පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, March 28, 2020

කොරෝනා සහ සොබා දහම - Corona (Covid-19) and the Nature

Image credit : https://blogs.timesofisrael.com/thank-you-corona/

වෛරස ආසාදනයන් පිළිබඳ සිනමාපට කොතෙකුත් නරඹා තිබුණ ද මගේ සිත්ගත් එක් නිර්මාණයක් වූයේ Will Smith රංගනයෙන් දායක වන I Am Legend චිත්‍රපටයයි. මෙය මම එක් වරක් නොව කිහිප වරක්ම නැරඹූයෙමි. කවදා හෝ දිනෙක ලෝකය සැබවින්ම මේ  හා සමාන ව්‍යසනයකට ගොදුරු වනු ඇතිදැයි මෙය නැරඹූ සෑම වාරයකදීම මට සිතිණි. එම චිත්‍රපටයේ මෙන් වෛරස් ආසාදනය නිසා මිනිසුන් විකෘති ස්වභාවයකට පත් නොවූව ද දැන් පැතිර යමින් පවතින කොරෝනා හෙවත් කොවිඞ්-19 වෛරස් ආසාදනය ද මෙයට දෙවැනි වන්නේ නැත. Contagion නරඹද්දී සිතුනේ ලොව පුරා මිලියන ගණනකට වැළඳෙන්නට තරම් දරුණු තත්වයකට පත්වන වෛරසයක් පිළිබඳව නම් චිත්‍රපටයක මිස සැබවින් අසන්නට දකින්නට නොලැබෙන බවය. මේ වන විට මිිලියන ගණනකට වැළඳී නැතත් ඉතාලිය, ස්පාඤ්ඤය, ඉරානය වැනි රටවල් ලක්ව ඇති ව්‍යසනකාරී තත්වය දකිද්දී මෙය කෙතරම් බියකරු දැයි සිතුණු වාර ගණන අනන්තය. මිලියන ගණනකට වැළඳුනහොත් සිදුවන විනාශය පිළිබඳ කෙසේවත් සිතා ගත නොහැකිය.

සැබවින්ම මේ වෛරසය කුමක් විය හැකිද? මිනිසාගේ වැරදි පුරුදු නිසා ඉබේම ඇති වූවක් ද නැතහොත් මිනිසා විසින් නිපදවන ලද ජීව විද්‍යාත්මක අවියක්ද? එය ජීව විද්‍යත්මක අවියක් බවට මත සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර ගියත් ලෝක මට්ටමින් තවමත් කිසිදු රටක් එය නිල වශයෙන් පිළිගන්නා බවක් ප්‍රකාශ කොට නැත. එමෙන්ම Dean Koontz විසින් ලියන ලද The Eyes of Darkness නම් නවකතාව කොරෝනා වෛරසය පිළිබඳ ලියන ලද අනාවැකියක් බවට මතයක් ද සමාජ මාධ්‍ය හරහා පැතිර යනු දක්නට ලැබේ. නමුත් විචාරකයන් පවසන්නේ එහි සැබවින්ම ඇත්තේ එවැන්නක් නොවන බවයි. (එක් විචාරයක් මෙතැනින් කියවන්න)

මිනිසුන් විසින් ලෝකය විනාශ කරන්නට පටන් ගෙන දැන් බොහේ කල්ය. ඔවුහු මුළු ස්වභාවික පරිසරයම විනාශ කර දමමින් සිටිති. මිනිසා සිතන්නේ තමා තරම් බලවතකු ලොව නොසිටින බවය. ඔවුහු මහා වනාන්තර විනාශ කර දැමූහ. මහා වනස්පතීන් හිතක් පපුවක් නැතිව මරා දැමූහ. ගංගා, ඇළ දොල පමණක් නොව මහ සයුර ද දූෂණය කළහ. මහා ගොඩනැගිලි තනමින් මිහි මව්ගේ හිස මත මහා බරක් පැටවූහ. තවත් බොහෝ නරුම දේවල් කරමින් ලෝකය විනාශ කළහ. විකෘති කළහ. සොබා දහම කිසිවක් කර කියා ගත නොහැකිව බලා සිටන්නේ යැයි මිනිසා සිතුවේය. හිටිවනම භූමිකම්පා සිදුවිය. කඳු නාය ගියහ. සුනාමි සැඩ පහරවල් ගම්බිම පිස දැමුවේය.  දරුණු සුළි සුළංවලින් මහත් විපත් සිදු විය. සොබා දහම ලෝකයේ  විවිධ තැන තනි තනිව ගෙන යම් ක්‍රියාවන් සිදුකරමින් මිනිසාට යමක් අඟවන්නට උත්සාහ කළේය. ඒ අන් කිසිවක් නොව තවදුරටත් තමාව විනාශ නොකරන ලෙසය. නමුත් මිනිසා නම් සත්ත්වයා පුදුමාකර ලෙසම මේවා දුටුවේ නැත. දුටුව ද නොදුටුවා සේ සිටියේය. 

සොබා දහම ‘ලොකු වැඩක්’ ගැන සිතුවේය. ඒ සිතිවිල්ලේ අවසානය වූයේ චීනයේ වුහාන් ප්‍රදේශයෙන් කිරීටයක් වැනි අලංකාර, නමුත් භයංකාර වෛරසයක් මතුවීමය. මෙය බැලූ බැල්මට හුදෙක් සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකැයි ලෝකයේ ඇතැම් රටවල් සිතුවත් එය එසේ නොවන බව තේරුම් ගන්නා විට අශ්වයා පැන ගොස් හමාරය. 

එසේ හෙයින් මෙය ඉබේ පහළ වූවක් වුව ද, වවුලන්ගෙන් මිනිසුන්ට බෝ වූවක් වුව ද, මිනිසා විසින් මිනිසා නසන්නට නිර්මාණය කළ ජීව විද්‍යාත්මක අවියක් වුව ද, එහි මුල් මොලකරුවා සොබා දහමය. සුළු සුළු ඉඟිවලින් මිනිසාට පණිවිඩයක් දෙන්නට කළ උත්සාහයන් මිනිසා තේරුම් නොගන්නා කල සොබා දහම තමා විසින් හෝ මිනිසා ලවා හෝ ඇති කළත් මේ ව්‍යසනය තුළින් තේරුම් ගත යුතු දෙයක් තිබේ. 

මිනිසා කෙතරම් උදම් ඇනුවද ඔහු මහා මොලකරුවකු නොවේ. තවමත් මහා මොලකරුවා වන්නේ සොබා දහමය. දෙවියන් පවා සොබා දහමට යටත් ය. සොබා දහම සුරකිමින්, එය සමග සහයෝගයෙන් ජීවත් වනවා හැර මිනිසාට අන් සරණක් නැත. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න