පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, July 21, 2014

කිවිසුම පසුපස ඇති විශ්වාස - Beliefs behind Sneeze


අද එතරම් ප්‍රචලිතව නැතත් දැනට කලකට ටික කලකට පෙර කිවිසුමක් පිටවූ සැනින් සියලු දෙනා පවසන්නේ කවුරු හරි මතක් කරනවා වගේ කියාය. නමුත් දැන් ජංගම දුරකතන ඇති බැවින් මතක් වූ සැනින් කිවිසුමක් යන්නටත් පෙර කතා කරන්නට පුලුවන් නිසා එවැනි කතා අද ඇසෙනවා අඩුය. නමුත් බිළිඳු වියේ දරුවන් කිවිසුම් පිටකරන විට ආයුබෝවන්කියන පුරුද්ද තවමත් අප අතරින් ඈත්ව ගොස් නැත. කතෝලික ජනතාව මෙවැනි අවස්ථාවලදී ජේසු අම්මාකියා පවසනු ද ඇසිය හැකිය. අප අතර පමණක් නොව ලොව පුරා විවිධ ජාතීන් අතර කිවිසුම සම්බන්ධව මෙවැනි චාරිත්‍ර ඇති බැව් පෙනී යයි.

මෙම අපූරු චාරිත්‍ර පිළිබඳ කතා කිරීමට පෙර කිවිසුමක් යනු කුමක්ද යන්න විද්‍යාත්මකව තේරුම් බේරුම් කරගැනීමේ වරදක් නැත. මන්ද එවිට මෙම චාරිත්‍ර වාරිත්‍ර සමඟ මෙය යම් යම් ආකාරයන්ගෙන් ගළපාගත හැකි බැවිනි.

නාසයට යම්කිසි ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වූ විට එය පෙනහළු කරා ගමන් කිරීමේ වළක්වාගැනීම පිණිස සිරුර විසින් ඇති කරනු ලබන ආරක්ෂණ ක්‍රියාවලියක් ලෙස කිවිසුම ගැන සඳහන් කළ හැකිය. අපගේ නාසයේ ආරම්භක ප්‍රදේශය අතිශය සංවේදී ආකාරයෙන් නිර්මාණය වී ඇති අතර ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වූ සැනින් එම සංවේදී කොටස උත්තේජනය වෙයි. එවිට පෙනහල්ල වෙතින් ප්‍රබල වායු ධාරාවක් අධික වේගයෙන් නාසය කරා යැවෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආගන්තුක ද්‍රව්‍යය නාසයෙන් පිටවෙයි. මෙම වායු ධාරාව පැයට සැතපුම් 80 - 100 අතර වේගයකින්  පිටවන බැව් සොයාගෙන තිබේ. නාසයට පොල් කෙන්දක් වැනි දෙයක් දැමූ විට, එක්වර දීප්තිමත් ආලෝකයක් දකින විට, උෂ්ණත්වය ක්ෂණිකව පහත වැටුණු අවස්ථාවක, සුළඟ හමන විට, බඩ හොඳින් පිරී ඇති විට හෝ වයිරස ආසාදනයකට ලක් වූ විට කිවිසුම් යාම සුලභව දැකිය හැකිය. හිරු දෙස එක එල්ලේ බලන විට ද කිවිසුම් පිටවෙයි. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට ද වැඩිපුර කිවිසුම් පිටවෙයි. එවැන්නක් සිදුවන්නේ නාසය හරහා සිරුර ආසාදනය කරන ආගන්තුක ද්‍රව්‍ය තවදුරටත් ඇතුළු වීම වළක්වාලීම සඳහාය.

පැරණි ග්‍රීක වැසියන් විශ්වාස කළේ කිවිසුම යනු දෙවියන්ගෙන් ලැබෙන පණිවිඩයක් වශයෙනි. උදාහරණයක් ලෙස ක්‍රි.පූ. 401 දී ඇතීනියානු හමුදා සේනාපති ෂෙනොප්හොන් පර්සියානුවන්ට එරෙහිව යුද වදින සිය සෙබලුන් ඉදිරියේ කතාවක් පවත්වමින් සිටියේය. සේනාපති යමක් පවසන සෑම විටකම පාහේ එක් සෙබලකුට කිවිසුම් පිටවිය. සියලු දෙනා සිතුවේ මෙය දෙවියන් ඔවුනට එවූ සුබ ලකුණක් ලෙසිනි. මහත් උද්දාමයට පත් සෙබලු නිර්භීතව සටන්කොට ජයග්‍රහණය කළහ.

මධ්‍යම යුගවලදී යුරෝපයේ පැවති විශ්වාසයක් වූයේ යමකුගේ ජීවිතය රැඳී පවතින්නේ හුස්ම මත බවය. හුස්ම පිටවන විට ඒ සමගම ආයුෂ ද පිටව යන බැව් ඔවුහු විශ්වාස කළහ. කිවිසුමකදී අධික වේලයෙන් හුස්මක් පිටවන බැවින් එය මාරකයක් යැයි ඔවුහු සිතූහ. මේ නිසා කිවිසුමක් පිට වූ සැනින් ඔබට දෙවි පිහිටයියනුවෙන් පවසන්නට ඔවුහු පුරුදු වූහ. කිවිසුමක් පිටවූ සැනින් අප ද ආයුබෝවන්යැයි පවසන්නට හුරුපුරුදුව ඇත්තේ මෙහිදී අපගේ ආයුෂ කෙරෙහි ද යම් බලපෑමක් ඇති වේ යැයි අප පැරණි ජනසමාජයේ ද යම් විශ්වාසයක් පැවති බැවිනි.

පෙරදිග ආසියාවේ ඇතැම් රටවල, විශේෂයෙන් චීනය, ජපානය, වියට්නාමය සහ ශ්‍රී ලංකාවේ ද පවතින විශ්වාසයක් වන්නේ යමකුට කිවිසුමක් පිටවන්නේ ඒ මොහොතේම වෙනත් අයකු විසින් කිවිසුම පිට කළ තැනැත්තා ගැන කතා කරමින් හෝ සිතමින් සිටින බවය. අප ද එක දිගට කිවිසුම් පිට කරන විට, “කවුරු හරි බනිනවා වගේයනුවෙන් පවසන්නට හුරු වී ඇත්තේ මේ නිසාය. මෙම විශ්වාසය ග්‍රීසිය, ස්ලේවික්, සෙල්ටික්, ඉංග්‍රීසි, ප්‍රංශ, ඉන්දීය හා නේපාල් ජාතිකයන් අතර ද ප්‍රචලිතය.
උතුරු ඉන්දියාව සහ ඉරානයේ පවතින එක් විශ්වාසයක් වන්නේ යම් කිසි කාර්යයක් ආරම්භ කිරීමට සැරසෙද්දී කිවිසුමක් පිටකිරීම යනු එම කාර්යයට එල්ලවන බාධාවක් පිළිබඳ පෙන්නුම් කිරීමක් බවය. එවැනි අවස්ථාවක එම කාර්යය මඳකට නවතා ජලය පානය කිරීමෙන් එම බාධාව මගහැරෙන බව ද ඔවුහු විශ්වාස කළහ.

පෝලන්තයේ ඇතැම් ජන කොටස් අතර පැවති විශ්වාසයකට අනුව විවාහක පිරිමියකුට කිවිසුම් යන්නේ ඔහුගේ බිරිඳගේ මව ඔහු පිළිබඳ දෝෂාරෝපණය එල්ලකරමින් සිටින බවය. විවාහක කාන්තාවක් ඒ මොහොතේ ඇයට දෙහි කපමින් සිටින්නේ ඇයගේ සැමියාගේ මවය.

ඉස්ලාම් ආගමේ ද කිවිසුම පිළිබඳ සඳහන් කොට තිබේ. මහමත්තුමාගේ ඉගැන්වීම අතර මෙවැනි දෙයක් පවතී. 

ඔබගෙන් කෙනෙකු කිවිසුමක් පිටකරන විට ඔහුට අල්-හම්දු-ලිලියාහ්’ (දෙවියන්ට ප්‍රශංසා වේවා) යනුවෙන් පැවසිය යුතුය. ඔහුගේ සහෝදරයන් හා මිතුරන්, ‛යර්හාමුක් අල්ලා’ (දෙවියෝ ඔබට අනුකම්පා කරත්වා) යනුවෙන් පැවසිය යුතුය. එවිට කිවිසුම පිට කළ තැනැත්තා, ‛යධීකුම් අල්ලා වා යස්ලිහු බාලකුම්’ (දෙවියන් ඔබට මග පෙන්වා ඔබගේ වැරදි නිවැරදි කරත්වා) යනුවෙන් පැවසිය යුතුය.''

බොහෝ රටවල ජනතාව විශ්වාස කරන්නේ අපගේ ආත්මය පිහිටා ඇත්තේ හිසෙහි බවය. එබැවින් ඔවුනට අනුව කිවිසුමක් පිටවීම යනු ආත්මය විසින් අපට ලබාදෙන්නා වූ සුබ ලකුණකි. නමුත් තවත් පිරිසක් මෙයම අසුබ ලකුණක් ලෙස ද සළකති. ග්‍රීක, රෝම සහ ඊජිප්තු වැසියන් විශ්වාස කරන්නේ කිවිසුමක් මගින් ඉදිරියේදී සිදුවන්නට ඇති අසුබ සිදුවීමක් පෙන්නුම් කරන බවය. ඔවුනට අනුව කිවිසුම පිටවන විට හිස දකුණු පැත්තට හැරුණේ නම් එය සුබ ලකුණක් ලෙස ද, හිස වම් පැත්තට හැරුණේ නම් අය අසුබ ලකුණක් ලෙස ද විශ්වාස කරති.

බෙල්ජියම් වැසියන් විශ්වාස කරන්නේ කතා බහක් අතරතුර කිවිසුමක් පිටවන්නේ නම් එයින් අදහස් වන්නේ පවසන දෙය සත්‍ය බවය. මෙය ග්‍රික, රෝම සහ ඊජිප්තු ජාතිකයන් අතර ද පවතින විශ්වාසයකි.

කිවිසුමක් මගින් සිරුරේ සිරවී සිටින නපුරු ආත්මයක් පිටවන බව ලෝකයේ බොහෝ දෙනෙකු විශ්වාස කරති. කිවිසුමක් පිටවූ සැනින් ඔබට දෙවි පිහිටයියනුවෙන් ලෝකයේ බොහෝ රටවල පවසනු ඇසිය හැකිය.

දහහත්වැනි සියවසේදී එංගලන්තයේදී කිවිසුමක් පිටවූ විට එය ඇසුණු සියලු දෙනා  සිය හිස්වැස්ම, බෝ එක, ගළවා, “ඔබට දෙවි පිහිටයි යනුවෙන් පවසති. දහනව වැනි සියවසේ එංගලන්තයේ කිවිසුම් පිටකිරීම සමබන්ධව කවියක් ද නිර්මාණය වී තිබේ. එයට අනුව සතියේ එක් එක් දිනවල කිවිසුමක් පිටවූ විට කළ යුත්තේ කුමක්දැයි දක්වා තිබේ.

සඳු දින කිවිසුම - අනතුර අතළඟ
කුජ දින කිවිසුම - සිපගනු කිසිවකු
බුද දින කිවිසුම - හසුනක් නියතය
ගුරු දින කිවිසුම - යහපතක්ම වේ
සිකුරාදා නම් - විපතකි අසුබෙකි
ශනි දින කිවිසුම - දුර ගමනක්මය
රිවිදින කිවිසුම - සාතන් (යක්ෂයා) දුරු වේ


මේ සියලු කරුණු පිළිබඳ සිතීමේදී පෙනී යන්නේ සිරුරේ ස්වභාවික ආරක්ෂණ යාන්ත්‍රණයක් වන කිවිසුම සම්බන්ධව ලෝකයේ සෑම ජන කොටසක් තුළම විවිධ විශ්වාසයන් පවතින බවය. ඇතැම් විශ්වාසයන් විද්‍යාවේ දියුණුවත් සමඟ කෙමෙන් තුරන්ව යන අතර ඇතැම් ඒවා තවමත් පවතී. බොහෝ විශ්වාසවල විද්‍යාත්මක පදනමක් නැති මුත්, සිරුර විසින් කිවිසුමක් ඇතිකරන හේතුව සමඟින් යම් යම් ආකාරයන්ගෙන් ඒවා බැඳී පවතින බැව් ද පෙනෙන්නට තිබේ. 

7 comments:

  1. තවත් කතාවක් තියෙනවා..කිවිසුම යන වෙලාවට හදවතේ ක්‍රියාකාරිත්වය අඩුවෙනවා හෝ නවතිනවාලු. ඒකලු සමහර රටවල අය "BLESS YOU" කියන්න්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මම ද අසා තිබෙනවා

      Delete
  2. මචන් මේ පොස්ට් එක දැම්මට පස්සේ උඹට කිමිකුම් යන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. අන්තිමේදී මට හෙමිබිරිස්සාවත් හැදුණා.

      Delete
  3. හහ් හහ් හහ් හ් හහ් හහ් චික්ස් සෙවන් එයිට් නයින් ටෙන් කියල කිඹුහුම් අරිනවා අහල තියෙනවද? අපේ ජයලත් මනෝරත්නයන් ඉංග්‍රීසි ටියුෂන් කරපු කාලෙ ඔහොම තමයි කිවිසුම් යැව්වෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මතකයි. බෝඩිම ටෙලිනාට්‍යය නේද? මට මතක එහෙමයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න