පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, January 2, 2020

ජල මට්ටම පෙන්වන දර්ශකයක් හදමු - Water Level Indicator and Alarm DIY


මට සෑහෙන දවසක ඉඳන් තිබුණු ප්‍රශ්නයක් තමයි ගෙදර තියෙන වතුර ටැංකිය පුරවන කොට ඒ ගැන ටිකක් අමතක වුනොත් උතුරලා යන එක. මේ ගැටලුව විසඳගන්න උපකරණ වෙළෙඳ පලේ තියෙනවා. ෆ්ලෝටිං ස්විච් එකක් දාන්න පුළුවන් වතුර මෝටරයකින් පුරවනවා නම්. ජල මණ්ඩලයේ සැපයුමෙන් පුරවනවා නම් බෝල් ක්ලොක් කියන උපකරණයක් පාවිච්චි කරලා ටැංකිය පිරුණු විට ජල සැපයුම නවතාලන්නට පුළුවන්. කොහොම වුනත් මේ වාගේ උපක්‍රම පාවිච්චි කරන්න බැරි අයටත් මේ සඳහා ක්‍රම තියෙනවා. මම එහෙම කෙනෙක් නිසා මේ ගැන අන්තර්ජාලයේ සෙවීම් කළා. එවිට ක්‍රම ඕනෑ තරම් තියෙනවා. එයින් ක්‍රම දෙකක් මම තෝරා ගෙන මට හරියන එකක් හදා ගත්තා. ඒ වැඩේ සාර්ථක නිසා මේ වගේ වැඩ ගැන කැමැත්තක්, උනන්දුවක් තියෙන අය වෙනුවෙන් මගේ අත්දැකීම බෙදා හදා ගන්න තීරණය කළා.

මට අන්තර්ජාලයෙන් ක්‍රම දෙකක් හොයා ගත්තා. ඉන් එකක් ජල මට්ටම පෙන්වන පරිපථයක්. අනෙක ටැංකියේ උපරිම මට්ටමට එද්දි එලාම් එකක් නාදවන පරිපථයක්. මම මේ පරිපථ දෙක ඒකාබද්ධ කරලා තනි එකක් හදා ගත්තා.

මේ තියෙන්නේ ජල මට්ටම පෙන්වන පරිපථය. මෙය කොටස් දෙකකින් යුක්තයි. මුලින්ම පළමු කොටස



මෙය ඉතා සරල පරිපථයක්. අවශ්‍ය වෙන්නේ එල්.ඊ.ඩී. බල්බ පහක් සහ ඕම්ස් 470 ප්‍රතිරෝධක පහක් පමණයි. එල්.ඊ.ඩී. බල්බ තෝරා ගනිද්දි වීදුරු පෙනුම සහිත ඒවා ගන්නවා නම් දීප්තියෙන් වැඩියි. මම එකිනෙකට වෙනස් වර්ණ හතරකින් යුක්ත බල්බ යට සිට උඩට සවි කළා. අවසන් බල්බය සඳහා තෝරා ගත්තේ වර්ණ හයක් දැල්වෙන එල්ඊඩී එකක්. 

මේ තියෙන විදියට පරිපථ පුවරුවක මේක පාස්සා ගන්න. ඍණ අග්‍ර සියල්ල සමාන්තරගත විදියට සම්බන්ධ කරගන්න.  සවි කිරීම සඳහා මම පැරණි ලැප්ටොප් පරිගණක චාර්ජර් එකක ආවරණයක් තෝරා ගත් නිසා එහි ප්‍රමාණයට ගැලපෙන්න පරිපථ පුවරුව කපා ගත්තා.

මේ තියෙන්නේ මා එය පරිපථ පුවරුවට පාස්සා ගත් ආකාරයයි. මම ඉලෙක්ට්‍රොනික් කටයුතු ගැන ප්‍රවීණයෙක් නොවන නිසා මෙහි අඩුපාඩු තිබෙන්නට පුළුවන්. ඔබට වඩාත් හොඳින් මෙය සාදා ගන්නට පුළුවන් වෙයි.



මෙය වෝල්ට් 12ක සැපයුමකින් ක්‍රියාත්මක වෙනවා. මේ එක් එක් බල්බයකින් පෙන්වන්නේ ජල මට්ටමයි. එක් එක් බල්බයේ සිට ජල ටැංකියට වයර් ඇද ගත යුතුයි. 

මෙහි සංවේදක (Sensors), එසේත් නැත්නම් ඉලෙක්ට්‍රෝඩ කොටස් සවි කළ යුත්තේ ජල ටැංකියේ. මේ සඳහා මා පීවීසී බටයක සිදුරු විද සමාන අන්තරවලින් වයර් සවි කළා. නිවාස වයරිං කිරීමට ගන්නා වයර් මේ සඳහා යොදා ගත්තා. එයට හේතුව සිහින් තඹ කම්බි මේ සඳහා යොදා ගැනීමේ දී ඔක්සයිඩ් බැඳී ඉක්මනින් දිරා යන නිසයි. 

මේ තියෙන්නේ එම කොටස ජල ටැංතියේ සවි කොට ඇති ආකාරයයි. මේ ඡායාරූපය ගනු ලැබුවේ මෙය සවි කිරිමෙන් බොහෝ කලකට පසු නිසා ඒවායේ ඉලෙක්ට්‍රෝඩවල ඔක්සයිඩ් බැඳී ඇති ආකාරය ඔබට පෙනෙනවා ඇති. උඩින්ම ඇති ඉලෙක්ට්‍රෝඩයේ ඔක්සයිඩ් බැඳී නැත්තේ එය ජලයෙන් යට වී තිබෙන කාලය අඩු නිසයි. 


ඉලෙක්ට්‍රෝඩවල ඔක්සයිඩ් බැඳී ආකාරය මේ ඡායාරූපයෙන් හොඳින් බලා ගන්න පුළුවන්. මේ ආකාරයට දැඩිව ඔක්සයිඩ් බැඳුණු විට දර්ශකයේ බල්බවල දීප්තිය අඩු වෙනවා. මේ නිසා මාස 6 කට පමණ බොහෝ කලකට මේවා සූරා ඉවත් කරන්නට හැකි නම් වඩාත් හොඳයි. 






මෙය සාදා ගැනීමට මා අනුගමනය කළ ආකාරය රූප සටහනකින් මෙසේ දැක්විය හැකියි.



මෙය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි. ජලය හරහා යම් ප්‍රතිරෝධයක් සහිතව විදුලිය ගමන් කරනවා. සරල ධාරාවේ ධන අග්‍රය ජල ටැංකියේ යටින්ම සවි කොට තිබෙනවා. එල්ඊඩී බල්බවලින් එන ඍණ සම්බන්ධතා සංවේදක ලෙස ජල ටැංකියේ පහළ සිට ඉහළට සවි කොට තිබෙනවා. ජල මට්ටම ටිකෙන් ටික පිරී පහළින්ම රතු පැහැයෙන් ඇති වයරයට සම්බන්ධ සංවේදකය ගිලී යත්ම ඒ හරහා විදුලිය ගමන් කොට ධන හා ඍණ එකිනෙක සම්බන්ධ වෙනවා. එවිට ඒ හරහා සවිකොට ඇති එල්ඊඩී බල්බය දැල්වෙනවා. මේ ආකාරයට ජලය ටිකෙන් ටික පිරී ඉහළට යද්දී අදාළ බල්බ දැල්වෙනවා. 

කෙසේ නමුත් ජලය උතුරා යාම වළක්වා ගන්නට නම් අප එලාම් පරිපථයක් ද මෙය සවි කළ යුතු වෙනවා. අපි එය සාදා ගන්නා ආකාරය බලමු.

මේ සඳහා අපට IRF540N ට්‍රාන්සිස්ටරයක්, 1 M ක ප්‍රතිරෝධකයක්, වෝල්ට් 12 බසරයක් අවශ්‍ය වෙනවා. පහත තිබෙන්නේ මේ පරිපථයයි.




මෙය පරිපථ පුවරුවට මා සවි කළේ මේ ආකාරයටයි.



මෙහි කොටස් පාස්සා ගත යුත්තේ මේ ආකාරයටයි. ට්‍රාන්සිස්ටරයේ Gate එක සහ Source එක සම්බන්ධ කරමින් 1M ප්‍රතිරෝධකට පාස්සා ගන්න. Gate එක සහ Source එක සම්බන්ධ වන තැනට වයර් එකක් පාස්සා ගන්න. මේ වයර් එක අප ඉහතින් සෑදූ ජල මට්ටම පෙන්වන පරිපථයේ ඉහළම ඇති වයර් එක සමග සම්බන්ධ කර පාස්සා ගත යුතු වෙනවා. ඊළඟට  Source එකට තවත් වයර් එකක් පාස්සා ගත යුතු වෙනවා. එය මෙයට බලය සපයන ( - ) අග්‍රය වෙනවා. ඊළඟට Drain එකට වයරයක් පාස්සා එහි අනෙක් කෙළවර බසරයේ ( - ) අග්‍රයට පාස්සා ගත යුතුයි. බසරයේ  (+) අග්‍රයට වයරයක් පාස්සා එය ජල මට්ටම පෙන්වන පරිපථයට බලය සපයන ( + ) අග්‍රය හා සම්බන්ධ කොට පාස්සා ගත යුතු වෙනවා. 

බසරයට සම්බන්ධ එක වයරයක්  මැදට ස්විචයක් දමන්නට මතක තබා ගන්න. එයට හේතුව ජල මට්ටම නියමිත මට්ටමට ළඟා වූ විට එලාම් එක නාද වන්නට පටන් ගන්නා නිසා එය නවතාලීම සඳහායි. නැවත ජලය පුරවන විට ස්විචය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. 

දැන් සියල්ල අවසන්. මා සෑදු ජල මට්ටම් දර්ශකයේ අවසන් පෙනුම මේ ආකාරයෙන් දිස් වෙනවා.




ජල ටැංකියට දැමිය යුතු කොටස එයට දමා එයට සම්බන්ධ කොට ඇති වයර් මේ පරිපථයේ නියමිත් ස්ථාන සමග සම්බන්ධ කොට විදුලිය සැපයීමෙන් මෙය ක්‍රියාතමක කරන්න පුළුවන්.

එවිට පහත පරිදි ජල මට්ටම පෙන්වනවා. 




එලාම් එක නාද වන්නේ මේ ආකාරයටයි




6 comments:

  1. ඔය එලාම් එක වෙනුවට, ගෘහ පරිපථයේ වතුර මෝටරයේ ස්විච් එක ඕෆ් වෙන්න හදන්න පුළුවන්ද? (කම්මැලිකමට...)

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් එහෙනම් මේ වෙනුවට ෆ්ලෝටින් සිව්ච් එකක් දාගන්න පුළුවන්. ඒක ලෙසියි. මේත ගැලපෙන්නේ මණ්ඩලයෙන් වතුර ගන්න අපි වගේ අයට තමයි.

      Delete
  2. නියමයි. මෙතන ප්‍රායෝගික ප්‍රස්නයක් ඇති වෙනවා. කාලයක් යනකොට ඉලෙක්ට්‍රෝඩ මළ කනවා. කුඩා ප්‍රත්‍යාවර්ත ධාරාවක් යොදාගන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මම මීට පෙර අවස්ථාවකදිත් ජලය හරහා සරල ධාරාවක් ගමන් කරවීමේදී මේ ගැටළුව ආවා. ඔබේ උපදේශයට ස්තුතියි. මම මේ සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරාවක් යොදා අත්හදා බලන්නම්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න