කිසිම විශේෂිත
පෙනුමක් නැති අහිංසක සුනඛ පැටවකුගේ දුකකදී විශාල මිනිස් පිරිසක් කම්පා වූ මේ පුවත
අසන්නට ලැබුණේ මහා බ්‍රිතාන්‍යයෙන්. මේ කතා පුවතට අනුව අප සුද්දන් යැයි හඳුන්වන
මහා බ්‍රිතාන්‍ය වැසියන් තුළ පවතින මේ සත්ව කරුණාවේ මහිමය දුටුවිට ශ්‍රී ලාංකික
අපි අප ගැනම ලැජ්ජා විය යුතු තරම්.
අතීතයේ සිටම
අපේ සංස්කෘතිය අවිහිංසාව මත ගොඩනැගුණක්. බුද්ධදාස මහරජතුමා මහමගදී සැත්කමක් මගින්
නාගයකුගේ උදරයේ ගෙඩියක් ඉවත්කළ පුවත එක් නිදසුනක් පමණයි. නමුත් අතීතයේ බටහිර රටවල පැවතුණේ මීට හාත්පසින්ම වෙනස්
තත්වයක්. ඔවුන් තුළ සතුන් කෙරෙහි අවිහිංසා සංකල්පයක් පැවතුණු බවට සාක්ෂි ඉතිහාසයේ
කොතැනින්වත් සොයාගන්නට නැහැ. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින් අප රට පාලනය කළ සමයේ සිදුවූ සිදුවීම්වලිනුත්,
ඔවුන් පිළිබඳ ලෝක ඉතිහාසයෙන් හමුවන අනෙකුත්
කරුණුවලිනුත් එය හොඳින්ම ඔප්පු වෙනවා. විශේෂයෙන් පෘතුගීසීන් ගැන සිතුවොත් ඔවුන් අප
රටේ මිනිසුන්ට පමණක් නොවෙයි සතුන්ටත් කළ හිංසා පීඩාවන් ගැන ඕනෑ තරම් කරුණු සොයා
ගන්න පුළුවන්. අපේ රටේ නිවෙස්වල ඇතිදැඩි කළ ගවයින් සීමාවක් නැතිව මරා ආහාරයට ගැනීම
ඔවුන්ගේ විනෝදාංශයක් වුණා. ඉංග්‍රීසීන් වුවත් අලි ඇතුන් ඉවක් බවක් නැතිව දඩයම් කිරීම,
අනෙකුත් බොහෝ සතුන් මරාදැමීම වගේ බොහෝ දේ කළ
බවට තොරතුරු ඉතිහාසයෙන් අපට හමුවෙනවා.
අතීතයේ එසේ
වුවත් වර්තමානයේ අප දකින්නේ මෙයට හාත්පසින්ම වෙනස් තත්වයක්. අතීතයේ සත්ව හිංසාවෙන්
පිරුණු රටවල් වර්තමානයේ සතුන් ගැන උපරිම දයානුකම්පාවකින් සළකන්නට පටන් අරන්. මේ
සම්බන්ධව කතාකිරීමේදී පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ලන්ඩනයේ සිදුවූ අපූරු සිදුවීමක්
අපට සිහිපත් වෙනවා.
මේ කතාව
කියැවෙන්නේ ලුලූ කියන සුනඛයෙක් ගැන. ලුලූ එයාගේ ස්වාමි දුව ගේල් ෆ්‍රේසර් එක්ක
බකින්හැම්ෂයර්වල ඇවිදින්න ගියා. මෙහෙම යනකොට අතහැර දමලා තිබුණු තරමක් ලොකු නල
මාර්ගයක් ඇතුළට ලුලූ ඇවිදගෙන යන්න පටන් ගත්තා. ලුලූ වෙනදත් මෙහෙම නිදහසේ ඇවිදලා එන
හන්දා ගේල් ආපහු ගෙදර ගියා. ඒත් එදා නම් ලුලූ ආවේ නැහැ. මෙයින් ගේල් කලබල වුණා.
සත්ව අවිහිංසා සංවිධානයකින් ගේල්ට කිව්වේ බිරුම් හඬක් ඇහුණොත් ඒ ඔස්සේ ගිහින්
ලුලූව හොයාගන්න පුලුවන් කියලයි. කොහොම හරි ලුලූව ඇවිදවන්න එක්ක ගිය පැත්තේ හෝදිසි
කරනකොට අර නලය ඇතූලෙන් යාන්තමින් බිරුම් හඬක් මතුවුණා. ගේල් කතා කළා. ඒත් ලුලූව දැකගන්න බැරි වුණා. දවස් තුනක්
ගතවුණා. ලුලූ ආපහු එන පාටක් තිබුණේ නැහැ.
දැන් ගේල්ගේ
හිතට හරිම අමාරුයි. අන්තිමේදී ගේල් තීරණය කළා කණින යන්ත්‍රයකින් පොලොව හාරලා හරි
ලුලූව බේරාගන්න. ඒත් මේක ගේල්ටවත් එයාගේ හිතවතුන්ටත් පහසුවෙන් කරන්න පුලුවන් දෙයක්
නෙවෙයි. මේ බව දැනගත්තු ඒ ප්‍රදේශයේ නාගරික ගිනි නිවන හමුදාවයි, ජීවිත ගළවාගැනීමේ සංවිධානයකුයි ඉදිරිපත්
වුණා ලුලූගේ ජීවිතේ බේරගන්න. ඔවුන් අඩි අටක් ගැඹුරට පොලොව හාරලා නලය පාදා ගත්තා.
ඉන්පසු නලයේ කැපුමකින් මේ කණ්ඩායමේ නායක
පෙටී ස්කිනර් නලය ඇතුළට රිංගුවා. මේක සෑහෙන අවදානම් ක්‍රියාවක්. නලය ඇතුළට ඉතා
අසීරුවෙන් බඩගාගෙන ගිය ඔහු අවසානයේ ලුලූව බේරාගෙන ගොඩට ආවා. ඒ වනවිට ඉතා දුබල තත්වයේ පසු වූ ලුලූ පසුව
කෙමෙන් සුවය ලැබුවා. ලුලූ ගළවාගැනීමේ මේ මෙහෙයුමට පැය හයක් විතර ගතවුණා. ලුලූ
බේරාගැනීමේ මෙහෙයුම ගැන එරට වගේම ජාත්‍යන්තර මාධ්‍යත් උනන්දු වුණේ සතෙකුගේ වුණත්
ජීවිතයේ වටිනාකම මිල කළ නොහැකි නිසා.
මේ සිදුවීමට
මහා බ්‍රිතාන්‍යයේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල මාධ්‍යවලින් පුළුල් ප්‍රචාරයක්
දී තිබුණා. මේ ලුලූගේ කතාවෙන් අපට පැහැදිලිවන එක් දෙයක් තියෙනවා. එනම් අපේ අතීත
හිමිකමක් වූ සත්ව අවිහිංසාව අපෙන් ගිළිහී ගොස් දැන් අපට එය සුද්දන්ගෙන් මුළ සිට
ඉගෙනගැනීමට සිදුව තිබෙන බවයි.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න