Tuesday, April 8, 2014

ගෝබි වැලිකතරට අහසින් වැටුණු චන්ද්‍ර වංක විළ - Crescent Lake of the The Gobi Desert



ලෝකයේ බොහෝ සොඳුරු ස්ථාන තිබේ. නමුත් ඒවා හැබැහින් දැකබලාගන්නට තරම් අපගේ දෛවය සොඳුරු නැත. එබැවින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීම වුව එක්තරා සොඳුරු අත්දැකීමක් යැයි සිතේ. මෙයද ලෝකයේ ඇති අපූරු මෙන්ම සොඳුරු ස්ථානයකි. එය නමින් චන්ද්‍රවංක විළ’ (Crescent Spring) නම් වේ. ගහක් කොලක් නොමැති, වැලි කඳුවලින් පමණක් පිරුණු මහා ගෝබි කාන්තාරයේ පිහිටි ක්ෂේම භූමියක් වීම මෙහි විශේෂත්වයකි.

චීනයේ ඩුන්හුවාන්ග් හි සිට කිලෝමීටර් 6ක් පමණ දකුණට වන්නට පිහිටි මෙම චන්ද්‍රවංකයක හැඩැති විළ එරට වැසියන් හඳුන්වනු ලබන්නේ යෙවුයාකුවාන්නමිනි.  කින්ග්රාජංශය පැවැති සමයේ මෙම නම එයට තැබිණි.


මෙය ලොව පුරා ප්‍රකටව ඇත්තේ ගෝබි වැලි කතරේ මහා පුදුමයලෙසිනි. ඇතැමෙක් මෙය කාන්තාවකගේ සුන්දර ඇසකට සමාන කරයි. ඇතැම් කවිවල ඇත්තේ අහසින් වැලි කතරට ඇද වැටුණු චන්ද්‍රවංකයක්ලෙසිනි.

1960 වසරේ කළ මැණීම්වලට අනුව මෙම විළෙහි සාමාන්‍ය ගැඹුර මීටර් 4 - 5 ක් පමණ විය. උපරිම ගැඹුර වූයේ මීටර් 7.5 කි. ඉන් අනතුරව ගෙවී ගිය වසර 40 තුළදී මෙහි ගැඹුර ක්‍රමක්‍රයෙන් අඩුවන්නට විය. 1990 දශකයේ මුල් සමය වන විට විළට අයත් භුමි ප්‍රදේශය අක්කර 1.37ක් දක්වා අඩුව තිබිණි. ඒ වන විට ගැඹුර පැවතියේ මීටර් 0.9 ක් පමණි. 2006 වසරේදී මධ්‍යම රජයේ ආධාර ඇතිව මෙම පළාතේ පරිපාලන අධිකාරිය විසින් මෙම විළ සාරනු ලැබිණි. එතැන් පටන් ද වනවිට මෙම විළ කෙමෙන් කෙමෙන් විශාල වෙමින් පවතී.


මෙම විළ නිර්මාණය වන්නට ඇත්තේ කෙසේදැයි යමෙකු තුළ කුකුසක් ඇතිවන්නට පුළුවන. මෙය මුල් සමයේ පැවතී ඇත්තේ ඩැනිග්හීනදියේ කොටසක් ලෙසිනි. නමුත් පසුකාලීනව එම නදිය සිය ගමන් මග වෙනස් කළ අතර එහිදී ඉතිරි වූ ජල කඳින් මෙම විළ නිර්මාණය විය.

මෙම විළ සම්බන්ධව ඇති තවත් සුවිශේෂී තත්වයක් නම් ඉතිහාසයේ සිට අද දක්වාම ගෝබි වැලිකතර හරහා හමන ලද ප්‍රබල වැලි කුණාටුවලින් මෙම විළ වැසී නොයාමයි. මෙය වැලි කුණාටු මගින් වැසී නොයන්නට හේතු වශයෙන් සැළකෙන්නේ මෙය වැලි කඳු අතර පැවතීමය. මෙහි එක් පසෙකින් ඇති දකුණු සහ උතුරු වැලි කඳු නැගෙනහිර සහ බටහිර ඒවාට වඩා උසින් යුක්තය. සුළඟ වැලි කඳුවල බෑවුම් ඔස්සේ හමා යයි. එය වැලිත් රැගෙන ගිනිකොනදිග ප්‍රවේශයේදී එක්වර ඉහළ නගියි. එසේ වැලිත් සමඟ ඉහළ නැගි සුළඟ වයඹදිග ප්‍රවේශයෙන් බැහැරට යයි. මේ නිසා විළ අවට දැකුම්කළු වැලි කඳු නිර්මාණය වනවා විනා වැලිවලින් විළ වැසී යන්නේ නැත.


විද්‍යාත්මක ගවේෂණයන් මගින් හෙළිවී ඇත්තේ ඩැනිග්හී නදියේ පොලොව අභ්‍යන්තරයේ ඇති උල්පත් මගින් චන්ද්‍රවංක විළට නිතර පෝෂණය ලැබෙන බවය. එබැවින් එහි ජලය සියලුවිට සමබර මට්ටමක පවතී.

විළට පසෙකින් සාම්ප්‍රදායික හැන් ගෘහනිර්මාණ ශිල්පයට අනුව ගොඩනගන ලද දාගැබක් දක්නට ලැබේ. විවිධ සිහිවටනයන්ගෙන් පිරුණු වීදියක් ඔස්සේ මෙම ගොඩනැගිලි සංකීර්ණයට ඇතුළුවන්නට පුළුවන.  ජේඩ් පාෂාණයෙන් තනන ලද වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන දියපානය කරන බඳුනක් මෙහි දක්නට ඇත.



මෙය සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති ස්ථානයක්ව අතර ඔටුවන්ගේ පිට නැගී මෙය කරා පැමිණෙන්ට හැකි සේවාවක් ද ක්‍රියාත්මක වේ. 

3 comments:

  1. ඉතා අගනා තොරතුරු ගොන්නක්. ඒ වගේම අගනා ඡායාරූප වැලක්. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බොහෝ තුති.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න