වෛද්‍ය වෘත්තිය ලොව උතුම්ම වෘත්තියකි. එහෙත් ඒ උතුම්
වෘත්තියේ යෙදෙන්නවුන් අති උතුම් බවට පත්වන අවස්ථා ද ඉඳහිට අසන්නට ලැබෙයි. දියතලාව මූලික
රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පිළිබඳ අප කතා කළ යුතුවන්නේ ඔහු තම
වෘත්තීය තුළින් සත්පුරුෂ ගුණ සුවඳ සමාජයට
පතුරුවා හරින සැබෑම සත්පුරුෂයකු බැවිනි. ඔහු පිළිබඳ කතාව සැකෙවින් මෙසේය.
2013 වසරේ දී වෛද්‍ය
පාලිත මහතා වෙත එක් සුවිශේෂී රෝගයක් සහිත දැරියක රැගෙන එනු ලැබිණි. ඇය සඳමාලි නම්
වූවාය. බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ සත්වැනි වසර දක්වා අධ්‍යාපනය හදාරමින්
සිටියදී ඇය එක වරම අසනීප වූවාය. ඇය පිරිසක්සා බැලු වෛද්‍ය පාලිත මහතා මෙය සාමාන්‍ය
රෝගයක් නොවන බවත් එය සුවිශේෂී මෙන්ම භයානක රෝගයක් බවත් අවබෝධකොට ගත්තේය.
සඳමාලි දැරියට වැළඳී තිබුණේ ‘විල්සන්ගේ රෝගය‘ (Wilson’s
disease)
නම් රෝගයයි.
‘විල්සන්ගේ රෝගය’ යනුවෙන් හැඳින්වෙන්නේ
කුමක්ද?
මෙය ජානමය වශයෙන් වැළඳෙන රෝගයකි. ලේ ඥාතීන් අතර විවාහ
සිදුකිරිමෙන් මෙම රෝගය දරුවන්ට වැළඳෙන බැව් කියැවේ. මෙහිදී සිදුවන්නේ මොලයේ සහ
අක්මාවේ අධික ලෙස තඹ තැන්පත්වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස අක්මාවේ රෝග සහ ස්නායු රෝග
ලක්ෂණ පහළ වේ. ස්නායු සම්බන්ධව මතුවන රෝග ලක්ෂණ අතර චර්යාවන්ගේ වෙනස්වීම
පැහැදිලිවම දක්නට ලැබේ. සිරුරේ චලනය මන්දගාමී වීම හා සමබරතාවය අහිමිව යාම මෙහිදී
දැකිය හැකිය.
මේ අතිරේක තඹ ප්‍රමාණය ඖෂධ මගින් සිරුරෙන් ඉවත් කළ යුතු
අතර ඇතැම් අවස්ථාවලදී අක්මා බද්ධයක් සිදුකරන්නට වුව සිදුවන බැව් පැවසේ. සෑම
මිනිසුන් සිය දෙනෙකුගෙන් එක් අයකු තුළ මෙම රෝගය ඇතිකිරීම සඳහා අවශ්‍ය කරන තනි
ජානයක් පවතින මුත් ඔවුන් තුළ රෝගය වර්ධනය වන්නේ නැත. කිසිදු රෝග ලක්ෂණයක් දැකිය
හැකි වන්නේ ද නැත. ඔවුන් හුදෙක් රෝග වාහකයන් පමණි. මෙවැනි සමාන ජාන ඇති පුරුෂයකු
හා කාන්තාවක විවාහ වුවහොත් සිදුවන්නේ දරුවන්ට මෙම ජානය මවගෙන් හා පියාගෙන් හිමිවී රෝගය
වැළඳීමේ හැකියාව දෙගුණ වීමකි. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතුවන්නේ වයස අවුරුදු 6 - 20 අතර දීය. නමුත් එයට
වඩා වැඩි වයස් සීමාවන්ගේ සිටින පුද්ගලයන්ට ද රෝගය වැළඳුණු අවස්ථා දැනගන්නට ලැබි
තිබේ. මෙසේ මවගෙන් හා පියාගෙන් ලද ජානය සහිතව ඉපැදුණු පුද්ගලයන් 100,000කින් 1 - 4 දක්වා සංඛ්‍යාවකට මෙය
වැළඳෙන බැව් පැවසේ.
සැමුවෙල් ඇලෙක්සැන්ඩර් කිනියර් විල්සන් |
බ්‍රිතාන්‍ය ස්නායු වෛද්‍යවරයකු වූ සැමුවෙල්
ඇලෙක්සැන්ඩර් කිනියර් විල්සන් විසින් වර්ෂ 1912 දී මෙම රෝගය පිළිබඳ මුලින්ම කරුණු ඉදිරිපත්
කොට ඇත. මෙය විල්සන් ගේ රෝගය යනුවෙන් හැඳින්වී ඇත්තේ ඒ අනුවය. සඳමාලිගේ මව සහ පියා
යන දෙදෙනාම ඇවැස්ස ඥාතීන් වන බැවින් ඔවුන්ගේ සිරුරවල මෙම ජානය තිබී ඇත.
මෙම රෝගයේ ප්‍රතිඵලයක් ලෙස සිරුරේ තැන්පත් වන තඹ ඉවත්
කිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ දෛනිකව ලබාදිය යුතුවන අතර ඒ සඳහා දිනකට ඖෂධ සඳහා පමණක් රුපියල්
6,000ක් පමණ වැය වේ. නමුත්
දරුවන් තිදෙනකු සමග හරිහැටි රැකියාවක් නොමැතිව දිවි ගෙවන සඳමාලිගේ දෙමාපියන්ට
මෙවැනි මුදලක් දිනපතා වියදම් කිරීම සිහිනෙකින් හෝ සැබෑකරගත නොහැකි දෙයකි. බොහෝ විට
වෛද්‍යවරයකුට වුව මෙවැනි අවස්ථාවකදී කළ හැකි දේ සීමිත හෝ අල්ප යැයි එකවර සිතෙනු
ඇත. වෛද්‍ය පාලිත මහතා ද තමන් තුළ වෙසෙන එසේ සිටිය යුතු වෛද්‍ය වෘත්තිකයා මඳකට
පසෙකට දමා එයින් ඔබ්බට ධෛර්යවන්ත මිනිසකු ලෙස සිතන්නට පටන් ගත්තේය. එවිට ඔහුගේ
සහායට පැමිණියේ සයිබර් අවකාශය පුරා විසිර සිටින ඔහුගේ මිතුරු කැලයි. ඔහු මේ මිතුරු
කැළ සමග කතාබහ කරන්නේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේය. ඔහු සිතට ආ අදහසක් ක්‍රියාවට
නංවන්නට තීරණය කළේය. ඒ අනුව සඳමාලි දැරියට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කරන ‘ට්‍රියෙන්ටින්’ (Trientine) ඖෂධය වහා අවශ්‍ය
යැයි සිය ෆේස්බුක් අඩවියේ පළ කළේය. ඊට අමතරව පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය
ඔස්සේද මේ පිළිබඳ ජනතාව දැනුවත් කරන්නටද පියවර ගත්තේය. ඒ අනුව 2013 දෙසැම්බර් 28 වැනිදා සඳමාලි පිළිබඳ
පුවතක් රූපවාහිනි සේවාවක් ඔස්සේද විකාශනය විය.
සඳමාලි දැරියගේ ඖෂධ සඳහා දෛනිකව දැරිය යුතු බරපැන මේ
සියලු හිතමිතුරන්ගේ සහායෙන් එකතු කරගන්නට මේ අනුව වෛද්‍ය පාලිත මහතාට හැකි විය.
දැරියට ප්‍රතිකාර කරන අතරවාරයේ ඇගේ නිවසට ද ගිය වෛද්‍ය පාලිත මහතා දුටු දෙයින් ඔහුගේ
හද සසලව ගියේය. ඒ සඳමාලි දැරිය සිය පවුලේ පිරිස සමග ජීවත්වන නිවස දැකීමෙනි.
සැබවින්ම එය නිවසක් නොව අපිළිවෙලට යාන්තමට අටවා ගත් අතු පැළකි. කටුමැටිවලින් පමණක්
නොව ටකරන් තහඩුද හරස් කරමින් ගොඩනඟා තිබුණු එහි මොවුන් ජීවත්වන්නේ කෙසේද යන්න ඔහුට
සිතාගත නොහැකි විය. මෙවැනි රෝගයකින් පසුවන අයෙකුට අඩුම තරමින් සුවපහසු යහනක් හෝ
තිබිය යුතු වුවද ඇයට එවැනක් හෝ නොවීය. මේ අවස්ථාවේදී වෛද්‍ය පාලිත මහතා ඌව එෆ්.එම්.
සේවයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ ධන පරිත්‍යාගයෙන් සඳමාලි දැරියට යහනක්
ලබාදෙන්නට කටයුතු කළේය.
2013 දෙසැම්බර් 23 වැනිදා බණ්ඩාරවෙල
සහකාර පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතා සමග සඳමාලි දැරියගේ සුවදුක් විමසන්නට
ගිය වෛද්‍ය පාලිත මහතා ඔවුනට නිව නිවසක් ගොඩනැගීම පිළිබඳව මුල්වරට සාකච්ඡා කළේය.
එය සඳමාලිගේ පවුලේ සියලු දෙනාටම සුබ ආරංචියක් විය. මෙය මුදල්වලින් පමණක් කළ හැකි
දෙයක් වූයේ නැත. ඒ සඳහා නොමිලේ ලබාදෙන ශ්‍රමය සියල්ලටම වඩා වටිනාකමක් උසුලයි.
වෛද්‍ය පාලිත මහතාගේ ඒ අදහසට උර දෙමින් දෝ දැරියගේ පවුල වෙනුවෙන් නිවසක් ගොඩනගන
ස්ථානය ශ්‍රමදානයකින් සකස් කරන්නට ඔහුගේ හිතවත්තු බොහෝ දෙනෙක් එකතු වූහ. ඒ අතර
විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ද නිරතුරුවම මෙම වැඩකටයුතු සඳහා දායක වීම සුවිශේෂී
සිදුවීමක් විය. පොලිස් විශේෂ කාර්ය බලකායද ඔහු හා අත්වැල් බැඳගත්තේය. නිවස
ඉදිකිරීමේ වැඩකටයුතු මේ අනුව අඛණ්ඩව සිදුවෙමින් පැවතුණි.
නිවසේ තීන්ත ආලේප, බිම ඔප දැමීම් වැනි අතිරේක කටයුතු වෛද්‍ය පාලිත මහතාගේ
පවුලේ පිරිස මෙන්ම හිතවතුන්ගේ උදව් ඇතිව යුහුසුළුව සිදුවන්නට විය. නිවසේ විදුලි
වැඩකටයුතු සඳහා අවශ්‍ය සියලුම උපාංග බණ්ඩාරවෙල ඔරේන්ජ් විදුලි උපාංග කළමනාකරු
නිශාන්ත මහතාගේ අනුග්‍රහයෙන් ලබාගන්නට වෛද්‍ය පාලිත මහතා සමත්විය. තීන්ත සියල්ල
සඳහා අනුග්‍රහය රෝයල් පේන්ට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමන් සමග කතාබහ කර සපයා
ගන්නට හැකිවිය. මේ අනුව තවත් බොහෝ දෙනකුගේ ධන පරිත්‍යාගයෙන් හා වෛද්‍ය පාලිත
මහතාගේ ධෛර්යයෙන් දැරිය සුවපත්වන අතරේ නිවසද කෙමෙන්ගොඩනැගෙන්නට විය.
ඖෂධ සඳහා ද අඛණ්ඩව ප්‍රතිපාදන සොයාගන්නට වෛද්‍ය පාලිත
මහතාගේ හිතවත්තු නිරතුරු උදව් කළහ. ඖෂධ නිසි පරිදි ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස සඳමාලි
දැරිය කෙමෙන් සුව අතට හැරෙන්නට විය. ඇයට තනිව ආහාර ගන්නට සහ ඇවිදින්නට හැකියාව
ලැබිණි. රෝගය සුව වීමෙන් පසු ඇයට පාසල් යන්නටද හැකිවිය. මේ සඳහා අවශ්‍ය පොත පත
පරිත්‍යාග කිරීමට ද පාලිත මහතා සියලු කටයුතු සිදු කළේය. 2014 පෙබවාරි 2 වැනිදා වසර හතරකට පසු
සඳමාලි නැවත පාසල් යන්නට පටන් ගත්තාය. ඇය වෙනුවෙන් සිය ධනය මෙන්ම ශ්‍රමය ද පරිත්‍යාග
කළ සියලු දෙනාට මෙය බොහෝ සතුට ගෙනදෙන්නක් විය. ඇය
නැවත පාසල් යනු දැක සතුටු කඳුළක් නොවැටුණ දෑසක් එහි නොවූ තරම්ය.
මේසා මහා උත්සාහයකින් අනතුරුව 2014 පෙබරවාරි 4 වැනිදා එනම් 66 වැනි නිදහස් දිනයේදී
සඳමාලිගේ පවුලේ පිරිසට නව නිවස නිල වශයෙන් පරිත්‍යාග කිරීමට වෛද්‍ය පාලිත මහතාට
වාසනාව ලැබිණි. බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් වුවත් චාම් උත්සවයකින් ඔවුනට මේ නිවස
භාරදෙනු ලැබිණි. සියලු දෙනාගේම මුහුණුවල රැඳී තිබුණේ කිසිදා මුදලින් ලද හැකි සතුටක්
නොවේ. සඳමාලි දැරිය නැවත ජීවිතය ලද්දා සේ විය. සියලු සතුට මැද වෛද්‍ය පාලිත මහතා
තමා තුළ තිබූ අප්‍රතිත ධෛර්යය මෙලෙස ලොව හමුවේ කියා පෑවේය. සැබැවින්ම මිහිබට
බෝසත්තු මොවුහුය. නොපෙනෙන කල්පිත දෙවිවරුන් වෙනුවට සියලු දෙනා විසින් ඇදහිය යුතු
හා ආදර්ශයට ගත යුතු මිහිපිට දෙවිවරු මොව්හුය.
වෛද්‍ය පාලිත මහතා සමග මේ සියල්ල සඳහා අත්වැල් බැඳගත්තේ
ඔහුගේ මිතුරන් හා හිතවතුන්ය. ඒ අතර ෆේස්බුක්
සමාජ ජාලයෙන් ඔහු හඳුනාගත් දෙස් විදෙස් හිතවත්තු බොහොමයක් වූහ. මෙයින් අපට තවත් එක
කරුණක් ඉස්මතු කරගත හැකිය. ඒ ඇතැමුන්
අවභාවිතාව පිණිස යොදා ගන්නා ෆේස්බුක් වැනි
සමාජ ජාල වෙබ් අඩවි සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් කෙතරම් ඵලදායක ලෙස යොදාගත හැකි ද
යන්න පිළිබඳවය.
පසුගිය ජනාධිපතිවරණය සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
මහතාගේ එක් රූපවාහිනී ප්‍රචාරණ දැන්වීමක කියැවුණේ ෆේස්බුක් යනු ‘ෆන්ගැනීම’ සඳහා පමණක් ඇති දෙයක්ය යන්නය. නමුත් මෙවන් සිදුවීම් සමග එය ‘ෆන්ගැනීම’ යන ප්‍රාථමික සංකල්පය
ඉක්මවා මිනිස් ගුණය ඉදිරියට ගෙන යා හැකි මාධ්‍යයක් ලෙස කෙතරම් ඵලදායක ලෙස
යොදාගන්නට හැකි දැයි ඔවුන් ද අලුතින් සිතිය යුතු කාලය දැන් එළඹ තිබේ.
අවසාන වශයෙන් කිවයුතු එකම දෙය මෙයයි. වෛද්‍ය පාලිත මහතාණෙනි.
ඔබගේ මෙම බෝසත් ගුණ සමුදාය ඉදිරියේදී තව තවත් වර්ධනය වේවා! ඔබගේ මෙම කාර්ය ගුණ
සුවඳින් මේ තුන් හෙළය නැහැවී යෙමින් මෙබඳු උතුම් බෝසත් ක්‍රියාවන් කෙරෙහි සැමගේ
සිත් යොමුවේවා! ඒ අපගේ පැතුමය.
හැමදාම උතුම් මිනිසෙක් සේ වෙළොව චිරත් කල් වැජඹේවා...
ReplyDeleteමෙවන් උතුම් පින්කම් වලට මුල පුරන්නට තව තවත් හැකි වේවා
වෙදැදුරු තුමනි ඔබට ජයවේවා
ඇත්තනේම මෙවැනි සත්පුරුෂයන් ලොවට තව තවත් බිහිවිය යුතුය. එවිට ලෝකය වඩාත් සුන්දර තැනක් වනු නිසැකය.
Deleteප්‍රසංශා කිරීමට වචන නොමැත.
ReplyDeleteමෙවැනි මිනිසුන් තව තවත් බිහි විය යුතුය.
Deleteකෝටි ගනන් වියදම් කර පෙරහැර උත්සව පවත්වන නායක හාමුදුරුවනේ මෙන්න කරන්න දේවල්..
ReplyDeleteඇත්තටම ඔබ හරි. අධික ආදායම් එන පන්සල්, පල්ලි, කෝවිල් කොයි තරමක් අපේ රටේ තියෙනවාද? මේ ඇතැම් තැන්වලින් නම් සමාජ සේවාවන් සිදුවෙනවා ඔවුනට හැකි පමණ. නමුත් බොහෝ ඒවායේ සිදුවන්නේ සල්ලි පිල්ලි ගැසීම විතරයි. රජය පැත්තෙන් වුණත් නාස්තිකාර, ප්‍රදර්ශනාත්මක වියදම් අඩු කළොත් අපේ රටේ දුක්විදින් මිනිස්සු බොහෝ දෙනෙකුගේ ජීවිත ආලෝකවත් කරන්න හැකියාව ලැබෙයි.
Deleteඋඩුගං බලා පිහිනන දෙවි කෙනෙක්.
ReplyDeleteහැමදෙනාම තමන්ට කළ හැකි පමණිනි මෙවැනි ක්‍රියාවන්ගේ නිරතවනවා නම් ලෝකය මීට වඩා යහපත් නැක් වේවි.
Deleteඉතාමත් හොඳ වැඩක්. ඔබ එය ලියා පල කිරීමෙන් අනිත් වෘත්තිකයන් පවා මෙවැනි සාධනීය දේ කිරීමට උනන්දු වේවි.
ReplyDeleteඔබ හරි. සෑම වෘත්තකියෙක්ම තම වෘත්තියෙන් ඔබ්බෙහි ඇති මිනිසත් බව හදුනාගන්නවා නම් සමාජය බොහෝ යහපත් තැනක් වේවි.
Deleteමාස දෙකකට පමණ ඉහතදී මෙතුමාගේ වැඩසටහනකට සහභාගී වීමට ලැබුනා...... වකුගඩු රෝගය ගැන කරපු වැඩසටහනක්... ටිකක් කතා කරන්නත් ලැබුණා.. ඒත් මේ සිදුවීම දන්නේ දැන්... ඔහු හැබෑම මනුෂ්‍යයෙකු බව ඒදා වැටහුණා...............
ReplyDeleteඑවැනි මිනිසකු හමුවී කතා කරන්නට ලැබීමත් වාසනාවක්. ඇත්තටම මට ඔහු හමුවී නැහැ. මේ ලිපිය සදහා මම සියලු තොරතුරු රැස්කරගත්තේ ඔහුගේ ෆේස්බුක් පිටුවලින්. මෙවැනි මිනිසුන් ගැන සමාජය දැනුවත් කිරීම අපේ යුතුකමක් කියා මම හිතනවා.
Deletehttp://lakbima.lk/index.php?option=com_content&view=article&id=43794:2015-02-13-06-15-21&catid=48:2012-04-02-08-50-52&Itemid=75
නිරන්ජන් , ස්තුතියි ... සමාජය දැනුවත් කිරීම හරහා ඔබත් සෑහෙන සේවයක් කර තිබෙනවා මෙතැනදී...
Delete"සිත සැනසුම දෙන රෝබිය දුරලන
ReplyDeleteමුදු ප්‍රිය වදනින් සැම සරසාලන
ඉසිවර වෙදැදුරු නිවයි අඳුරු
මිහිබට දෙව්වරු වගෙයි සොඳුරු
සිත් සනසා දුක් නිවනා
නිරෝගී පරම ලාභ දෙන
ඉසිවර වෙදැදුරු ඔබ හෙට දවසේ
කාසි නොදුටු බුලත් අතකි
ජීවක වෙද පරපුරේ අයෙකි
අහස තරම් මහ දැනුමැති
මේ හදවත ඔසු උයනකි
සැම සුවපත් අපි පොහොසත්
පරම ධනය අග තැන්පත්
විශ්වාසය දැන් බලවත්
අනාගතය හරි පින්වත්"
මට මතක උනේ රුපවාහිනියේ ගිය ඉසිවර වෙදදුරු එකේ ඉහත තේමා ගීතය ...මෙවැනි දුර්ලභ මිනිසුන් ගැන කියන්න වචන නැ...
කාසිවලට ගන්නත් බෑ
කාසිවලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ...
කාසි වාසි ඇති අය ළඟ
බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ...
දිඹුල් ගහක් ළඟට ගිහින්
අඬන්නෙපා මල් ඉල්ලා
මරු කතරක් මැදට ගිහින්
අඬන්නෙපා දිය ඉල්ලා...
දිය දෝතක් බොන්න ඕන
දිය දෝතක් පිරුණු අතින්
මල් අහුරක් ගන්න ඕන
මල් අහුරක් තියෙන අතින්...
පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
ඇත්තටම මුදලට වඩා මිනිස් කම අගයන ජීවකවරුන් එදා බොහෝ හිටියා. මෙවැනි සිදුවීම දකින විට එවැන්නන් අදත් නැතැයි කියන්නට බැහැ.
DeleteI am really proud to have a colleague like you. good luck machan !!
ReplyDeleteThanks for your comment.
Deleteනිරන්ජන් පාලිත අපේ පුද්ගලික හිතවතෙක්.. පාලිත සහ අප මුලින්ම සම්බන්ධ වුයේ මේ ගෙදරට අපිත් සුළු වශයෙන් උදව් කිරීමත් සමගයි. එයින් ඇතිවූ මිත්‍රත්වය අද දක්වා දිවෙන්නක්. අප තව තවත් මේ වැනි දේවල් වලට යොමු වීමත් මේ සමගාමිව සිදුවෙනවා.. මේ හරහා ඔබේ බ්ලොගයට කියවන්නත් ලැබුනා .. ඒ ගැන සතුටුයි.. දිගටම ලියන්න මේ වගේ සමාජයට වැදගත් දේවල්...
ReplyDeleteඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. වැඩි වශයෙන් සමාජයට වැඩදායී දේ ලිවීම තමයි මගෙත් සතුට.
Delete