ජලය හෙවත් H2O යනු අප ජීවිතයට අත්‍යවශ්‍යම දෙයකි. ආහාර
නොමැතිව සිටිය ද ජලය නොමැතිව ජීවත්වීම කළ නොහැකි දෙයකි. මිනිස් සිරුරෙන් 66%ක්ම සමන්විත වන්නේ ජලයෙනි. ජලය අපගේ රුධිරය
ඔස්සේ ගමන් කරයි. සෛලවල ජීවත්වෙයි. සෑම මොහොතකම දහදිය, මළ මුත්‍ර, ප්‍රස්වාසය සහ තවත් වෙනත් ක්‍රම ඔස්සේ අප සිරුරෙන් ජලය ඉවත්වෙයි. මෙසේ
ඉවත්වන ජලය සිරුරට නැවත ලබාදීම අත්‍යවශ්‍ය දෙයකි. නමුත් එය අනවශ්‍ය පිරිදි
සිදුකිරීම ද හිතකර කටයුත්තක් නොවේ. මන්ද ඕනෑම යහපත් දෙයක් වුවත්, පමණ ඉක්මවා සිදුකිරීම අවසානයේදී අහිතකර
වියහැකි නිසාය.
ඇමරිකා එක්සත්
ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ 28 හැවිරිදි ජෙනිෆර් ස්ට්‍රේන්ජ් නම් කාන්තාව ගුවන් විදුලි නාලිකාවක් මගින්
පවත්වන ලද ‛දිය පානය කිරීමේ තරගයකට’ සහභාගිීවීමේ ප්‍රතිඵලයක් ලෙස මිය ගියාය. මරණ
පරීක්ෂණයේදී පැවසුනේ අධික ලෙස ජලය පානය කිරීම මෙම මරණයට හේතුවී ඇති බවය. ඇය පැය
තුනක කාලයක් ඇතුළත ජලය ලීටර් 6ක් පානය කොට
තිබිණි. මුළින්ම ඇයට වමනය යන්නට වූ අතර පසුව තදබල හිසරදයක් වැළඳිණි. ඇය මිය ගියේ ‛ජලයෙන් මත්වීම’ නිසා යැයි සඳහන්ය. අධික ලෙස ජලය පානය කිරීම නිසා රුධිරය
පමණ ඉක්මවා තනූක වීම හෙවත් දියාරු වීම නිසා ‛හයිපොනට්‍රිමියා’ (hyponatremia ) නම් තත්වයක් ඇතිවෙයි. මරණයට පත්වන්නට
හේතුවන්නේ මෙම තත්වයයි.
‛හයිපොනට්‍රෙමියා’ ජන වචනය ගොඩනැගී ඇත්තේ ‛රුධිරයේ ලවණ
හිඟතාවය’ නම් අරුතැති ලතින් හා
ග්‍රීක වදන්වල සම්මිශ්‍රණයකිනි. ප්‍රමාණාත්මකව සඳහන් කළහොත් මෙයින් කියැවෙන්නේ
රුධිරය ලීටරයක ඇති සෝඩියම් සාන්ද්‍රණය මිලිමෝල (millimoles -
මිලිමෝල යනු රසායන විද්‍යාවේදී භාවිතවන මිණුම් ඒකකයකි) යනු 135 ට වඩා අඩුවීමය. එසේත් නැත්නම් ආසන්න වශයෙන්
ගැලුමකට අවුන්ස 0.4කි. සාමාන්‍යයෙන්
රුධිරය ලීටරයකට මිලිමෝල 135 - 145 අතර පැවතිය යුතුය. ‛හයිපොනට්‍රෙමියා’ ව වඩාත් අසාධ්‍ය වූ විට ජලය නිසා ඇතිවන මත්භාවයට හෙවත්
ජල මත්භාවයට පත්විය හැකිය. මෙහිදී හිස කැක්කුම, විඩාව, වමනය, නිතර මුත්‍රාකරීමට
ඇති අවශ්‍යතාවය සහ මානසික අසමබරතාවය ඇතිවේ.
මිනිස්
වකුගඩුවල ඇති ලක්ෂ ගණනක් වූ නාලිකා පෙරහණයක් ලෙස ක්‍රියාකරමින් ජලය, ලවණ හා අනෙකුත් ද්‍රාව්‍යයන් වෙන්කරයි.
යම්කිසි පුද්ගලයෙක් කෙටි කාලයක් ඇතුළත පමණ ඉක්මවා ජලය පානය කළහොත් එතරම් ජල ප්‍රමාණයක්
ඉතා වේගයෙන් පෙරන්නට වකුගඩුවලට නොහැකි වෙයි. එවිට එම ජලය රුධිරය සමඟ මිශ්‍ර වෙයි.
රුධිරය සමඟ මිශ්‍රවන ජලය අවසානයේ ගමන් කරන්නේ සෛල කරාය. අධික ජල සාන්ද්‍රණයක්
ජලයෙහි ඇති බැවින් සෛල ඉදිමෙන්නට පටන්ගනී.
මේදය හා මාංශ
පේශීමය ස්වභාවයක් ඇති බොහෝ සෛලවල ඇදෙන සුළුබවක් පැවතීම නිසා ඒවාට ප්‍රමාණයෙන්
විශාලවීමේ හැකියාවක් පවතී. නමුත් මස්තිෂ්කයේ හෙවත් මොලයේ ඇති සෛලවලට මෙම හැකියාව
නැත. මස්තිෂ්ක සෛල හිස්කබලේ දෘඩ අස්ථි තුළ ඉතා තදින් ඇසිරී පවතී. රුධිරය සහ
මස්තිෂ්ක ෂුෂුම්නා දියරය පැවතිය යුත්තේද මේ ඉඩ තුළමය. මෙවැනි තත්වයක් තුළ සෛලවලට
ඉදිමෙන්නට ඉඩක් නොමැති බව ඇමරිකා එක්සත් ජනපදයේ ඩියුක් සරසවියේ චිකිත්සක ස්නායු
විද්‍යාඥයකු වන වොල්ෆෑන්ග් ලියඩ්ට්කේ පවසයි.
මෙවැනි
තත්වයක් තුළ මස්තිෂ්කය ඉදිමීම අනතුරුදායක තත්වයක් බවට පත් වේ. සීග්‍ර හා දරුණු ‛හයිපොනට්‍රෙමියා’ තත්වයකදී මස්තිෂ්ක සෛලවලට ජලය ඇතුළුවීම මස්තිෂ්කයේ
ඉදිමීමට හේතු වේ. මෙය මස්තිෂ්ක ආබාධ, කොමා, ස්වසන නැවතීම
සහ අවසානයේ මරණයට ද හේතු විය හැකි යැයි ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් මහ
රෝහලේ සහ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය
එම්. අමින් ආර්නෝට් පවසයි.
නමුත් අප කුඩා
කල සිටම අසා ඇත්තේ හැකි තරම් ජලය පානය කිරීම නිරෝගී ජීවිතයක මගපාදන එක් සාධකයක්
බවය. දිනකට ජල වීදුරු අටක්වත් පානය කළ යුතු යැයි පැවසෙන කතාවේ සත්‍යතාවය පිරික්සා
බැලීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ඩාර්ට්මවුත් වෛද්‍ය විද්‍යාලයේ වකුගඩු සම්බන්ධ
විශේෂඥ වෛද්‍යවරයකු වන හේන්ස් වැලිටින් පරීක්ෂණයක් සිදු කළේය. එම පරීක්ෂණයෙන් පසු
ඔහු නිගමනය කළේ දිනකට ජල වීදුරු අටක් පානය කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට
මගපාදන්නක් බවට තහවුරු කළ හැකි කිසිදු සාධකයක් නොමැති බවය.
‛ජලය විෂවීම’ යැයි මෙහිදී සඳහන් කළ තත්වය අධික ලෙස ජලය පානය කිරීම
නිසා පමණක්ම ඇතිවන්නක් නොවේ යැයි ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ්ටවුන් සරසවි වෛද්‍ය
මධ්‍යස්ථානයේ සභාපතිවරයා වන ජෝශෆ් වර්බලිස් පවසයි. මෙය අධික ලෙස දියර ශරීරයට ලබාදීම සහ
ඇන්ටිඩියුරෙටික් හෝමෝනයේ වෑස්සීම අතර සහසම්බන්ධතාවය මගින් සිදුවේ. හයිපොතැලමස
මගින් නිපදවනු ලබන මෙම හෝමෝනය රුධිර ධාරාවට වෑස්සෙන අතර සිරුරේ ජලය
ආරක්ෂාකරගන්නැයි එමගින් වකුගඩුවලට උපදෙස් දෙයි. ශාරීරික ආතතිමය අවස්ථාවලදීද මෙහි
වෑස්සීම් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස මැරතන් ධාවන තරගයක් වැනි සිරුර අධික ලෙස
වෙහෙසවන අවස්ථාවක් දැක්විය හැකිය. එවිට යම් පුද්ගලයෙක් අධික ලෙස ජලය පානය කළ ද
මෙවැනි අවස්ථාවකදී සිදුවන්නේ සිරුරේ ජලය ආරක්ෂාකිරීමය.
නීරෝගී
වකුගඩුවකට සාමාන්‍යයෙන් සෑම පැයකටම ජලය මිලි ලීටර් 800 - 1,000 (ගැලුම් 0.21 - 0.26) වැනි ප්‍රමාණයක් පෙරන්නට හැකියාව තිබේ. එබැවින් යම් පුද්ගලයෙක් පැයකට පානය
කළ යුතු ජල ප්‍රමාණය වන්නේ ද මිලි ලීටර් 800 - 1,000 අතර ප්‍රමාණයකි. සාමාන්‍ය පුද්ගලයෙකු මැරතන් ධාවනයක්
වැනි ශාරීරික ආතති අවස්ථාවකට පත්වීමේදී මෙම හෝමොන්ය වෑස්සීම ද අධිකව සිදුවෙයි.
එවිට වකුගඩු සිය ජලය පෙරීමේ වේගය බොහෝ පහත හෙළයි. එය ඇතැම් විට පැයකට මිලිලීටර් 100ක් තරම් විය හැකිය.
ව්‍යයාමකිරීමේදී
ඔබ පානය කරන ජලය ප්‍රමාණය ඔබෙන් පිටවන දහදිය ප්‍රමාණය අතර සම්බරතාවයකින් පවත්වාගනත
යුතුවේ. ක්‍රිඩාවේදී යොදාගැනෙන විවිධ පාන වර්ග ගැනීමේදීද සැළකිලිමත් විය යුතුය.
කෙසේ හෝ පැයකට ඔබෙන් දහදිය ලෙස මිලිලීටර් 500 ක් පිටවන්නේ නම් ඔබ ජලය පානය කළයුත්තේ එම ප්‍රමාණය
පමණි.
නමුත් දහදිය
පිටවීම මැනීම යනු පහසු කටයුත්තක් නොවේ. පානය කළ යුතු ජලය ප්‍රමාණය කුමක්දැයි ඔබ
තීරණය කළ යුතුය. පිපාසය ඇතිවිට පමණක් ජලය පානය කිරීම සෑහෙන බැව් වර්බලිස් පවසයි.
The correct form of the topic should be, 'Drinking of Water too much is dangerous'
ReplyDeleteස්තූතියි ඔබට
Delete