් මේ වගේ අමුතු විදියේ කෑම පුරුදු දකින්නට තිබෙනවා. ඉන්දියාවේ මිනිස්සු කෑම කාලා ඇඟිලි ලෙව කෑවාට අපේ රටේ එසේ කරන්නේ නැහැ. ඒක අපට අමුතු ආහාර පුරුද්දක්. කොහොම වුනත් දැන් අපි කතා කරන්න යන්නේ මේ වගේ අමුතු කෑම රටා තියෙන ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් ගැනයි. 

වැරන් බෆට්ගේ උදේ කෑම 


වැරන් බෆට් කියන්නේ ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ලෝකයේ ඉන්න හොඳම ආයෝජකයා හැටියටයි ඔහු ගැන සඳහන් වෙන්නේ. දැනට 86 වැනි වියෙහි පසුවන ඔහු දැනට කාලක ඉඳන් ඔහු උදේ කෑම හැටියට ගන්නේ අයිස්ක්‍රීම් විතරයි. එක දිගට අයිස් ක්‍රීම් ආහාර ලෙස ගැනීමෙන් දියවැඩියාව වැළඳීමේ දැඩි අවදානමක් තිබුනත් වැරන් බෆට් ට නම් මේ තරම් වයස වෙලත් එවැනි තත්වයක් ඇති වෙලා නැහැ. ඒ වගේම ඔහු දිනකට පස් වතාවක් කොකා කෝලා බොනවා. 

කැරට් නිසා කහ පාට වුණු ස්ටීව් ජොබ්ස් 

ස්ටීව් ජොබ්ස් ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. විශේෂයෙන් ඇපල් පරිගණක සහ ඇපල් අයිෆෝන් තියෙන අය ඔහු ගැන දැනගෙනම සිටිය යුතුයි. මේවායේ නිර්මාතෘ ඔහුයි. ඔහු එක කාලෙක කැරට් විතරක් කෑමට ගන්න පුරුදු වුණා. කැරට් කෑමට ගැනීමෙන් සම ලස්සන වුනත්, ඕනෑවට වඩා ගැනීම අහිතකරයි. ස්ටීව් ජොබ්ටත් ඒ ගැටළුවට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔහු කැරට් එක දිගට ආහාරයට ගත් නිසා සම කහ පැහැයට හැරුණා. අවසානයේ වෛද්‍ය උපදෙස් මත ඔහුට සිය ආහාර රටාව වෙනස් කරන්නට සිද්ධ වුණා. 

වල් පැලෑටි කෑමට ගත් හෙන්රි ෆෝඩ් 

ලෝක ප්‍රකට මෝටර් රථ සමාගමක් වූ ෆෝර්ඩ් සමාගමේ නිර්මාතෘ තමයි හෙන්රි ෆෝඩ් කියන්නේ. යන්ත්‍ර සමගම ජීවත් වීම නිසා තමන්ගේ ශරීරයත් එක්තරා ආකාරයක යන්ත්‍රයක් ලෙස සිතන්න පටන් ගත්තා. ඒ වගේම මේ යන්ත්‍රයට ස්වභාවික ආහාර වර්ග ඒ ආකාරයෙන්ම ලබාදීමෙන් වැඩි යහපතක් වේ යැයි සිතුවා. ඔහු ඒවා හැඳින්වූයේ ස්වභාවික ඉන්ධන ලෙසයි. ඔහු මේ ස්වභාවිත ඉන්ධන ලෙස තෝරාගත්තේ පාරවල් අයිනේ වන ලැහැබ්වල වැඩුණු වල් පැලෑටි. උදේ ආහාරයට ඔහු ගන්නා සැන්ඩ්විඩ්වල මැදට ඔහු වල්පැලෑටි තබා කෑමට ගන්නට මේ නිසා පුරුදු වුණා. 

තණකොල පෙත්තන් කාපු ඇල්බට් අයින්ස්ටයින් 

ඇල්බට් අයින්සටයින් කියන්නේ ලෝකයේ හිටි සුප්‍රකට විද්‍යාඥයෙක්. සාපේකෂතාවාදය ලොවට හෙළිදරව් කළෙත් ඔහු. ඔහු කැමතිම කෑම වර්ග අතර බැදපු බිත්තර වගේම බිම්මලුත් තිබුණා.. ඊට අමතරව ඔහු රහසේම තවත් දෙයක් ආහාරයට ගන්නට හුරු වෙලා හිටියා. ඒ තමයි තණකොල පෙත්තන්. එය රහසක් විදියට තබාගන්නයි ඔහුට අවශ්‍ය කළේ. නමුත් කාලයත් එක්ක ඔහුගේ මේ රහස ලෝකයා දැගගත්තා. 

ෆේස්බුක් අයිතිකාරයාගේ අමුතු පුරුද්ද 

ෆේස්බුක් අයිතිකාරයා තමයි මාර්ක් සකර්බර්ග්. ඔහුට වර්ණ අන්ධතාවයක් තියෙන නිසා ෆේස්බුක් එක නිල්පාට කළ කතාව කවුරුත් දන්නවා. ඒ වගේම ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකි මුරපදයක් යෙදූ නිසා ඔහුගේම ෆේස්බුක් ගිණුමට වෙන කෙනෙක් හොර රහසේ ගිය කතාවකත් ලෝකයා දන්නවා. ඔහුගේ කෑම පුරුද්දත් මේ වගේම තමයි. ඔහු වෙළෙඳ පළෙන් මිලට ගෙන මස් කෑමට ගන්න කැමැති නැති කෙනෙක්. මස් කනවා නම් ඔහුම මරා ගත්ත සතෙකුගේ මස් පමණයි ඔහු ආහාරයට ගන්න පුරුදු වෙලා හිටියේ. ඔහු කුකුල්ලු, උරෝ, එළුවෝ වගේ සතුන් මරා ආහාරයට ගැනීමට පුරුදු වෙලා හිටියා. කොහෙම වුනත් මේ පුරුද්ද ලෝකයා දැනගත්තොත් ඒක ඒ තරම් හොඳ මදි කියලා ඔහුට තේරුම් ගියා නිසා පසුව එය නතර කළා. 

ෂාරුක් ගේ අමුතු කෑම 

ගුවන් යානාවලදී ලබා දෙන ආහාර වර්ගවලට ගුවන් මගීන් ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැති බව කියැවෙනවා. නමුත් බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඊට වඩා වෙනස්, ඔහු ඒ වගේ කෑමවලට දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. ඒ වගේම ඔහු අයිස්ක්‍රීම් කෑමට ගන්න කොහොමටවත් කැමැති නෑ. අනෙක ඔහු කෑම ගන්නා අතරේ කවුරු හරි ඡායාරූපයක් ගත්තොත්, ඒ තමයි ඡායාරූප ශිල්පියා කරගත් ලොකුම වරද වෙන්නේ. ඔහුට ගුටි කන්නට සිද්ධ වෙන වැඩක් තමයි ඒ. ෂාරුක් කැමැති නෑ කෑම ගනිද්දී ඔහුගේ ඡායාරූප අරගන්නවාට. 

තණකොල කන ටෙනිස් ක්‍රීඩකයා 

විම්බෙල්ඩන් කියන්නේ ටෙනිස් ක්‍රීඩාව සඳහා දිනාගත හැකි ඉහළම කුසලානය. 2011 වසරේ දී මෙය දිනාගත්තේ සර්බියානු ක්‍රීඩකයකු වුණු නොවාර්ඩ් ජොකොවික්. ඔහු තනිවම ඉන්න හැම වෙලාවකම තණකොල කෑමට ගැනීමට පුරුදුව සිටියා. ටෙනිස් ක්‍රීඩා කිරීම සඳහා හොඳ ශාරීරික ශක්තියක් තණකොලවලින් ලැබෙන බවයි ඔහු විශ්වාස කළේ. 

4 comments:

  1. වෙනස් ආකාරයක දේවල්.එක හුස්මට කියෙව්වා.මිනිස්සු තමයි මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඒක නේනන්නම් කියන්නේ.

      Delete
  2. නියම කෑම ටිකක් සමාහර ඒවා අත්හදා බලන්න වටිනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අත්හදා බලන්නම වටින කෑම!

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න