පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, April 20, 2024

මෙටලික්ස් කවකටු පෙට්ටියක් සමග අවුරුදු 36 ක අතීතාවර්ජනයක්




ඉස්කොලේ යන කාලේ පාවිච්චි කරපු කවකටු පෙට්ටිය අද අහම්බෙන් වගේ හම්බ වුණා. ඒක ‘මෙටලික්ස්’ (Metalix) ඒකේ මහ ලොකු විශේෂයක් නැහැ. ඒක මට විශේෂයි කියලා හිතෙන්නේ මම ඉස්කෝලේ ගිය කාලේ එක්ක බලද්දි. මම සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වේ 1988. ඒ කියන්නේ අදින් අවුරුදු 36 කට කලින්. ඊටත් කලින් තමයි මේ කවකටු පෙට්ටිය ගත්තේ. ඒ රුපියල් 65 කට. 



මම උසස් පෙළ විභාගයේ වැඩවලට පාවිච්චි කළෙත් මේ කවකටු පෙට්ටිය. ඉතින් අවුරුදු 36 කටත් වඩා පරණ කවකටු පෙට්ටියක් තාම තියෙන එක තමයි මට දැනෙන එක විශේෂත්වයක්.



මේකේ තියෙන තව විශේෂත්වයක් වෙන්නේ ලංකාවේ නිෂ්පාදනයක් වීම. කවකටු පෙට්ටියේ සඳහන් කරලා තියෙන්නේ Made in Ceylon  කියලා. අද ලංකාවේ චීන කවකටු පෙට්ටි වැහිවැහලා තිබුණත් ඒ කාලේ තිබුණු හොඳම එක තමයි මෙටලික්ස් කියන්නේ. ඉස්කෝලෙන් ගන්න කිව්වෙත් මෙටලික්ස්. මීට අමතරව ඉන්දියාවේ හදන ‘නට්රාජ්’ එක තිබුණත්, ඒක කවුරුවත් ගණන් ගත්තේ නෑ. ලංකාවේ හදපු මෙටලික්ස් කවකටු පෙට්ටියක් තියෙනවා කියන්නේ නම්බුවක් වගේ දෙයක්. අනෙක නට්රාජ් ඒවා තහඩුවලින් හදපු ඉක්මනින් කැඩිලි බිඳිලා යන ගතියක් තිබුණා. හැබැයි උසස් ප්ලාස්ටික් වර්ගයකින් හදපු මෙටලික්ස් එක අදත් හොඳටම තියෙනවා. කවකට්ටයි, බෙදුම් කට්ටයි නැත්තේ ඒක මම කාට හරි දුන්න නිසා. මට ආපහු ලැබුණේ නෑ.





මම මේ මෙටලික්ස් කවකටු පෙට්ටි ගැන විස්තර හොයන්න උත්සාහ කළත් ඒ ගැන සවිස්තරාත්මකව ලියැවුණු කිසිම දෙයක් හොයාන්න නැහැ. කොහොම වුණත් අපේ රටේ උපාලි පියට් කාර් හදපු, යුනික් රේඩියෝ හදපු කාලෙම ඇති වුණු ව්‍යාපාරයක් තමයි මේක කියලා යම් යම් විස්තරවලින් හොයා ගන්න පුළුවන්.

2024 අප්‍රේල් 20 වැනිදා ‘අරුණ’ පත්තරේ තිබුණු, ‘කැටපෝල් ආනයනය තහනම් කරන්නේ කවදාද?’ කියන ලිපියේ එක් තැනක මෙහෙම තිබුණා.

‘ලංකාවේ කාර් හැදුවේ ඉන්දියාවටත් පෙරය. ඉස්කෝලේ යන කොලු‍ කුරුට්ටන් අතර රැඳි ‘මෙටලික්ස්’ කවකටු පෙට්ටි දැන් සොයා ගැනීමටත් නැත. ලංකාවේ යුනික් රේඩියෝ, ටීවී, කැල්කියුලේටර් මෙන්ම ඩියුරෝ උණුවතුර බෝතල්ද අද ඇත්තේ මතකයේ පමණකි.’  

ඊළඟට Transylvania කියන බ්ලොග් එකේ ‘නාලන්දා ගායකයෝ’ කියන පෝස්ට් එකේ කොමෙන්ට්ස් කීපයකමත් මෙටලික්ස් කවකටු පෙට්ටියේ නම සඳහන් කරලා තිබුණා.

ඒ වගේම තවත් වැදගත් තොරතුරක් හම්බවුණා 2001 ජූනි 17 වැනිදා ‘සන්ඩේ ටයිම්ස්’ පත්තරෙන්. ඒකේ Do or die by Metalix කියලා පොඩි නිව්ස් එකක් තිබුණා. ඒ නිව්ස් එකේ තියෙන්නේ වටරැක තිබුණු මෙටලික්ස් ආයතන NDB බැංකුවෙන් ගත්තු ණයක් ගෙවා ගන්න බැරිව බැංකුවෙන් නඩු දාලා ආයතනයේ දේපළ වෙන්දේසි කරන්න සූදානම් වෙන කතාවක්. සමාගම මෙයට එරෙහිව ඇපෑලක් දාලා තියෙන කතාවකුත් තියෙනවා. මට දැනෙන විදියට ඒක තමයි මෙටලික්ස් සමාගමේ අභාවය සනිටුහන් වෙන කාලය. පාසල් දරුවන් වෙනුවෙන් උසස් ගුණත්වයෙන් යුක්ත කවකටු පෙට්ටි (තවත් දේවල් නිෂ්පාදනය කරන්න ඇති) නිෂ්පාදනය කළ සමාගමක් ඉදිරියට පවත්වාගෙන යන්න නොහැකි වන තැනට කටයුතු යෙදුණු කතාව තමයි මේ නිව්ස් එකෙන් පැහැදිලි වෙන්නේ.

අපේ රටේ හැම නිෂ්පාදනයකටම වුණේ මේක තමයි. ඉන්දියාවේ කාර් හදන්නත් කලින් කාර් හදපු අපේ රට දැන් ඉන්දියාවෙන් වාහන ගෙන්වනවා. පිටරටට පවා රේඩියෝ අපනයනය කළ අපේ රට දැන් චීනයෙන් තොග ගණන් රේඩියෝ ගේනවා. අපේ රටේ කවකටු පෙට්ටි ඇතුළු පාසල් උපකරණ හදන සමාගම් තිබුණත්, මට දැනෙන්නේ මෙටලික්ස් එක තරම් ඒවා ගුණත්වයෙන් උසස් නැහැ කියලා.

අවුරුදු 36 කටත් එපිට මතකයක් දරාගෙන සිටින මෙටලික්ස් කවකටු පෙට්ටිය දැකපු මට මේ පුංචි සටහන ලියන්න හිතුණා. ඒ එක්කම අපේ රටේ අභාවයට ගිහින් නැත්තටම නැතිවුණු ස්වර්ණමය නිෂ්පාදන ආර්ථිකයේ අංකුර සමාගම් ගැන සිහිපත් වෙලා වේදනාවකුත් ඇති වුණා. මොනව වුනත් චීනෙන් ඕන තරම් බඩු එන නිසා අවුලක් නෑ.