පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, October 18, 2020

ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 03



මීට කලින් ශීතකරණ දෝෂ නිවසේදී ම නිවැරදි කර ගන්නා ආකාරය ගැන මම පෝස්ට් දෙකක් දාලා තියෙනවා. නමුත් කියන්න ඕන මම ශීතකරණ අලුත්වැඩියා කිරීම ගැන මෙලෝ දෙයක් දන්න කෙනෙක් නෙවෙයි කියලා මුලින්ම. මේවා අපේ ගෙදර ශීතකරණය ලෙඩ වුණාම දන්නා කියන හිතවතුන්ගේ සහ අන්තර්ජාලයේ ඇති තොරතුරු අත්හදා බලලා මට ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ බ්ලොග් එකට ලියන ඒවායි. අද කියන්න යන්නෙත් එහෙම එකක්.

අපේ අයිස් පෙට්ටියේ ටික දවසක ඉඳන් තිබුණු ලෙඩක් තමයි එහි බීඩින්, එහෙමත් නැත්නම් ගෑස්කට් ඇතැම් තැන්වලින් හානි සිදුවී තිබීම. මොකද මේක දැන් පරණයි. ඒත් අලුත් එකකට යනවා කියන්නේ සෑහෙන වියදමක් දරන්න වෙන වැඩක්. ඒ වගේ වියදමකට යද්දි තියෙන ආර්ථිකෙත් එක්ක කීප වතාවක්ම හිතන්න වෙනවා. මේ හානියට පත් වුණු තැන්වලින් ශීතකරණයේ ශීතල කාන්දු වීමක් සිද්ද වෙනව. එහි ප්‍රතිඵලයක් විදියට විදුලිය මීටරෙත් ඉහළ නගිනවා.

ඉතින් මම මේවා ගැන දන්න හිතවතෙක්ගෙන් මේ ගැන ඇහුවාම කිව්වේ බීඩින් අපටම ගලවලා අලුත් ඒවා සවි කරගන්න පුළුවන් කියලා. නමුත් මේවා ගන්න ඕන කොළඹින්. මම එහෙම තැනකින් අහලා බැලුවාම පරණ සෙට් එක ගලවගෙන එන්න ඕන. පොදු ප්‍රවාහනය, ඒ කියන්නේ දුම්රියේ මේ වගේ කාලෙක මේවා ගලවගෙන ඇවිත් ආයේ අලුත් සෙට් එකක් අරන් යනවා කියන්නේ ප්‍රායෝගික පැත්තෙන් ටිකක් අමාරු දෙයක් නිසා මම වෙන තාවකාලික විකල්පයක් කල්පනා කළා.

ඒක මම හොයා ගත්තේ අන්තර්ජාල දෙයියන්ට පින් සිද්ධ වෙන්නයි.

මේකට අපට අවශ්‍ය කරනන්නේ පෙට්‍රෝලියම් ජෙලි ටිකක් විතරයි. පෙට්‍රෝලියම් ජෙලි කියන්නේ වෙන මොනවත් නෙවෙයි ‘වැස්ලින්‘. අර කකුල් පැලෙනවාට ගාන්නේ. ආන්න ඒවා. මේවා ඩප්පියක් ෆාමසියක රුපියල් 125ක් වගේ ගාණක් තමයි වෙන්නේ.




අපි කරන්න ඕන ශීතකරණයේ බීඩින්වල දිගටම මේ වැස්ලින් තවරණ එකයි. හානියට පත්වුණු තැන්වල ටිකක් වැඩිපුර තවරන්න ඕන. ඊට පස්සේ ශීතකරණය පණගන්වලා ශීතල කාන්දු වෙනවාද කියලා බලන්න ඕන. එහෙම කාන්දු වෙනවා නම් ඒ වගේ තැන්වල වැඩිපුර තවරන්න ඕන.

ඉතින් මම මේක කළා. දැනට නම් ශීතල කාන්දු වෙන එක නතර වුණා.

ඉතින් අලුත් බීඩින් සෙට් එකක් දාගන්න කල් ඔබටත් මේ වගේ ගොඩ වෙදකම් ඔප්ෂන් එකකට යාමේ හැකියාව තියෙනවා.

ඔබත් මේ වගේ ගැටලුවකට මුහුණ දීලා එහෙම ඉන්නවා නම් අත්හදා බලන්න.

ප්‍රතිපල  ප්‍රත්‍යක්ෂයි කියලා හිතෙනවා.

මේකේ අවුලක් එහෙම තියෙනවා නම් දන්න කෙනෙක් කියලා දෙනවා නම් පින් සිද්ධ වෙනවා.

-------

කලින් මේ සම්බන්ධව ලියපු ඒවා

ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 01

ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 02

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න