Tuesday, July 9, 2019

සිංහලයාට උරුම අස්න සාහිත්‍යය



තිසර, සැලළිහිණි, කොවුල් ආදී පක්ෂීන් අත යැවූ සංදේශ ඇතුළත් සංදේශ කාව්‍ය හැරුණු විට අස්නසාහිත්‍යයක් ද සිංහල බසෙහි පවතිනවා. විහාර අස්න, දොරකඩ අස්න, අනුශාසනා අස්න, දඹදෙණි අස්න, මහා අස්න, කුවේණි අස්න, සිංහබා අස්න, ආදිය එයට ඇතුළත්. මේ අතරින් විහාර අස්න, දොරකඩ අස්න, අනුශාසනා අස්න සාහිත්‍ය කෘතිවලට වඩා ආගමික උත්සවවලට අදාළ කෘති ලෙස පිළිගැනෙනවා.

විහාර අස්න

නම් පොත නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විහාර අස්නයි.  මෙය අතීතයේ කුඩා දරුවනට අකුරු කියවන පාඩම් පොත් පෙළේ දෙවැන්නයි. හෝඩිය කියැවූ පසු අකුරු කිහිපයක් එක් කොට තැනූ වචන කියැවීම හුරු කරනු පිණිස මෙය පැරැණි පන්සල් පාසල් හි භාවිත වුණා. මෙය මුලදී රචිතව ඇත්තේ සති පිරිත් අවසානයේ ආටානාටිය දේශනාවට මුලින් කියන විහාර අස්න ලෙසිනුයි. මෙය හයවන පැරකුම්බා රජ දවස රචිත වූවෙකැයි සැලකෙනවා. ඒ අතර ම ලක්දිව එවකට පැවැති ප්‍රධාන විහාරස්‍ථාන නාම මාලාව බෞද්‍ධයකු විසින් දැන සිටිය යුතු බැවින් ද මෙහි එන පරිදි යොදා ඇති වචන කියැවීම පහසු බැවින් ද හෝඩිය ළඟට ම මෙය කියවන ‍දෙවෙනි පොත වශයෙන් භාවිත වූ බව පෙනෙන්ට තිබෙනවා.  කතුවරයා කවරෙක්දැයි සඳහන් නැතත් මේ පොත නරෙන්‍ද්‍රසිංහ රාජ සමයට අයත් යැ යි සිතිය හැකියි.

අනුශාසනා අස්න
අතීතයේ සති පිරිත් දේශනා කිරීම බහුල වශයෙන් සිදු වුණා. මේ ආකාරයට සත් දවසක් මුළුල්ලෙහි දායකකාරකාදීන් මහ සංඝයා විෂයෙහි සිදු කළ දාන මානාදියෙහි පින් අනුමෝදන් කරවීම ද, සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරවීම ද, සියලු දායක සමූහයාට සකල ආකාරයෙන් වන්නා වූ සියලු උවදුරු දුරුකොට අභිවෘද්ධිය සැලසිය යුතුය යන නියමයක් දෙවියන්ට විධාන කිරීමක් ද ඇතුළුව පින් අනුමෝදන් කරවීමේ හා ආශිර්වාද කිරීමේ කාර්යය මෙම අනුශාසනා අස්න කීම තුළින් සිදු කෙරෙනවා.

දඹදෙණි අස්න
දඹදෙණි අස්නේ නිමිත්ත වී ඇත්තේ දළාදා පූජාව විස්තර කොට ඉදිරි කාලයේ දී ද එබඳු පින්කම්වලට ජනතාව සහභාගී කරවා ගැනීමයි. මේ අස්න ලියා ඇත්තේ දඹදෙනි රාජධානියේ පාලකයා වූ පරාක්‍රමබාහු රජුගේ කාලයෙහි දළදා උත්සවය දුටු අයෙක් විසින් බව කියැවෙනවා. ඒ ප්‍රාතිහාර්යය දුටු සූර්ය දිව්‍ය පුත්‍රයා ද තමා යන ගමන නවත්වා සාධුකාර දුන් බවත්, බොහෝ දෙනෙක් සෝවාන් ඵලය ලබා ගත් බවත් දඹදෙණි අස්නේ දැක්වෙනවා.

කුවේණි අස්න
කුවේණි අස්න කෝට්ටේ පරාක්‍රමබාහු රජුට ආශීර්වාද කිරීම සඳහා ලියන ලද්දක් බව සැළකෙනවා. එකම වාක්‍යයකින් ලියා ඇති මෙය ඇත්තේ අනුප්‍රාස බහුල වෘත්ත ගන්ධි රචනා ශෛලියයි. මදහසින් නුවනගින් බලා කපු කටින්නිය, රුසිරු ලොව වටින්නිය, කුවේණිය යකින්නිය, ළඟට ගොස් දකින්නිය, සුසුම්ලා යකින්නී මෙලෙස සිට කියන්නී . . . ආදී වශයෙන් ලියැවී තිබෙනවා.

සිංහබා අස්න
සිංහබා අස්න ලියා ඇත්තේ සිංහල රාජ වංශයෙහි අවසාන රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වෙනුවෙනුයි. කුවේණි අස්න ලියා ඇති ශෛලියෙන්ම ලියා ඇති මෙහි සිංහබාහු කතාවට ද විශේෂ තැනක් හිමි වී තිබෙනවා. දීවාකර කුලග පත් මෙ අප හිමිතුමන් සහ මෙයින් පසු මෙලක්දිව සැපත් වන රජුන්ටත් අසිරිමත් සව්සිරි සැප සලත්වා. නොයෙක් වික්මෙන් දිමුත් නුමුත් මැතිදුන් සමග මෙලක වැසි දනන් සැම මෙපස්වා දහස් කල් රකිත්වා රකිත්වායන ආකාරයෙන් සිංහබා අස්න අවසන් වෙනවා.

8 comments:

  1. Replies
    1. ප්‍රයෝජනයක් වුණා නම් සතුටුයි.

      Delete
    2. දඹදෙනි අස්න මොන යුගයේද රචනා උනෙ

      Delete
    3. මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල මහතාට අනුව දඹදෙනි අස්න අවසානයේ එන සටහනකට අනුව එය ලියවී ඇත්තේ කුරුණෑගල රාජධානියේ සිව්වන පරාක්‍රමබාහු රජු කලය. එතුමා දල වශයෙන් දඹදෙනි අස්න ලිවූ කාලය ක්‍රි. ව. 1303 ත් 1325 අතර බව අනුමාන කරයි.

      Delete
  2. අපූරු තොරතුරු ටිකක්... ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න