අපට රෝග වැළඳෙන විවිධ ක්‍රම තිබෙනවා. ජලයෙන්, වාතයෙන්, ආහාරපානවලින්, ස්පර්ශයෙන්, වෛරස් හා බැක්ටීරියා ආසාදනවලින් ආදී වශයෙන් දිග ලැයිස්තුවක් සකස් කරන්නට පුළුවන්. මේ කාරණා අතරට අප නොදන්න තවත් බොහෝ ඒවා එකතු විය හැතියි. නමුත් වැඩිපුර කතා නොකළත් අප බොහෝ දෙනෙක් රෝගී තත්වයන්ට පත්වන තවත් එක් කාරණයක් තියෙනවා. මේ රෝගය හඳුන්වනු ලබන්නේ ‛රෝගී ගොඩනැගිලි සහලක්ෂණය’ (Sick building
syndrome) කියන නමින්. මෙය අප රට ඇතුළුව මුළු ලෝකය පුරාම පැතිර ගොස් හමාරයි. මේ අමුතු නමක් තියෙන රෝගය ඇත්තටම මොකක්ද?
යම්කිසි ගොඩනැගිල්ලක ජීවත්වන හෝ සේවය කරන පුද්ගලයන් තුළ ඇතිවන තදබල සුවිශේෂී රෝග තත්වයන් හැඳින්වීම සඳහා මේ නම යොදාගන්නවා. බොහෝ වෙලාවට කාර්යාලයක් නම් අදාළ පුද්ගලයන්ට මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ සේවා කාලය ඇතුළත පමණයි. 1984 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවකින් හෙළි වූයේ ඒ කාලයේ ඉදිකරන ලද සහ නවීකරණය කරන ලද ගොඩනැගිලිවල සේවය කරන්නන්ගෙන් 30% කටත් වඩා මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවයි. ගොඩනැගිලි අභ්‍යන්තරයේ ක්‍රමවත් වාතාශ්‍රයක් නොමැති වීම මෙම රෝගයට ප්‍රධාන හේතුවක් වෙනවා.
අප අවට ඇති වාතයේ විවිධ අංශූන් විසිර පවතිනවා. ‛ජෛව එරොසොල්’ ( bio aerosols ) යනුවෙන් හඳුන්වනු ලබන මේවා මිනිසාගේ සෞඛ්‍යට තදබල ගැටලු ඇති කරනවා. ඇස්, නාසය, උගුර ආදියෙහි ඇතිවන දැවිල්ල, ස්නායු රෝග, සමෙහි ඇතිවන කැසීම්, හිසේ බරගතිය, ඇදුම, හතිය ආදී ස්වසන රෝග, ගඳ සුවඳ සහ රස දැනීම පිළිබඳ ගැටලු, අසාත්මිකතාවයන් ආදිය මෙහි රෝග ලක්ෂණ අතර විශේෂයෙන් දක්නට ලැබෙනවා.
යහපත් හා ක්‍රමවත් වාතාශ්‍රයක් නොමැති නිවෙස් හා ගොඩනැලිලිවල විවිධ දිලීර වර්ග වර්ධණය විශේෂයෙන් දකින්නට ඇති දෙයක්. එවිට ඒවා නිරායාසයෙන්ම අපගේ ස්වසන පද්ධතියට ඇතුළු වෙනවා. විශේෂයෙන් විශාල ගොඩනැගිලිවල පිහිටි ඇතැම් කාර්යාල සඳහා ස්වභාවික ආලෝකය හෝ වාතාශ්‍රය ඇතුළු වන්නට ඉඩක් නැහැ. ඒවාට ආලෝකය ලැබෙන්නේ විදුලි බුබුලුවලින්. වාතාශ්‍රය ගළා එන්නේ වායුසමීකරණ යන්ත්‍රවලින්. ස්වභාවිකත්වයෙන් ඈත්ව සිටීමේ මෙම පුරුදු නිසා මිනිසා නොදැනුවත්වම මේ ආකාරයෙන් විවිධ රෝගවලගට මුහුණ දෙනවා.
අවට පවතින ස්වභාවික ආලෝකය නිතර නොදැකීම නිසා ඇතිවන මානසික පීඩනය, ඒ නිසා ඇතිවන දුර්වල අන්තර් පුද්ගල සම්බන්ධතා ආදිය ද ඇතැම් පුද්ලයන් තුළ මෙම රෝග ලක්ෂණ ඇති කරන්නට හේතුවක් වෙනවා.
ගොඩනැගිලි නිසා වැළඳෙන මෙම රෝග තත්වයට පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරු වන බව ද සොයාගෙන තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් සේවයේ නියුතු කාන්තාවන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම නුවණට හුරුයි. මෙයට හේතුව වශයෙන් මෙතෙක් කරන ලද පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ කාන්තාවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිරිමින්ට වඩා ප්‍රබලව ප්‍රතිචාර දක්වන සුළුවීම හා නාස්වල ඇති ශ්ලේෂමල වියළී යාම ඔවුනට දැඩි ලෙස බලපෑම් කිරීමයි. අනෙක කාන්තාවන් අතුරින් බහුතරයක් කාර්යාල තුළ සිදු කළ යුතු රැකියාවන්ගේ නිරත වීම ද මෙවැනි රෝගවලට ගොදුරුවන්නට හේතු වී තිබෙනවා.
වාතාශ්‍රය අඩු කාර්යාල ගොඩනැගිලි පිරිසිදුකිරීම සඳහා පරිසර හිතකාමී ද්‍රව්‍යයන් යොදාගැනීම, ජලය රැඳෙන සීලිම් ෂීට් සහ කාපට් භාවිතයෙන් ඉවත්කිරීම ආදිය මෙය අවම කරන්නට හේතුවන වන සොයාගෙන තිබෙනවා.
එමෙන්ම කාර්යාලවල තීන්ත ආලේපය, පලිබෝධ නාශක භාවිතය ආදිය වැඩකරන දිනවල සිදුනොකිරීම ද මෙම රෝගය වැළැක්වීම සඳහා ගත හැකි තවත් එක් ක්‍රියාමාර්ගයක් ලෙස සැළකෙනවා. හැකි තාක් ස්වභාවික ආලෝකය කාර්යාල තුළට ගළා ඒමට කටයුතු කිරීම, කාර්යක්ෂම රික්තක උපකරණ (vacuum) මගින් ගොඩනැගිලි තුළ ඇති දුවිලි ආදිය ඉවත්කිරීම මේ සඳහා ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක් ලෙස සඳහන් කළ හැකියි. අතුගෑමෙන් දූවිලි ඉවත්කිරීම මෙහිදී කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ.
මෙම රෝගය පිළිබඳ මුළින්ම කරුණු වාර්තාවන්නට වූයේ 1970 දශකයේ සිටයි. යම් යම් ගොඩනැගිලිවල සේවය කිරීමේදී සේවකයන් රෝගී තත්වයට පත්වීමත් සමඟ එම ගොඩනැගිලි ‛රෝගී ගොඩනැගිලි’ වශයෙන් නම් කරන්නට පටන් ගැනුණා. මෙහිදී ගොඩනැගිලි ඉදිකරන්නන් ‛නිරෝගී ගොඩනැගිලි’ ඉදිකිරීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය පවා හඳුන්වා දෙන්නට පටන් ගැනුණා. නමුත් ක්‍රමවත් පර්යේෂණ සිදුකෙරෙන තුරු මෙයට නිවැරදි හේතුව සොයාගන්නට හැකියාක් ලැබුණේ නැහැ.
මේ වන විට අප රටේ ද නිවාස සහ විශේෂයෙන් විශාල කාර්යාල ගොඩනැිලි ඉදිකිරීමේදී මෙම ‛රෝගී ගොඩනැගිලි සහලක්ෂණය’ පිළිබඳ දැඩි අවධානය යොමුකරන බව පෙනෙනවා. එයට හේතුව මෙම රෝග ලක්ෂණ ශ්‍රී ලංකාව වැනි නිවර්තන දේශගුණයක් පවතින රටවල වැඩි වශයෙන් දක්නට ලැබීම නිසයි.
කෙසේ වෙතත් කාන්තාවන්ට මෙම රෝගය වැළඳීමේ වැඩි ඉඩක් පවතින නිසා ඔබ ද කාර්යාලයක සේවය කරන්නියක නම් මෙහි සඳහන් කළ රෝග ලක්ෂණ අනුව ඔබට වැළඳෙන යම් යම් රෝගවලින් වැළකීම සඳහා ක්‍රියා මාර්ග ගත හැකියි. සේවා ස්ථාන දැනුවත් කළ හැකියි. එයට හේතුව ගෘහනිර්මාණ ශීල්පීන් අලුතින් ඉදිකරන ගොඩනැගිලි මෙම රෝගයට ලක් නොවීම සඳහා යම් ක්‍රිමා මාර්ග ගෙන තිබුණත් පැරණි ගොඩනැගිලිවල තත්වය පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි වීමයි. එමෙන්ම අප රටේ බොහෝ අය මේ පිළිබඳ දැනුවත්වී නැති බව ද පෙනෙනවා. එසේ හෙයින් මේ පිළිබඳ දැනුවත් වී එය වළක්වා ගැනීමට කටයුතු කිරීම සියලු දෙනාගේම යුතුකම හා වගකීමක් ද වනවා.