පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, October 5, 2015

‘වෙට් වයිප්ස්‘/වෙට් ටිෂූ ගැන ඔබ දන්නවාද? - Important Facts about Wet Wipes/Wet Tissue


කොහේ හරි විශේෂ, වැදගත් තැනකට යන කොට වැදගත් විදිහට ඉන්න ඕන. ඒ නිසා එවැනි තැනකට යන්න කලින් මුහුණ ටිකක් හෝදලා නැවුම් බවක් ඇති කරගන්න අපි පුරුදු වෙලා ඉන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ එහෙම මුහුණ සෝදගන්න තැනක් නැති වුණාමයි. එහෙම වුණාම ඉතිං හති මුණින් දාඩිය පෙරාගෙන තමයි වැද්ගත් වැඩේට යන්න වෙන්නේ. දාඩිය පිරුණු මුහුණ ලේන්සුවකින් පිසදා ගත්තත් එයින් මුහුණට නැවුම් ස්වභාවයක් ඇතිවන්නේ නැහැ. මේ කරදරයට විසඳුමක් විදිහට තමයි වෙට් ටිෂූ’ ( Wet Tissue) එහෙමත් නැත්නම් වෙට් වයිප්ස්’ (Wet wipes)වෙළෙඳ පළට ඇවිත් තිබෙන්නේ. මේවා වෙළෙඳ පළට ඇවිත් සෑහෙන කාලයක් වුණත් ඇතැම් අය තවමත් මේ ගැන දන්නේ නැහැ. ඒවා ගැන වැදගත් කරුණු ටිකක් කතා කරන්න හිතුවෙ ඒ නිසයි.

සාමාන්‍යයෙන් මංගල උත්සවයකට සහභාගී වෙන්න ගිහින් ආහාර ගැනීමෙන් පසු අත් හා මුඛය අවට පිරිසිදු කිරීම සඳහා කඩදාසිවලින් සාදන ලද ටිෂූ ඔබට නුපුරුදු දෙයක් වෙන්න බැහැ. අපි ඒවාට පේපර් ටිෂූඑහෙමත් නැත්නම් පෙපර් සර්වියට්’ (Paper Serviette) කියල කියනවා. නමුත් ජලය නැති වෙලාවක මෙයින් ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ. මේ ගැටලුවට විදුසුමක් විදිහට තමයි මේ පේපර් සර්වියට් නිෂ්පාදනය කරන සමාගම් තෙතමනය සහිත ටිෂූ වර්ගයව නිෂ්පාදනය කළේ. මේවා තෙතමනයෙන් යුක්ත නිසයි වෙට් ටිෂූහෝ වෙට් වයිප්නමින්  හඳුන්වනු ලබනවා. මෙම ටිෂූ ජලයේ හෝ අයිසොප්‍රොපිල්නම් මද්‍යසාරයේ පොඟවනු ලබනවා. මේ ඇසුරුම් මුද්‍රා තබා ඇති නිසා’, ඇසුරුම විවෘත කරන කරන තුරු මෙහි තෙතමනය ආරක්ෂා වී තිබෙනවා. මෙම මද්‍යසාරය  ඇති නිසා එයින් මුහුණ පිසදැමීමේදී මුහුණේ රුඳී ඇති විවිධ අපද්‍රව්‍ය ඉවත්වී මනා පිරිසිදුකමක් ලබාදෙන බවයි පැවසෙන්නේ. ඒ වගේම විවිධ සුවඳ මුසු කළ වෙට් ටිෂූ වර්ග ද වෙළෙඳපළෙන් ලබාගන්නට හැකියි.

විවිධ කාර්යයන් සඳහා සකස් කරන ලද වෙට් ටිෂූ ගණනාවක්ම තිබෙනවා. දරුවන්ගේ සංවේදී, මොළකැටි සම පිරිසිදු කිරීම සඳහා ඇති ටිෂූ ද පොඟවා ඇත්තේ මද්‍යසාර වර්ගයකින්. ඒ වගේම ඒවා අළෙවියට ඇත්තේ ප්ලාස්ටික් බඳුන්වලයි. ගමන් බිමන් යන අවස්ථාවක බිළිඳා පිරිසිදු කිරිමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් මෙවැනි ටිෂූවලින් ලැබෙන්නේ මහඟු පිටිවහළක්. මෙම බොහෝ ටිෂූ වර්ග එක් වරක් භාවිත කිරීමෙන් පසු ඉවත දැමිය යුතු වුවත්, සෝදා කිහිප වරක් භාවිත කළ හැකි ටිෂූ වර්ග ද දැන් ලබාගන්නට පුළුවන්. ඒවා සෝදා පිරිසිදු ජලයෙන් පොඟවා ඒ වෙනුවෙන් ඇති ඇසුරුම් බඳුනේ තබාගැනීමෙන් අතරමගදකදී පහසුවෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්.

ඒ වගේම කර්මාන්ත ශාලාවල භාවිතයට, කුඩා තුවාළ, සීරීම්, පිළිස්සුම්, කෘමි දෂ්ටනයන් සිදුවූ අවස්ථාවක පිස දැමීම සඳහා විෂ නාශක සහිතව පැමිණෙන ටිෂූ, සුරතල් සතුන් පිරිසිදුකිරීම සඳහා ටිෂූ වර්ග සකසා තිබෙනවා. බොහෝ රටවල වර්තමානයේ ටොයිලට් පේපර්වෙනුවට මෙම වෙට් ටිෂ භාවිතය ආරම්භ කොට තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා.

මුහුණ පිසදා ගැනීම සඳහා සකස් කළ මෙම වෙට් ටිෂූ වර්ග අපේ රටේ සුපිරි වෙලෙඳ සල්වල ඕනෑ තරම් අළෙවියට තබා තිබෙනවා. කෙසේ නමුත් වෛද්‍යවරුන් මෙම ටිෂූ භාවිත කිරීමේ අප නොදකින් පැත්තක් ගැන ද කරුණු සඳහන් කරනවා. මේවා භාවිත කිරීමේදී එම කරුණු ද සිහි තබාගැනීම වැදගත්.

මෙම ටිෂූ වර්ගවල විෂ බීජ නැසීමේ ගුණය ද තිබිය යුතු නිසා මද්‍යසාර වර්ගවල පොඟවන බව අපි කතා කළා. මේ ඇතැම් මද්‍යසාර ඇතැම් අයගේ සමට ආසාත්මිකතාවයන් ඇති කළ හැකි බව වාර්තා වී තිබෙනවා. අද වෙළෙඳ පළේ දක්නට ලැබෙන මෙම වෙට් ටිෂූ වර්ගවලට මද්‍යසාරවලට අමතරව යම් යම් රසායනික ද්‍රව්‍යයන් ද ඇතුළත් කරන බව පෙනෙන්නට තිබෙනවා. එයට හේතුව බොහෝ ඒවායේ යම් කිසි සුවඳක් ඇතුළත් කොට තිබීමයි.

නිෂ්පාදනයෙන් පසු මාස 18ක පමණ කාලයක් දක්වා පැවතිය හැකි ආකාරයෙනුයි මේවා සකස් කරන්නේ. එම කාලය ඇතුළත මෙය නොවෙනස්ව තබාගැනීම සඳහා මද්‍යසාර, ප්‍රති බැක්ටීරියා ද්‍රව්‍ය සහ කල්පවත්වා ගැනීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය මේවායේ ඇතූලත් වෙනවා. ඒ වගේම මේවා අසුරා ඇත්තේ කුඩා පැකටටු වශයෙන්. මේවා එම පැකැට්ටු තුල අසුරා ඇත්තේ මෙවැනි ටිෂූ කිහිපයක් එකක් මත එකක් සිටින සේ, එකිනෙක ගෑවෙන ආකාරයෙන්. මෙසේ එකිනෙක ස්පර්ශ වීමේදී ඒවා මත බැක්ටීරියා වර්ධණය විය හැකි බව පැවසෙනවා.

බොහෝ දෙනෙක් මේවා භාවිතයට ගන්නේ මුහුණ දැමීමටයි. මෙසේ පිස දැමීමේදී ඇස් ප්‍රදේශය විශේෂයෙන් පිස දැමෙනවා. ඇස් අවට ප්‍රදේශයේ සම ඉතා සියුම්. මෙම වෙට් ටිෂූවල ඇති මද්‍යසාර නිසා මෙම ප්‍රදේශයේ කැසීම් ඇතිවිය හැකිවා සේම එම සියුම් සම නිතර මද්‍යසාරවලින් පිසදැමීමෙන් ඒවා රළු වී වයස්ගත වන්නටත් පෙර වයස්ගත් පෙනුමක් ඇතිවීමටත් ඉඩ තිබෙනවා.

දරුවන් වෙනුවෙන් වෙට් ටිෂූ මිලදී ගැනීමේදී ජලයෙන් පමණක් පොඟවන ලද ඒවා තෝරා ගන්නවා නම් වඩා සුදුසුයි. එයට හේතුව කුඩා දරුවන්ගේ සම ඉතා මොළකැටි වීමයි. මද්‍යසාරවලින් එවැනි සමක ස්වභාවය වෙනස් විය හැකියි.


වෙට් ටිෂූ භාවිතය අත්හළ යුතු බව මෙයින් කියැවෙන්නේ නැහැ. නමුත් හදිසි අවස්ථාවකදී පමණක් මේවා භාවිත කිරීමටත්, ඒ සමගම මුහුණේ සම රැකදෙන වෙනත් ප්‍රතිකර්ම සිදුකිරීම පුරුද්දක් කරගැනීමත් ඉතා සුදුසු බව පැවසිය යුතුයි. එවිට ඔබට වෙට් ටිෂූ බියක් නැතිව භාවිත කරමින් සමේ මුහුණේ සම ආරක්ෂා කරගැනීමත් සිදු කළ හැකියි.

18 comments:

  1. මට මතකයි පහුගිය දවස් වල ඔය වෙට් ටිෂූ සම්බන්ධයෙන් ලොකු මාකටිං පාරක් ගියා. ඒ දවස් වල සෑහෙන්න මාකට් වුණත් මතකයි. දැං නං ඒ මාකට් කල බ්‍රෑන්ඩ් එක නෑ.
    වැදගත් පෝස්ට් එකක්.
    පුදුමයි අපේ අය්යල වෙට් ටිෂූ මිරිකල නොබී ඉන්නව
    ඇයි අප්ප ඇල්කොහොල් ගෑවුණ දෙයක් ඉතුරු කරන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. අපි ඉස්කොලේ යන කාලේ හතේ පංතියේ ඉන්න කොට විද්‍යා පරීක්ෂණයකට ගෙනාපු මද්‍යසාර ටිකක් ලෙව කාලා ‘අම්මෝ හරි තිත්තයි‘ කියපු යාළුවෙක් හිටි බව මතක් වුණා ඔබ කියපු දෙය දැක්කට පස්සේ.

      Delete
  2. හොඳ දැනුවත් කිරීමක් නෙරන්ජන්.ස්තූතියි..!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  3. අදමයි ඇහුවෙ. ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. මොනව වුණත් දැන් දන්නවානේ

      Delete
  4. වැදගත්-තීම් එක ඇහැට අමාරුයි ගොඩක්..ලා පාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදු අකුරු! වෙනස් කලොත් හොද වෙයි.
    ප.ලි-වෙබ් වීව් එක නෙමෙයි,මොබයිල් වීව් එක

    ReplyDelete
    Replies
    1. අදහස්ට ස්තුතියි. මම වෙනස් කරන්නම්

      Delete
  5. වටින කරුනු ටිකක්. මාත් බෑග් එකේ වෙට් ටිෂූ පැකට් එකක් තියාගෙන ඉන්නෙ නිතරම. ඒත් අවශ්‍යම උනොත් විතරයි පාවිච්චි කරන්නෙ. අර හමත් එක්ක ඉෆෙක්ට් වෙන එක නම් ඇත්ත. සමහර වර්ග පාවිච්චි කලාම ඔළුවෙ කැක්කුම පවා හැදෙනවා. වර්ග කිහිපයක්ම පාවිච්චි කරලා තමන්ට ගැලපෙනම එකක් හදිස්සි වෙලාවට විතරක් පාවිච්චි කලානම් හරි. වෙට් ටිෂු වලින් වෙන දේ නම් ගොඩක් වටිනවා කියන එකත් පිලිගන්න වෙනවා.

    ReplyDelete
  6. ටිෂූ පාවිච්චි කළත් විස්තර දැනගෙන හිටි‍ෙයෙ නැහැ .කරුණු ටික හරියට වටිනවා .දැනුවත් කළාට තුති .

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  7. වටිනා ලිපියක් තමා...............

    ReplyDelete
  8. පටිට ලිපියක් මචං

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි

      Delete
  9. Mn eka gena sarch karalamai beluwe tnxx

    ReplyDelete
    Replies
    1. ඇවිත් බැලුවාට ස්තුතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න