පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, June 28, 2019

කට පිච්චෙන්න තේ බොන අයට ගලනාලයේ පිළිකා ඇතිවීමේ අවදානමක් - Hot Tea and Cancer Risk



ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකා සංගමය මේ වසර මුලදී සිය පර්යේෂණ වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටියේ එරටින් වාර්ෂිකව ගලනාලයේ පිළිකා ඇතිවන රෝගීන් 17,650 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවත්, එයින් 16,000 ක් පමණ මිය යන බවත් ය. දරා ගැනීමේ හැකියාව අනුව මෙම පිළිකා රෝගී තත්වය නිර්ණය කිරීමෙන් පසු මෙයට ගොදුරු වන රෝගීන්ගෙන් 20% ක් පමණ උපරිම වශයෙන් වසර 5 ක පමණ දක්වා ජීවත් බව  පැවසේ. යම් කිසි පුද්ගලයෙකුගේ ගලනාලය තුළ පිළිකා තත්වයක් ඇති විමට විවිධ සාධක හේතු වේ. වයස 55 ඉක්මවීම, පුරුෂයකු වීම, ආමාශය නිතරම පාහේ ආම්ලික ස්වභාවයට ගොදුරු වන පුද්ගලයකු වීම, නිතර සකසන ලද ආහාර පරිභෝජනය කරන්නකු වීම, එළවළු පලතුරු අඩුවෙන් ආහාරයට එක් කරගන්නකු වීම ආදී කරුණු ගලනාල පිළිකාවන්ට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි.

කෙසේ නමුත් මේ වසර මුලදී මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවෙන් මෙම පොදු, කලක් තිස්සේ දැන සිටි කරුණුවලට වඩා බිය ජනක කාරණාවක් ද හෙළි කොට තිබිණි. ඒ, තේ, කෝපි හෝ වෙනත් පාන වර්ග අධික ලෙස උණුසුම් තත්වයෙන් පරිභෝජනය කරන්නන් ද ගලනාල පිළිකාවන්ට ගොදුරු වීමේ හැකියාව තිබෙන බව ය.

මේ සම්බන්ධව පර්යේෂණය මෙහෙවන ලද්දේ ඇමරිකානු පිළිකා සංගමයේ අවේක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ ක්‍රමෝපාය අධ්‍යක්ෂ ෆර්හාඩ් ඉස්ලාමි විසිනි.

වෛද්‍ය ඉස්ලාමි ඇතුළු කණ්ඩායම මෙයට දත්ත එකතු කර ගැනීම සඳහා අවුරුදු 40 - 75 අතර වයසේ පසුවන 50,000 කට අධික නියැඳියක් භාවිත කරන ලදී. පර්යේෂකයන් වසර 10 ක පමණ කාලයක් තිස්සේ මෙම නියැඳියේ පුද්ගලයන්ව අධීක්ෂණයට ලක් කළ අතර, 2004 - 2017 කාලය තුල දී මේ අතරින් 317 දෙනෙකුට ගලනාල පිළිකාව වැළඳුණි.

පර්යේෂකයන් විසින් පානයන්ගේ උෂ්ණත්වය ද කොටස් දෙකකට වෙන් කළහ. ඒ අධික ලෙස උණුසුම්සහ ඇල් මැරුණුවශයෙනි. අධික ලෙස උණුසුම්  යනු සෙන්ටිග්‍රේඩ් අංශක 60 ට වඩා වැඩි උණුසුමින් යුක්ත ඒවා වූ අතර ඇල් මැරුණුයනු එම උෂ්ණත්ව මට්ටමට වඩා අඩු ඒවා ය.

ඒ වගේම මෙම පර්යේෂණයේ දී අවධානයට ලක් කළ තවත් එක් කාරණයක් වූයේ තේ හෝ වෙනත් උණුසුම් පානයක් කෝප්පයකට වත් කර ගැනීමේ සිට පානය කිරීම දක්වා අතර තුළ කාලයයි. එම කාලය මිනිත්තු 2 - 6 අතර නම්, එය ද අධික ලෙස උණුසුම්යන ගොඩට ඇතුළත් කෙරිණි.

මෙම පර්යේෂණයේ සමස්ත ප්‍රතිඵලය දෙස බැලූ විට පෙනෙන්නට තිබුණේ දෛනිකව අධික ලෙස උණුසුම්තේ හෝ වෙනත් පානයකින් මිලි ලීටර් 700 ක් පමණ පරිභෝජනය කරන්නන්, එසේ නොවන පුද්ගලයන්ට වඩා 90%කින් ගලනාල පිළිකා රෝගයට ලක්වීමේ ඉහළ අවදානමකින් පසු වන බව ය.

‛‛අධික උණුසුම් තත්වයේ පවතින පානයක් නිතර පරිභෝජනය කිරීම නිසා ගලනාල පිළිකා තත්වයක් ඇති වන්නට හේතු විය හැකිය යන්න පිළිබඳව අප මෙයට පෙර අවිධිමත්ව සිදු කළ පර්යේෂණයකින් සොයා ගත් කරුණු මෙම නව පර්යේෂණය තුළින් තහවුරු වුණා. මේ නිසා මෙය උණුසුම්ව පරිභෝජනය කරන සියලුම පානයන් සඳහා අදාළ වන බව සඳහන් කරමින් මහජනතාව දැනුම්වත් කිරීම සුදුසු යැයි අපි කල්පනා කළා. මේ නිසා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ යම් පානයක් සෙන්ටිග්‍රේඩ් අංශක 60 ට වඩා අඩු තත්වයට හෙවත් ඇල්මැරුණු තත්වයකට පත් වන තුරු එය පරිභෝජනය කිරීමෙන් වැළකී සිටීම වඩාත් යහපත් බවයි.’’ වෛද්‍ය ඉස්ලාමි ඇතුළු පර්යේෂක කණ්ඩායම එසේ පවසයි.

‛‛බොහෝ පුද්ගලයන් තේ, කෝපි හෝ වෙනත් පානයන් දැඩි ලෙස උණුසුම් ස්වභාවයෙන් පරිභෝජනය කරන්නට දක්වන්නේ දැඩි කැමැත්තක්. කෙසේ නමුත් අප සිදු කළ පර්යේෂණයෙන් හෙළි වී තිබෙන්නේ එසේ අධික ලෙස උණුසුම්ව යම් පානයක් පරිභෝජනය කිරීමේ දී ගලනාල පිළිකා ඇති වන බව යි. එබැවින් එහි උෂ්ණත්වය අඩු වන තුරු මදක් ඉවසන මෙන් මා ඉල්ලා සිටිනවා.’’

වෛද්‍ය ඉස්ලාමි සියලු දෙනාගෙන්ම එම ඉල්ලීම සිදු කරයි.

කෙසේ නමුත් මෙයට කුමක් හේතු වේ ද යන වෛද්‍ය විද්‍යාත්මක කාරණය හෙළිකරගැනීමට ඔවුන්ට තවමත් හැකි වී නැති අතර ඒ සඳහා තවත් පර්යේෂණයක් කරන්නට ඔවුහු අදහස් කරගනෙ සිටිති.

ගලනාල පිළිකාවක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ගලනාලයේ ඇති වන මාරක ගැටිත්තකි. ගලනාලය යනු ඔබ අප කවුරුත් දන්නා පරිදි මුඛයෙන් ලබා දෙන ආහාර ආමාශය කරා ගමන් කරනා නාලයයි. තවත් ආකාරයකින් සඳහන් කළ හොත් උගුර සහ ආමාශය සම්බන්ධ කරනා නාලයයි.

මෙය ඇමරිකා එක්සත් ජනපදයේ විරල රෝගී තත්වයකි. නමුත් මෙය ආසියාවෙ සහ අප්‍රිකාවේ බහුලව පවතින රෝගී තත්වයක් නිසා මෙම පර්යේෂණය වඩාත් වැදගත් වන්නේ ආසියානු රටක ජීවත් වන අපටය. 2015 වසරේ දී ලෝකයේ පිළිකා රෝගයෙන් මිය ගිය 2.6% වන රෝගීන්ගෙන් 1%කටම වැළඳී තිබුණේ ගලනාල පිළිකාව ය. එය බොහෝ විට වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට වැළඳේ.

ගලනාල පිළිකාව ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකි.

1. ශල්කමය සෛල කාසිනෝමාව (Squamous cell carcinoma) - මෙය ගලනාලයේ ඉහළ කොටසේ ඇති සෛලවල ඇති වේ.

2. ගලනාලයේ අපිච්ඡද පටකයේ සෛලවල ඇති වන පිළිකාව (Adenocarcinoma of the esophagus) - මෙය බොහෝ විට ඇති වන්නේ ගලනාලය සහ ආමාශය එකිනෙක සම්බන්ධ වන සන්ධියේ පවතින සෛලවලය.

මීට අමතරව ගලනාලයේ ඇති වන පිළිකා තත්වයන්ගේ තවත් විරල ප්‍රභේදයන් කිහිපයක් ම වේ. කෙසේ නමුත් බොහෝ දෙනෙක් නොසිතන, නමුත් අවදානමක් ඇති මෙම තත්වය පිළිබඳ අප දඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇත්තේ අප අතර සිටින බොහෝ දෙනෙක් ද අධික ලෙස උණුසුම් තත්වයේ පවතින පානයන් කෙරෙහි දැඩි කැමැත්තක් දක්වන බැවිනි. මේ නිසා මෙම පර්යේෂණයෙන් පැවසෙන පරිදි මදක් ඇල්මැරෙන තෙක් සිට උණුසුම් පානයන් පරිභෝජනය කිරීමව වඩාත් සුදුසු බව සඳහන් කළ හැකිය.

10 comments:

  1. මලා. මාත් බොන්නේ කට පිච්චෙන තේ නේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැන් ඉඳන් පරිස්සම් වෙන්න වෙනවා. ගලනාලය ගහලා යනකල් හොයා ගන්න වෙන එකක් නෑ.

      Delete
  2. මම වගේ නිවලා තේ බොන උන්දලාට නම් කිසි අවුලක් නෑ! ආ.. මලා මම වැඩිය තේ බොන්නෙත් නෑනේ!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දැන් සමහරු ඉන්නේ ඇල්වතුරත් නිවලා බොන අය. ඒ අයට නම් කොහොමවත් අවුලක් වෙන්නේ නෑ.

      Delete
  3. නිව්චිච තේ කෝපි බොන්න බෑනේ.. ඒකනෙ අවුල. නොබී හිටිය නං හරි :-D

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. සාමාන්‍ය රස්නයෙන් බිව්වට අවුලක් නෑ. මේකේ කියන්නේ ගලනාලයත් කඩාගෙන වැටෙන තරම් රස්නෙට බොන අය ඉන්නවා නේ. කට පුච්චගෙන බොන අය. අන්න ඒ තත්වය නරකයි කියලයි.

      Delete
  4. mamath ada idan the niwenakal idalama bonawa.

    ReplyDelete
  5. බොහොම ස්තූතියි...🙏

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න