පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, November 7, 2013

අබෞද්ධ රටවලින් හරි සත්ව කරුණාව පුරුදු වෙමු - Animal Rights, World and Sri Lanka


රටක් සංවර්ධණය කරා ගමන්කිරීමේදී භෞතික වශයෙන්ම පමණක් නොව සමාජයීය වශයෙන් ද ප්‍රතිලාභ සමස්ථ සමාජයටම ලැබිය යුතුය. මෙහිදී සමාජය වශයෙන් සදහන කරන ලද්දේ මිනිසුන් පිරි සමාජයට පමණක් නොවේ. මිනිසා යනු මේ සමාජයේ කොටසක් පමණි. සියලු ගහකොළ සහ සියලු සතුන් ද මෙයට ඇතුළත්විය යුතුය. මිහිඳු මහරහතන්වහන්සේ දෙවනපෑතිස් හිමියන් හමුවේ අවවාද කළේද සියලු මිනිසා පමණක් නොව අනෙක් සියලු ජීවීන්ට නිදහසේ ජීවත්විය හැකි වටපිටාවක් ඇති කළ යුතුය යන්නය. මෙවැන්නක් මෙහි සඳහන් කරන්නට හේතුවූයේ පසුගිය දා විවෘත වුණු කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ එහි නිදැල්ලේ ගැවසෙන සතුන් පිළිබඳ පුවත්පත් හා අන්තර්ජාලය හරහා යම්කිසි කතිකාවතක් ඇතිවූ බැවිනි. මෙම මාර්ගය කරා නිදැල්ලේ යන සුනඛයින්, ගවයින් හා වෙනත් සතුන් ඇතුළුවීමේ අවදානමක් පැවති බැවින් ඒ වෙනුවෙන් යම් පියවරක් ගන්නැයි සතුන් සුරැකීමේ සංවිධාන වගකිවයුතු අංශයන්ගේ ඉල්ලා සිටියේය. අදාළ වගකිවයුතු අංශ මේ සඳහා මැදිහත්වී ඇති බැව් පසුගිය 23 වැනි ඉරිදා දාතමින් යුක්ත ‛ඩේලි මිරර්’ වෙබ් අඩවියේ පළවූ ලිපියකින් දැනගන්නට ලැබිණි. 

එම පුවත්වලට අනුව අධිවේගී මාර්ගයේ නිදැල්ලේ ගැවසුණු සුනඛයින් ඉන් ඉවත්කීරීමේ වැඩපිළිවෙලක් දියත්ව තිබිණි. මෙම කාර්යය පැවරී තිබුණේ ‛ඇනිමල් ලවර්ස් සෝන්’ (Animal Lovers Zone) නම් සංවිධානයටය. සතුන් මරානොදැමීමේ රජයේ ප්‍රතිපත්තියට ('No Kill' policy) අනුව මෙහිදී සිදුකෙරුණේ අධිවේගී මාර්ගය විවෘතකිරීමට පෙරාතුව සුනඛයින් දැල්වලින් අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස්දැමීමය. සැබැවින්ම සතුන් නොමරා ඔවුන්ව වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙනගොස් දැමීම අගය කළ යුත්තකි. ලෝක්යේ වෙනත් රටවල ද මෙවැනි සේවාවන් ක්‍රියාත්මක වේ. මෙම සංවිධානයේ අධ්‍යක්ෂවරයා වන පශු වෛද්‍ය නුවන් කුමාරසිංහ මහතා සඳහන්කොට තිබුණේ මෙම ක්‍රමයේදී සුනඛයින්ට දැනෙන වේදනාව අවම බවය. මෙහිදී අල්ලාගැනුණු ගැහැණු සතුන් වඳකිරීමකට ලක්කිරීමෙන් පසු නිදහස් කෙරුණු බව ද එම පුවතේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි. ඔවුන් මෙම සේවය අප රටේ වෙනත් දිස්ත්‍රික්ක කිහිපයකම ක්‍රියාත්මක කරනා බැව් එම ලිපියේ සඳහන්ව තිබිණි. 

එමෙන්ම 29 වැනි අඟහරුවාදා ඩේලි මිරර් වෙබ් අඩවියේ සඳහන්ව තිබුණේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වෙන කාලසීමාවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිදැල්ලේ ගැවසෙන සුනඛයින් අල්ලා වෙනත් ස්ථානවලට ගෙන ගොස් දැමීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බවයි. එහි තවදුරටත් සඳහන්ව තිබුණේ මෙම සමුළුව අවසන්වීමෙන් පසු මෙම සුනඛයින් යළිත් ඔවුනගේ සුපුරුදු වාසස්ථාන කරා ගෙනගොස් දැමීමට අදාළ බලධාරීන් සැළසුම්කොට ඇති බවය. 

නිදැල්ලේ මහාමාර්ගවල ගැවසෙන සුනඛයින්ගේ ගැටළුව බොහෝ කාලයක් සිටම පැවතිණි. මෙවැනි අවස්ථාවලදී බොහෝ විට සිදුකෙරුණේ ‛බලුවෑන්’වලින් පැමිණ සුනඛයින් අල්ලා ඔවුනට ගෑස් ගසා මරාදැමීමය. එසේත් නැත්නම් සයිනයිඩ් සහිත තියුණු උල්වලින් සුනඛයින්ට ඇනීමය. නමුත් සුනඛයින් ඇතුළු සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධාන නිරන්තරයෙන්ම පැවසූයේ මෙවැනි ක්‍රියාදාමයක් අමානුෂික මෙන්ම ඒවා මගින් සතුන්ගේ හිමිකම් කඩවන බවය. අප නිතර කතාබහ කරන්නේ මානව හිමිකම් පිළිබඳව පමණි. කිසිවිටෙක සතන්ගේ හිමිකම් ඉල්ලා සතුන්ගේ හිමිකම් සුරකින සංවිධාන උද්ඝෝෂණය කළ ද සතුන් නම් කිසිවිටෙක එවැනි ක්‍රියාවන්ට පෙළඹෙන්නේ නැත. 
සැබැවින්ම සතුන්ටද අයිතවාසිකම් තිබේද? සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවන්නට උගන්වන බුදු දහම ඇති රටක සිදුවන ඇතැම් සිදුවීමවලින් පෙනෙන්නේ අප රටේ එවැනි අයිතිවාසිකම්වලට අගයක් නොමැති බවය. බුදුන් වහන්සේ දේශනා කළේ සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතු බවය. එය අප රටේ ප්‍රායෝගිකව ක්‍රියාත්මකවන්නේ නම් සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා නායකත්වය දිය යුත්තේ අප රටය. නමුත් සිදුවන්නේ අනෙකකි. අප ද සතුන්ගේ හිමිකම් පිළිබඳව උපදෙස් ගන්නේ බටහිර රටවලිනි. ඔවුන්ගේ නිර්වචනයක්ට අනුව සත්ව අයිතිවාසිකම් යනු යම්කිසි සතකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම තහවුරු කිරීමය. ඔවුන් සතුන්ගේ අයිතිවාසිකම් ඇතිකිරීමේ මූලික පදනම ගෙඩනගාගෙන ඇත්තේ ද බුදුන් වහන්සේගේ ඉගැන්වීමක් වුවද, එය එසේ යැයි කොතැනක හෝ සඳහන් කොට නැත. ඔවුන් සඳහන් කරන්නේ මිනිසුන් නොවන සතුන්ට ද වේදනාව දැනෙනා බැවින් ඔවුන් පිළිබඳ මිනිසාගේ අවධානය වඩාත් දැඩිව යොමුවිය යුතු බවය. මෙම පදනම් කරුණ ධම්මපදයේ ඇති ‛සබ්බේ තසන්ති දණ්ඩස්ස ...’ යන ගාථා පාඨය විනා අන්කිසිවක් නොවේ. කෙසේමුත් බුදුදහම පිළිබඳ සඳහන් නොකළ ද ඔවුන් මෙවැනි ව්‍යාපාරයක් සදහා පෙරමුණගැනීම මිනිසත් බවේ ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය. ඔවුන්ගේ අදහසට අනුව සතකු මස පිණිස මරාදැමිය යුතු ආකාරය, සතුන්ව විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදාගතයුතු ආකාරය, සුරතලුන් ලෙස ඇතිදැඩි කළ යුතු ආකාරය, මිනිස් ක්‍රියාකාරකම් සතුන් කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න ආදී බොහෝ දෑ පිළිබඳ නිර්ණායක ඇතිකොට ගෙන තිබේ. 

බටහිර රටවල් පවසන්නේ සතුන්ගේ අයිතිවාසිකම් ප්‍රතිපත්තියක් ලෙස මුළින්ම ඉදිරිපත්වන්නේ 19 වැනි සියවසේදී බ්‍රිතාන්‍යයේදී බවය. බටහිර රටවල සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් බොහෝ නීති විධිවිධාන ද දක්නට ලැබේ. නමුත් බෞද්ධ රටක් වූ අප රටෙහි එවැනි ප්‍රතිපත්තිමය තීරණ පැවතිය ද ඒවා සක්‍රියව ක්‍රියාත්මක වනු පෙනන්නේ නැත. එසේ හෙයින් අප රටෙහි සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිණිස නීති නැතැයි කීව ද එහි වරදක් නැත. අප රටේ සිටිනා අඥාන දේශපාලඥයින්ට මෙවැනි මාතෘකා වේදිකාව හිනස්සවන කතා කීමට අවස්ථාව ලබාදෙන ඒවා වන්නටත් පුළුවන. යම්කිසි සතකු කෲර වදහිංසාවන්ට ලක්වන්නේ නම්, බටහිර රටක එය පොලිසි පැමිණිල්ලක් කරන්නට තරම් හේතුවක් වනු මුත් අප රටේ එවැන්නක් පිළිබඳ පැමිණිල්ලක් කරන්නට ඉදිරිපත්වන පුද්ගලයා පිස්සකු බවට පත්වන්නේය. ඔහුට සිදුවන්නේ පොලිස් නිලධරයන් ඇතුළු සියල්ලන්ගේම සරදමට ලක්වන්නටය. මෙය බෞද්ධ රටක් වුවද විවිධ ආගමික උත්සව සඳහා සමූහ වශයෙන් සතුන් මරාදැමීම හා බිලි පූජා පැවැත්වීම සඳහා රජය වුව ද දැඩි පියවර ගන්නේ නැත. ඒ අද සියල්ල දේශපාලන බලය මත පදනම්ව ඇති බැවිනි. සතුන්ගේ අයිතිවාසිකම් සුරකිනවාට වඩා සතුන් මරා දමන්නාගේ අයිතිවැසිකම් ආරක්ෂාකොට ඔහුගේ ඡන්දය ලබාගැනීම වඩාත් වටිනා බැව් වර්තමාන බොහෝ දේශපාලඥයින්ගේ අදහසයි. 

නමුත් මස් වෙළෙඳාම ජාත්‍යන්තරව කරගෙනයනු ලබන බටහිර රටවල සතුන්ගේ අයිතිවාසිකම් අප සිතනවාට ද වඩා ඉතා ඉහළ මට්ටමින් සුරක්ෂිත වී තිබේ. ඇමරිකා එක්සත් ජනපයේ විවධ ප්‍රාන්තවල තමාට කැමති පරිදි සුනඛයකු, බළලකු පමණක් නොව ලේන් පැටැයකු පවා නිවසේ ඇතිදැඩි කළ නොහැකිය. අදාළ ප්‍රාන්තය යම්කිසි සතකු සුරතලයට ඇතිදැඩි කරන්නට අවසර ලබාදී නොමැත්තේ නම්, එවැනි සතකු නිවසේ තබාගැනීම නීතිවිරෝධි කටයුත්තකි. ඇතැම් රටවල සුනඛයකු එළිමහනේ දම්වැලකින් ගැටගසා තැබීම පවා තහනම්කොට තිබේ. නිවසේ යම් සතකු ඇතිදැඩි කරන්නේ නම් අදාළ ආයතනවල ඒ සඳහා ලියාපදිංචි විය යුතු අතර එහි නිලධරයන් විසින් මෙම සතුන් විටින්විට සිය අධීක්ෂණයක්ට ලක්කරනු ලබයි. යම් සතකු වදහිංසාවකට ලක්වී ඇතැයි සොයාගනු ලැබුවහොත් අදාළ හිමිකරුවාට දඩයක්  හෝ වෙනත් දඬුවමක් නිසැකවම හිමිවන්නේය. ඒ විදෙස් රටවල් සතුන්ගේ අයිතිවාසිකම් සුරකින ආකාරයයි. 

කෙසේමුත් සතුන්ට හිංසා පීඩා වැළැක්වීම සඳහා අප රටේ අවශ්‍ය තරම් විධිවිධාන පවතින මුත් ජනතාව මේ පිළිබඳ නොදැන සිටීමත් පොලීසිය ඇතුළු මේවාට එරෙහිව ක්‍රිියාත්මක විය යුතු ආයතන නොදන්නවා සේ සිටීමත් නිසා අප රටේ සතුන්ට හිංසා පීඩා සිදුවීම දිනෙන් දිනම ඉහළ යයි. මේ නිසාම 1907 අංක 13 දරණ සත්ව හිංසා වැළැක්වීමේ ආඥා පණත සංශෝධනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම පණත බ්‍රිතාන්‍ය රජය විසින් පනවන ලද්දකි. මෙය යල්පැණ ගිය පණතක් ලෙස සඳහන් කෙරෙන්නේ මෙයින් සියලුම සතුන් ආවරණය නොවීම, ගෘහාශ්‍රිත සතුන්ට පමණක් අදාළවීම, නිවසක ඇතිදැඩි කරනා සතුන් අන් ස්ථානවලට ගෙනගොස් දැමීමට එරෙහිව මෙහි ප්‍රතිපාදන නොවීම, දඬුවම් ප්‍රමාණවත් නොවීම වැනි හේතූන් නිසාය. ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන නව පණත මගින් ඉහතකී පැරණි පණත අහෝසි වී යයි. නව පණතේ විධි විධානවලට අනුව සියලු සතුන්ට මානුෂිකව සැළකීම සියලු පුරවැසියන්ගේ වගකීමක් වන්නේය. මේ යටතේ ‛ජාතික සත්ව සුබසාධන අධිකාරිය‛ යනුවෙන් ආයතනයක් ඇති කෙරෙනු ඇත. 
මෙම පණත යටතේ අමානුෂික ක්‍රමවලින් සතුන් ඝාතනය කිරීම සපුරා තහනම් කෙරෙනු ඇත. ගවයින් හා ගැබ්ගත් සතුන් මැරීම සපුරා තහනම්වන අතර වසර 12ට අඩු එළදෙනුන් මැරීම තහනම් ය. නේවාසික ප්‍රදේශයක සත්ව ඝාතනාගාරයක් පවත්වාගෙන යාම තහනම්ය. අළෙවිකිරීම සඳහා පිළියල කරන මස් සඳහා අධිකාරියේ අවසර පත්‍රයක් තිබිය යුතුය. එමෙන්ම සතුන් ප්‍රවාහනය පිළිබඳව ද නීතිරීති ගෙන එනු ඇත. 

මෙවා අකුරට ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාව ද සතුන්ගේ අයිතිවාසිකම් සුරකින දේශයක් බවට පත්වනු ඇත. නමුත් මසට ගිජු, මස් වැද්දන්ගේ මුදලට යටවූ දේශපාලඥයින් හා නීතිය ක්‍රියාත්මක කරනා ආයතන වෙනස් නොවුවහොත් සතුන්ට සිය නිදහස පිළිබඳ සිතීම පවා සිහිනයක් වනු ඇත. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න