Thursday, August 18, 2022

තන්ත්‍රයානික ලිංගිකත්වය හෙවත් ලිංගික භාවනාව




අන්තර්ජාලයෙන් පොත් මිල දී ගැනීමට ඇති ලොව ප්‍රකට වෙබ් අඩවියක් වන්නේ ඇමසන් ය. ඉංග්‍රීසි බසින් ලියවුණු කෘති කිහිපයක් පිළිබඳ තොරතුරු සොයමින් සිටිය දී අහම්බෙන් මෙන් Tantric Sex  සම්බන්ධයෙන් ඇති පොත් ගණනාවක් තිරය මත පතිත විය. Tantric යනු තන්ත්‍රයානයි. බුදු දහමේ තෙවැදෑරුම් සම්ප්‍රදායයන් අතරින් එකකි තන්ත්‍රයානය. එය මහායාන සම්ප්‍රදාය මත ගොඩනැගුනකි. Tantric Sex  හෙවත් ‘තන්ත්‍රයානික ලිංගිකත්වය’ ද මේ සම්ප්‍රදාය මත ගොඩනැගුනක් බව පැවසේ. ඇමසන් වෙබ් අඩිවියේ මේ සම්බන්ධයෙන් මෑතකාලයේ දී ලියැවුණු කෘති බොහොමයකි. මේ ඔස්සේ අන්තර්ජාලයේ සෙවීමක් කරනවිට, තන්ත්‍රයානික ලිංගිකත්වය පිළිබඳ බටහිර ලෝකය තුළ ඇති අදහස් මැනවින් පිළිබිඹු වේ. ලෝකය තුළ අප සිතා සිටියාට වඩා තන්ත්‍රයානික ලිංගිකත්වය පිළිබඳ ඇත්තේ පුදුමාකාර උනන්දුවකි. 

මෙය බුදු හමේ තෙවැදෑරුම් සම්ප්‍රදායයන් අතරින් එකක් වුව ද, ථේරවාදී බුදු දහම තුළ තන්ත්‍රවාදය පිළිගැනීමට ලක්වන්නේ නැත. ථේරවාදී බුදු දහම තුළ ලිංගිකත්වය වැනි භෞතික බැඳීම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට බාධාවකි. එය තුළ කිසිම අවස්ථාවක ලිංගිකත්වය උත්කර්ෂයට ලක්කරන්නේ නැත. එබැවින් මෙය එයට කිසිසේත්ම සම්බන්ධයෙක් නොවන්නක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබේ. කෙසේ නමුත් ලෝකයේ නව ප්‍රවණතාවක් බවට පත්ව ඇති තන්ත්‍රයානික ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සොය බලා ඒ පිළිබඳ දැනුම්වත්ව සිටීමේ වරදක් පෙනෙන්නේ නැත.

කලින් සඳහන් කළා සේ තන්ත්‍රවාදය මහායාන බුදු දහම මත ගොඩනැගුනක් වුව ද, තන්ත්‍රයානික ලිංගිකත්වය එය තුළ වර්ධනය වී ඇත්තේ පැරණි හිංදු දහම සහ තන්ත්‍රයානික අදහස් එකට මුසුවීමෙනි. අධ්‍යාත්මික ජීවිතයකට මග පෙන්වන ආගමික පැත්තට නැඹුරු ඉගැන්වීම්වලින් තරමක් ලිහිල්ව තන්ත්‍රයානික ලිංගිකත්වය ගොඩනැගී තිබේ.

තන්ත්‍රයානික ලිංගික ක්‍රියාකාරම් ඉතා මන්දගාමීය. එය තුළ භාවනාවක ලක්ෂණ පැහැදිලිව ඇතුළත් ය. ලිංගික එක්වීමක අවසන් අරමුණු සුරතාන්තය වුව ද තන්ත්‍රයානික ලිංගිකත්වයේ අවසන් අරමුණ එය නොවේ. එහිදී සිදුවන්නේ ලිංගික එක්වීම සහ ශරීරයේ සංවේදනයන් වින්දනය කිරීමය. ලිංගික ශක්තිය සිරුර පුරා ගමන් කරවීම තුළින් සුවපත්බව, ශාරීරික පරිණාමනය සහ විමුක්තිය ළඟාකරගැනීම තන්ත්‍රයානික ලිංගිකත්වයේ අවසන් අරමුණ වේ.

ලිංගික අකර්මණ්‍යතාව, සුරතාන්තය ලැබීමට නොහැකි වීම, අප්‍රාණිකත්වය වැනි සියලු ලිංගික ගැටලු තන්ත්‍රයානික ලිංගිකත්වය තුළින් සමනය කරගැනීමට හැකි බව මෙය අනුගමනය කරන්නෝ විශ්වාස කරති. 

තමාගේ ශරීරය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමටත්, ඒ තුළින් ශරීරය මනා ලෙස සුසර කරගැනීමටත්  තන්ත්‍රයානික ලිංගිකත්වය ඉවහල් වේ. තමාගේ ශරීරයේ හැකියාවන් සහ නොහැකියාවන් ඇතුළු සෑම දෙයක්ම පිළිබඳ පූර්ණ අවබෝධය ඇති වූ විට ලිංගික එක්වීමක දී සහ ලිංගික සහකරුවා හෝ සහකාරියගේ ශරීරය සමග වඩාත් පූර්ණ ලෙස බද්ධවීමට එය උපකාරී වේ. එය ඔස්සේ පූර්ණ ලිංගික ආශ්වාදයක් සහ තියුණු සුරතාන්තයක් ලබාගැනීමට හැකියාවක් ලැබේ. තමාගේ සිරුරේ ඇති අනුරාගික කලාපයන් හඳුනාගැනීම තුළින් තෘප්තිමත් ලිංගික අත්දැකීමක් හිමිකරගැනීමට එය උපකාරී වේ. 

තන්ත්‍රයානික ලිංගිකත්වය තුළින් සිය ශරීරයට මෙන්ම සිය ලිංගික සහකරුවාගේ හෝ සහකාරියගේ ශරීරයට ගරුකිරීමට ද මග පෙන්වයි. එය තුළින් දෙදෙනාටම හිමිවන්නේ සුවදායී අත්දැකීමකි. සිය සහකාරුවාගේ හෝ සහකාරියගේ සිරුර පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබෙන පරිදි මන්දගාමී සම්බාහන ක්‍රියාවලියක් තාන්ත්‍රික ලිංගිකත්වය තුළ උගන්වනු ලබයි. ලිංගික ශක්තිය සිරුර තුළ අවදිකරන්නට එයින් හැකියාවක් ලැබේ. එය ඔස්සේ සිය සහකරුගේ හෝ සහකාරියගේ අවශ්‍යතා සහ ආශාවන් සමග පූර්ණ ලෙස බද්ධවන්නට අවස්ථාව උදා කරයි.

තන්ත්‍රයානික ලිංගිකත්වය තුළින් ලබන විමුක්තිය එකවර සාක්ෂාත් කරගත හැකි දෙයක් නොවේ. ඒ සඳහා තන්ත්‍රයානික ලිංගිකත්වය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාගත යුතුය. මේ මොහොතේ තමා කරන්නේ කුමක් වුවත්, එය සිහියෙන් කිරීමේ හැකියාව වර්ධනය කරගත යුතු ය. පාලනයෙන් යුක්තව සිදුකෙරෙන ස්වසන ක්‍රියාවලිය මෙහි වැදගත් අංගයකි. ලිංගිකව එක්වන දෙදෙනාගේ ස්වසන ක්‍රියාවලිය එක හා සමාන ආකාරයකින් සිදුවිය යුතුය. කෙටියෙන් පවසතොත් එය භාවනාවකි. මානසික සහ ශාරීරික සම්බන්ධතාව එකිනෙක පූර්ණ ලෙස සුසර කිරීමකි. මෙහි අවසානය වන්නේ ලිංගිකත්වය තුළින් ලබන පෙර නොවූ විරූ ආකාරයේ මානසික විමුක්තියකි.