පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, August 15, 2013

බ්‍රිතාන්‍ය රජ පවුලට උරුම රජ සැප - Royal Privileges of British Royal Family


විලියම් කුමරුට හා කැතරින් කුමරියට පුත් කුමරකු ඉපදීමෙන් පසුව බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිබඳ බොහෝ දෙනා තුළ යම්කිසි සුවිශේෂී උනන්දුවක් ඇති වී තිබෙන බව පෙනෙයි. අප රටේ බොහෝ දෙනකු විශ්වාස කරන අන්දමට ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී ලෙසින් මෙලොව එළිය දැක ඇත්තේ මෙලොව කලාතුරකින් බිහිවන පුණ්‍යවන්තම දරුවෙකි.  බ්‍රිතාන්‍ය මහ රැජින, කිරුළේ අයිතිය ඔවුන්ගේ රාජකීය පරම්පරාවත්් පිළිබඳ බොහෝ දෙනා  මහත් ආශාවෙන් කතා කරති. ඔවුන් පිළිබඳ ඔබ සමග අප ද කතා කරන්නට සිතුවේ එබැවිනි.

බ්‍රිතාන්‍ය රජ පවුල  ලෝකයේ දැනට පවතින රාජකීය පවුල් අතරින් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. එහි ආරම්භය ලෙස සඳහන් වන්නේ ක්‍රි.ව. 757 වසරයි. ඒ ඔෆ්ෆා නමැත්තා සිය ඥාති සොයුරු වූ ඒ තල්බාඩ් මරා දමා මර්සියා නම් රාජධානිය අත්පත් කරගැනීමත් සමගිනි. එතැන් පටන් ලොව වටා වූ විවිධ රාජ්‍ය අත්පත් කරගනිමින් හිරු නොබසින අධිරාජ්‍යය යන විරුදාවලිය ලබමින් ව්‍යාප්ත වුණු බ්‍රිතාන්‍ය රාජධානිය අදවන විට ප්‍රමාණයෙන් කුඩා වුවද මේ තාක් පැමිණි රාජකීය පරම්පරාව අදටත් මහේශාක්‍ය ලීලාවෙන් වැජඹෙයි.

බ්‍රිතාන්‍යය වර්තමානයේ රජ පවු‍ලේ පාලනයට ලක්ව නැති ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වුවද එහි බහුතරයක් තවමත් බ්‍රිතාන්‍ය රජ පවුල කෙරෙහි සුවිශේෂී ආදරයක් දක්වති. ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය රැජිනගෙන් මිදිය යුතු ද නැතිද යන්න පිළිබඳ කළ ජනමත විමසුමකදී හෙළිවූයේ ඔවුන් තවමත් මහ රැජිනට කැමැති බවය. මේ නිසාම රජ පවුල බොහෝ වරප්‍රසාද විඳිමින් සැප විඳින තත්ත්වයට පත්ව ඇත.

බ්‍රිතාන්‍ය රජ පවුල භුක්ති විඳින වරප්‍රසාද පිළිබඳ බොහෝ කාරණා සොයා ගැනීමට නැතත් විවිධ මූලාශ්‍ර ඔස්සේ යම් යම් දේ සොයාගත හැක. ඔවුන්ගේ වරප්‍රසාද අතර පහත කාරණා සුවිශේෂය. 2008-2009 වසරේ පමණක් එහි බදු ආදායමින් ස්ටර්ලිං පවුම් මිලියන 41.5 (රුපියල් මිලියන 8260.03) බ්‍රිතාන්‍ය මහ රැජිනගේ වියදම් සඳහා වෙන් කෙරිණි.

නිල මහජන රාජකාරි සිදුකරගෙන යාම සඳහා මහ රැජිනත් එඩින්බර්ග් ආදිපාදවරයාත් වාර්ෂික පාර්ලිමේන්තු දීමනාවලට හිමිකම් කියති.
මහ රැජිනගේ ගමන් බිමන් සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් බෙන්ට්ලි රථ 2 ක්, රොල්ස් රෝයිස් රථ 3 ක් හා ඩේම්ලර් රථ 3 ක් වශයෙන් අති සුඛෝපභෝගී රථ 8 ක් ලබා දී තිබේ.

බ්‍රිතාන්‍ය මහ රැජිනට ලෝකයේ කිසිදු රටකට ගමන් කිරීම සඳහා ගමන් බලපත්‍රයක් අවශ්‍ය නැති අතර වාහන පැදවීම සඳහා රියැදුරු බලපත්‍රයක්ද අවශ්‍ය නැත. බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සියලු වියදම් සඳහා මුදල් සොයාගන්නේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් බව සැබෑ මුත් රජ පවුලටම වෙන්වූ ආදායම් මාර්ග ද නැතිවාම නොවේ. නමුත් කාලයත් සමග මෙම ආදායම් මාර්ග කමෛන් අඩුවී ගොස් තිබේ. රජ පවුලට අයත්ව තිබූ ඇතැම් දේපළ ඔවුන් කැමැත්තෙන්ම රජයට පවරා දුන් අවස්ථා ද දක්නට ලැබේ.

බ්‍රිතාන්‍ය මීට දශක ගණනාවකට පෙර තිබූ සෞභාග්‍යමත් ආර්ථිකයට දැන් හිමිකම් නොකියන නිසා ඇතැමුන්ගේ අදහස නම් බ්‍රිතාන්‍ය මහ රැජින ඇතුළු රජ පවුලට හිමිව ඇති මෙම ආර්ථික වරප්‍රසාද බොහොමයක් කපා හැරිය යුතු බවය. ඔවුන් පවසන්නේ රජ පවුල් බ්‍රිතාන්‍ය ආර්ථිකයට පවා බරක් බවය. අප රටේ මෙන් නොව එහි ආර්ථික වර්ධනයේ ඉලක්කයන් සපුරාගැනීම සඳහා ඔවුහු වැඩකරන දින ගණන පවා සියුම්ව ගණනය කරති. යම් වසරක නියමිත නිවාඩු දින ගණනට වඩා එකක් හෝ වැඩි වුවහොත් එය ඔවුන්ගේ ආර්ථික ඉලක්කයන් සපුරාගන්නට බාධා කරයි. රජ පවු‍ලේ යම් කිසි සුවිශේෂී උත්සවයක් ඇති වුවහොත් එවැනි දිනයක් නිසැක ලෙසම රජයේ නිවාඩු දිනයක් බවට පත්වේ. රජ පවුල් ආර්ථිකයට බරක් බැව් ඇතැමෙක් පවසන්නේ එබැවිනි. බ්‍රිතාන්‍ය රජය මේ වන විට පවුම් ට්‍රිලියන 1.1ක ණය බරකින්ද මිරිකී සිටී.

නමුත් බහුතරයකගේ කැමැත්ත වන්නේ රජ පවුල මෙවැනි වරප්‍රසාද ලබා දී අනාගතය මුළුල්‍ලේ ද ආරක්ෂා කරගත යුතු බවය. රජ පවුල් යනු සංචාරකයන් බ්‍රිතාන්‍යයට අද්දවා ගැන්මට ඇති ප්‍රධාන උපක්‍රමයකි. අනෙක රජ පවුල නිසා බ්‍රිතාන්‍ය තුළ අත්තනෝමතික පාලනයක් ගෙන යන්නට කිසිදු අගමැතිවරයකුට හැකියාවක් නැත. අදටත් බ්‍රිතාන්‍යයේ පවතින නීතිය අනුව මහ රැජිනට ද හිතුමතේ කටයුතු කරන්නට නොහැකිය. මේ හේතු දෙක නිසා මහ බ්‍රිතාන්‍ය තුළ ඒකාධිපති පාලනයක් බිහිවීමේ ඉඩකඩක් නැත. රජ පවුල තවදුරටත් සියලු වරප්‍රසාද දී පවත්වා ගතයුතු බවට බොහෝ දෙනෙකු පවසන්නේ එබැවිනි.

අනෙක බ්‍රිතාන්‍යය ලෝකයේ අභිමානවත් හා මහේශාක්‍ය රටක් බවට පත්ව ඇත්තේ ද රජ පවුල නිසාවෙනි. කොටින්ම රජ පවුල බ්‍රිතාන්‍යය හොබවන සුවිශේෂ කිරුළකි. මෙම හේතුන් නිසා ඔවුනට මෙම වරප්‍රසාද ලැබිම පිළිබඳ බහුතරයක් ප්‍රශ්න කරන්නේ හෝ එය අභියෝගයට ලක් කරන්නේ  නැත. ප්‍රශ්න කරන්නේ ලිබරල් මතවාදීන් පමණකි.


මේ නිසා රජ පවු‍ලේ සියලු දෙනා බහුතරයකට වැදගත් කාරණාය. දිනපතා දරුවන් බොහෝ දෙනෙකු උපන්නද විලියම් කුමරුව හා කැතරින් කුමරියට පුත් කුමරකු ඉපදීම ඔවුනට සුවිශේෂී වන්නේ එබැවිනි.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න