අපි පොඩි කාලේ
දැන් කාලේ වගේ කොම්පියුටර හෝ ස්මාර්ට් දුරකතන හෝ තිබුණේ නැත. ඒ නිසා අපටම වෙන් වූ
බොහෝ සෙල්ලම් තිබුණේය. ඒ කාලේ අපේ ගමේ කළ සෙල්ලම් අතර මට මතක ඇති විදියට මෙසේ
සඳහන් කළ හැකිය.
හැංගිමුත්තන්
අඩි අඩි පොල්ල
- පොල්ලක් විසි කරයි. පොල්ල අහුලාගත් තැනැත්තා අනෙක් අය සෙවිය යුතුය. සැඟවී සිටින
කෙනෙක් දුටු විගස ඔහුගේ නම කියා ‘අඩි‘ යන වචනය ද කිව යුතුය. උදා. ‘අජිත් අඩි‘
අටකොටු පැනීම
චක්කරං පැනීම
හත්වලවල්
ගැසීම - අප පළාතේ රබර් ගස් බහුලව තිබුණු නිසා මේ සඳහා ගත්තේ රබර් ඇටය. මෙහිදී මැද
වලක් සහිතව තවත් වලවල හයක් වටේට සාරනු ලැබේ. මේවා පොල් කට්ටක පමණ ප්‍රමාණයෙන් යුක්ත
වලවල්ය. සෙල්ලමට සහභාගී වන සෑම දෙනෙක්ම එක රබර් ඇටය බැගින් වලකට දැමිය යුතුය. ඉන්
පසු අඩි 10 – 15 ක පමණ දුර සිට පැතලි ගලක් වලවල් දෙසට විසි කරනු ලබයි. මැද වලට
වැටුනොත් සියලු රබර් ඇට ඔහුටය. අනෙක් වලවල්වලට වැටුනොත් ඒ වලේ ඇති රබර් ඇට පමණක්
හිමි වේ. රබර් ඇට බහුල නිසා එහි වටිනාමක් නොවූයෙන්, ඇතැම් විට මේ සඳහා ජිල් බෝල ද
යොදා ගනු ලැබිණි.
ජිල් බෝල
ගැසීම
ගුඩු ගැසීම - කබඩිවලට සමානය
චක්කුඩු ගැසීම - කුඩා වලක් සාරා එය මත කෙටි ලී කෝටුවක් තබා, දිග ලී කෝටුවකින් මෙය උස්සා විසි කරයි. රකින්නට සිටින කිසිවකු මෙම කුඩා කෝටුව බිම වැටෙන්නට නොදී අල්ලා ගත්තොත් තරගයෙන් ඉවත් වේ. එය බිම වැටුනොත්, එතැන සිට වල ළඟට කෝටුව විසි කරයි. එවිට සෙල්ලම් කරන්නා දිග කෝටුවෙන් එයට පහර දිය යුතුය. පහර දුන් පසු වීසි වන ස්ථානයත්, වලත් අතර දුර දිග කෝටුවෙන් මනිනු ලබයි. මෙසේ වැඩි දුරකට විසි වන සේ පහර දුන් තැනැත්තා ජය්‍රගහණය කරයි.
සරුංගල් ඇරීම
රබර් ගෙඩි බෝල
කරත්ත සෑදීම
රබර් ඇට බඹර
සෑදීම
කිරිල්ල
තුවක්කු සෑදීම
මණ්ඩල් ගැසීම
- සියලු නීති එල්ලේ ක්‍රීඩාවට සමානය. තමාම බෝලය උඩ තමා අල්ලෙන් ගසා අල්ලි දිගේ
දුවනු ලැබේ.
ගස් පැනීම
මේ මට මතක ඇති
ඒවාවලින් කිහිපයකි. ඒ කාලයේ අද වගේ ළමා අපචාර, අපයෝජන බහුල නොවූයෙන් අප කොහි ගියත්
අම්මා තාත්තා අප ගැන සොයන්නට එතරම් වෙහෙස වූයේ නැත. සොයා බලන්නේ දවාලට කෑමට ගෙදර
ආවේ නැතොත් සහ සවස් වී ගෙදර නාවොත්ය.
කණ්ඩායම්
දෙකක් සෑදී සෙල්ලම් කරද්දී කණ්ඩායම් දෙක තෝරා ගත්තේ ද ගමේම ක්‍රමයකට ය. මුලින්ම
කණ්ඩායම් දෙකට නායකයන් දෙදෙනකු කාගෙත් කැමැත්තෙන් තෝරා ගන්නෙමු. පසුව දෙදෙනා
බැගින් වෙන් වී රහස් වදන දෙකක් කතිකා කර ගන්නෙමු. උදාහරණයක් ලෙස ගල සහ මල, අහස සහ
පොලොව, බල්ලා සහ පූසා ආදී වශයෙනි. මේ වචනවලින් නියෝජනය වන්නේ කණ්ඩායම්වලට බෙදෙන්නට
බලාපොරොත්තුවෙන් සිටින දරුවන් දෙදෙනාය. ඉන් පස්සේ කණ්ඩායම් දෙකේ නායකයන් දෙදෙනා ළඟට
ගොස් මෙසේ පවසන්නෙමු.
“උච්චි උච්චි
- තෝල් තෝල්“
මේ වදන් කෙසේ
ඇති වූයේ දැයි දන්නේ නැත. මෙසේ පැවසීමෙන් පසු කතිකා කරගත් රහස් චචනය නායකයන්
දෙදෙනා හමුවේ තැබීම සිදු වේ.
“ගල ද මල ද?“
යම් කිසි
නායකයෙක් ගල යැයි පැවසුවහොත්, ගල යන රහස් වචනයෙන් නියෝජනය වන දරුවා ඒ කණ්ඩායමට
අයත් වේ.
මීට අමතරව
හැංගිමුත්තන්, අඩි අඩි පොල්ල වැනි සෙල්ලම්වලදී සියලු දෙනා හැංගී එක් අයකු පමණක්
සෙවීමේ නිරත වන නිසා සොයන තැනැත්තා තෝරා ගන්නට කවි හෝ යම් ක්‍රම තිබිණි. මේවා ද
බොහෝ දෙනෙක් දන්නා කවිය.
“හෝ . . . දහය විස්ස තිහ හතලිහ පණහ හැට හැත්තෑව අසූව අනූව
සීය“
මෙසේ සියලු දෙනාම ගණන් කොට අවසන් ඉතිරි වූ තැනැත්තා සොයන කාර්යය සඳහා තෝරා
ගැනේ.
මේ කාර්යය
සඳහා භාවිත වූ මගේ මතකයේ ඇති තවත් කවි කිහිපයක් තිබේ.
“හැංගි මුත්ති
මුත්තියෝ
නොපෙනෙන තැනක
හැංගියෝ
එකයි දෙකයි
තුනයි“
“අංකල් වෙරී
වෙන්ටුමරී ඉන්ද මොටෝ කාර්
අංකල් වැටිලා
කකුල කැඩිල ලලයි ලුලයි ලා
ඒකේ ලකුණ එකයි
දෙකයි තුනයි“
මේ කවිය මෙහි
සඳහන් කළේ ඒ කාලේ මට ඇසුණු විදියටය. නමුත් මෙහි මුල් පේළියේ නිවැරදි වචන මට
දැනගන්නට ලැබුණේ වැඩිහිටි වියේ දීය. ඒ අනුව නිවැරදි වදන් පෙළ මෙසේය
“අංකල් ජෙරී
වෙන්ට් ඔන්
වොරී ඉන් ද මොටෝ කාර්“
Uncle Jerry
Went on Worry
In the Moto Car
එල්ලේ සහ පසු
කාලයේ ක්‍රිකට් සෙල්ලම් කරද්දී කණ්ඩායම් සාදන්නට තරම් පිරිසක් නොමැති විට කළේ තනි තනිව
සෙල්ලම් කිරීමය. එවිට ඉහත ආකාරයේ කවි මෙන්ම 1,23 ආදී වශයෙන් ඉලක්කම් බිම ලියා ඒ
ඉදිරියෙන් ඉරි ඇඳ අංක පමණක් වසා ඉරි ඇල්ලීමට සැලැස්වීම මගින් සෙල්ලම් කළ යුතු පිළිවෙළ
තෝරා ගත්තෙමු.
අද දරුවන් මේ
සෙල්ලම් දන්නේ නැත. දැන ගත්ත ද මේවා කරන්නට කැමැත්තක් ඇත්තේ ද නැත. මෙසේ ලියා
තැබුවේ යම් දිනෙක අපට ද මේවා අමතක වී යා හැකි නිසාය.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න