පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, January 10, 2014

2014 වසරට හිමි වර්ණය - Colour of the Year 2014


දින 365ක් ගෙවී ගොස් නව වසරක් උදාවී ඇත. ගෙවුණු වසර ඇතැමුන්ට සියලු සරින් සපිරි වාසනාවන්ත කාලයක් වන්නට ඇත. ඇතැමුන්ට ගෙවුණු සමය එතරම් සුබදායක නොවන්නට ඇත. නමුත් මේ වසරේ සියලු දෙනාගේම ජීවිත වර්ණවත් වේවා යැයි පතමින් මේ සැරසෙන්නේ 2014 හිමි වර්ණය පිළිබඳ කතාකරන්නටය. අප ඇතැම්විට මීට පෙර වසරවල මේ පිළිබඳ කතා නොකරන්නට ඇත. ඇතැම්විට ඔබ යම් යම් වසරට හිමි වර්ණය නොදැන සිටියා වන්නට ඇත. අපට මේ වර්ණය පිළිබඳ පවසන්නේ ලෝකයේ භාවිතවන  වර්ණයන්ගේ සම්මතයක් ගොඩනැගූ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සි හි පිහිටි පැන්ටෝන් සමාගමයි. ඔවුන් ලෝකයට හඳුන්වාදෙන වර්ණ සම්මතය හඳුන්වනු ලබන්නේ පැන්ටෝන් වර්ණනමිනි. මුද්‍රණය ශිල්පය, රෙදි කර්මාන්තය, ප්ලාස්ටික් කර්මාන්තය, තීන්ත කර්මාන්තය වැනි වර්ණ හා සම්බන්ධ සියලු දෙනා අනුගමනය කරන්නේ පැන්ටෝන් වර්ණයන්ය. ඔවුනට අනුව 2014 වසර සඳහා ඇත්තේ රේඩියන්ට් ඕකිඩ්නම් වර්ණයයි. මෙය දමට හුරු වර්ණයකි.

රේඩියන්ට් ඕකිඩ් වර්ණය මගින් ආත්ම විශ්වාස, සතුට, ආදරය හා සෞඛ්‍යය වර්ධණය කරන බවත්, ඔබ කෙරෙහි අන්‍යයන් දැඩිව ආකර්ෂණය කරගන්නට සමත් බවත් පැවසේ.  ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පරිහරණය කළ හැකි මෙම වර්ණයෙන් බොහෝ මෝස්තර නිර්මාණකරුවෝ දැනටමත් නව වසර වෙනුවෙන් විවිධ ආකාරයේ මෝස්තර හ ෙවිලාසිතා එළිදක්වන්නට සූදානමින් සිටිති.
මෙම වර්ණය සහිත ඇඳුම් ඇඳීමෙන් තමා වඩාත් සෞඛ්‍ය සම්පන්න හා උද්‍යෝගිමත් හැඟීමකන් යුක්ත වන බව පැවසේ. රේඩියන්ට් ඕකිඩ් යනු සිසිල හා උණුසුම යන ගුණාංග දෙකින්ම යුක්ත වර්ණයකි.
නිවාස පින්තාරු කිරීම සඳහා ද රේඩියනට් ඕකිඩ් වර්ණය හොඳින්ම ගැළපේ. අනෙක මෙය වෙනත් බොහෝ වර්ණ ආලේප කරන ලද ගෘහ භාණ්ඩ සමඟ ඉතා හොඳින් ගළපාගැනීමේ හැකියාවෙන් යුක්ත වීමද විශේෂත්වයකි. ඔලිව් පැහැය, තද කොළ පැහැය, නීල මාණික්‍ය පැහැය සහ ලා කහ සමඟ ද හොඳින් ගළපාගත හැකිය.

සාමාන්‍ය ජනතාවගේ පහසුව සඳහා මෙම වර්ණය ඉතාමත් නිවැරදි ආකාරයෙන් සකස්කරගන්නා අන්දමද පැන්ටෝන් වෙබ් අඩවියේ සඳහන්කොට තිබේ. පරිගණක ආශ්‍රිතව නම් රතු, කොළ, නිල් යන වර්ණ තුන පිළිවෙලින් 177,99,163 වශයෙන් හෝ 200,107,168 වශයෙන් හෝ ගෙන මෙම වර්ණය නිර්මාණය කරගත හැකිය. මුද්‍රණ ක්ෂේත්‍රයේ යෙදී සිටින්නන් සඳහා CMYK හෙවත් සියන්,මැජෙන්ටා,කහ සහ කලු යන් වර්ණයක් පිළිවෙලින් 33,72,0,0 වශයෙන් හෝ 19,70,0,0 වශයෙන් හෝ මිශ්‍රකොට මෙම වර්ණය පිළියෙලකොට ගත හැකිවේ.





No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න