Thursday, March 8, 2018

ආණ්ඩුවේ වෙබ් අඩවි තහනම් විහිළුව සහ කුරණ ඉඩම


ආණ්ඩුවේ වෙබ් අඩවි තහනම විහිළුවක් වන්නේ ඇයි ද කියා අටුවා ටීකා ඇතිව විස්තර කළ යුත්තක් නොවන බව අන්තර්ජාල පහසුකම භාවිත කරන්නන් සහසුද්දෙන්ම දන්නේය. අද රාත්‍රියේ ප්‍රවෘත්ති අසද්දී,


‘වෙබ් අඩවි තහනම තව දින කිහිපයක් පවතින්නේය‘ 


යැයි ඇසුණු විට මට මෙන්ම බොහෝ දෙනෙක් කටින් ද නැත්නම් වෙන තැනකින් ද සිනහ වෙන්නේ යැයි සිතන්නට ඇත. ඒ කෙසේ වෙතත් ආණ්ඩුවේ වෙබ් අඩවි තහනම කුරණ ඉඩමක් හා සම්බන්ධ වන්නේ කෙසේදැයි ඔබට සිතෙන්නට පුළුවන. ඒ මෙසේ ය.



මා දිනපතා සේවයට එන්නේ පුත්තලම් දුම්රිය මාර්ගයේ උදෑසන ගමන් ගන්නා මුතුකුමාරියේ ය. එය රාගමට යන තුරු මන්දගාමීව ගමන් ගන්නා නිසා මෙය කුරණ දුම්රිය ස්ථානයේ ද නවත්වන්නේ ය. කුරණ දුම්රිය ස්ථානයේ නවත්වන සෑම විටම මගේ ඇස ගැටෙන අපූරු ඉඩමක් තිබේ. ගූගල් සිතියමෙන් එහි පින්තූර කිහිපයක් ගෙන මෙහි දමා ඇත්තේ ඔබගේ පහන් සංවේගය පිණිස ය.



මේ ඉඩම වටා තාප්පයක් හෝ වැටක් හෝ වෙන යම් කිසිදු ආරක්ෂක රැකවලක් දක්නට නැත. ගූගල් සිතියමට මේ ඡායාරූප ගන්නා කාලයේ ඇතැම් තැන්වල කටුකම්බි පොටවල් පෙනෙන්නට තිබුණත් දැන් ඒවා ද නැත. නමුත් ගේට්ටුවට ඉබ්බෙක් දමා තිබේ. එයින් කියවෙන්නේ නිල වශයෙන් ඉඩමට ඇතුළු වන ස්ථානයට අගුලු දමා තිබුණත් නොනිල වශයෙන් ඕනෑම තැනකින් ඇතුළු විය හැකි බවය. 


ආණ්ඩුවේ වෙබ් අඩවි තහනම ද මෙසේම ය. අන්තර්ජාලය භාවිත කරන සියලු දෙනාම පාහේ දැන් VPN ඔස්සේ තහනම් කළ වෙබ් අඩවිවලට පිවිසෙති. නමුත් ආණ්ඩුවේ ගේට්ටුවට ඉබ්බා දමා ඉඩම වටේ කම්බි ගළවා ගෙන සිටී. 


ආණ්ඩුව වෙබ් අඩවි තහනම් කරනා තෙක් මේ ඉඩමේ ස්වභාවය සමාන කරන්නට උපමාවක් මට සොයා ගන්නට ලැබුණේ නැත. නමුත් දැන් ලැබී තිබේ.

2 comments:

  1. මම කල්පනා කෙරුවේ අපේ කොළුගැටයා කොහෙද කියලා?

    මහින්ද ඔහොම දෙයක් කලානම් ආනන්කරීය පාපයක් කලා වගේ කෑගහයි.

    ReplyDelete
    Replies
    1. සමාජ ජාල ද උදව්වක් කර ගෙන බලයට පැමිණි පිරිසක් ම එය තහනම් කිරීම ගැන බොහෝ දෙනෙකුගේ හිතේ තියෙන්නේ අප්‍රසාදජනක හැඟීමක්. අනෙක එය ද එතරම් සාර්ථක නොවූ නිසා තව පිරිසකගේ හිතේ තියෙන්නේ ආණ්ඩුව ගැන අවඥා සහගත හැඟීමක්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න