පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, October 31, 2020

තරබාරුබව සහ ලෙඩදුක් නසන හුමාල ස්නානය - - Steam Bath or Sauna Bath

 

විදෙස් රටවල ඇති හුමාල ස්නාන කුටි 

ස්නානය හෙවත් නෑම  අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ස්නානය පිළිබඳ කතා කිරීමේදී විවිධ ස්නාන වර්ග තිබේ. ඇතැම් අය ඇල් දිය ද ඇතැම් අය උණු දිය ද ස්නානය කරති. විදෙස් රටවලින් අප රටට පැමිණෙන සංචාරකයෝ හිරු එළිය ස්නානය ප්‍රියකරති. මේ අතර තවත් සුවිශේෂී ස්නාන වර්ගයක් වන්නේ ‛හුමාල ස්නානය’ යි. මෙය ඉංග්‍රීසි sauna යනුවෙන් හඳුන්වනු ලබයි. මේ සඳහා කුඩා කුටියක් යොදාගැනෙන අතර වියළි හෝ තෙත් ස්වභාවයෙන් හුමාල ස්නානය සිදුකරගත හැකි වේ. මෙම කුටියට පිවිසෙන තැනැත්තා සිය ඇඳුම් උනා සිටගෙන හෝ හිඳගෙන සිටින අතර කුටියේ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 70 - 100 (ෆැරන්හයිට් 158 - 212) අතර උෂ්ණත්වයක් ඇතිකරනු ලබයි. මෙහිදී සිරුරට අනවශ්‍ය මේද ආදී කොටස් දහඩිය මගින් නිකුත්වී  සිරුර ඉහිල්වෙතැයි කියනු ලැබේ. 

හුමාල ස්නානය කොටස් දෙකකි. 

1. සාම්ප්‍රදායික හුමාල ස්නානය 
2. අධෝරක්ත හුමාල ස්නානය 

සාම්ප්‍රදායික ක්‍රමයේදී වාතය උණුසුම් කෙරෙන අතර අධෝරක්ත ක්‍රමයේදී වස්තූන් උණුසුම්කිරීම සිදුවේ. අධෝරක්ත ක්‍රමයේදී අවට උණුසුම්කිරීම සඳහා ගල්අඟුරු, සක්‍රිය කාබන් තන්තු, සහ වෙනත් ද්‍රව්‍ය යොදාගැනේ. 

ඉතිහාසය 

හුමාල ස්නානය මුළින්ම සොයාගැනුනේ යැයි සැළකෙන්නේ ඉපැරණි ෆින්ලන්තයේ ජීවත් වූ ආදී ස්කැන්ඩිනේවියානුවන් විසිනි. මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන sauna යන වදන යොදාගෙන ඇත්තේ සාම්ප්‍රදායික ෆින්ලන්ත ස්නානය හා ස්නානය කරන මැඳුරු හැඳින්වීම සඳහාය. ඉපැණිම හුමාල ස්නාන කුටි හමුවන්නේ ෆින්ලන්තයෙන් යැයි කියනු ලැබේ. ෆින්ලන්ත වැසියන් සිසිර සෘතුව ගතකිරීම සඳහා පොලොවේ බෑවුම්වල සාරන ලද වලවල් මේ සඳහා යොදාගන්නා ලදී. හුමාල ස්නාන කුටියක් තුළ උඳුනක් හෝ එවැනි ස්ථානයක් තිබේ. එයින් සිදුවන්නේ කුටිය අධික උෂ්ණත්වයකට පත්වන තුරු රත්කිරීමය. ඉන්පසු එහි ඇති ගල් උඩට ජලය විසිකරනු ලබයි. එවිට හුමාලය ඇතිවන අතර උණුසුම තවත් වැඩි වී ඇතැයි එවිට එයට ඇතුළුවන තැනැත්තාට හැඟේ. එවිට එය තුළ සිටින්නන් හට ඇඳුම් උනා දමන්නට හැකිය. මෙසේ නිර්මාණය කරනලද මුල්ම ෆින්ලන්ත හුමාල ස්නාන කුටි වර්තමානයේ හඳුන්වනු ලබන්නේ ‛සවුසවුනා’( savusaunas) යන නමිනි. ඉතා විශාල දර ප්‍රමාණයක් මෙහිදී දවාලනු ලබන අතර ඒ සඳහා පැය 6 - 8 ක් අතර කාලයක් ගත කරයි. එවිට එහි උෂ්ණත්වය පැය 12ක පමණ කාලයක් රැඳී පවතී. ෆින්ලන්තයේ තවමත් මෙවැනි හුමාල කුටි ඇතැම් ස්ථානවල දක්නට ලැබේ. 

ෆින්ලන්ත වැසියෝ හුමාල ස්නානය සිය මනස පිරිසිදු කරගන්නට ද යොදා ගනිති. ඔවුන් විශ්වාස කරන්නේ මෙයින් සිය ආත්මය ද පිරිසිදුවන බවයි. ඔවුහු මියගිය තැනැත්තකු පවා භූමදානයට පෙර  හුමාල ස්නානයකට ලක්කරති. ෆින්ලන්ත වැසියන් සිය නිවෙස්වල පිහිටි හුමාල කුටිවල පවුලේ සියලුදෙනාම එක්ව හුමාල ස්නානයේ යෙදෙති. ඇතැම් ෆින්ලන්ත කාන්තාවෝ හුමාල කුටිවල දරු ප්‍රසූතියට ද කැමැත්තක් දක්වති. කෙසේමුත් වර්තමානයේ ලොව පුරා ප්‍රචලිතව පවතින හුමාල ස්නානය ෆින්ලන්ත සංස්කෘතියට සමීපබවක් දක්වන්නේ නැත. මෙය ලොව පුරා හරිත සංචාරක ව්‍යාපාරයේ මුල්තැනකට ගත් සත්කාර ක්‍රමයක් බවට පත්වී ඇත. ශ්‍රී ලංකාවේ ද දෙස් විදෙස් සංචාරකයන් සඳහා චිකිත්සාවක් සහ සත්කාරක ක්‍රමයක් ලෙස මෙම හුමාල ස්නානය භාවිත කෙරේ. 

හුමාල ස්නානයේ ඉතිහාසය පිළිබඳ බටහිර පසුබිම මෙසේ වුවත් බෞද්ධ පතපොත පරිශීලනයේදී සොයාගත හැකි වන්නේ මෙය බුදුන් වහන්සේ පවා අනුමත කළ චිකිත්සාවක් බව ය. මේ පසුපස එක්තරා රසවත් කතා පුවතක් ද තිබේ. 

විශාලා මහනුවර වැඩිසිටි භික්ෂූන් වහන්සේ ප්‍රණීත ආහාරපාන වැළඳීමේ ප්‍රතිඵලයක් ලෙස ස්ථූලවන්නට පටන් ගැනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේලා රෝගී බවට ද පත්වූහ. බුදුන් වහන්සේට ප්‍රතිකාර කළ ‛ජීවක කෞමාර භච්ඡ’ නම් වෛද්‍යවරයා මේ තත්වය පිළිබඳ බුදුන් වහන්සේට දන්වා ඉල්ලා සිටියේ භික්ෂූන් වහන්සේලාගේ ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට නම් ‛ජන්ථාඝර’ සහ ‛චඤ්ඛමණ’ භාවිත කරන්නට උන්වහන්සේලාට අනුදැන වදාළන ලෙස ය. ඒ අනුව බුදුන් වහන්සේ භික්ෂූන්ට ජන්ථාඝරය හා චඤ්ඛමනය කැප වශයෙන් දේශනා කරන ලදී. ජන්ථාඝරය යන්න සිංහලෙන් හඳුන්වනු ලබන්නේ  ‛උණුපැන් හල’ නමිනි. චඤ්ඛමණය යනු ‛සක්මන’ ය. මේ පිළිබඳ කල්පනා කළ බුදුන් වහන්සේ භික්ෂූන්ගේ නිරෝගී සුව පතා මේවා භාවිතය උන්වහන්සේලාට අනුමත කරන්නට ඇත. එම සමයේ බුදු සසුනේ පැවිදි වූ ඇතැම් භික්ෂූන් වහන්සේලා අතර ගිහි සමයේ ඉතා සැපවත් ජීවිත ගත කළ පුද්ගලයෝ ද සිටියහ. එමෙන්ම ගිහි ජීවිතයේදී ගත වෙහෙසා වැඩකටයුතු කළ පුද්ලයන් ද සිටියහ. නමුත් පැවිදිවීමෙන් පසු උන් වහන්සේලාට කය වෙහෙසා වැඩකටයුතු කරන්නට හැකියාවන් හෝ අවස්ථාවක් හෝ ලැබුණේ නැත. භික්ෂූන් වහන්සේලා රාත්‍රී ආහාර ගැනීම පවා නොකළ යුතු දෙයකැයි යැයි බුදුන් වහන්සේ අනුදැන වදාළේ ද මෙසේ වෙහෙස වන්නට අවස්ථාවක් නොතිබූ නිසා විය හැක. එවැන් පාලනයක් පැවතිය ද ඇතැම් භික්ෂූන් වහන්සේලා ස්ථුල තත්වයට පත්වී විවිධ රෝගාබාධයන්ට ලක්වීම ජීවක වෛද්‍යතුමාගේ අවධානයට ලක්වීම අරුමයක් නොවේ.  මෙහිදී අපට පැහැදිලිවම පෙනෙන දෙයක් වන්නේ මෙය භික්ෂූන් වහන්සේලා පමණක් නොව බුද්ධ කාලයේ සිටි ධනවතුන් සහ ප්‍රභූවරුන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා ජන්ථාඝරය හෙවත් උණුපැන්හල භාවිත කළ බවයි. ජීවක කෞමාර භච්ඡ වෛද්‍යවරයා සිදුකළේ මෙය භික්ෂු සමාජයට හඳුන්වා දී ඒ සඳහා බුදුන් වහන්සේගෙන් අවසරය ලබාගැනීම පමණය. උණුපැන් හලේදී සිදුව ඇත්තේ ද හුමාල ස්නානයමය. 
 ශ්‍රී ලංකාවෙන් හමු වූ පැරණි ජන්ථාඝරයක නටබුන් 

ජන්ථාඝර භාවිත කිරීම පිළිබඳ චුල්ල වග්ගයේ විනය කොටසේ ‛ජන්ථාඝර වත්ත’ යනුවෙන් කොටසක් ද වෙයි. ජන්ථාඝරයක් තුළ භික්ෂූන් වහන්සේ හැසිරිය යුතු අන්දම පවා මෙහි සඳහන් වී තිබේ. ජන්ථාඝර භාවිතය පිළිබඳ විනය නීතියක් පවා බුදුන් වහන්සේට පැනවීමට සිදුවුණේ එක්තරා සිද්ධියක් මුල්කරගෙනය. බුදුන් වහන්සේ ජීවමාන සමයේ භික්ෂූන් වහන්සේලා උණුපැන්හලට ගොස් දොර වසාගත්තාට පසු ඡබ්භග්ගිය, එසේත් නැත්නම් හිතුවක්කාර භික්ෂණ් වහන්සේලා සය නමක් පැමිණ ඒ ජන්ථාඝරයේ දොර වසා දොර ළඟ සිට ගින්දර වැඩි කළහ. එහිදී එය තුළ උෂ්ණත්වය වැඩි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එතුඝ වැඩ සිටි වයෝවෘධ භික්ෂූන් වහන්සේලා ජන්ථාගාරය තුළ ක්ලාන්ත වී වැටුණි. ජන්ථාඝරයක හැසිරිය යුතු අන්දම පිළිබඳ විනය නීතී පවා පනවන්නට සිදුවී ඇත්තේ මේ නිසාය. 

මිහිඳු මහරහතන් වහන්සේ අප රටට බුදු දහම ගෙන ඒමත් සමඟ මෙම සම්ප්‍රදාය අප රටට ද ලැබිණි. අප රටේ සිටි භික්ෂූන් වහන්සේලා මෙම ජන්ථාඝරවල ස්නානය කිරීමේදී ශරීරයේ විවිධ චූර්ණ වර්ග හෙවත් මැටිවර්ග ආලේප කරගත් බව ඉතිහාස පතපොතෙහි සඳහන් වේ.  අපේ රටේ කළ පුරා විද්‍යා කැණීම්වල දී හෙළිවී ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ අතීතයේ භික්ෂූන් වහන්සේලා වැඩසිටි හැම විහාරස්ථානයකම පාහේ උණුපැන්හලක් ද තිබුණු බවය. අනුරාධපුර යුගයට අයත් මහා විහාරය, පබ්බත විහාරය,  පියන්ගල් විහාර වැනි විවිධ සම්ප්‍රදායන්ට අයත් විහාරවල ජන්ථාඝරයක් හෙවත් උණුපැන්හලක් තිබූ බව තහවුරු වේ. මේවා අතුරින් අද වඩාත් හොඳින්ම සුරක්ෂිතව පවතින ජන්ථාඝරය හමුවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අරන්කැලේ සහ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ ය. මේවා ආශ්‍රිත උණුපැන්හල් කිහිපයක්ම සොයාගෙත තිබේ. ඒවායේ සම්පූර්ණ හැඩතල ද මේ වන විට හඳුනාගෙන තිබේ. එම ජන්ථාඝරවල භාවිත කළ අඟුරු වැනි ද්‍රව්‍ය පවා සොයාගෙන තිබේ. ජන්ථාඝරයක් භාවිත කිරීමෙන් පසු එහා අඟුරු මුළුමණින්ම ඉවත් කළ යුතු බවට විනය නීතියක් ඇත. නමුත් මෙම ඇතැම් ජන්ථාඝරවල අඟුරු තවමත් රැඳී තිබීමෙන් පැහැදිලිවන්නේ කිසියම් හදිසි ආපදා තත්වයක් මත භික්ෂූන් ඒවායෙන් ඉවත් වූ බවය. ඒ අනුව හුමාල ස්නානයෙන් නිරෝගී සුවය ලැබෙන බව බුද්ධ කාලයේ සිට දැන සිටි දෙයක් බවත්, එය බුදුන් වහන්සේ පවා අනුදැන වදාළ බවත් මේ සියල්ලෙන් පැහැදිලි වේ. 

හුමාල ස්නානය නිසා ඇතැම් පුද්ගලයින් තුළ විවිධ සුළු අතුරු ආබාධයන් ඇතිවුව ද, බහුතරයකට එසේ වන්නේ නැත. මෙය ඕනෑම නිරෝගී අයකුට දරා ගත හැකි අත්දැකීමකි. මෙය ස්ත්‍රීන්ගේ සරුභාවය කෙරෙහි ද බලපාන්නේ යැයි ඇතැම් අය පැවසුව ද එහි සත්‍යතාවයක් නැත. නිරෝගී කාන්තාවක හුමාල කුටියකදී දරු ප්‍රසූතියකට කැමැත්තේ නම්, සාමාන්‍ය ප්‍රසූතියකදී ඇතිවිය හැකි බොහෝ ගැටලු ඇති නොවන බැව් ද සොයාගෙන තිබේ. පුරුද්දක් වශයෙන් හුමාල ස්නානය කරන්නන් බොහෝ ලෙඩ රෝගවලින් ද ආරක්ෂාවන බැව් ද සොයාගෙන තිබේ. විශේෂයෙන් හෘද රෝගවලට මෙය බොහෝ යහපත් යැයි අනාවරණය වී තිබේ. සන්ධි රෝග සඳහා ද මෙය සුදුසු ය. හුමාල ස්නානය නිසා සම වියළි තත්වයට පත්වන්නේ යැයි ඇතැමුන් තුළ පවතින විශ්වාසයෙහි සත්‍යතාවක් නැත. කෙසේ හෝ බුද්ධ කාලයේ සිට පැවති මෙම හුමාල ස්නානය චිකිත්සාවක් ලෙස හෝ සත්කාරයක් ලෙස මෙරට සාමාන්‍ය ජනතාවට පත්නොවීම විමතියට කරුණකි. 



2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න