අප රටේ 68 වැනි නිදහස් සමරුව
නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ රාත්‍රියේ පවත්වන ලද සංගීත ප්‍රසංගයේදී ක්‍රිෂානි
විජේසිංහ නම් ගායිකාව විසින් ගායනා කරල ලද ‛දන්නෝ බුදුන්ගේ ගීතය පිළිබඳ මේ වන දැැවැන්ත
මට්ටමේ සමාජ කතිකතාවක් නිර්මාණය වී තිබේ. ඇය මේ සමඟම දරු නැළවිලි ගීයක් ද ගායනා කළ
මුත් වැඩි වශයෙන් කතා බහට ලක්වන්නේ මුළින් සඳහන් කළ ගීතය පිළිබඳවය. මේ පිළිබඳ මේ
සා අදහස් පළවන්නට හේතුව වී ඇත්තේ මෙකී ගායිකාව විසින් එය බටහිර ඔපෙරා ශෛලියකින්
ගායනා කළ බැවිනි.
දන්නෝ
බුදුන්ගේ ගීතයේ ඉතිහාසය
1903 වර්ෂයේදී
ජෝන් ද සිල්වා සූරීන් විසින් නිර්මාණය කරන ලද ‛සිරිසඟබෝ’ නාට්‍යය සඳහා මුල්වරට ගැයුණු මෙම ගීතය
පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය ‛ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය’ පොතෙහි මෙසේ දක්වා
තිබේ.
“1903 දී ජෝන් ද
සිල්වා රචනා කළ , සිරිසඟබෝ
නාටකයෙහි ‛දන්නෝ
බුදුන්ගේ ගීය සඳහා විශ්වනාත් ලවුජී නමැති ඉන්දියානු සංගීතඥයා සම්පාදිත තනුව ,
බටහිර තනුවක් බවටද
මතයක් පවතී . . . . . කෙසේ වෙතත් විශ්වනාත් ලවුජී සම්පාදනය කර ඇති සිය ගණනකට අධික
ගී තනුවලට වඩා “දන්නෝ බුදුන්
ගේ” තනුව වෙනස්
බවත්, එහි බටහිර
නැඹුරුවක් ඇති බවත් විචාරකයෝ පවසති. ශ්‍රී ලංකාවේ බැප්ටිස්ට් දේවස්ථානවල ද දන්නෝ
බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාවක් ඇත”
දන්නෝ බුදුන්ගේ තනුව අනුව ගැයෙන ගීතිකාව
මෙහි මුල්
ගායනය ඩබ්ලිව්. ඒ. පෙරේරා, එබ්ලිව්.ඒ.
අප්පුසිඤ්ඤෝ සහ ඩබ්ලිව්.ඩී.එස්. ජේමිස් යන අයගේ නම් සොයා ගත හැකිය.
‛සිරි සඟබෝ’
නාට්‍යයට අනුව
සංඝතිස්ස, සංඝබෝධි හා
ගෝටාභය යන කුමාරවරු සිට අනුරාධපුරය නගරයට එන අවස්ථාවකදී ඔහු දකින දෑ මෙම ගීතයෙන්
කියැවෙයි. බුදු දහමින් පෝෂිත වූ අනුරාධපුර නගරය (පුර වර්ණාව) ගැන එයින් කියැවේ.
දැවැන්ත සමාජ කතිකාවක් ඇති වී තිබෙන්නේ මෙම් ගීත 68 වැනි නිදහස් සමරුව වෙනුවෙන් පැවැත්වූ සංගීත
ප්‍රසංගයේදී ගායනා කිරීම පිළිබඳ නොව එය බටහිර ඔපෙරා ශෛලියකින් ගායනා කිරීමය. ඔපෙරා
යනු දහසය වැනි සියවසේදී ඉතාලියේ බිහිවූ බටහිර සම්භාව්‍ය සංගීත ශෛලියකි.
නිදහස් උළෙලේ මෙම ගායනයට පෙර ඔපෙරා ශෛලියේ ගීත අසා තිබුණත් එය තවමත් අප රටේ සංගීත රසිකයාට
ආගන්තුකය. අනෙක නිදහස් සමරුවක් පැවැත්වෙන අවස්ථාවකදී යම් කිසි රටක් ලෝකයට දිය
යුත්තේ සිය සංස්කෘතියේ යම් වටිනාකමක් ඇති දේ තිබේ ද ඒවාය. අනෙක ‛දන්නෝ බුදුන්ගේ’
ගීතය ආචාර්ය පණ්ඩිත්
අමරදේවයන් විසින් ගායනා කිරීමෙන් පසු, එය වඩාත් සම්භාවනාවට පත් ව ගෞරවනීය ගීතයක් බවට පත් විය.
අර්ථයෙන් ගත් කල බුදු බැති ගීතයක් නොවූව ද භාවිතයේදී එය එම තත්වයේ ලා සැළකීමට අප
රටේ බොහෝ දෙනෙක් පුරුදුව සිටිති. එවන් ගීතයක් ක්‍රිෂානි විජේසිංහ විසින් ඔපෙරා
ශෛලියකින් ගායනා කිරීම පිළිබඳ බොහෝ දෙනෙකු බරතල විවේචන එල්ල කරන්නට පටන් ගෙන තිබේ.
ඇතැම් මාධ්‍ය, සමාජ ජාල වෙබ්
අඩවි ආදිය ඇයට එරෙහිව මෙන්ම ඇයට පක්ෂපාත අදහස් දක්වන්නන්න ද දකින්නට හැකිය.
ක්‍රිෂානි
විජේසිංහ යනු කවුද?
ක්‍රිෂානි
විජේසිංහ යනු අප රටෙන් බිහිවූ විශිෂ්ටතම ඔපෙරා ගායිකාව ලෙස සැළකේ. කොළඹ විශාඛා
විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය ඔපෙරා සංගීතයේ විශිෂ්ටතම ස්ථානය වූ ‛රෝයල් ඔපෙරා හවුස්’
හිදී මෙන්ම බ්‍රිතාන්‍ය
මහ රැජින ඉදිරියේ තනිව ගායනයක් ඉදිරිපත් කරන්නට වරම් ලද ප්‍රථම ආසියානු කාන්තාව
ලෙස ද සැළකේ. අප රටේ ජාතික ඔරු පැදීමේ ශූරතාවය ඇය තෙවරක් දිනාගෙන ඇත. එමෙන්ම ඇය
එංගලන්තයේදී නීති උපාධියක් ද හදාරා තිබේ. මේ කෙටි විස්තරය කියැවීමෙන් පවා පෙනෙන්නේ
ඇය අප රටට කීර්තියක් ලබාදුන් කාන්තාවක බවය. ඇයගේ සංගීත ඥානය හෝ ගායන හැකියාව
පිළිබඳ ද කිසිවකුට ප්‍රශ්න කළ නොහැකිය. කෙසේ වෙතත් මැදිහත් විචාරකයන් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ
ඇගේ ගායන හැකියාව පිළිබඳ කිසිදු ගැටලුවක් නැතත් නිදහස් සමරු සංගීත ප්‍රසංගයේදී
එවැනි ශෛලියකින් එම ගීතය ඉදිරිපත්කිරීම උචිත නොවන බවය.
අප රටෙහි බොහෝ
කාලයක පටන්ම ඔපෙරා සංගීතය ආශ්‍රිතව යම් යම් නිර්මාණ බිහිව තිබුණ ද ඒවා එතරම්
ඉස්මතුවී පැමිණියේ නැත මේ පිළිබඳ සිංහල ජන සමාජයේ කතා බහක් ඇතිවූයේ ආචාර්ය ප්‍රේමසිරි
කේමදාසයන් විසින් සිංහල බසින් ඔපෙරා නිර්මාණය කරන්නට පටන් ගැනීමත් සමඟය. ඔපෙරා ගී ගැයෙන්නේ සංගීත භාණ්ඩ සමූහයකින්
සමන්විත (Orchestra) සංගීත සංධ්වනියක් (Symphony) සමගිනි. මෙම සංධ්වනි සංකල්පය සිංහල ජන
සමාජයේ කතා බහට වැඩි වශයෙන් ලක්වූයේ කේමදාසයන් නිසාය. ඔපෙරා, සංධ්වනි ආදිය සමඟ ඔහු
සිය ගෝල බාලයන්ට ස්වර හැසිරවීමේදී අනුගමනය කළ යුතු, අපේ රටේ සාම්ප්‍රදායික උත්තර භාරතීය සංගීත
ශිල්පීන් අනුගමනය නොකරන ක්‍රමවේදයක් පවා හඳුන්වා දෙන්නට පියවර ගත්තේය. මේවා තුළ
බහුලව ඇත්තේ ඔපෙරා ගායන ශෛලිය සඳහා උපයෝගී කොට ගැනෙන ක්‍රමවේදයන් ය. එදා ඔපෙරා
ශෛලිය මුල්වරට සිංහල සංගීත රසිකයාට හඳුන්වා දුන් සමයේ ද කේමදාසයන්ට ද බොහෝ ගල්මුල්
එල්ල වූ බව අතීතය දෙස විපරම් කොට බලන්නකුට දැකිය හැකිය.
ක්‍රිෂානි
විජේසිංහ ද ප්‍රේමසිරි කේමදාසයනගේ ශිෂ්‍යාවකව සිට එංගලන්තය කරා ගොස් ඔපෙරා ශෛලිය
හැදැරූ බව දැනගන්නට ද ලැබී තිබේ. කෙසේ
වෙතත් ගැටලුව වී ඇත්තේ ඇයගේ ගායන ශෛලිය අපගේ ජන විඥානය හා පෑහීමක් කරගැනීමට ඇති
නොහැකියාවය.
සංගීතවේදයට
අනුව සංගීතය යනු විශ්ව භාෂාවක් බව සාමාන්‍ය මතයයි. පණ්ඩිත් අමරදේවයන් වරෙක පවසා
සිටියේ සංගීතයේ ඇත්තේ භාෂාවකට වඩා විශ්ව වින්දනයක් බවයි. කෙසේ නමුත් මේ විශ්ව
වින්දනය පවා විවිධ ජන සංස්කෘතීන් අනුව වෙනස් වෙයි. මුළින්ම ජන සංගීතයක් ලෙස උපදින
ශෛලීන් විවිධ ගුණාංග එක්කරගනිමින් පසුකාලීනව සම්භාව්‍ය සංගීතයක් බවට පත් වෙයි. මේ
පසුපස යම් රටක ආර්ථික, සමාජමය,
ආගමික මෙන්ම දේශගුණික
සාධක ද දක්නට තිබේ. විශේෂයෙන් බටහිර සීත රටවල ගායන ශෛලීන්වල උච්ච ස්වර වැඩි වශයෙන්
දක්නට ලැබේ. නමුත් නිවර්ත දේශගුණයක් ඇති අප වැනි රටවල එවැනි ශෛලීන් එතරම් දක්නට
නැත.
‛දන්නෝ
බුදුන්ගේ’ ගීතය ඔපෙරා
ශෛලියකින් ගායනාකිරීම පිළිබඳ ධනාත්මක අදහස් දක්වන්නන් බොහෝ දෙනෙකු පවසන්නේ මෙහි
සංගීතය විශ්වනාත් ලව්ජි විසින් සිදුකොට තිබුණත් එය බටහිර තනුවක් බවය. එනම් මෙය 1880 වසරේදී වැග්නර් නම්
ජර්මානු සම්භාව්‍ය සංගීතඥයා විසින් නිර්මාණය කරන ලද තනුවක් බව කියැවේ. එය සත්‍ය බව පෙනෙන්නේ ලව්ජිගේ සෙසු සංගීත
නිරමාණවලට වඩා මෙහි වෙනස් බවක් දක්නට ලැබීමත් 1903 වසරේ ජෝන් ද සිල්වා සූරීන් මෙම නාට්‍යය
රචනාකිරීමට පෙර සිටම දේවස්ථානවල මෙම තනුව අනුව ගැයුණු ගීතිකාවන් භාවිතයේ තිබුණු
බවට සාධක තිබීමත් නිසාය.
අනෙක 1920 හෝ ඊට මඳක් පෙර සමයක හියුබට් රාජපක්ෂ නමැති ගායකයා
විසින් දන්නෝ බුදුන්ගේ ගීතය බටහිර ශෛලියකින් ගායනා කොට තිබේ. මේ සියලු දේ සත්‍ය
වුව ද වර්තමානය වන විට මෙම තනුව හොඳින්ම ශ්‍රී ලාංකීකරණය වී තිබේ. කතෝලික
දේවස්ථානවල භාවිතයට ගැනෙන ගීතිකා (Hymns) මුල් සමයේ බටහිර
ශෛලීන්වලින් පැවතිය ද ඔවුන් ද කෙමෙන් සිය ගීතිකා දේශීයකරණයට ලක්කරමින් පවතී. මේ වන
විට දේශීය ශෛලීන්ගෙන් ගැයෙන ගීතිකා බටහිර ශෛලියට ගැයුණු ඇතැම් ගීතිකාවලට වඩා ජනප්‍රියත්වයට
පත්ව තිබේ. ඇතැම් ගීතිකාවල බටහිර සුවඳ දකින්නට ලැබුණ ද ඒවා මේවන විට සහමුළින්ම
දේශීයකරණට ලක්ව හමාරය. උදාහරණයක් ලෙස ‛සයිලන්ට් නයිට්’ නමැති ගීතිකාව ලතා වල්පොල මහත්මිය විසින් ’ශාන්ත වූ රාත්‍රියේ’ ලෙසින් ගායනා කරන
සිංහල ගීතිකාව සඳහන් කළ හැකිය. කෙසේ නමුත් මේවා නැවත බටහිර ශෛලියකින් ගායනා කළහොත්,
එහි මුල බටහිර තනුවක්
වුව ද අප රටේ රසිකයා එය පිළිගැනීමට යම් මැළි බවක් දක්වනු නිසැකය.
‛දන්නෝ
බුදුන්ගේ’ ගීතය ඔපෙරා
ශෛලියකින් ගැයීම පිළිබඳ සඳහන් කළ යුත්තේ ද එයමය. මෙහිදී ක්‍රිෂානි විජේසිංහගේ
ගායනා හැකියාව හෝ ඔපෙරා ගායන ශෛලිය පිළිබඳව හෝ ගැටලුවක් නැත. අපට එය කෙටි
උදාහරණයකින් මෙසේ සඳහන් කළ හැකිය.
අප සීනි මෙන්ම
ලුණු ද ආහාරයට ගනිමු. සීනි තේවලට මිශ්‍ර කරන අතර ලුණු කිරි හොදි (වෙනත් ඕනෑම
වෑංජනයක්) සමඟ මිශ්‍ර කරනෙමු. නමුත් අප කිරි හොද්දට සීනි හැඳි කිහිපයක් මිශ්‍ර
කළහොත් වන්නේ කිරි හොද්ද නීරස වීමය. සීනි දැමිය යුත්තේ තේවලටය. එමෙන්ම ලුණු
හැන්දක් තේ සමඟ මිශ්‍ර කළ හොත් සිදුවන්නේ තේ එක නීරස වීමය. එය දැමිය යුත්තේ කිරි
හොද්දටය. මෙතැන ඇත්තේ අප සීනිත් ලුණුත් ආහාරයට ගත්ත ද එය ආහාරයට ගත යුත්තේ කුමන
අවස්ථාවේ කුමන ඒවා සමඟ ද යන්න පිළිබඳව අවබෝධය තිබිය යුතු බවය. එබැවින් මෙහි ඇත්තේ
සීනිවල හෝ ලුණුවල හොඳ හෝ නරක පිළිබඳ ගැටලුවක් නොව ඒවා තැනට සුදුසු පරිදි භාවිත කළ
යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ගැටලුවකි. මෙය පිළිබඳ දේශපාලන වශයෙන් අර්ථ දක්වන්නන්
පවසන්නේ මෙය පිටුපස ඇත්තේ අප රට අධිරාජ්‍යවාදීනට නැඹුරු කරවීමේ කුමන්ත්‍රණයක් බවයි.
සැබවින්ම මෙහි එවැන්නක් නැතත් මේ සියලු චෝදනා එල්ලවීමට හේතු වී ඇත්තේ උසස් වුවත්,
සම්භාව්‍ය වුවත්,
යමක් නුසුදුසු
අවස්ථාවක, නොගැළපෙන
පිරිසකට ඉදිරිපත්කිරීමේ පලවිපාකයය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ නිදහස් උළෙලේ
අභිමානවත්බව පිළිබඳ විවිධ පුදගලයන්ට ප්‍රශ්න කරන්නට අවස්ථාව ලැබීමත්, අප රටට කීර්තියක් ගෙන
දුන් දක්ෂ ඔපෙරා ගායිකාවක් සමාජය ඉදිරියේ නින්දාවට හා අපහාසසයට ලක්වීමත්ය.