Saturday, August 2, 2014

වංගු වංගු වංගු ගැසුණු චීනයේ ගෝලියැන්ග් පාර - Chinese Scariest Guoliang Tunnel Road


චීනය කියන්නේ ලෝක ශිෂ්ටාචාරයේ සුවිශේෂී තැනක පවතින රටක් කීවොත් එහි වරදක් නැහැ. අතීතයේද වර්තමානයේත් එය ලෝකයට අරුම පුදුම දෑ එකතු කළා. චීන මහා ප්‍රකාරය, චීන සටන් ක්‍රම, කලා ශිල්ප මේ අතර දකින්නට ලැබෙනවා. මේ කියන්න යන්නෙත් චීනය ලෝකයට එකතු කළ අපූරු දෙයක් ගැනයි. 



මේක මාර්ගයක්. මහා ගල් පර්වතයක් සිදුරුකරගෙන උමගක් ලෙසින් ඇදී යන මේ මාර්ගය සැබවින්ම විශ්මය ජනකයි. එය පසුපස ඇති කතාවද ඒ තරමටම අපූරුයි. 


මේ උමං මාර්ගය හඳුන්වන්නේ ‛ගෝලියැන්ග්’ නමින්. පිහිටා තිබෙන්නේ චීනයේ හූනාන් පළාතේ ‛ටයිහාන්ග්’ කඳුවැටියේ කොටසක.
1972 වර්ෂයට පෙර මේ අසල ඇති ගෝලියැන්ග් ගම්මානයට ළඟාවන්නට හරිහැටි මාර්ගයක් තිබුණේ නැහැ. තිබුණු මාර්ගයත් වැටී තිබුණේ කඳු වැටි අද්දරින් හරිම භයානක විදියට. ඒ මාර්ගයේ ගමන් කිරීම ජීවිතයත් මරණයත් අතර සටනක් තරමටම අවදානම්. ඒ නිසාම මේ ගම්මානය කඳු වළල්ලක් මැද හුදෙකලා වුණා. දියුණු ලෝකයේ හැමදේම මේ ගම්මානයට ආවේ බොහෝ කාලයක් පමාවෙලා. හරි විදියට කීවොත් මේ ගම්මානය සෙසු ලෝකයෙන් අතහැර දමාපු ගම්මානයක් විදියටයි පැවතුණේ. 



ගම්මානයේ හැමදෙනාම මේ ගැන හිටියේ ලොකු කණස්සල්ලකින්. ඔවුන් රජයේ බලධාරීන්ට මේ ගැන කීවත් පලක් වුණේ නැහැ. අවසානයේ ඔවුන් තීරණය කළා මේ අභියෝගය තමන්ගේ අතට ගන්න. ඔවුන් මේ කඳුවැටිය සාරා ආරක්ෂිත උමං මාර්ගයක් ගොඩ නගන්නට තීරණය කළා. 


ඔවුන් එළුවන් සහ ඖෂධ වර්ග විකුණලා යකඩ මිටි සහ අනෙකුත් මෙවලම් මිලදී ගත්තා. මේ අභියෝගය භාර ගන්න ෂෙන්ග් මින්ග්ෂින්ගේ නායකත්වයෙන් යුක්ත ශක්තිමත්, නිර්භීත ගම්වැසියන් 13 දෙනෙක් ඉදිරිපත් වුණා. මීටර් 1,200ක් පමණ දිගින් යුක්ත මේ උමං මාර්ගය සාරා නිමකරන්නට ඔවුන්ට වසර පහක් ගතවුණා. මේ උමං මාර්ගය මීටර් 5 ක් (අඩි 15)ක් පමණ උසින් යුක්ත වන අතර මීටර් 12ක් (අඩි 12) පළලින් යුක්තයි. මීටර් 12ක් පමණ පළලින් යුක්ත කවුළු 13ක් මේ මාර්ගය අද්දරින් තනා තිබෙනවා. 


මහා භයානක බෑවුම මේ කවුළු අතරින් ආරක්ෂිතව බලන්නට දැන් ඕනෑම අයෙකුට පුළුවන්.  මෙය 1977 මැයි 1 වැනිදා මහජනතාව වෙනුවෙන් විවෘත කෙරුණා. මෙය දැන් දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙන ස්ථානයක් බවටත් පත්වෙලා හමාරයි. ගෝලියැන්ග් ගම්මානය තවදුරටත් හුදෙකලා ප්‍රදේශයක් නම් නෙවෙයි. 






 
පහළ වීඩියෝවෙන් ඔබට මේ ගැන තව තොරතුරු දැනගන්නට පුළුවන්

2 comments:

  1. අපරාදේ මෝඩයෝ ටිකක් .
    කලින් කිව්වනං ආණ්ඩුවෙන් කරලා දෙනවනේ

    ReplyDelete
  2. Very interesting!Thank you very much.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න