Friday, January 22, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 6 කොටස - New Gadgets for New World Part 6

ඕන ඇණයක් ගළවන්න අඬුවක්




ගෙදරදි ඇණ, මුරිච්චි ගළවන්න ගියාම ඒවායේ ප්‍රමාණයට ගැළපෙන ඉස්කුරුප්පු නියන්, අඬු, යතුරු වගේ දේවල් හොයාගන්න ඕන. සමහර වෙලාවට මේ මොනවත්ම හරියන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඒ වගේම කවුරු හරි කාර්මිකයෙක් වගේ කෙනෙකුට නම් මේවා තවත් තැනකට අරන් යන්න ගියාම ආයුධ පෙට්ටියක්ම අරන් යන්න වෙනවා. මේ බොහෝ කරදරවලට විසඳුමක් විදිහට දැන් අලුත්ම උපාංගයක් වෙළෙඳපලට ඇවිත් තියෙනවා. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ අමුතුම තාක්ෂණයකටයි. විවිධ ඇණ, මුරිච්චිවලට ගැළපෙන විදිහට මෙහි වෙන වෙනම සිදුරු නැහැ. මෙහි ඇත්තේ ඉතා තද පීඩනයක් යටතේ අසුරන ලද වානේ කම්බි මිටියක්. ඔබට ගළවන්න අවශ්‍ය කරන ඇණය, මුරිච්චියේ හිසට මෙය තද කළ පමණින් එහි හැඩයට මේ වානේ කම්බි සීරු මාරු වෙනවා. ඉන් පසුව එය පහසුවෙන්ම ගළවන්නට පුළුවන්. විදුලි බලයක් අවශ්‍ය නැහැ. සාක්කුවේ දමාගෙන යන්න තරම් හුරුබුහුටි විදිහට නිමවා තිබෙනවා. ඒ වගේම ඇණ සවි කරණ යන්ත්‍රවලට ද මෙය පහසුවෙන් සවිකරන්න පුළුවන්. දැනට මිල ඇමරිකානු ඩොලර් 9.89ක් (රු.1418ක්) පමණ වෙනවා



ඉලෙක්ට්‍රොනික් කැටයක්



මැටිවලින් හදපු කැට බොහෝ නිවෙස්වල තියෙනවා. මේවායෙන් පුංචි දරුවන්ට පුංචි කාලේ සිටම ඉතිරිකිරීම ගැන අවබෝධයක් ලැබෙනවා. දැන් නව තාක්ෂණයත් සමඟ අලුත්ම විදිහේ කැටයක් වෙළෙඳ පළට ඇවිත් තිබෙනවා. මේක ඉලෙක්ට්‍රොනික් කැටයක්.  හැඩය හුරතල් ඌරකු වගෙයි. මේ කැටයට පුළුවන් තමන් තුළ තිබෙන කාසි ප්‍රමාණය සහ ඒවායේ වටිනාකම ගණනය කරන්න. ඒ වගේම ඔබේ ස්මාර්ට් දුරකතනය හරහා ඔබ සමඟ කතා කරන්නටත් මේ කැටයට පුළුවන්. ඔබ එයට කැටයක් දමන සෑම අවස්ථාවකදීම එයින් මිහිරි හඬක් නැගෙන අතර ආලෝකයක් ද විහිදෙනවා. මේ වන තුරු එයට දමන ලද කාසි ප්‍රමාණය ඔබේ ස්මාර්ට් දුරකතනය ඔස්සේ බලාගන්න පුළුවන්. ඒ වගේම කවුරු හරි මේ කැටය හොරෙන් කඩන්න හැදුවොත්, කැටය එකපාරටම අනතුරු හඟවන හඬක් නිකුත් කරනවා. මෙහි දැනට මිල ඇමරිකානු ඩොලර් 70ක් (රු.10,000) වෙනවා.

සිංදු අහන ගමන් නාමු






සිංදු අහන ගමන් නාන එකවත් නාන ගමන් සිංදු අහන එකවත් ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. ගෙදර සිංදු අහන්න තියෙන මොනව හෝ උපාංගයක් නාන කාමරය ළඟින් තියලා මේ වැඩේ කරගන්න පුළුවන්. නමුත් මේ කියන්න යන්නේ එයට වඩා වෙනස් ක්‍රමයක් ගැනයි. මෙහිදී සිදුවන්නේ වතුර මලෙන්, ඒ කියන්නේ ෂවර්එකෙන්ම සිංදු අහන්නට පුළුවන් වීමයි. ඔබේ ස්මාර්ට් දුරකතනයේ බ්ලූටූත් ක්‍රියාත්මක කරලා ගීත වාදනය කරන්නයි තියෙන්නේ. මේ වතුර මල බ්ලූටූත් තාක්ෂයෙන් යුක්ත නිසා ජංගම දුරකතනයේ ගීත වතුර මලේ ඇති ස්පීකරයෙන් ඇසෙන්නට පටන් ගන්නවා. මේ වතුර මලේ නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියක් තිබෙනවා. අය ආරෝපණය කළාට පසු පැය 10ක් ගීත අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දිය නාමින් ඉන්න අතරේ දුරකතන ඇමතුමක් ආවොත් වතුර මල හරහාම දුරකතනයෙන් කතා කරන්නත් පුළුවන්. දැනට මිල වෙන්නේ ඇමරිකානු ඩොලර් 99 (රු. 14,200) යි.


පෙර ලිපිය

4 comments:

  1. අර රින්ච් එකනං ගොඩක් ප්‍රයෝජනයි... (චයිනිස් එකක් එයිද දන්නෑ පිටකොටුවට ?)

    ReplyDelete
    Replies
    1. මම ඒක http://www.gearbest.com/ සයිට් එකෙන් ගෙන්න ගත්තා. ඒකෙන් තමයි මේක විකුණන්නේ. මම ගෙන්න ගන්න දවස් ටිකේ Offer එකක් තිබුණු නිසා මට වියදම් වුණේ 900ක් වගේ තමයි මතක. සමහර විට තව ටික දවසකින් චයිනීස් එකක් එන්නත් පුළුවන්.

      Delete
  2. නානකොට සිංදු කියන ගැජට් එක නැතුවට අපේ අය කටිංම ඒ වැඩේ කරනවනෙ. හැබැයි ඉතිං අහගෙන ඉන්න කට්ටියට තමයි ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔය ප්‍රශ්නෙම ආපු කෙනෙක් වෙන්න ඕන මේ ගැජට් එක් හොයාගන්න ඇත්තේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න