මෑත කාලයේ
ලෝකයේ සියලු දෙනාගේම අවධානය යොමු වූ කාරණා අතර ප්‍රධාන ස්ථානයක් ගන්නේ මැලේසියානු
ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානය සේවක
මණ්ඩලයේ 12 දෙනා සහ මගීන් 227 දෙනා සමග 2014 මාර්තු 8 වැනිදා අතුරුදහන්වීමේ සිදුවීමය. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ
බීජිං නුවර දක්වා පියාසර කරන්නට නියමිතව තිබූ මෙහි සිටි බහුතරය වූයේ චීන ජාතිකයින්ය. මෙය දිනෙන් දින ජාත්‍යන්තර ප්‍රවෘත්ති
අතර සෑම විටම ප්‍රථමයටම පැමිණෙන්නට හේතු වූයේ යානයට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ
කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වූ නිසාය. යොදා ගත හැකි සියලු තාක්ෂණික ක්‍රමවේදයන්
ඔස්සේ ලෝකය පීරුවද සියලු ප්‍රයත්නයන් නිරර්ථක විය. එහි සිටි ඇතැම් මගීන්ගේ ජංගම
දුරකතන නාදවන බැව් හිටි හැටියේ එක් ප්‍රවෘත්තියකින් පැවසුණු අතර එවිට බොහෝ දෙනා
අනුමාන කරන ලද්දේ ගුවන් යානය පැහැරගැනීමට ලක්වන්නට ඇතැයි යන්නය. නමුත් ජංගම දුරකතන
සිදුවීම කිහිප දිනකින් යටපත් විය.
තාක්ෂණය සහ
විද්‍යාව පිළිබඳ නිරන්තරව විශ්වාසය තැබුව ද එයින් පිහිටක් නොලැබෙන්නා සේ හැඟෙන කල
මිනිසා සිය ජානවල තැන්පත්ව පවතින ඇතැම් විශ්වාසයන් වෙත යොමුවීම පැහැදිලව දක්නට
ලැබෙන දෙයකි. නූතන වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ නොහැකි රෝගයක් වැළඳුණු කල ඒ සඳහා
ඉපැරණි වෛද්‍ය ක්‍රම හා ගුප්ත විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරනු ඕනෑ තරම්
දක්නට ලැබෙන්නකි. අවසානයේ අවිද්‍යාත්ම වුව ද මෙම ගුවන් යානයේ ඇතැම් සෙවුම්
කණ්ඩායම් එවැනි ක්‍රමවලින් හෝ සහනයක් ලබාගන්නට හැකිවේදැයි අත්හදා බලන්නට තීරණය
කළහ. මේ බව දැනගත් නිසා ද නොඑසේ නම් වෙනයම් හේතුවකට ද යන්න කිව නොහැකි වුව ද අප
රටේ එක් රූපවාහිනී නාළිකාවක ප්‍රකට ජ්‍යෝතීර්වේදීන් සහභාගී වූ වැඩසටහනකින් මෙම
යානය අතුරුදහන්වීම ජ්‍යොතීර් විද්‍යාත්මකව පැහැදිලි කරනු දක්නට හැකි විය. ඊට පසු පුවත්පත්වල ද මේ
පිළිබඳව ජ්‍යෝතීර් විද්‍යාත්මක මත ඉදිරිපත් විය. එක් මතයකින් මෙම යානය ඒ වන විට
පිහිටිය යුතු අක්ෂාංශ දේශාංශ පිළිබඳව පවා ප්‍රකාශයට පත් කෙරුණු අතර, යානයේ සෙවුම් කණ්ඩායම් ඒ හෝඩුවාව ඔස්සේ සිය
මෙහෙයුම් කළේ දැයි අපි නොදනිමු. නමුත් මෙම අදහස පිළිබඳ අප රටේ අනෙක් සියලුම ජ්‍යෝතීර්වේදීන්
දැක්වූයේ විරෝධය මුසු අදහසකි. ඔවුන් සියලු දෙනාගේම පොදු මතය වූයේ මෙවැනි අනාවැකි
ජ්‍යෝතීර් විද්‍යාත්මකව ඉදිරිපත් කරන්නට නොහැකි බව හා එවැනි අදහස් ප්‍රකාශකිරීම
තුළින් මෙවැනි වටිනා ශාස්ත්‍රයක් හෑල්ලූවට ලක්වන බවය. කෙසේ මුත් මෙම ජ්‍යොතීර්
විද්‍යාත්මක අදහස් දැක්වීම උපහාසයට ලක්කරමින් පසුදා සිටම විවිධ වෙබ් අඩවිවල අදහස්
උදහස් පළවන්නට පටන් ගැනුණි.
මේ අතර අප
අසල්වැසි ඉන්දියාවෙන් තවත් අපූරු පුවතක් වාර්තා විය. ඒ එහි ප්‍රකට අධ්‍යාත්මික
සුවකරන්නකු හා මෝහනවේදියකු වන රාමචන්ද්‍ර ගුරුජී මේ පිළිබඳ කළ ප්‍රකාශය නිසාය. ඔහු
පැවසූයේ තමා මෝහන විද්‍යාව ඔස්සේ මෙම යානයට අත්වූ ඉරණම සොයාගත් බවය.
ඔහු මෙහිදී
අනුගමනය කොට තිබුණේ අපූරු ක්‍රමවේදයකි. ඔහු තරුණියක හා තරුණයකු මෝහනයට ලක් කළ අතර
ඔවුන් ඔස්සේ යමින් මෙම යානයේ සිටි මිය කාන්තාවකගේ ‛ආත්මයක්’
ගෙන්වාගන්නට කටයුතු කළේය. ඔහුට මෙම කටයුත්ත
සඳහා ලෝක ප්‍රකට මෝහන චිකිත්සකයකු වන ආචාර්ය බෲස් ගෝල්ඩ්බර්ගේ සහය ද ලැබිණි.
මෙවැනි ක්‍රියාවන් ඔහු ඉන්දීය රූපවාහිනි නාළිකා ඔස්සේ නිරන්තරයෙන්ම සිදුකරනා
බැවින්, අවිද්‍යාත්මක
කටයුත්තක් වුව ද ෆේස්බුක් හා ගූගල් ප්ලස් යන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ද මෙම
සිදුවීම සජීවීව විකාශනය කරන්නට කටයුතු යොදා
තිබිණි. ඒ ඇතැම්විට අන් කිසිවක් නිසා නොව විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ යානය
සොයාගැනීමේ කටයුතු අසාර්ථකවෙමින් පැවති නිසා වන්නට ඇත.
මෝහනයට ලක්
වූවන් ඔස්සේ පැමිණි මෙම මියගිය ‛ආත්මය’ පවසා සිටියේ ගුවන් යානය පැහැරගැනීමකට ලක්වී පසුව එය
කෙළින්ම මහ සයුරට කඩාවැටෙන්නට සළස්වා ඇති බවය. මෝහනයට ලක්වූ තරුණිය හා තරුණයා
ඔස්සේ පැමිණි මෙම මියගිය කාන්තාවගේ ආත්මය පැවසූ කරුණු ඇසුරින් ගුවන් යානය අහසට
නැංවූ අවස්ථාවේ සිට අනතුරට පත්වන තුරු සියලු සිදුවීම් පහත පරිදි ගළපාගන්නට හැකිය.
ගුවන් යානය
සාමාන්‍ය ලෙස අහස් කුසට ඇතුලු විය. ඉන් පසුව මෙම කාන්තාව වැසිකිලියට ගොස් ඇත. ඇය
වැසිකිලියට යාමෙන් පසු තවත් පිරිමි පුද්ගලයකු ද වැසිකිලියට ගොස් තිබේ. මේ
අවස්ථාවේදී ගුවන් සේවිකාවන් කතා බහේ යෙදෙමින් සිට ඇති අතර මැලේ බසින් ‛ස්තූතියි’ යන්න පවසනු ද ඇයට ඇසී තිබේ. ගුවන්ගත වීමෙන් පැය හතරකට පමණ පසු යානයේ පැවතී
ඇත්තේ කලබලකාරී ස්වභාවයකි. මෙම කාන්තාව අල්ලාගත් එක් පුද්ගලයකු ඇගේ අතපය හා මුඛය
බැඳ දමා තිබේ. මෙය සිදුකොට ඇත්තේ ඇයට පසුව වැසිකිලියට ගිය පුද්ගලයාය. ඔහු අතේ යමක්
තබාගෙන එය වනමින් සිටි බව ද ඇය පවසයි. යානයේ ඒ වන විට පැවතී ඇත්තේ ත්‍රාසයෙන්
පිරුණු වටපිටාවකි.
මේ අවස්ථාවෙදී
තවත් පුදගලයකු නියමු කුටියට ඇතුළු වී තිබේ. ගුවන්යානය වැරදි මාර්ගයක ගමන් කරන්නට
වූ අතර ගැස්සෙන්නට ද පටන්ගෙන තිබේ. එය පොලොව දෙසට වේගයෙන් ගමන්ගත් අතර මහ සයුරට
කඩා වැටිණි. මේ අවස්ථාවෙදී කහ පැහැති ආලෝකයන් තුනක් ඇය දැක ඇත. ගුවන් යානයේ දොර
විවෘත වී ඇති අතර යානය තුළට ජල කඳක් පැමිණ තිබේ. කාන්තාව මිය ගොස් ඇත්තේ එම
අවස්ථාවේදී ය.
ඇයගේ කතාවේ
සියලු කොටස් ගෙන පෙළ ගැස්වූ විට ඇසන්නට ලැබෙන්නේ මෙවැනි කතාවකි. මෙම මෝහන වැඩසටහන
පැවැත්වූ රාමචන්ද්‍ර ගුරුජී මෙන්ම ගෝල්ඩ්බර්ග් ද මෝහනය ඔස්සේ අනාගත ජීවිත මැයෙන්
ග්‍රන්ථ කිහිපයක් ද රචනා කොට තිබේ. ඔවුන් මෙම මෝහන අත්දැකීමෙන් ලබාගත් තොරතුරු
තහවුරු කරන්නට එක් සිදුවීමක් ද ගෙනහැර දක්වයි. ඒ මෙම ගුවන් යානය මාලදිවයිනට ඉහළින්
අහසේ පියාසර කළ බව දුටු බවට පවසන සිදුවීමය. මෙම මෝහන සිදුවීම සම්බන්ධව තවත් අය
පවසන දෙය නම් මෙහි පැවසූ ලෙස යානය ඉන්දියානු සාගරයට කඩාවැටුණු බව මැලේසියානු
අගමැතිවරවා විසින් කරන ලද ප්‍රකාශයයි. බැලූ බැල්මට මේ සිදුවීමවලින් මෝහනයෙන්
පැවසුණු කාරණා තහවුරුවන බැව් පෙනේ.
සැබැවින්ම
මෝහනයෙන් මෙවැනි සිදුවීම් පිළිබඳව දැනගත හැකිද? මෙහිදී කෙටියෙන්ම ලබාදිය හැකි පිළිතුර නම් ‛නැත’ යන්නය. මෝහන
විද්‍යාවෙන් මෙබඳු හපන්කම් කළ නොහැකිය. යම් පුද්ගලයකුගේ යටි සිතෙහි ඇති දෑ ඉස්මතු
කරගැනීම විනා අප කිසිදා නොදුටු ස්ථානයකට යාමට, කිසිදා නොලද අත්දැකීමක් ලබන්නට මෝහන විද්‍යාව යොදාගත
නොහැකිය. යම්කිසි ස්ථානයකට කිසිදා නොගිය පුද්ගලයින් කිහිප දෙනෙකු මෝහනය කොට එම
ස්ථානය පිළිබඳ විමසූ එක් අවස්ථාවක මෝහන විද්‍යාඥයින්ට අසන්නට ලැබුණේ එකිනෙකට වෙනස්
තොරතුරුය. යම්හෙයකින් මෝහනය ඔස්සේ එබඳු ස්ථානයකට යැවීමට හැකියාව තිබුණේ නම් එක හා
සමාන තොරතුරු ලැබිය යුතුය.
මෙවැනි මෝහන
සිදුවීමකදී ඉස්මතුවන්නේ අප යටිසිතෙහි තැන්පත්ව ඇති සිදුවීම්ය. මෝහනය කරන්නා අපගෙන්
අසන යම් යම් දේට ගැළපෙන පරිදි අප ලත් අත්දැකීම් ඔස්සේ යම්කිසි විස්තරයක් පැවසීම
මෙහිදී සිදුවේ. රාමචන්ද්‍ර ගුරුජී ගේ සිදුවීමේදී මෝහනයට ලක්වූ තරුණයා සහ තරුණිය
සිය යටිසිතෙහි තැන්පත්ව තිබූ විවිධ සිදුවීම් අනුසාරයෙන් පැවසූ කරුණු මත මෙම අනතුර
පිළිබඳ සිදුවීම ගළපන්නට ඇත. ඉන්දීය සාගරයේ ගුවන් යානයට අයත්යැයි සැළකෙන කොටස්
කිහිපයක් හමුවීමත්, චීන රජය මෙම
ගුවන් යානයට සිදුවූයේ කුමක්දැයි මැලේසියාවෙන් දැඩිව අසන්නට වීමත් නිසා එයින්
ගැළවෙන්නට මෙන් මෙම යානය ඉන්දීය සාගරයට කඩාවැටුණු බවත්, කිසිදු මගියෙක් ජීවතුන් අතර නොමැති බවත් මැලේසියානු
අගමැතිවරයා පැවසීමත් නිසා මෙම මෝහන සිදුවීම එක්වරම සත්‍යයක් යැයි බොහෝ දෙනෙක්
පවසන්නට පටන් ගත්හ. නමුත් සැබැවින්ම මෙම යානය ඉන්දීය සාගරය කඩා වැටුණාද යන්න
පිළිබඳ නැවතත් සැක සංකා පහළවන්නට පටන්ගෙන තිබේ. ඒ මෙය සෙවීම නැවත ආරම්භ කොට ඇති
බැවිනි. අනෙක කිසිඳු මළ සිරුරක් මේ මොහොතවනවිට හෝ හමුවී නැත. ඇමරිකානු අපරාධ විද්‍යාඥයකු
වන ජේසන් ක්‍රිස්නර් මෙම යානය පිළිබඳ මැලේසියාව ඉදිරිපත් කළ නිගමනය අභියයෝගයකට ලක්
කරයි.
කෙසේ හෝ මෙහිදී පැවසිය හැක්කේ ජ්‍යෝතිෂයෙන් හෝ
මෝහනයෙන් හෝ මෙවැන් හපන්කම් පෑ නොහැකි බවය. ඉක්මන් ලාබ ප්‍රයෝජන හා ප්‍රසිද්ධිය
පතා මෙවැනි ද් කිරීමෙන් සිදුවන්නේ මෙම විද්‍යාවන්ගෙන් ගතහැකි ප්‍රයෝජන පිළිබඳව පවා
මිනිසුන් තුළ සැක සංකා මතුවීම පමණි.
Minissunta kapati wada karanna puluwan wenne me wage welawal wala thamai.
ReplyDeletewatina lipiyak me karapu wadeta mohonaya karanna kelinma guwan niyamuwawa gennanuwa nam eivarane kathawaa :) vihilu wada mewa nam lagadima aththa eiliwewi
ReplyDelete