පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, December 18, 2012

නාගදීප රාජමහා විහාරය, යාපනය - Nagadeepa Viharaya


මහින්දාගමනයත් සමඟ ලංකාද්වීපය බෞද්ධ රාජ්‍යයක් බවට පත්වුවත් ඊට එහා ගිය බෞද්ධ උරුමයක් ලංකාවට තිබෙන බව අප කවුරුත් දන්නා දෙයකි. ක්‍රිස්තුපූර්ව යුගයට අයත් බෞද්ධ නෂ්ටාවශේෂ වර්තමානය වනවිටත් හමුවෙමින් පවතී. විශේෂයෙන් උතුරු, නැඟෙනහිර ප්‍රදේශවලට යාව තිබෙන ඒ නෂ්ටාවශේෂ පසුගිය බිහිසුණු යුද්ධය සමඟ අවසන්වරට සැඟවී තිබුණි. ඊට පෙර වුව සිදුවූ විවිධ ආක්‍රමණ කැරලි කෝලාහල සමඟ ඒ අතීතයේ නටබුන් වැලිතලාවන්ගෙන් යටපත් වන්නට විය. එසේ යටපත් වූයේ හුදෙක් ගල් කණු හෝ ගඩොල් කැට ගොඩක් පමණක් නොවේ. ඒ ආශි‍්‍රත දීර්ඝ ඉතිහාස පුරාවෘත්තයක් ද ඒ වැලිතලාවට යටපත්ව ඇත. පසුකාලීනව සිදුවූ යම් යම් සොයාගැනීම් හරහා නැවතත් ඒ පුරාවෘත්ත මෙන්ම පැරණි බෞද්ධ පූජනීය ස්ථාන ඇතුළු තොරතුරු රැසක් ද අනාවරණය විය.




රට පුරා තිබෙන බෞද්ධ පූජනීය ස්ථාන අතුරින් බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් පුණ්‍යභූමි කෙරෙහි බෞද්ධයන් තුළ ඇත්තේ අසීමිත භක්ත්‍යාදරයකි. බුදුරජාණන්වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කළ බවට අපේ ඉතිහාස ග්‍රන්ථ හා විවිධ ජනප්‍රවාද සාක්ෂි දරන අතර ප්‍රථමයෙන් මහියංගනයටත්, දෙවනුව නාගදීපයටත් තුන්වනුව කැලණියටත් වැඩම කළ බව කියැවේ.



මෙසේ දෙවැනිවර වැඩම කළා වූ නාගදීපය ඉපැරණි රාජසමයේ සිටම ගෞරවාදරයට පාත්‍රවූ පුද බිමකි. නාගයින් විසූ ප්‍රදේශය නාගදීපය යැයි අතීතයේ ප්‍රචලිත වූ බව පැවසෙන අතර, මේ නාගයින් යනු කවරෙක්ද යන ගැටලුව ප්‍රථමයෙන් ලිහාගත යුතු ය. නාගදීපය කුලණිය වැනි ජලාශි‍්‍රත ප්‍රදේශවල විසුවා යැයි කියන නාගයෝ නාවික කර්මාන්ත කලෝයයිද මතයක් තිබේ. කෙසේ වෙතත් ජලාශි‍්‍රතව විසූ මේ පිරිස මනුෂ්‍ය කොට්ඨාසයක් බවට ඉඳුරාම කිව යුතුවේ.

එමෙන්ම ඔවුන් සූක්ෂම දැනුමකින් හා අවබෝධයකින් යුක්තව ජීවත්වූ පිරිසක් ලෙස ද විග්‍රහ කළ හැකිය. එනම් බුදුදහම වැනි ඉතා ගැඹුරු දහමක එදා තේරුම් ගැනීමට ඔවුන් සමත් යැයි බුදුරජාණන් වහන්සේ තීරණය කර ඇත. නො එසේනම් උන්වහන්සේ දෙවරක් නාගයින් උදෙසා ධර්ම දේශනා නොකරනු ඇත. නාගදීපයට හා කැලණියට බුදුන් වැඩම කළ අවස්ථාවන්හි නාගයෝ බණ අසා ඇත. කෙසේ වෙතත් වඩුන්නාගල නාග භවනයේ තිස් කෙළක් නාගයින්ට නායක වූ චූලෝදර නා රජු වාසය කළේය.



මණිනාග දිවයින, සමුද්‍රනාග (නාගදීප) භවනේ තිස්කෙළක් නාගයින්ට නායකවූ මහෝදර නා රජ වාසය කළේය. එමෙන්ම බුදුරජාණන් වහන්සේට තෙවැනි වර ලංකාවට වැඩමවීමට ආරාධනා කළ මණිඅක්ඛිත නාරජු වාසය කළේ කැලණි ගග භවනයේය. මෙසේ ලංකාවේ නාග රාජධානිවල පාලනය සිදුවන අතර ඔවුනොවුන් සහයෝගයෙන් දිවි ගෙවන්නට වූහ. චූලෝදරගේ මව සහ මහෝදර යනු සහෝදර සහෝදරියන් වන අතර මහෝදරගේ දියණිය චූලෝදරට විවාහ කර දෙන ලදී. ඒ විවාහය සමඟ මහෝදරට පාරම්පරික උරුමයෙන් දායාදවූ අගනා මරාමිණියෙන් කළ මිණි පළඟක් (මැණික් පල්ලංකයක්) ද දියණියට දායාද වශයෙන් ලබාදෙන ලදී. එහෙත් ඔවුන් විවාහ වී නොබෝ කලකින් චූලෝදරගේ බිසව අභාවප්‍රාප්ත වූයෙන් මහෝදර විසින් තම දියණියට දායාද කළ මිණිපලඟ නැවත චූලෝදරගෙන් ඉල්ලා සිටින්නට විය. තම මවට ද එහි හිමිකම් ඇතැයි ප්‍රකාශ කරමින් චූලෝදර මිණිපළඟ නැවත ආපසු බාරදීම ප්‍රතික්ෂේප කළ නිසා ඔවුනොවුන් සිය පිරිස් සමඟ මහා සටනකට සූදානම් විය.



බුද්ධත්වයෙන් පස්වැනි වසර බක් මාසයේ අමාවක දින බුදුරාජාණන් වහන්සේ ලොව බලන විට මේ නාග දෙපිරිසෙහි සටන දුටු සේක. මහා කරුණාවෙන් යුතුව බුදුරාජාණන් වහන්සේ මේ සටන සංසිඳවිය යුතු බව සිතා දෙව්රම් වෙහෙර අසල කිරිපලුරුකෙහි වාසය කරන සමිද්ධි සුමන දෙවියන් ද සමඟ ලංකාවට වැඩමවීමට තීරණය කළහ. ඒ අනුව සමිද්ධි සුමන දෙවිතෙමේ බුදුරදුන්ට ඡත්‍රයක් සේ කිරිපලුරුක ගෙන සෙවණ කරමින් බුදුන් පිටුපස වැඩියේය. පසුව චූලෝදර මහෝදර නාරජවරු ඇතුළු පිරිසට සමගියෙන් සිටීමේ අනුසස් දේශනා කර ආරවුල ඇතිවූ මිණිපළඟ හා සමිද්ධි සුමන දෙවියන් ගෙනආ කිරිපලුරුක වන්දනාමාන කිරීමට ඉතිරිකර වැඩිසේක.

නාගයෝ කිරිපලු රුක රෝපණය කර ඒ අසල මිණි පළඟ තැන්පත් කර චෛත්‍යයක් සාදවන ලදී. එය නාගදීප වෛත්‍යයයි. මේ චෛත්‍ය කිරිපලු රුක අසල පිහිටි නිසා රාජායතන චෛත්‍යය ලෙස ද ප්‍රකට විය. බු: ව: 267 – 277 කාලයේ දේවානම් පියතිස්ස රජුන් බු: ව: 757 – 779 කාලයේ විසූ වෝහාරතිස්ස රජු බු: ව: 1141 – 1151 කාලවල විසූ  II වැනි අග්‍රබෝධි රජු හා මහා විජයබාහු යන රජවරු ඇතුළු රාජ රාජ මහාමාත්‍යාදීන් නාගදීප විහාරය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත.


12 වැනි සියවසේ දකුණු ඉන්දීය ආක්‍ර‍්‍රමණ නිසාත් ක්‍රි. ව. 1505 සිට අධිරාජ්‍යවාදී ආක්‍රමණ නිසාත් නාගදීපය අභාවයට යන්න විය. එහි නටබුන් පවා අභාවයට යමින් තිබූ සමයක වැලිතලා මතින් ඉහළට මේ පූජනීය බිම්කඩ ඔසවා තැබීමට කටයුතු කරන ලද්දේ රන්දොඹේ සෝමසිරි තිස්ස නාහිමිපාණන් වහන්සේයි. ඒ 1936 දී ය. පසුව බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස අමරපුර නිකායේ මහානායක හිමියන් හා බෞද්ධ ප්‍රභූන්ගේ මැදිහත්වීමෙන් නාගදීපය තව තවත් සංවර්ධනය විය. එහෙත් 1958 දී නැවත ජාතිවාදී කෝලාහල නිසා සාහසික පිරිසක් විසින් නාගදීප චෛත්‍යයට හානි සිදුකර බුරුමයෙන් තෑගි කර තිබූ ලෝහ බුද්ධ ප්‍රතිමාවේ සිරස ද සිඳ මුහුදට විසිකළේ ය. නැවතත් 1983 ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්නවීමත් සමඟ නාගදීපයට තව තවත් හානි සිදු විය.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න