Wednesday, July 9, 2014

මැරුණු බව පිළිගන්නට අකමැති රෝගය - Denying the Death


පස් කන්දකට යටවී සිය කුඩා දියණිය මිය  ගියද, ඇය මිය ගිය බව පිළිගන්නට අකමැතිව දිගින් දිගටම ඇය උණුසුම් කරමින්, ඇයට කතා බහ කළ මවක් පිළිබඳ අනුවේදනීය සිදුවීමක් මෑතකදී හැටන් නගරයෙන් වාර්තා වුණා. මේ මව සිය දරු දෙදෙනා සහ සිය සොයුරා සමඟ හැටන් නගරයේ කඩපේළියක වූ කාමරයක නවාතැන් ගෙන සිටියා. රාත්‍රියේ සිදු වූ නාය යාමෙන් කඩ පේළිය මතට ඇද වැටුණු යෝධ පස් කණ්ඩියක් නිසා මේ ඛේදවාචකය සිදුවී තිබුණා. එයින් ඇයත්, ඇගේ අනෙක් දියණියත්, සොයුරාත් දිවා ගළවා ගත්තත්, මේ කුඩා දියණිය මෙලොව හැර ගියා. නමුත් මව සිය කුඩා දියණිය මිය ගිය පිළිගන්නට කිසිසේත්ම කැමති වුණේ නැහැ. අපට මේ සිදුවීමත් සමඟ මතකයට නැගෙන්නේ බුදු සිරිතෙන් අපට හමුවන කිසාගෝතමී චරිතයයි. ඇයගේ දරුවාද ඉතා කුඩා වියෙහිදීම මිය යනවා. දරුවා මිය ගොස් ඇති බැව් සියලු දෙනා පැවසූවත් ඇය එය පිළිගන්නට කැමති වන්නේ නැහැ. අවසානයේ ඇය සිය පිහිට පතාගෙන දිව යන්නේ බුදුරජාණන් වහ්නසේ වෙතටයි. නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්න යැයි බුදුරජාණන් වහන්සේ එවිට පවසනවා. ඇය අබ සොයමින් නිවසින් නිවසට ගියත් ඒ සැම නිවසකම කවදා හෝ කිසිවකු හෝ මිය ගොස් ඇති බව ඇයට තේරුම් යනවා. මරණය කාටත් මුහුණ දෙන්නට සිදුවන පොදු ධර්මතාවයක් බවත්, සිය දරුවාට ද එහි වෙනසක් නැති බවත් තේරුම් ගන්නා කිසාගෝතමිය අවසානයේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලබාගෙන රහත් භාවයට ද පත් වෙනවා.

කිසාගෝතමියගේ වගේම හැටන් නගරයේ අප දුටු මවත් සිය දරුවන් මිය ගිය බව පිළිගන්නට කැමති වූයේ නැහැ. සිය දරුවන්ට අධික ලෙස බැඳීමක්, ආදරයක් පවතින ඕනෑම කෙනෙකුගේ දරුවකුට විපතක් සිදු වුවහොත් මෙවැනි අත්දැකීමකට මුහුණ දිය හැකියි. මෙම තත්වය පසුපස ඇත්තේ මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියක්. එය හඳුන්වනු ලබන්නේ ප්‍රතිෂේධනය’, එසේත් නැත්නම් ප්‍රතික්ෂේප කිරීම’ (denial) නමින්. අප යළි කිසාගෝතමියගේ චරිතය දෙසට හැරුණොත් ඇයට මෙවැනි තත්වයක් ඇතිවන්නට හේතු වූ තවත් කාරණා සොයාගන්නට පුලුවන්. උපතින් දිළිඳු දැරියක වන ඇයට එක්තරා දෛවෝපගත සිදුවීමක් නිසා සිටුවරයකුගේ පුතකු හා සරණ යාමට වාසනා සම්පත්තියක් හිමිවනවා. එසේ වුව ද ඇය  විවාහ වී බොහෝ කාලයක් ගත වුව ද දරුවන් ලැබෙන්නේ නැහැ. මේ නිසා ඇය සිය නැන්දනිය ඇතුලුව සැමියාගේ පාර්ශ්වයේ බොහෝ දෙනෙකුගෙන් නිතර දොෂාරෝපණයට ලක්වෙනවා. මෙසේ සිටියදීයි ඇයට දරුවකු ලැබෙන්නේ. එයින් පසුව තත්වය වෙනස් වෙනවා. මෙතෙක් කල් දෝෂාරෝපණය කළ අයම ඇයට ආදරය කරන්න, හොඳින් සළකන්න පටන් ගන්නවා. තමාට යළි සියලු දෙනා ආදරය කරන්නේ දරුවා නිසා බැව් ඇය තේරුම් ගන්නවා. එසේ තිබියදී දරුවා මිය ගිය බව පිළිගන්නට ඇය අකැමතිවීම පුදුමයක් නොවේ. ඇයට ජීවිතය ගෙන දුන් දරුවා අහිමිවීම තුළින් සිය ජීවිතය ද අහිමිවන බව ඇය තේරුම්ගන්නවා. දරුවා කෙසේ හෝ ජීවත්කරවන්නට ඇය උත්සාහ කරන්නේ ඒ නිසයි.

දරාගන්නට දුෂ්කර, ශෝක ජනක හැඟීමක් ප්‍රතික්ෂේප කිරීම එක් අයෙකුට හෝ දෙනෙකුට හෝ සිදුවන්නක් නොවේ. ඇපට ජීවිතයේ සිදුවන ඇතැම් සිදුවීම්, එසේ සිදු නොවුනානම් කෙරතම් හොඳදැයි සිතුණු අවස්ථා තිබෙන්නට පුලුවන්. ඒ එවැන්නක් පිළිගන්නට ඇති අකැමත්ත නිසයි. මානසිකව සිදුවන මෙවැනි හදිසි අවස්ථා නිසා ඇතැම් විට අප වෙනත් දරුණු මානසික හා කායික ආබාධවලට ලක්වන්නට පුලුවන්. මේ තත්වයන්ගෙන් වළකාලීම සඳහා එක්තරා මානසික ක්‍රියාවලියක් සිදුවනවා. එය ඉංග්‍රීසි බසින් Defence mechanisms යනුවෙන් හඳුන්වනු ලබන අතර සිංහලෙන් ආරක්ෂණ යාන්ත්‍රණයවැනි නමකින් හඳුන්වන්නට පුලුවන්. කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු හෝ සෘණාත්මක හේතූන් නිසා ඇතිවිය හැකි කාංසා තත්වයන්ගෙන් අප ආරක්ෂා කරදීමට ඇතිවන ස්වභාවික ක්‍රියාවලියයි මේ නමින් හැඳින්වෙන්නේ. අප කලින් සඳහන් කළ ප්‍රතිෂේධනයකියන්නේ මේ ආරක්ෂණ යාන්ත්‍රණයේ මුල් තැනටම වැටෙන අංගයක්.

හැටන් හි මවගේ සිදුවීම වැනි අති ශෝකජනක අවස්ථාවලදී පමණක් නොව වෙනත් තත්වයන් යටතේ ද ප්‍රතිෂේධනය ක්‍රියාත්මක වන්නට පුලුවන්. මෙහිදී සිදුවන්නේ සත්‍යය හෝ යථාර්ථය ප්‍රතික්ෂේප කිරීමයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් ද බොහෝ විට තමන් එවැනි තත්වයක සිටින බව පිළිගන්නට කැමති නැහැ. සාමාන්‍යයෙන් තනි පුද්ගලයකුට දරාගන්නට බැරි තරම් ශෝකජනක හැඟීමක් නිසා කිසියම් පුද්ගලයකුගේ මානසිකත්වයට හානි සිදුවීමත්, මානසිකත්වයට සිදුවන හානියේ ප්‍රතිඵලයක් ලෙස ශාරීරිකව සිදුවන හානියත් අවම කරගැනීම සඳහා මෙම ප්‍රතිෂේධනය ඉවහල්වනවා. තමාට සමීප පුද්ගලයකුගේ වියෝවීම පිළිගන්නට අකැමතිවන්නේ අදාළ පුද්ගලයා තම ජීවිතයට කෙතරම් සමීප ද යන්න මතයි. එක් මවකගේ දියණියක් පාසල් ගොස් නිවසට පැමිණෙන අතරතුරදී සිදුවන අනතුරකින් මිය යනවා. නමුත් මේ මව තම දියණිය මියගිය බව පිළිගන්නට කැමති නැහැ. ඒ නිසා ඇය සිය දියණිය පාසලට හෝ වෙනත් තැනකට නිවසින් පිටතට ගොස් ඇති තත්වයක් සිතා ගනිමින් හැසිරෙනවා. ඇය අසල්වැසියන් සමඟ පවසන්නේ සිය දියණිය පාසලට ගොස් නැවත නිවසට නොපැමිණි බවයි. එසේ සිදුවන්නේ තමාට සිටි එකම දියණිය හදිසියේම වියෝ වූ බව පිළිගන්නට අකැමති නිසයි. ඇයගේ වියෝව ඇයට දරාගන්නට හැකි දෙයක් නොවෙයි. යම් හෙයකින් තම දියණිය මියගිය බව ඇය සිතට ගතහොත් ඇතිවන මානසික ව්‍යාකූලතාවය නිසා ඇයට හෘදයාබාධයක් හෝ ආඝාතමය තත්වයක් වුවත් ඇතිවන්නට පුලුවන්. මේ නිසා ඇගේ මනස විසින්ම ඇය තුළ ප්‍රතිෂේධන තත්වයක් ඇතිකොට ආරක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරවනවා.

අප හැටන් සිදුවීම පිළිබඳ යළි අවධානය යොමු කළහොත් ඇගේ මුහුණින් පළවන හැඟීම් ගැන අවධානය යොමුකළ හැකියි. සිය දරුවකු මිය ගිය බව තේරුම්ගත් මවක නම් මේ අවස්ථාවේදී හඬා වැළපෙන්නේ මේ ආකාරයට නොවෙයි. තම දරුවා නැවත ආපසු නොඑන බව මරණයේ යථාර්ථය අවබෝධ කොටගත් මවක් දන්නවා. නමුත් මේ මවගේ ඇත්තේ ඊට වෙනස් තත්වයක්. ඇගේ මුහුණේ  ඇත්තේ යම්කිසි බලාපොරොත්තු සහගත හැඟීමක්. සිය දරුවා මියගිය බව නොපිළිගන්නා ඇය සිතන්නේ දරුවා කුමන අවස්ථාවක හෝ නින්දෙන් මෙන් අවදිවනු ඇත කියායි. මෙය ප්‍රතිෂේධන තත්වයේ ඉතා සංකීර්ණ අවස්ථාවක්. එක් කාන්තාවක් වරක් සඳහන් කොට තිබුණේ සිය මව මිය ගිය අවස්ථාව්දී ඇයගේ අවමංගල්‍යයට අවශ්‍ය සියලු වැඩකටයුතු සංවිධානය කළ ද ඇගේ මෘත දේහය දෙස කිසිදු අවස්ථාවක නොබැලූ බවයි. අඩුම තරමේ සොහොන් පිටියට රැගෙන යාමට පෙර අවසන්වරට මෘත දේහයට ගෞරව කරන්නට හෝ ඇය පැමිණ නැහැ. නමුත් ඇය සිටියේ මෘතදේහය තබා තිබූ නිවසේමයි. ඇය සිය මව මියගිය බව දන්නා මුත් එවැන්නක් සිදුවූ බව පිළිගන්නට කැමැති නැහැ. ඇය පවසා තිබුණේ මෘත දේහය දුටුවිට මව මියගොස් ඇති බව පෙනෙන නිසා ඇය ඒ සඳහා නොපැමිණි බවයි.


කිසාගෝතමියට නම් යථාර්ථය තේරුම්ගත හැකි ආකාරයෙන් තේරුම්කර දෙන්නට එකල බුදුන් වහන්සේ වැඩ සිටියා. එහෙත් අද අපට ඉතිරිව ඇත්තේ උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගය පමණයි. හැටන්වලින් අපට හමුවන මේ සංවේදී මව වෙනුවෙන් අපට කළ හැක්කේ එක් දෙයක් පමණයි. කිසාගෝතමිය නිවී බුදු දහමින් නිවී සැනසුනා සේ ඇයද නිවී සැනහේවා යන්න පමණයි. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න