Monday, June 10, 2019

අටෝපියාව සහ කේතුමතිය

පෝලන්තයේ අටෝපියා නගරයක් සඳහා ආකෘතියක් ඉදිකරන්නට පටන් ගත් අතර තවම එය අවසන් වී නැත


‘අටෝපියාව‘ මේ බොහෝ දෙනෙක් අද කාලයේ සිය ලියමන්වල භාවිත කරන වදනකි. මෙය බොහෝ තැන්වල කියවා ඇතත් හතර විලිලිජ්ජාව වන්නේ මා එහි තේරුමක් දැන නොසිටි නිසාය. ඇතැම් තැන්වල මෙය ‘උතෝපියාව‘, ‘උටෝපියාව‘ ලෙස ද සඳහන් කොට තිබේ. කියවන සියල්ලේම තේරුමක් තිබිය යුතුය කියා නීතියක් නැති බැවින් මම මෙය ඔහේ කියවාගෙන කියා මිස තේරුමක් සොයන්නට උත්සුක නොවූයෙමි. නමුත් මේ දැන් හදිසියේ එය මට මතක් වූ නිසා තේරුම සොයන්නට අන්තර්ජාලයේ පිහිට පැතීමි. මෙය සෑදී ඇත්තේ Utopia යන වදනෙනි. එහි තේරුම නම් පුරවැසියන්ට ජීවත් වීම සඳහා සර්ව සම්පූර්ණයෙන්ම ගැළපෙන පරිසරයක් සහිත සිතින් මවා ගත් නගරයක්ය යන්නයි. අවශ්‍ය නම් ‘සිතින් මවා ගත්‘ යන තැනින් අවසන් කොට තමන්ගේ ලියමන්වල ගැළපෙන තැනකට එය යෙදිය හැකිය. 


ඊට අමතරව Utopia නමින් පොතක් ද තිබේ. ලතින් බසින් ලියා ඇති එහි ලේඛකයා තෝමස් මෝර් ය. එයින් කියවෙන්නේ අටෝපියා නම් නව දූපතේ වැඩ කටයුතු සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

පුරවැසියන්ට ජීවත්වීමට සර්ව සම්පූර්ණ වශයෙන්ම ගැළපෙන පුරවරයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ ද දක්නට ලැබේ. ඒ කේතුමතී පුරයයි. කේතුමතී පුරය යනු අනාගතයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදුවන පුරවරයයි. මෙහි පුරවැසියන් සියල්ලෝම පින්වන්තයෝය. ප්‍රඥාවන්තයන්ය. ධාර්මිකයන්ය. සිතූ පැතූ සම්පත් ලබන ඔවුන්ගේ පරමායුෂ අවුරුදු හාරදහසකි. ධාර්මික පාලකයෝ සිටිති.

කෙසේ නමුත් කේතුමතිය කියන වචනයේ පොෂ් ස්වභාවයක් නැති නිසා අවස්ථාවක් ලදොත් මගේ ඉදිරි ලියමන් සඳහා මම ද අටෝපියාවම භාවිත කරන්නට දැන් සිට අදිටන් කරගෙන සිටිමි.



2 comments:

  1. මම මුලින්ම ඔය වචනේ දැනගත්තේ x කණ්ඩායමේ සඟරා වලින්.
    ඹයවගේ තව වචන තමා හෙජමනිය, ලුබ්ධිය, යථ

    ReplyDelete
    Replies
    1. ඇයි රෙජීමය, අල්ටකියාව, ෂානරය වගේ දේවලුත් තියෙනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න