පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, March 12, 2014

අන්තර්ජාලයට කාන්තා නිරුවත් ඡායාරූප එක්කිරීමේ ඛේදවාචකය හෙවත් Revenge Porn


ඔබගේ යෙහෙළියකගේ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයේ කුමන හෝ වෙබ් අඩවියක දක්නට ඇතැයි දැනගන්නට ලැබුණහොත් ඇතිවන හැඟීම කෙබඳුද? ඒ හැඟීම මෙහි විස්තර කිරීම අවශ්‍ය නැතත් මෙවැන්නක් සිදුවන්නට ඇති ඉඩකඩ අසීමාන්තිකය. වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් ආදර සම්බන්ධතා පවත්වනවිට ක්‍රියාත්මක වන්නේ අතීතයේ සිටි පරපුරට වඩා වෙනස් ආකාරයෙනි. අතීතයේ විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීමට තරුණ තරුණියන් නොපෙළඹුන ද වර්තමානයේ එය එසේ නොවේ. අද එය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. යම්කිසි තරුණ යුවළක් මෙවැන්නක් සඳහා යොමු වී විට ඊළඟ පියවර වන්නේ සිය අතෙහි ඇති ජංගම දුරකථනයේ කැමරාවෙන් ඔවුනොවුන්ගේ නිරුවත් ඡායාරූපගැනීමය. මෙය බොහෝ විට සිදුකරන්නේ පෙම්වතාගේ පාර්ශ්වයෙන් වන අතර ඡායාරූපවල වැඩි වශයෙන් අඩංගු වන්නේ තරුණියගේ ඡායාරූපයන්ය. මෙය ආකාර කිහිපයකට සිදුවිය හැකිය. ඇතැම් අවස්ථාවල තරුණියගේ දැනුවත්වීමකින් තොරව මෙය සිදුවන්නට පුළුවන. එනම් තරුණියට නොදැනෙන සේ ඡායාරූප හෝ වීඩියෝ ගත කිරීමෙනි. අනෙක නම්, ඇය ද දැනුවත්ව මෙය සිදුකිරීමය. තරුණිය සිය පෙම්වතා පිළිබඳ ඇති අධික විශ්වාසය නිසා මෙවැන්නකට ඉඩ හරියි. තවත් ක්‍රමයක් වන්නේ යම්කිසි පුද්ගලයෙක් කාන්තාවන් නිතර ගැවසෙන ස්ථානයක රහසිගතව කැමරා සවිකොට ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගැනීමය. ඇඳුම් වෙළෙඳසල්වල ඇඳුම් මාරුකරන්නට වෙන්කොට ඇති කොටස්, නාන කාමර වැනි ස්ථාන මේ සඳහා හොඳ ඉළක්කයන්ය.

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකරෙන වීඩියෝ සංවාදවලදී ද මෙවැනි දේ සිදුවිය හැකිය. skype, facebook video chat, Google Talk වැනි මෙහි සඳහන් කළ නොකළ බොහෝ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ සංවාද ද පටිගතකරන්නට හැකිය.

මේ කුමන ආකාරයෙන් හෝ ලබාගත් ඡායාරූප හා වීඩියෝ කොටස් එම කැමරාවෙන් පිටතට නොයන තාක් කිසිඳු ගැටලුවක් ඇතිවන්නේ නැත. ගැටලුව වන්නේ එය එසේ නොවන විටය. ඇතැම් තරුණයන් තමන් වීර ක්‍රියාවක් කළා මෙන් සිය පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සිය හොඳම මිතුරන්ට පෙන්වයි. මෙහිදී එම ඡායරූප අදාළ ජංගම දුරකතනයෙන් වෙනත් දුරකතනයකට මාරුවුවහොත් ඒවා අතින් අතට යාමේ සීමාවක් නැත. මේවා අවසානයේ නතර වන්නේ අප රටේ හෝ වෙනත් රටක අසභ්‍ය වෙබ් අඩවිවලය.

බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ යම් ප්‍රේම සම්බන්ධතාවයක් බිඳී ගියවිට සිය පෙම්වතියගෙන් පළිගනු වස් පෙම්වතා විසින් තමා මෙසේ ලබාගත් ඡායාරූප හා විඩියෝ කොටස් අනත්ර්ජාලයට මුදා හැරීමය. මේ සඳහා වර්තමානයේ වැඩිවශයෙන්ම ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවියයි. එහි මෙවැන්නක් පළකිරීම මගින් ක්ෂණිකව වැඩිදෙනෙක් අතරට මේවා ගමන් කරන අතර එම වෙබ් අඩවියට මේ පිළිබඳ දැනුවත්කොට ඒවා ඉවත්කරන විට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. අවසානයේ නතරවන්නේ බොහෝ භයානක ප්‍රතිඵලවලිනි.
ඇතැම් අවස්ථාවලදී මෙසේ සොරෙන් ලබාගන්නා ඡායාරූප හා වීඩියෝ උපයෝගී කරගනිමින් ලිංගික අල්ලස් හෝ කප්පම් ලබාගැනීම ද බහුලව සිදුවන්නකි. එවැන් සිදුවීම් පුවත්පත් ඔස්සේ අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු.

මෙය අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේ පවතින බරපලත සමාජ ගැටලුවක් බවට පත්ව තිබේ. අපරාධ ගනයෙහි ලා සැළකෙන මේවා හැඳින්වීමට අප රටේ විශේෂිත වදනක් නොවුනත් බටහිර රටවල මේවා Revenge porn යනුවෙන් හඳුන්වනු ලබයි.  මෙහි porn යන්න බිඳී ඇත්තේ pornography යන වදනෙනි. එහි අරුත වන්නේ අශ්ලීල, අසභ්‍ය පත පොත, අසභ්‍ය රචනා හෝ ඡායාරූප හෝ වීඩියෝ වැන්නකි. එවැනි අසභ්‍ය  හෝ අශ්ලීල මාධ්‍ය උපයෝගී කොටගෙන යම්කිසි පළිගැනීමක් සිදුවන්නේ ද එය Revenge porn යනුවෙන් හැඳින්වේ. වචනාර්ථයෙන් එසේ වුව ද මෙය සිදුවන ක්‍රියාවලිය අනුව නිර්වචනය කළහොත්, යම්කිසිවකුගේ, විශේෂයෙන් කාන්තාවකගේ අනුදැනුමෙන් තොරව, ඇගේ නිරුවත් ඡායාරූපයක් හෝ වීඩියෝ දර්ශනයක් අසභ්‍ය මාධ්‍යයක පළ කිරීම ද සෛ් හැඳින්විය හැකිය. මෙය ලිංගික අපරාධයක් බවට ලෝකයේ මුල්වරට නීති පොතට එක්කරන ලද්දේ ඊශ්‍රායලයේය. ඒ වැඩි ඈතක නොව මේ 2014 වසරේ ජනවාරි මාසයේදීය. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේද මෙය අපරාධයක් ලෙස නීතිගතකොට තිබේ.

අසභ්‍ය මාධ්‍ය ඔස්සේ කෙරෙන පළිගැනීම ලෝකයේ ඇතිවූයේ යැයි සැළකෙන්නේ 1980 වසරේදීය. 1974 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කළ සුප්‍රකට හස්ල්ර්නම් අසභ්‍ය සඟරාව මෙයට මුල්විය. ඔවුන් 1980 වසරේදී Beaver Hunt නමින් විශේෂාංගයක් ආරම්භ කළහ. එයින් සිදුවූයේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සහිතව ඔවුනගේ විස්තර පළකිරීමය. මේ බොහෝ ඡායාරූප අදාළ කාන්තාවන්ගේ කැමැත්ත ඇතිවම පළ වූ ඒවා නොවේ. ඉන් ඇතැම් ඒවා සොරකම්කරනු ලැබූ ඒවා වූ අතර අදාළ කාන්තාවන්ගේ අනුදැනුම හෝ අවසරය මත පළ වූ ඒවා නොවීය. ඉන් පසුව මෙය ලෝක ව්‍යාප්ත මට්ටමට පැමිණියේ 2010 වසරේදී IsAnyoneUp.com නම් වෙබ් අඩවිය ආරම්භ කිරීමත් සමඟිනි. එයින් සිදුවූයේ ද කාන්තාවන්ගේ සවිස්තර වාර්තාවක් සමඟ ඔවුනගේ නිරුවත් ඡායාරූප පළ කිරීමය. මීට පෙර ද නිරුවත් ඡායාරූප ඇතුළත් වෙබ් අඩවි ඕනෑතරම් තිබුණ ද සැබෑ ඒ කිසිවක හෝ සැබෑ තොරතුරු අඩංගු වූයේ නැත.

විදෙස් රටවල අසභ්‍ය ඡායරූප හා වීඩියෝ දර්ශන ඇතුළත් වෙබ් අඩවි පවත්වාගෙන යාමට නීතියෙන් අවහිරයක් නැත. එබැවින් විදෙස් රටවල එවැනි වෙබ් අඩවි ඕනෑ තරම් දක්නට ඇති අතර අසභ්‍ය මාධ්‍ය ඔස්සේ සිදුවන පළිගැනීම් ද අසීමාන්තිකව සිදුවේ. නමුත් මෑත කාලයේ වූ බොහෝ සිදුවීම් හේතුවෙන් විවිධ රටවල මෙසේ පළිගැනීම්වලට ඉඩකඩ සළසන වෙබ් අවඩි තහනම් කරන්නැයි උද්ඝෝෂණ හා නීතිමය ක්‍රියාමාර්ග ගැනෙමින් පවතී. මහා බ්‍රිතාන්‍යයේ ඇලෙකස්නම් අනවර්ථ නමින් හඳුන්වාගත් තරුණියගේ නිරුවත් ඡායාරූප ඇයගේ අතහැර ගිය පෙම්වතා විසින් ෆේස්බුක් වෙබ් අඩවියට හා වෙනත් අසභ්‍ය වෙබ් අඩවිවලට ඇතුළත්කොට තිබිණි. ඇය මේ පිළිබඳව පියවර ගන්නා විට ඒවා ලොව පුරා ව්‍යාප්තව තිබිණි. නමුත් ඇය එතැනින් නොනැවතී මහා බ්‍රිතාන්‍යය තුළ අසභ්‍ය මාධ්‍ය ඔස්සේ සිදුවන පළිගැනීම් නතරකරන නීති ගෙන එන්නැයි අරගලයක් ආරම්භ කළාය. මෙතෙක් එහි එවැනි වෙබ් අඩවි තහනම් නොකළ ද ඇය සිය සියලු ඡායාරූප සියලුම වෙබ් අඩවිවලින් ඉවත්කරගන්නට සමත් වූ අතර මෙවැනි ලෝකයේ සෙසු රටවල මෙන් එහි ද මෙවැනි වෙබ් අඩවි තහනම් කරනතුරු අරගල කරන බැව් පවසන්නීය.

අප රටේ ද මෙවැනි සිදුවීම් ඕනෑතරම් අසන්නට ලැබේ. සිය පෙම්වතා පිළිබඳ ඇති අධික විශ්වාසය හා ආදරය නිසා ඔහු ඉදිරියේ නිරුවත් ඡායාරූපවලට පෙනී සිට, පසුව එම සම්බන්ධය බිඳීගිය පසු අනේක වූ කැදරවලට මුහුණ දුන් තරුණියන්ගේ කතා අපට පුවත්පත්වලින් දකින්නට ලැබේ. දැනට වසරකට පමණ පෙර ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳ සැළක සවිකොට තිබූ CCTV කැමරාවකින් ලබාගත් තරුණියකගේ ඡායාරූපයක් උපයෝගීකොට ගනිමින් එම තරුණිය අපහසුවට ලක්කළ පුවතක් ද මෙහිදී සිහිපත් වේ.

අප රට තුළ අසභ්‍ය වෙබ් අඩවි ලියාපදිංචියට නීතිමය අවසර නැතත්, අප රට ඉළක්ක කරගනිමින් විදේශයන්හි මෙවැනි වෙබ් අඩවි ලියාපදිංචි කරන්නට ඕනෑ තරම් අවසරය තිබේ. ඒවායේ කිසිවකුගේ අවසර නොමැතිව තරුණියන්ගේ නිරුවත් හා අඩනිරුවත් ඡායාරූප ද ඕනෑ තරම් පළ වේ. ෆේස්බුක් අඩවියේ ද නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන පළකිරීමට තවමත් ඉඩකඩ අහුරා නැත.


මෙවැනි සිදුවීම්වලට ලක්වන්නේ තරුණියන් බැවින් ඔවුන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය. තම ආත්ම ගෞරවයේ වටිනාකම පිළිබඳ අන් අයකු තැකීමක් කරතැයි මේ පවතින සමාජ රටාව අනුව විශ්වාස කළ නොහැක.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න