Wednesday, March 19, 2014

රින්ග් ඉන්ග් ටෝන් හෙවත් කෝල් එකක් ගන්න කොට සිංදුවක් ඇසීමේ තාක්ෂණය - A Story of Callback Music


අපට ගීත අසන්නට විවිධ ක්‍රම තිබේ. එකක් නම් අප ගුවන් විදුලි යන්ත්‍රයක් අසළට වී සිටිය යුතුය. රූපවාහිනියෙන් අපට කැමති වේලාවට ගීත නොයන බැවින් මේ සඳහා එය එතරම් ප්‍රයෝජනයවන්නේ නැත. තවෙකක් නම් සීඩී ධවන යන්ත්‍රකයට අප කැමති තැටියක් දමා ගීතයක් ඇසීමය. එම්.පී. ත්‍රී ක්‍රියාකරන යන්ත්‍රයකින්ද අපට ගීත ඇසිය හැකිය. මීට අමතරව අප ඇතැම් හිතවතුන්ගේ දුරකතනයට ඇමතුමක් දුන්විට එම ඇමතුම සම්බන්ධ වන්නට පෙර ද ගීත ඇසිය හැකිය. එක් හිතවතකු දිනක් මගෙන් ඇසුවේ අර අසවල් සිංදුව අසා තිබේද?” කියාය. මා නැතැයි පැවසූ විට ඔහු පැවසූයේ, “මගේ ෆෝන් එකට රිංග් එකක් දෙන්නකියාය. මම එසේ කළ විට අදාළ ගීතය මට ඇසිණි. 

වර්තමානයවන විට බොහෝ දෙනෙකුගේ දුරකතනවලින් මෙවැනි විවිධ ගීත ඇසිය හැකිය. මෙම තාක්ෂණය ජාත්‍යන්තරව රින්ග් බැක් මියුසික්’ (Ringback music) ලෙස හඳුන්වනු ලබයි. රින්ග් බැක් මියුසික්ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ කාර්ල් සීලීග් නම් ඇමරිකානු ජාතිකයාටය. මෙයට පෙර කිහිප දෙනෙකු විසින් මෙය හඳුන්වා දී තිබුණත් එය ප්‍රයෝගික තත්වයට පත් කළේ ඔහුය.

අපේ රටේ එක් එක් ජංගම දුරකතන සමාගම් මෙම සේවාව රින්ග් ඉන් ටෝන්’, එම් ටියුන්ස්’, කෝලර් ටියුන්ආදී විවිධ නම්වලින් හඳුන්වා දෙයි. මේ කිසිදු සමාගමකට බලපෑමක් නොවනු වස් මෙම ලිපියේ මෙම සේවාව රින්ග් බැක් මියුසික්යනුවෙන් සඳහන් කරන්නට තීරණය කළෙමු.

හිටිහැටියේ දුරකතනයට නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබෙන අතර එයට පිළිතුරු දෙන විට දැනගන්නට ලැබෙන්නේ එය අපගේ දුරකතන සේවා සමාගමෙන් ලැබෙන ඇමතුමක් බවය. එයින් කියැවෙන්නේ අසවල් අසවල් ගීත අපගේ මේ සඳහන් කළ ආකාරයේ රින්ග් බැක් මියුසික්ලෙස යොදාගත හැකි බවයි. අප කළ යුතුවන්නේ සමාගමේ උපදෙස් පිළිපැද ගීතයට අදාළ අංකය තෝරාගැනීම පමණි. මේ සඳහා අප බදු ද ඇතුළුව යම්කිසි මුදලක් සමාගමට ගෙවිය යුතුය. අප ඒ ගාස්තුව ගෙවන්නේ මාසයක කාලයක් සඳහාය.

විවිධ පුද්ගලයෝ විවිධ ගීත සිය රින්ග් බැක් මියුසික්ලෙස යොදා ගනිති. යුද්ධය පැවැති සමයේ බොහෝ ඇතැම් අයට ඇමතුමක් දෙනවිට ඇසුනේ දේශාභිමාන ගීතය. අප විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇමතුමක් දෙනවිට ඇසෙන්නේ කවිබණක්, බෝධි පුජා කවි වැනි දෑය. ඇතැම් අයට ඇමතුමක් දුන්විට නව පරපුරේ ගීතද, හිටිහැටියේ බයිලා ද, ඉංග්‍රීසි ගීතද ඇසේ. දෙමළ ගීත අසන්නට නම් දෙමළ හිතවතකුට ඇමතුමක් දිය යුතුය.

යම්කිසි පුද්ගලයකුට තමා පිළිබඳ පූර්ව නිගමනයක් ඇමතුම දෙන්නා තුළ ඇතිකීරීමට ද මෙම රින්ග් බැක් මියුසික්යොදාගන්නට පුළුවන. යම්කිසි පුද්ගලයකුට ඇමතුමක් දුන් විට යමන් බණඩෝ වෙසක් බලන්න වැනි ගීතයක් ඇසුණහොත් ඔහු බජාර් එකේ හොඳ කකුලක්යැයි අපට සිතිය හැකිය. ඔහු බජාර් එක පැත්ත පලාතේ නොගියත් අපට සිතෙන්නේ එසේය. විරහ ගීතයක් යමෙකුට ඇමතුමක් දුන් පසු ඇසේ නම් මෙයා හොඳ බූට් එකක් කාලා ඉන්නවා වගේ පේනවායැයි නිකමට හෝ පැවසිය හැකිය. ආගමික ගීතයක් ඇසෙන්නට සැළැස්වීම මගින් අදාළ පුද්ගලයාගේ ආගමික භක්තිය හොඳින් පිළිබිඹු වේ. ඔහු තුළ ආගමික් භක්තියක් නොමැති වුව ද අපට සිතෙන්නේ එසේය. වෙනත් ගීත ඔස්සේ භාවිත වන රින්ග් බැක් මියුසික්පිළිබඳව පැවසිය හැක්කේද මෙයමය.

ඇතැම් පුද්ගලයින් රින්ග් බැක් මියුසික්සිය දුරකතන සේවයට ලබාගන්නේ ඒ පිළිබඳ පූර්ව දැනුමකින්, අවබෝධයකින් නොවේ. ඇතැම් අයට මෙය සක්‍රියකරගන්නට අවශ්‍ය නැතත් එම සේවය ලබාගනී. දුරකතන සමාගම මගින් මේ පිළිබඳ දැනුවත් කරන්නට ලබාදෙන ඇමතුමට අනුව විවිධ අංක ඩයල් කරන්න යැයි පවසනු ලබයි. නිසි අවබෝධයකින් තොරව මේවා මෙසේ ඩයල් කිරීමට යාමෙන් ද රින්ග් බැක් මියුසික්සේවාව සක්‍රිය වන අවස්ථා නැතිවම නොවේ. මේ පාරිභෝජන සමාජයේ ස්වභාවය එයය.

සිය මිතුරන් බයිට් කිරීම සඳහා ඇතැම් අය රින්ග් බැක් මියුසික්යොදාගන්නා අවස්ථා තිබේ. අපගේ එක් මිතුරෙක් මෙවැනි බයිට් වීමකට ගොදුරු වූයේය. ඔහු සියලු දෙනා අතර ඉතා ගුණ යහපත්, ආගම දහමට බර පුද්ගලයකු ලෙස ප්‍රකටව සිටියේය. දිනක් ඔහුගේ ජංගම දුරකතනය බලන්නට කියා ඉල්ලාගත් මිතුරකු කළේ ඔහුගේ ප්‍රතිරූපයට කොහෙත්ම ගැළපීමක් නැති ගීතයක් රින්ග් බැක් මියුසික් ලෙස තෝරා නිහඬව සිටීමය. මෙම සේවාව ලබාගත් පුද්ගලයාට කිසිවිටෙක සිය දුරකතනය වෙනුවෙන් සක්‍රිය කළ රින්ග් බැක් මියුසික්ඇසෙන්නේ නැති නිසා අපේ මිතුරාට ද මේ පිළිබඳව දැනගන්නට ද ඉඩක් ලැබුණේ නැත. ඔහුගේ වැඩිහිටියන්, විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ, ගමේ පාසලේ විදුහල්පතිතුමා සහ ගුරුවරුන් ඔහුට නිතර ඇමතුම් දෙන ලැයිස්තුවේ සිටි බැවින් මෙම ගීතය ඇසීමෙන් ඔවුහු කලබල වූහ. ඔහුට මෙය දැනගන්නට ලැබෙන විට ඔහුගේ ප්‍රතිරූපය සෑහෙන්න දෙදරා ගොස් තිබිණි.

මෙවැනි සිදුවීමක් භික්ෂූණ් වහන්සේ නමකට ද සිදුවිය. උන්වහනසේගේ දුරකතනයට ඇමතුමක් ලබාදුන් විට ඇසුණේ අපූරු ගීතයකි. ඒ රම්බරි කියපන් උඹෙ නොම්බරේ කියා පටන් ගන්නා ගීතයකි. උපාසිකාවක් හෝ දායක මහත්මියක් කතා කළේ නම් ඇය නිසැකවම එම අවස්ථාව්දී රම්බරි බවට පත්වෙයි. භික්ෂූණ් වහන්සේට ඇමතුම දුන් කිහිප දෙනෙකුටම මෙම ගීතය ඇසුණු පසු ඔවුන් උන් වහන්සේගෙන් අසා තිබුණේ එම බයිලා ගීතය නොදා බෝධි පූජා කවි පංතියක්වක් දැමුවා නම් හොඳයි නේදකියාය. උන්වහන්සේ මෙය අසා උඩබිම බැලූහ. මහත්තයා මේ මොකක් ගැනද කියන්නේ කියා ඇසූහ. හාමුදුරුවනේ, ඔබ වහන්සේම මගේ ෆෝන් එකෙන් ඔබ වහන්සේගේ අංකයට කෝල් එකක් අරන් බලන්නයැයි පැවසූ පසු උන්වහන්සේ එසේ කළහ. උන්වහන්සේ සිහිවිකල් වූවේ එවිටය. මම හිතුවා මේ ඇබිත්ත කොලුවා මගේ ෆෝන් එක අරන් ඉන්න කොට මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරන්න ඇති කියලායනුවෙන් උන්වහනසේ පැවසූහ.

ඇතැම් තරුණ තරුණියෝ සිය රින්ග් බැක් මියුසික්ලෙස ප්‍රේම විලාප, ප්‍රේමාරාධනා යොදාගෙන සිටිති. පාලු අඳුරේ තනිවෙන්න එන්න’, ඔබ නැති යහන මට පාලුයි’, ඔබ උණුසුම මට දෙන්නවැනි වචන නව පරපුරේ රින්ග් බැක් මියුසික්වල ඕනෑ තරම් දැකිය හැකිය. යම් අවස්ථාවක ඔවුනගේ මව හෝ පියා ඇමතුමක් දුන්නේ නම් සිය පුතුගේ හෝ දුවගේ ප්‍රේම විලාපයන්, ප්‍රේමාරාධනා අසන්නට වන්නේ දෙමාපියන්ටය. අපගේ මෙවැනි පෞද්ගලික හුටපටඅම්මා හෝ තාත්තා හෝ දැනගත්තේ නම් අපට දැනුනේ පොලොව පළාගෙන යන්නට තරමේ ලජ්ජාවක් වුවත් වර්තමාන පරපුරට එවැන්නක් නොදැනෙන බැවින්දෝ ඔවුන් මෙවැනි ගී සිය රින්ග් බැක් මියුසික්සඳහා සොයාබැලීමකින් තොරව නැතිව යොදා ගන්නවා වන්නට පුළුවන.

රින්ග් බැක් මියුසික්තම ජංගම දුරකතනයේ සක්‍රීය කරගත් පසු ඔහුට ඇමතුමක් දෙන්නාට මෙම ගීතය හොඳින් ඇසෙන්නට නම් දුරකතනයට පිළිතුරු දීම මඳක් පමාකළ යුතුය. ඇමතුම ලැබෙනවිටම පිළිතුරු දුනහොත් ගීතය අනෙක් පාර්ශවයට ඇසෙන්නේ නැත. මේ හේතුව නිසා ඇතැම්හු හිතාමතාම පිළිතුරුදීම පමා කරති. එවිට ඇමතුම දෙන්නා සූදානම් වූයේ හදිසි පණිවිඩයක් ලබාදෙන්නට නම් ඔහු මානසිකව පත්වන තත්වය පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නැත. සිය ආයතන ප්‍රධානියා ඇමතුමක් ලබා දී මෙසේ පිළිතුරු දීම පමාකළහොත් රැකියාවට පවා ගැටලු ඇතිවන්නට පුළුවන.

රින්ග් බැක් මියුසික්සම්බන්ධව කතා කිරීමේදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ මෙය අද අප රටේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද මුදල් උපයන උල්පතක් බවට පත්වී ඇති බවය. අප රටේ නම් මෙම ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන් අරමැදියන් ලෙස ක්‍රියාකරමින් ජංගම දුරකතන සමාගම්වලට ගීත සැපයීම සිදුකරයි. මෙහිදී ගායකයාට, ගී පද රචකයාට හා සංගීත රචකයාට යම් මුදලක් හිමි වේ. දුරකතන සමාගම හා අතරමැදියා ද වෙහෙසවීමකින් තොරවම සෑහෙන ලාභයක් උපයා ගනී. අප රටේ සාමාන්‍යයෙන් මෙම පහසුකම ලබාගැනීම සඳහා බදු රහිතව රුපියල් 30ක් පමණ වැය වේ. ඒ මාසයක කාලයක් සඳහාය. මෙය වර්තමානයේ ව්‍යාපරයක් බවට පත්ව ඇති නිසා නව පරපුරේ සංගීත ශිල්පීන් මුදල් උපයාගැනීමේ මාර්ගයක් ලෙස සිය ගීත රින්ග් බැක් මියුසික්සඳහා දුරකතන සමාගම්වලට ලබාදෙයි. ඇතැම් ශිලපීන් රින්ග් බැක් මියුසික්සඳහාම ගීත නිර්මාණ කරනු දක්නට ලැබේ. පැරණි ගායන ශිල්පීන්ගේ ගීත ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වෙනත් පුද්ගලයන් විසින් මෙම ව්‍යාපාරයට යොදාගෙන ඇති අතර ඔවුනගෙන් ඇතැමෙකුට මේ සඳහා කිසිදු ගෙවීමක්  හිමිවන්නේ ද නැති බව දනගන්නට ලැබේ. අප අසල්වැසි ඉන්දියාවේද මෙම ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර අපට ද ආභාෂය ලැබෙන්නට ඇත්තේ එරටින් වන්නට ඇත. නමුත් මෙය ලොවට හඳුන්වාදුන් ඇමරිකා එක්සත් ජනපදයේ මෙම ව්‍යාපාරය සිතූ තරම් සාර්ථක වී නැති බැව් පෙනෙන්නට තිබේ.

දුරකතන සමාගම් අප මත බලෙන් මෙන් පටවන මෙවැනි විශේෂාංග සක්‍රිය කරගැනීමේදී අප සිතා බැලිය යුතු දෙයක් තිබේ. මේවා සියල්ල වර්තමාන පර්භෝජන සමාජය විසින් අප මත බලයෙන් පැටවූ අවශ්‍යතා මිස අපට අත්‍යවශ්‍ය දේවල් නොවේ. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් තෝරාගැනීමේදී අප කරුණු කිහිපයක් සළකා බලයි. ඒ මෙසේය.

1. අත්‍යවශ්‍ය
2. එතරම් අවශ්‍ය නැති, එහෙත් අවශ්‍ය
3. අවශ්‍යම නැති, නැතත් කමක් නැති
4. අවශ්‍යම නැති

මෙම රීතිය ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකට අදාළ වේ. මෙයට අනුව බහුතරයක් සම්බන්ධයෙන් ගතහොත්  සිතා බැලීමේදී රින්ග් බැක් මියුසික්යන්න අයත්වන්නේ 3 ට හෝ 4 ටය. නමුත් ඔබ සියලු දෙනා රින්ග් බැක් මියුසික්සේවාවෙන් මිදිය යුතුය යන්න මෙයින් අදහස් කෙරෙන්නේ නැත. එය තීරණය වන්නේ ඔබගේ කැමැත්ත හෝ අකැමැත්ත මතය. නමුත් තාක්ෂණය අප භාවිත කළ යුත්තේ සමාජයේ යහපැවැත්ම සඳහාය. එසේ නොවුනු සෑම අවස්ථාවකම වන්නේ සමජයේ අසමබරතාවයන් ඇතිවී සමාජ පද්ධතිය බිඳීයාමය. වර්තමානවේ පවතින රින්ග් බැක් මියුසික්සේවාව හෝ එයට අනුබද්ධ ව්‍යාපාර හේතුවී ඇත්තේ සමාජ යහපැවැත්මට ද සමාජ පරිහාණියට ද යන්න තීරණය කිරීම ඔබ ෂතු දෙයකි. ඒ අනුව ක්‍රියාකිරීම ඔබගේ සමාජ වගකීමකි.


2 comments:

  1. රිඟින් ටෝන් දාගන්න බූරුවෝ හිතන්නේ උන් අහන කුණු සින්දු උන්ට කෝල් කරන අපිත් අහන්න ඕනේ කියලා. තමන්ගේ දුකක් කරදරයක් හදිසි මරණයක් කියන්න කෝල් එකක් ගත්තම උන්ගේ මේ මල මගුල් ඇහෙනකොට හිතට එන දේවල් උන්ගේ අම්මලට තමයි කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. මාත් ඔබත් සමග ඒකගයි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න