පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, February 26, 2014

ඔබේ සැබෑ ගති ඔබටම දැනගත හැකි ෆෙන්ග්ෂුයි නිමිත්තක් - Know about yourself in Feng Shui system



ඔබේ වයස දැන් කොයි තරම්ද ? සමහරු මෙහෙම ඇහුවාම එකපාරටම උත්තර දෙනවා. තවත් සමහරු කල්පනා කරලා උත්තර දෙනවා. තවත් අය උත්තර දෙන්නේ නැතිව කල්පනා කර කර ඉන්නවා. ඒ හින්දා වයස කියන්න ඕන නැහැ. තම තමන් දන්නවානේ සැබෑම වයස කීයද කියලා. එතකොට මේ ගෙවිලා තියෙන අවුරුදු ගණනත් එක්ක ඔබ ඔබගැන මොනතරම් දේවල් දන්නවද? මම හිතන්නේ හුඟක් දේවල් දන්නවා ඇති. නොදන්නා දේවලුත් ඇති. සමහර දන්නා දේවල් හරිද කියල බලන්නත්, නොදන්නා දේවල් දැනගන්නත් සමහරු නොයෙක් විදියේ දේවල් කරනවා. අත බලලා සාස්තර කියනවානේකියලා කවුරු හරි ගෙවල් පැත්තේ ආවොත් හෙමිහිට අත පෙන්නලා සාස්තරයක් අහනවා. ඒ වෙන කා ගැනවත් ‍නෙවෙයි තමන් ගැනම අහගන්නයි. හොඳට කේන්දර බලන කෙනෙක් ඉන්නවා කිව්වොත් විශේෂ හේතුවක් නැතිවත් සමහරු කේන්දරය පෙන්නනවා. ඒ වෙන මොනවටවත් ‍නෙවෙයි තමන් ගැන තමන්නොදන්නා දේවල් දැනගන්න. මේ තමයි අපේ හැටි. හැබැයි තමන්ට මොනවා වුණත් කමක් නැහැ අනුන් ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. ඒ අය ගැනත් මේ වෙලාවේ මතක් වෙනවා.

තමන් ගැන දැනගන්න සාස්තර අහන්නත්, කේන්දර බලන්නවත් දැන් ඕන නැහැ. ඊට වඩා ‍ලේසි පහසු ක්‍රමයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. හැබැයි මේක අපට අයිති ක්‍රමයක් ‍නෙවෙයි. මේක අයිති චීනෙට. එහෙම වුණා කියලා මේකෙන් චීන්නු ගැන විතරයි දැනගන්න ලැබෙන්නේ කියලා නම් හිතන්න එපා. ෆෙන්ග්ෂුයි ක්‍රමයට තමන් ගැන විස්තර හොයාගන්න පුළුවන් විදියටයි මේක හදලා තියෙන්නේ. මේක හරියටම තමන් ගැන දැනගන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි මේ අහලා තියෙන ප්‍රශ්නවලට නම් හරියටම උත්තර දෙන්න ඕන. සාස්තර කියන කොට, කේන්දර බලනකොට සමහර දේවල ඇත්තද කියලා ඇහුවාම ඒකට උත්තර දෙන්න දෙගෙඩියාවක් දැනුනත් මේ ෆෙන්ග්ෂුයි ක්‍රමය කරන්නේ තමන් තනිවම හින්දා එහෙම දෙයක් හිතෙන්න විදියකුත් නැහැ. ඒ හින්දා මේ අහන ප්‍රශ්නවලට අවංකව උත්තර දීලා ඇත්තටම කවුද මොනවගේ කෙනෙක්ද කියලා හොයා ගන්න. ඊට පස්සේ පුළුවන් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන ජීවිතේ තවත් හොඳට සාර්ථක කරගන්න.
හොඳයි දැන් අපි වැඩේ පටන් ගනිමු.
උත්තර ලියන්න
කොළයක් ගන්න.

1. මේවා අතරින් ඔබේ ප්‍රියතම වර්ණය කුමක්ද?
රතු, කළු, කොළ. නිල්, කහ
2. ඔබේ නමේ මුල් කොටස කුමක්ද?
(මෙය ඉංග්‍රීසි බසින් ලියන්න)
3. ඔබ උපන්නේ මොන මාසයේද?
4. කළු සහ සුදු අතරින් ඔබ වැඩිපුරම කැමති මොන වර්ණයටද?
5. ඔබේ ලිංගිකත්වයට අයත් පුද්ගලයකුගේ නමක් ලියන්න.
(ඒ කියන්නේ ඔබ කාන්තාවක් නම් කාන්තාවකගේ නමක් ලියන්න. පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනාගේ නමක් ලියන්න.)
6. ඔබ කැමතිම අංකය කුමක්ද?
7. ඔබ වැඩිපුරම කැමති කොළඹට ද නැත්නම් මහනුවරටද?
8. ඔබ වැඩිපුරම කැමති වැව්වලටද මහ සාගරයටද?
දැන් අපි උත්තර ගැන හොයලා බලමු.

1. ඔබ තෝරා ගත්තේ.
රතු නම් - ඔබ නිතර හොඳ අවධානයෙන් ඉන්න කෙනෙක්. ඔබේ ජීවිතය ආදරයෙන් පිරිලා.
කළු නම් - ඔබ සාම්ප්‍රදයික දේවල්වලට කැමති කෙනෙක්. ඒ වගේම ආක්‍රමණශීලී බවකුත් ඔබ තුළ තිබෙනවා.
කොළ නම් - ඔබගේ ආත්මය හරිම සන්සුන්. නමුත් ඔබ පසුගාමී චරිතයක්.
නිල් නම් - ඔබ වැඩි දුරදිග නොබලා තීරණ ගන්නා කෙනෙක්. ඉක්මන් ආදර සම්බන්ධතාවලටත් පැටලෙනවා.
කහ නම් - ඔබ ඉතා පී්‍රතිමත් පුද්ගලයෙක්. ඔබට වඩා පහළින් ඉන්න අයට අවවාද උපදෙස් දෙන්න තරම් ඔබ සුදුසුයි.

2. ඔබේ මුල් නම පටන් ගන්නේ.
ඒ-ම් දක්වා අකුරුවලින් නම් - ඔබේ ජීවිතය ආදරයෙන් හා මිතුරු මිතුරියන්ගෙන් පිරිලා.
ඹ්-අ දක්වා අකුරුවලින් නම් - ඔබ ඔබට හැකි උපරිම තත්ත්වයෙන් ජීවිතය ගතකරන කෙනෙන්. ඔබේ ආදර ජීවිතය මුදුන්පත් වෙන්න තව තියෙන්නේ ටික කාලයයි.
ඉ-ඛ අකුරුවලින් නම් - ඔබ අනෙක් අයට උදව් කරන්න කැමතියි. ඔබේ අනාගතය දීප්තිමත්.

3. ඔබ උපන්නේ
ජනවාරි - මාර්තු අතර නම් - මේ වසර ඔබට ඉතා සුබයි. ඔබ කිසිසේත් බලා‍පොරොත්තු නොවුණු කෙනෙක් සමග ආදරයෙන් බැඳෙන්නට ඉඩකඩ තිබෙනවා.
අප්‍රේල් - ජුනි අතර නම් - ඔබට ශක්තිමත් ආදර සම්බන්ධතාවයක් තිබෙනවා. එය ජීවිතාන්තය තෙක් පවතින්නක්.
ජූලි - සැප්තැම්බ්ර් අතර නම්  ඔබට මේ වසර ජයයි. ඔබගේ ජීවිතයේ යහපත් අතට ලොකු ලොකු වෙනස්කම් සිදුවෙන්නට පුළුවන්.
ඔක්තෝබර් - දෙසැම්බර් අතර නම් - ඔබේ ජීවිතය කිරියෙන් පැණියෙන් උතුරා යනවා ඔබට හොඳින්ම ගැළපෙන සහකරුවා හෝ සහකාරිය මේ වසරේදී මුණ ගැසේවි.
4. ඔබ තෝරා ගත්තේ
කළු නම් - ඔබේ ජීවිතය වඩාත් යහපත් අතට හැරෙමින් පවතිනවා. ඔබ ජීවිතයේ සිදුවන වෙනස්කම්වලට මුහුණ දෙන්න හොඳින්ම සූදානම් වෙලයි ඉන්නේ.
සුදු නම් - ඔබ ගැන හැම අතින්ම විශ්වාසය තබපු යාළුවෙක් ඔබට ඉන්නවා. ඔබ ඒ යාළුවා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන තරම්. නමුත් ඔබට තවම ඒ බව වැටහිලා නැහැ.

5. ඔබ මේ ලිව්වේ ඔබේ හොඳම යාළුවාගේ නම වෙන්න පුළුවන්.
6. මෙයින් පෙන්වන්නේ ඔබේ ජීවිතයේ ඔබට හොඳම යාළුවෝ කී දෙනෙක් ඉන්නවාද කියන එකයි.

7. ඔබ තෝරා ගත්තේ
කොළඹ නම් - ඔබ ජීවිතයේ විවිධ වෙනස්කම්වලට කැමති. අලුත් දේ අත්හදා බලන්න කැමති කෙනෙක්.

මහනුවර නම් - ඔබ ජීවිතයේ වෙනස්කම්වලට ඒ තරම් කැමැත්තක් නැති සාම්ප්‍රදායික විදියට ඉන්න කැමති කෙනෙක්.

8 ඔබ තෝරා ගත්තේ
වැවක් නම් - ඔබ ඔබගේ මිතුරන්ට සහ
ආදරවන්තයාට / වන්තියට පක්ෂපාතී කෙනෙක්. ඔබ නිහඬව හැමදේම කරන්න කැමති කෙනෙක්.
සාගරය නම් - ඔබ දුරදිග නොබලා තීරණ ගන්න කෙනෙක්. නමුත්  ඔබ අනෙක් අයව සතුටින් තබන්න කැමතියි.
හරි දැන් තමන් ගැන දැන ගන්නට පෙනී හිටපු විභාගේ ඉවරයි. ප්‍රතිඵලත් ලැබුණා. දැන් දන්නවා නේද තමන් මොන වාගේ කෙනෙක්ද කියලා. හොඳ නැති දේවල් තියෙනවා නම් ඔන්න දැන් ඒවා හදා ගන්න වෙලාව. ඒ වාගේම හොඳ දේවල් තියෙනවා නම් ඒවා වැඩි දියුණු කරගෙන, අනෙක් අයවත් ඒවාට එකතු කරගන්න දැන් ඔබට පුළුවන්. ඔබේ ජීවිතයත්,
අනෙක් අයගේ ජීවිතයත් සාර්ථක වන්නේ එවිටයි.
ඔබට ජය


Tuesday, February 18, 2014

කිසිදා සැබෑ නොවුණු රත්රන් සිහිනය - එල් ඩොරාඩෝ - El Dorado, the City of Gold


මිනිසා රත්රන්වලට බොහෝ ඇලුම් කරයි. ඒවා දිනෙන් දින මෙතරම් මිලෙන් ඉහළ යන්නේ එබැවිනි. මිනිස් ඉතිහාසය පුරා රත්රන් සොයන්නට කළ විවිධ උත්සාහයන් බොහොමයක් අසන්නට ලැබේ. මේ අතුරින් අද්භූතම, අපූර්වතම කතන්දරය අසන්නට ලැබෙන්නේ රත්රන් දේශයහෙවත් එල් ඩොරාඩෝවපිළිබඳවය. එල් ඩොරාඩෝව සොයන්නට මිනිසා සියවස් ගණනාවත් තිස්සේ උත්සාහ දැරුවේය. ඇතැමුන් මෙම උත්සාහයේදී ජීවිතයෙන් පවා වන්දි ගෙව්වේය. නමුත් තවමත් එවැන්නක් සොයාගන්නට කිසිවකුට හෝ හැකි වූයේ නැත. ඉදිරියේදීද හමුවේ යැයි සිතිය නොහැකිය.                                     

1969 වසරයි. කම්කරුවෝ කිහිපදෙනෙක් දකුණු ඇමරිකාවේ බොගොටා ලෙනෙහි කැනීම් කරමින් සිටියහ. එකවරම ඔවුනගේ අතෙහි යමක් ගැටිණි. එය යම්කිසි යාත්‍රාවක අනුරුවක් විය. එය ගොඩට ගෙන වඩාත් පැහැදිලි ලෙස පිරික්සා කරන්නට විය. ඔවුනගේ දෑස් විශ්මයෙන් ඇළලී යනු පෙනුණි.

එල් ඩොරාඩෝ! එල් ඩොරාඩෝ!

ඔවුනගේ මුවින් පිටවිණි. එහි අදහස වූයේ රත්රත් මිනිසා හෝ රත්රන් දේශය වැන්නකි. මෙම අනුරුවින් පෙන්නුම් කළේ රජකු සිය ආරක්ෂකයින් සමඟ යාත්‍රාවක් මත සිටිනා නිර්මාණයකි. මෙය සම්පූර්ණයෙන් පිරිසිදු රනින් නිම කරන ලද්දක් විය. මෙම අනුරුවෙහි ඇති සුවිශේෂී බව වූයේ එය පමණක් නොවේ. 19 වැනි සියවසේදී ස්පාඤ්ඤ සහ බ්‍රිතාන්‍ය කණ්ඩායමක් මෙම රන් දේශය සොයාගිය ගමනේදී හමුවූ රත්රත් අනුරුවත් මෙම අනුරුවත් අතර කිසිදු වෙනසක් නොතිබීමය. මිනිසුට මෙම කතාව එතරම් කාලයක් මතකයේ තිබුණේ නැත. නමුත් 1969 වසරේදී මෙම රත්රන් අනුරුව නැවත සොයාගැනීමත් සමඟ රත්රන් දේශය සොයාගන්නට මිනිසුන් තුළ තැබූ කැමැත්ත යළිත් අවදිවන්නට විය.

සුප්‍රකට රත්රන් පහුර 


දිවි පරදුවට තබමින් රත්රන් සොයා යන්නට මිනිසා පටන්ගත්තේ 1530 දී පමණ වන්නට ඇත ඒ ස්පාඤ්ඤ ජාතික ෆ්‍රුන්සිස්කෝ පිසාරෝ පේරු හි ඉන්කා අධිරාජ්‍යයේ ධන නිධාන සොයමින් පැනමා ඇල ඔස්සේ කළ චාරිකාවය. ඉන්කාවරුනගේ ධන නිධාන පිළිබඳ විශේෂඥයකු මෙන්ම ඉක්වදෝරයේ අගනගරය වන කිටෝ හි නිර්මාතෘවරයා ද වන සෙබස්තියන් ඩි බෙලාල්කසාර් 1535 දී රතු ඉන්දියානුවකු මුණගැසුණේය. සිරුර පුරා රත්රන් කුඩු තවරා කඳුකරයේ වූ පූජනීය විලකින් දිය ස්නානය කළ ගෝත්‍රික නායකයකු පිළිබඳ  පුවතක් ඔහු එහිදී පැවසූයේය. මෙම පුවත ඇසීමෙන්  පසු බෙලාල්කසාර් මේ ගෝත්‍රික නායකයාට එල්ඩොරාඩෝලෙස නමක් තැබුවේය. රත්රන් මිනිසායන්න එහි අරුත විය. වීර වික්‍රමයන් ප්‍රිය කරන්නන් අතර ඉන් පසුව මෙම නම ඉතා ජනප්‍රිය වන්නට පටන්ගත්තේය. ඇතැම් පුද්ගලයන් මෙය රත්රන් මිනිසාලෙස අර්ථ දක්වන්නටත්, ඇතැම් පුද්ගලයන් රත්රන් දේශයවශයෙන් අර්ථ දක්වන්නටත් පටන්ගත්තේය. කෙසේමුත් එල්ඩොරාඩෝ යනු බොහෝ පුද්ගලයන්ගේ සිහින දේශයක් බවට අවසානයේ පත් වූ අතර, සිදුවූයේ මෙම දේශය සොයායන්නට කළ උත්සාහයන් හිදී ඔවුනට සිය වාසනාව, කීර්තිය, ධනය පමණක් නොව ජීවිතය ද අහිමිව යාමය.

ගුවාටාවිටි විල 

එල්ඩොරාඩෝ සොයා ගිය මුල්ම පුද්ගලයා වූයේ ගොන්සාලෝ ජිමෙන්ස් ඩි ක්වෙසාඩා ය. ඔහු සිය චාරිකාව වර්ෂ 1536 දී ආරම්භ කළ අතර ඊට කොලොම්බියාවේ උතුරු වෙරළේ පිහිටි සැන්ටා මාර්තා වෙන් 900 ක පමණ පිරිසක් ද එකතු විය.

ක්වෙසාඩාගේ චාරිකාව ව්‍යසනයන්ගෙන් පිරීගිය එකක් විය. ඔහුට සහ ඔහුගේ පිරිසට විවිධ සතුනගේ ගැහැටවලට මුහුණ දෙන්නට සිදුවූ අතර විවිධ ලෙඩරෝග සමඟ සටන් කරන්නට සිදුවිය. චිබෙහාස් ප්‍රදේශයට ළගාවන්නට පෙර ගෝත්‍රික ප්‍රහාරවලටද ලක්වූහ. චිබෙහාස්වලදී ඔවුනට රත්රන් මිනිසා පිළිබඳ තවත් තොරතුරු අසන්නට ලැබිණි. එම කතාන්දරවලට අනුව රතු ඉන්දියානු මගපෙන්වන්නකු ද සමග ක්වෙසාඩා, ගුටාවිටාවිල කර ළඟාවූයේය. ඉතා ගැඹුරු වූ එම විල සෑදී තිබුණේ අක්‍රිය යමහලක ආවාටයේය. එය මුහුදු මට්මේ සිට අඩි 9000ක පමණ උසකින් පිහිටා තිබිණි. පැල්පත් කිහිපයක් එහි තිබූ මුත්, ක්වෙසාඩා හෝ ඔහුගේ පිරිසෙන් ඒ වන විට ඉතිරිව සිටි 200 දෙනාට හෝ රත්රන් මිනිසෙක්වත් රත්රන් දේශයක්වත් දැකගන්නට ලැබුණේ නැත.
ක්වෙසාඩා ආපසු පැමිණයේය. නමුත් ඔහු පැමිණියේ ටික කලකින් නැවත යාමේ බලාපොරොත්තුවෙනි. එය 1568 වර්ෂය විය. ඒ වනවිට ක්වෙසාඩා මහලුවියෙහි පසුවිය. ගුටාවිටා විල අවට හෝ පතුලේ හෝ නිධානයක් ඇතැයි යන විශ්වාසයෙන් ඔහු එහි වසර තුනක පමණ කාලයක් ගත කළේය. එහෙත් කිසිවක් සොයා ගන්නට හැකි වූයේ නැත.  ඔහු උත්සාහය අතහැර දැමුවේය.

ගුවාටාවිටා පත්ලේ තිබී හමුවූ වස්තූන් 

දශක 40 ක පමණ කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් උත්සහ කළ ද කිසිවකුට හෝ රත්රන් මිනිසා හෝ රත්රන් දේශය හෝ සොයාගන්නට නොහැකි විය. අනෙක් අතට මේ ගවේෂණයන් සඳහා අධික ධනස්කන්ධයක් ද වැය වී තිබිණි. ඒ කෙසේ වෙතත් මෙහි රත්රන් නිධානයක් ඇතැයි යන විශ්වාසය නිසා එය සොයාගැන්මේ තණ්හාව මිනිසුන්ගෙන් දුරස්කරන්නට මේ කිසිවකට හෝ නොහැකි විය. නමුත් 16 වැනි සියවසෙහි අගභාගය වනවිට මිනිසුන්ගේ අවධානය කොලොම්බියාවේ සිට ගයනාව දක්වා මාරු විය. එනම් එල් ඩොරාඩෝ පිහිටියේ ගයනාවේ යනුවෙන් කටකතාවක් පැතිර ගියේය.
වර්ෂ 1584 දී ඇමේසන් සහ ඔරිනාකෝ ගංගා අතර තිබූ භූමියේ  ආණ්ඩුකාරවරයා වූ ඇන්ටෝනියෝ ඩි බෙරියෝ මධ්‍යම කොලොම්බියාවේ ටුන්ජා නගරයේ සිට ගයනාවේ මධ්‍යම ප්‍රදේශය දක්වා ගවේෂණයක් දියත් කළේය. කඳුවලින් වට වී ඇති විලක රත්රන් මිනිසා ඇතැයි ඔහු විශ්වාස කළේය. නමුත් ඔහුගේ චාරිකාව ද සාර්ථක වූයේ නැත. ඔහු වර්ෂ 1585 සිට 1588 දක්වා තවත් ගවේෂණ චාරිකාවක් ගිය අතර එහි ද ප්‍රතිඵලයක් නොවීය.

පරීමා විල ඇති ස්ථානය සටහන් වූ සිතියමක් 

වර්ෂ 1591 දී බෙරියෝ සිය තෙවැනි ගවේෂණ චාරිකාව දියත් කළ අතර මෙවර ඔහුගේ ගමන් මග වැටී තිබුණේ ඔරිනාකෝ ගංගාවේ පහළ දෙසටය. ඔහු ට්‍රිනිඩෑඩ් දූපත් කරා යාත්‍රා කොට එල් ඩොරාඩෝව පිළිබඳ අනාගතයේ කෙරෙන ගවේෂණයන් සඳහා ප්‍රයෝජන ගැනීම සඳහා එහි කඳවුරක් පිහිටුවූයේය. ඔහුට එහිදී වෝල්ටර් රැලේ හමුවිය. වෝල්ටර් පළමු එලිසබෙත් රැජින වෙනුවෙන් නව ධන නිධාන සොයමිනි. බෙරියෝ තමා දන්නා සියලු දේ වෝල්ටර් සමඟ පැවසූ අතර රැලේ මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් The Discovery of the Empire of Guyana නමින් පුවත් පතක ලිපියක්  පළ කළේය. ඔහු එම ලිපියෙන් රත්රන් දේශය පිළිබඳ තොරතුරු සම්භාරයක් ඉදිරිපත් කළේය. එහි පරීමානම් විලක් පිළිබඳව ද සඳහන් විය. නමුත් එහි අඩංගු තොරතුරු සියල්ලක්ම සත්‍ය වූයේ නැත.

එලිසබෙත් රැජින වර්ෂ 1603 දී මිය ගියාය. රාජද්‍රෝහීත්වය හා විශ්වාස කඩකිරීම නිසා වෝල්ටර් රැලේ ට මරණ දඬුවම නියම කෙරණි. කෙසේ මුත් දඬුවම ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රැලේ දෙවැනි ගවේෂණ චාරිකාව ද ආරම්භ කළේය. නමුත් එයද අසාර්ථක වූ අතර නැවත සිය රටට පැමිණි වහාම, වර්ෂ 1618 දී ඔහුගේ හිස ගසා දැමිණි.

වෝල්ටර් රැලේ 

ඔහු මරණ දඬුවම ලැබුණ ද රත්රන් දේශය සොයායෑමට අනෙක් මිනිසුන්ට ඇති කැමැත්ත නතර කරදමන්නට එය හේතුවක් වූයේ නැත. 18 වැනි සියවස අවසන්  වන තුරුම පරීමා විල සොයන්නට බොහෝ දෙනෙක් නිරන්තර උත්සාහයක යෙදිණි. රැලේ සිය ලිපියේ සඳහන් කොට තිබූ පරිදි රත්රන් දේශයේ රාජකීය මනෝවානගරය පිහිටියේ මෙම විලෙහි ඉවුරෙහිය. නමුත් කිසිවකුට හෝ එවැනි විලක් සොයා ගන්නා නොහැකි විය.

එල් ඩොරාඩෝ සොයමින් ගිය අවසන් පෘතුගීසි ජාතිකයා වූයේ ඩියෙස් ඩි ලා ෆුවෙන්ටේ ය. ඔහු සිය චාරිකාව ආරම්භ කළේ ගිනිකොණදිග වෙනිසියුලාවේ කැරෝනි ගංගා ප්‍රදේශයෙනි. ඔහු සිය චාරිකාව කොටස් තුනකට වෙන් කළේය. චාරිකාව මෙහෙය වූයේ ගොන්සාලෝ සුවාරෙස් රොන්ඩොන් විසිනි. ඔවුන් සිතුවේ තමා පරීමා විල අසළට පැමිණි බවය. නමුත් රතු ඉන්දියානුවන්ගේ ක්ෂණික පහරදීමක් නිසා ස්පාඤ්ඤ ජාතිකයන්ට ආපසු හැරෙන්නට සිදුවිය. අවසානයේ ඔවුනට මෙම ගවේෂණය අතහැර දමා ගයනාවෙන් පිටවන්නට සිදුවිය.

මෙවැනි විවිධ සිදුවීමවලින් පසුව බොහෝ දෙනෙක් එල් ඩොරාඩෝ යනුවෙන් භූමි ප්‍රදේශයක් තිබුණේදැයි සිතන්නට පටන්ගත්තේය. නමුත් මිනිසුන්ගේ තණ්හාව හා මිථ්‍යා විශ්වාසයන් පහසුවෙන් මරාදමන්නට හැකියාවක නැත. 19 වැනි සියවසෙහි ආරම්භයත් සමඟ එල් ඩොරාඩෝ සොයා යන්නට නව ගවේෂක කණ්ඩායම් බිහිවන්නට පටන්ගත්තේය. මේ අතුරින් හම්බෝල්ඩ්ට් යනු එක් අයෙකි. බොන්ප්ලාන්ඩ් තවත් පුද්ගලයෙකි. ඔවුහු ඉතා පුළුල් ලෙස එල් ඩොරාඩෝ සොයන්නට පටන්ගත් අතර එල් ඩොරාඩෝ සොයායාම නිරර්ථක ව්‍යයාමයක් බැව් දෙදෙනාම අවසානයේදී් නිගමනය කළහ. පරීමා යනුවෙන් විලක් නොමැති බැව් ද ඔවුහු පැවසූහ. කෙසේමුත් හම්බෝල්ඩ්ට් සිය වාර්තාවේ එක තැනෙක යමහලක ආවාටයක් තුළ තැනුණු විලක් පිළිබඳව සඳහන් කොට තිබිණි. මේ නිසා ගුවාටාවිටා විල පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන්නට පටන් ගත්තේය. හම්බෝල්ඩ්ට් හට මෙහි ඇතැයි පැවසුණු නිධානයක් පිළිබඳව විශ්වාසයක් නොතිබුණ ද අනෙක් අයට එසේ නොවීය. මේ නිසා වර්ෂ 1920 දී කන්ට්‍රුක්ටර්ස් ලිමිටඩ්නම් බ්‍රිතාන්‍ය සමාගම ඇමරිකන් ඩොලර් 150,000ක් වටිනා උපකරණ  ද රැගෙන කොලොම්බියාව කරා පැමිණියේය. ඔවුනගේ අරමුණ වූයේ ගුවාටාවිටා විලෙහි ජලය සිඳ නිධානය සොයාගැනීමය. ඔවුනට විලෙහි ජලය හිස්කරන්නට හැකි විය. නමුත් ඔවුනට සොයාගන්නට හැකි වූයේ කිසිදු වටිනාකමක් ඇති දෙයක් නොවේ. පතුළ මඩවලින් වැසී තිබුණු අතර රත්රන් ස්වල්පයක් තිබිණි. ඔවුනට වැය වූ ධනස්කත්ධයෙන් අල්පයක් හෝ පියවන්නට එය ප්‍රමාණවත් වූයේ නැත.

මේ ආකාරයට එල් ඩොරාඩෝ සෙවීමේ උත්සාහයන් කෙළවරකට පැමිණියේය. රත්රන් දේශය සොයාගන්නට කිසිවකුට හෝ හැකි වූයේ නැත. කෙසේමුත් රත්රන් දේශය වෙනුවට මෙම ගවේෂණයන් සිදුකළ කණ්ඩායම්වලට එතෙක් සොයාගන්නට නොහැකි වුණු ගෝත්‍ර, ප්ලැටිනම්, රිදී, බෝක්සයිට් සහ මැංගනීස් වැනි ලෝහ සොයාගන්නට හැකි විය. මේ සියල්ලටම වඩා වටිනා දෙය වූයේ වෙනිසුයිලාවේ මැරකයිබෝ විල පිහිටි සානුවේ වූ තෙල් සංචිතයයි. කෙසේ මුත් රත්රන් පහුරේ සිටිනා රත්රන් මිනිසා තවමත් අසන්නේ පුලුවන්නම් මගේ රහස හෙළිකරගන්නයන්නයි.


Wednesday, February 12, 2014

කතුන් දූෂණය නොකොට ඔවුනගේ හදවත්පැහැර ගන්නා ස්ත්‍රීලෝලියෝ - How to Identify a Womenizer



මෙවැනි ලිපියක් සැබවින්ම ලිවිය යුත්තේ කාන්තාවක විසිනැයි හැඟුණද ඔවුන් මේ පිළිබඳ කතා කරනවා මිස ලියනු  මම එතරම් දැක නැත්තෙමි. අනෙක් අතට මෙවැනි ලිපියක් ලිවීමෙන් මිතුරන් සේම මිතුරන් නොවන අපේම පාර්ශ්වයෙන් දෝෂාරෝපණයක් එල්ලවන්නට ද පුළුවන. මෙය දැකීමෙන් කිසිවකුගේ සිත් රිදවීමකට බඳුන් වූයේ නම් ඒ පිළිබඳව මට සමාව දුන මැනවි. නමුත් නොලියාම බැරි බැවින් ලියමි. ලිපියේ මාතෘකාව දැනටම ඔබ දැක ඇති බැවින් මේ කතාකරන්නට දඟලන්නේකුමක් ගැනදැයි නොඑසේ නම් කවුරුන් ගැනදැයි ඔබ දැනටමත් දන්නවා ඇත. කෙළින්ම කතාවට එන්නේ නම් මම මෙසේ අසමි. සැබවින්ම ස්ත්‍රීලෝලියකුයනු කවරෙක්ද ?

Womanizer යනු කාන්තා ලෝලීයා යන්න සඳහා ඇති ඉංගිරිසි පදයයි. මෙහි අර්ථය කෙළින්ම ගෙන බැලුවහොත් සල්ලාලයා’,  ‘ස්ත්‍රීලෝලියාහා ගැහැනුසොඩාවැනි වදන් හමුවේ. ඇතැම් අය මෙවැනි පුද්ගලයන් හට ගෑනු පෙරේතයාවැනි නමක් ද යොදන බැව් පෙනේ. මේ අතරින් බරපතළ බවින් අඩුම වදන ස්ත්‍රීලෝලියාබැවින් එය මේ ලිපිය සඳහා යොදාගනු ලබනු ලැබේ.

අප දන්නා කියන කාලයේ පටන්, පාසල් සමයේ සිටම මියෙන තුරාම මෙම වර්ගයට අයත් පුද්ගලයන් නිතර හමුවේ. සමාජයේ මේ සඳහා වෙනත් පදයක් ඇතිදැයි නොදන්නා මුත් දන්නා තරමින් මොවුන් හඳුන්වන එක් ප්‍රකට නමක් වන්නේ කොබාය. නමුත් ඇතැම් විට එය ද මේ සඳහා කොතරම් ගැළපෙන්නේ දැයි කිය නොහැකිය. ස්ත්‍රීලෝලියා යනු කාන්තාවන් සොයා ගොස් ඔවුනට අතවර කරන්නවුන් යැයි ඔබ සිතනු ඇත. එහෙත් ඔබ වැරදිය. ඇතැම්විට  මොවුන්ගේ ක්‍රියාකලාපයන් කරදරයක් විය හැකි මුත් ස්ත්‍රී දූෂකයන්ගේ ගණයටම මොවුන් වැටෙන්නේ නැත. මොවුන් නිතර කාන්තා ඇසුරට කැමති අතර කාන්තාවන් අතරම ගැවසේ. අවස්ථාවක් ලද සැනින් උපක්‍රමශීලීව කාන්තාවක ඩැහැ ගන්නා මොවුහු එතැනින් නොනැවතී තවත් කාන්තාවක සොයා යයි. ඒ ගස් සොයමින් කොටමින් යන කොට්ටෝරුවකු මෙනි. කෙසෙල් ගසට කොටන අවස්ථාවක් උදාවුවහොත් හොට පැටලෙනු නිසැකය. නමුත් එක්වරම මෙවැන්නන් හඳුනාගන්නට අපහසුය. මෙහි සඳහන්කොට ඇති  කරුණු පිළිබඳ කාන්තා ඔබ යම් අවධානයක් යොමු කරන්නේ නම් ඔබේ ඔබ අතරේ  සිටින ස්ත්‍රීලෝලීන්ව හඳුනාගැනීමට පහසු වනු ඇත.

ඉංගිරිසි බසින් මේ සඳහා ඇති වදන වන womanizer යන්න ලොව පුරා ජනප්‍රිය කරවන ලද්දේ බ්‍රිට්නි ස්පියර්ස් බව සැලකේ. ඒ ඇයගේ Womanizer නම් සංගීත ඇල්බමයෙනි. ඇය මෙම වදනින් ස්ත්‍රීලෝලියා යන්නට දී ඇත්තේ බරපතළ තේරුමකි.  ඒ අනුව ස්ථිර සබඳතාවයකින් තොරව කාන්තාවන් සමග ලිංගික ඇසුරු පවත්වන්නට ලොල් තැනැත්තා මේ නමින් හැඳින්වේ. ඔහු මේ සඳහා දහසක් බොරු පවසයි.

කාන්තාව ඇසිපිය ගසනවාටත් වඩා වේගයෙන් ඔහු ඇයගේ හදවත සොරකම් කරයි. මෙවැන්නෙකුට ස්ථිර සම්බන්ධයක් පවත්වාගෙන යා නොහැකිය. මොවුනට අවශ්‍ය වන්නේ කාන්තාවගේ හදවත නොව මාංශයයි; ඒ බව සඟවන ඔහු කාන්තාවන් මුලාකර ගැනීමට ව්‍යාජ ආදරයක් පෙන්වයි. 

ස්ත්‍රීලෝලියා සියලු අතින්ම හැසිරෙන්නේ නියම මහත්මයකුපරිදිය. නමුත් හිත යට ඇත්තේ වැරදි, දුෂ්ට චේතනාවකි. නමුත් කාන්තාවන්ට එය වැටහෙන්නේ බොහෝ විට සියල්ල සිදුවූ පසුය.

මීට අමතරව පහත සඳහන් කොට ඇති ලක්ෂණ ද ඔබට ස්ත්‍රී ලෝලියකු පහසුවෙන් හඳුනාගන්නට සහය වනු ඇත.

1. ඔබ ඇසුරු කරන පිරිමියකු ඔබට විවිධ අවස්ථාවලදී විවිධ නම්වලින් අමතන්නට පුරුදුව ඇත්නම් ඔහු මේ ගණයට අයත් වූවකු විය හැක. වෙනත් ලෙසකින් පැවසුවහොත් ඔහුට ඔබේ නම එක් වරකට වඩා වරදී. එයින් පැවසෙන්නේ ඔහුට විවිධ නම්වලින් තවත් මිතුරියන් ගණනාවක්ම සිටිනා බවය.

2. කාන්තාලෝලීන් කතාවට අතිදක්ෂයෝ වෙති. ඔහු කිසිවිටෙකත් මමයන්න නොකියයි. මම නොවෙයි අපිවැනි වදන් ඔහු නිතර පවසයි. කාන්තාව දෙගිඩියාවකින් මෙවැන්නකු සමග මිතුරු වුවද මෙවැනි කතාබහ නිසා එම තත්ත්වය මගහැරී ඔහුගේ පැත්තට පහසුවෙන් නැඹුරුවේ. අපියන වචන පැවසීම තුළින් අනාගතයේ ඔහු කාන්තාව සමග එක්ව ජීවත්වන්නට සැලසුම් කරනවා වැනි හැඟීම් පෙන්නුම් කරයි. බොහෝ කාන්තාවක් මුලාවන්නේ මෙවැනි අවස්ථාවකදීය.

3. මෙවැනි පුද්ගලයන් ඔබ අසල සිටිද්දී ඔබ සමග කතාබහේ යෙදෙමින් සිටිද්දී සිය ජංගම දුරකථනය හරහා දිගින් දිගට කෙටි පණිවුඩ යැවීමේ පුරුද්දක් ඇත්නම්, මේ පණිවුඩ යවනු ලබන්නේ කාන්තාවන්ට නම් ඔහු  නිසැකවම ස්ත්‍රී ලෝලියෙකි.

4. ඔහු කාන්තාවන්ට සැබෑ නමින් නොව වෙනත්  සුරතල් නම්වලින් ආමන්ත්‍රණය කරයි.  බබා, චූටි, මැණිකේ, රත්තරං, ඩාලිං, සුදා අප සමාජයේ භාවිතා වන එබඳු සුරතල් නම් කිහිපයකි.

ඔබත් එවැන්නකුගේ මිතුරියක නම් පරෙස්සම් විය යුතුය. ඔහු මෙසේ සුරතල් නම් භාවිත කරන්නේ විවිධ නම් අතරින් ඔබේ සැබෑ නම අමතක වීම හෝ හරිහැටි මතකයේ නොමැති නිසා ද විය හැක. 

5. මෙවැනි පුද්ගලයන් විසින් කාන්තාවන් අතිශය වර්ණනාවක ලක් කෙරේ. මම දැකපු ලස්සනම ඇස් තියෙන්නේ ඔයාට”, මම මේ වගේ විවෘතව වෙන කිසිම කෙල්ලෙක් එක්ක කතා කරලා නෑඔයාට තියෙන්නේ පුදුම ආත්ම ශක්තියක්. මෙවැනි වදන් ස්ත්‍රීලෝලියකු වෙතින් නිතර ඇසිය හැකිය. නමුත් මේ සත්‍ය නොවේ.

6. ස්ත්‍රී ලෝලියකු ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් වුවද හඳුනාගත හැකිය. ඔහුගේ මිතුරු සමාජයේ වැඩි වශයෙන්ම සිටින්නේ කාන්තාවන්ය. ඔහු වැඩි වශයෙන් අදහස් දක්වන්නේ ද කාන්තාවන්ට සම්බන්ධ දේවලටය.

ඔබත් මෙවැනි ගතිගුණ ඇති පුද්ගලයකුගේ මිතුරියක් නම් කෙටියෙන්ම පැවසිය යුත්තේ පරෙස්සම් වීම නුවණට හුරුය කියාය. ඔබ සිතනවාටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක වන මෙවැන්නන් පිළිබඳ බොහෝ විට අවබෝධ වන්නේ සියල්ල අවසන් වූ පසුය. එබැවින් ඔවුන් පිළිබඳ අවබෝධයෙන් සිටීම ඔබේම ආරක්ෂාවට  හේතු වේ.