Thursday, October 31, 2013

වසර එකසිය අනූනවයක ඇඳුමක අනුරුවක් අන්දවා සිදුකළ එංගලන්ත රාජකීය බිලිඳුගේ බෞතීස්ම උත්සවය - Baptism of the Royal Baby


එංගලන්තයේ කිරුළ හිමි කේම්බ්‍රිජ්හි ජෝර්ජ් කුමරු එසේත් නැත්නම් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවි කුමරු පිළිබඳව ලෝකය පුරා යළිත් කතා කරන්නට පටන්ගෙන තිබේ. ඒ පසුගිය 23 වැනිදා මේ තෙමස් කුමරු එංගලන්තයේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට අනුව ක්‍රිස්තියානු කිරීමේ හෙවත් බෞතීස්ම උත්සවය යෙදී තිබිම නිසාය. දැන් මේ බිළිඳු ජෝර්ජ් කුමරු නිල වශයෙන්ම ඇන්ග්ලිකානුවෙක් හෙවත් එංගලන්ත සභාවට අයත් කෙනෙකි.

ශාන්ත ජේම්ස් මැඳුරේ රෝයල් චැපල් හිදී කැන්ටර්බරිහි අගරදගුරුවරයා වන අති ගෞරවනීය ජස්ටින් වෙල්බි පියතුමා විසින් මෙම අවස්ථාව ඉතා පෞද්ගලික මට්ටමින් පවත්වනු ලැබිණි. ‍‍‍ජ්‍යෙෂ්ඨ රාජකීයයන් පස් දෙනෙකුත්, මිඩෙල්ටන් පවුලෙන් (කේට්ගේ පවුල) සිව් දෙනෙකුත්, කැපකරු මාපියන් සත් දෙනෙක් හා ඔවුන්ගේ සහකරු සහකාරියන් සහ අමුත්තන් විසි දෙකක් පමණක් මේ සඳහා සහභාගි වී සිටිනු දක්නට ලැබිණ. සරල උත්සවයක් වුවද එය ඉතා අභිමානවත් අයුරින් පැවැති බව මාධ්‍ය වාර්තා කරයි. මේ සඳහා සහභාගි වූ පිරිස අතර කුමරුගේ මීමුත්තන්වූ එලිසබෙත් රැජින හා ෆිලිප් කුමරු, මුත්තණුවන්වූ චාර්ල්ස් කුමරු හා ඔහුගේ බිරිඳ කැමිලා පාකර්, හැරී කුමරුද, ජෝර්ජ් කුමරුගේ මව් පාර්ශ්වයේ මුත්තණුවන් යුවළ වන මයිකල් හා කැරොල් මිඩෙල්ටන්, කේට්ගේ සොයුරිය වන පිප්පා හා සොයුරා වන ජේම්ස් මිඩෙල්ටන් ආදීහු වූහ.
බෞතීස්මය වෙනුවෙන් භාවිත කළ බදුන

ජෝර්ජ් කුමරු ක්‍රිස්තියානි කිරීම සඳහා භාවිත කොට තිබුණේ ඉපැරණි රිදී කුසලානයකි. ඒ සඳහා ජලය ගෙනැවිත් තිබුණේ ජෝර්දාන් ගංගාවෙනි. එම අවස්ථාවේදී දෙව්මැදුර පුරා ගීතිකා ගැයිති. ජෝර්ජ් කුමරුට අන්දා තිබුණේ මීට වසර එකසිය අනූනවයකට පෙර වර්ෂ 1814 වික්ටෝරියා රැජිනගේ වැඩිමහලු දියණිය ක්‍රිස්තියානි කිරීම සඳහා මසන ලද ඇඳුමේම අනුරුවකි. සුදු සැටින් රෙද්දෙන් නිමවා තිබුණු එය ඔහුගේ මව වූ කේට් කුමරියගේ ඇඳුම සමග ගැළපෙන සේ පිළියෙළ කොට තිබිණි. මීට පෙර බොහෝ රාජකීය දරුවන් ක්‍රිස්තියානි කිරීමේදී එම ඓතිහාසික ඇඳුමම අන්දවන ලද අතර එහි කල්පැවැත්ම තහවුරු කරනු වස් සෝදා ඇත්තේද උල්පත් ජලයෙන් පමණි. නමුත් ජෝර්ජ් කුමරුගේ ක්‍රිස්තියානි කිරිමේ අවස්ථාව වන විට එය භාවිත කරන්නට නොහැකි තරමට දිරාපත්ව තිබිණි. ඔහු වෙනුවෙන් අලුතින් ඇඳුමක් මසන්නට සිදුවී ඇත්තේ එබැවිනි. කැමිලා හා පිප්පාගේ ඇඳුම්ද ක්‍රීම් පැහැයෙන් යුක්තවූ අතර රැජින තම නිල පැහැයෙන් සැරසී සිටියාය. ක්‍රිස්තියානි කිරීමේ අවස්ථාවෙන් අනතුරුව වේල්ස්හි කුමරු විසින් ක්ලැරන්ස් මැඳුරේදී සියලු දෙනා හට තේ පැන් සංග්‍රහයක් පිළියෙළකොට තිබිණි.

හරිම සතුටුදායක අවස්ථාවක්යනුවෙන් ලන්ඩනයේ බිෂොප්වරයා සමග එලිසබෙත් රැජින පැවසුවාය. මිනිත්තු හතළිස් පහකට සීමාවූ මෙම උත්සව අවස්ථාවේදී ජෝර්ජ් කුමරු වෙනුවෙන් කැපකරු මාපියවරුන් සත්දෙනකු නම් කරනු ලැබිණි.


හැරී කුමරු හෝ පිප්පා කුමරිය කැපකරු මාපියන් ලෙස නම් කොට නොතිබුණු අතර රාජකීය යුවළ විසින් නම් කළ සුවිශේෂි ගීතිකා දෙකක් ඔවුහු ගායනා කළහ. ජෝර්ජ් කුමරු උත්සවය අවස්ථාවේදී නොහඬා සිටීමත්, නිහඬව සිටීමත් විශේෂයෙන් කැපී පෙනුණු සිදුවීමක් විය.


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න